ලාංකේය රග්බි පිටියේ මහනුවර සලකුණ | සිළුමිණ

ලාංකේය රග්බි පිටියේ මහනුවර සලකුණ

මහනුවර ක්‍රීඩා සමාජයේ හැරවුම් ලකුණ මලික් සමරවික්‍රම ද?

නිත්තවෙල ක්‍රීඩා පිටිය එදා කුණු ගොඩක්

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි අදියරයේ තවත් තරගයකට මහනුවර ක්‍රීඩා සමාජය ඊයේ සී.ආර්. කණ්ඩායමට එරෙහිව ලෝන්ඩන් ප්‍රදේශයේ දී තරග කළේ ය. මෙවර ලීග් රග්බි තරගාවලියේ පළමු අදියර අපරාජිතව අවසන් කළ මහනුවර ක්‍රීඩා සමාජයට දෙවැනි අදි එතරම්ම සුබදායක නොවීය. ඔවුන්ට වසර දෙකකට පසු සිය අපරාජිත භාවය මෙවර අහිමි ව‍ූවේ සිය සත්කාරක ක්‍රීඩාංගණයේ දීම ව‍ීම විශේෂත්වයකි. ඒ නිත්තවෙල දී යුද හමුදාව අතින් පරාජය වීමය. පරාජයේ වාඩුව සිවුවැනි සතියේ දී පිරිමසා ගත් මහනුවර ක්‍රීඩකයෝ නාවික හමුදාව හමුවේ නිත්තවෙල දී දැවැන්ත ජයක් හිමිකර ගැනීමට සමත් වූහ. නමුත් ඊළඟ තරගයේ දී නැවතත් ඇද වැටුණු මහනුවර ක්‍රීඩකයෝ තුරග තරග පිටියේ දී දෙවැනි පරාජයට මුහුණ දුන්නේ සී.එච්. හමුවේ දී ය.

මුල් යුගයේ මෙරට ක්‍රීඩා සමාජ ඇති කිරීම තරග සංවිධානය කිරීම ආදිය සිදුකර ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතික වැවිලිකරුවන්, පරිපාලකයන් සහ හමුදා නිලධාරීන්ගේ මූලිකත්වයෙනි. 1874 දී මහනුවර මලල ක්‍රීඩා, බෝට්ටු, ක්‍රිකට් සහ නැටුම් - නාට්‍ය හෙවත් ඒබීසීඩී සමාජය කරළියට පිවිසෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික වැවිලිකරුවන්ගේ හමුදා සහ පරිපාලන නිලධාරීන්ගේ රාජකාරියෙන් බැහැර වූ විවේක කාලය අර්ථ ගැන්වීම සඳහා ය. ඒ බෝගම්බර කේන්ද්‍රකර ගනිමින් ය. නුවරඑළිය ගෝල්ෆ් ක්‍රීඩා සමාජය, දිඹුල ක්‍රීඩා සමාජය ආදිය මීට සමගාමීව බිහිව ඇත්තේ මේ ආභාසය අනුව යමින් ය. එමෙන් ම ඔවුන්ගේ සමාජ තත්ත්වය ඉහළ නංවා ගැනීම සඳහා ද මෙවැනි දෑ ඔවුන්ට බෙහෙවින් ඉවහල්වී තිබේ.

බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ මූලික ඉලක්කය වී ඇත්තේ ඔවුන්ට ලැබෙන විවේක කාලය නිකරුණේ කා දමනවා වෙනුවට අර්ථවත් යමකට එකී කාලය යෙදවීමට හැකි වටපිටාවක් සකසා ගැනීමටයි. කෙසේ වෙතත් යම් යම් හේතු මත ඒබීසීඩී සමාජය අක්‍රිය වී ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් 1888 දී මහනුවර ක්‍රීඩා සමාජය නමින් මෙය වෙනම ස්ථාපිත වී තිබේ. බෝගම්බරම කේන්ද්‍ර කරගනිමින් මහනුවර ක්‍රීඩා සමාජය බිහිවන විට එතෙක් ඒබීසීඩී සමාජයෙන් බෝට්ටු, මලල ක්‍රීඩා, නාට්‍ය, නැටුම් ආදිය ඉවත් වී තිබෙන අතර එතැන් පටන් වෙනම ක්‍රීඩා සමාජයක් වශයෙන් පවත්වාගෙන යාමට තීරණය කර තිබේ. දශක හයක් පමණක් බෝගම්බර කේන්ද්‍ර කර ගනිමින් පවත්වාගෙන ගිය මහනුවර ක්‍රීඩා සමාජය අද සත්කාරක ක්‍රීඩාංගණය වශයෙන් සලකන නිත්තවෙල ස්ථාපිත කර තිබෙන්නේ 1949 දීය. දෙවැනි ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය හමුදාව විසින් ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා බෝගම්බර භූමිය ලබා ගැනීමත්, මහනුවර මහ රෝහල ඉදිකිරීමත් යන කරුණු කාරණා හේතුවෙන් බෝගම්බර අතහැර නිත්තවෙල ට යාමට මහනුවර ක්‍රීඩා සමාජයට සිදුවිය.

නිත්තවෙල භූමි භාගය නගර සභාව සතුව පැවැති ඉඩමකි. මහනුවර ක්‍රීඩා සමාජයට භූමි භාගය ලබා දෙන්නට මත්තෙන් මෙය භාවිතයට ගෙන තිබෙන්නේ මහනුවර කුණු බැහැර කරන ස්ථානය ලෙස ය. මෙකී කුණු දැමූ ස්ථානය වැඩි දියුණු කර ගනිමින් නිත්තවෙල ක්‍රීඩාංගණය ගොඩනැඟීමට කටයුතු කර ඇත්තේ ද 1949 දී ය. මෙකී කටයුත්තට ‍මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ ෆෝඩ් ගුණතිලකය. ජෝජ් ද සිල්වා, ස්ටැන්ලි මාර්ටින් ආදීන් එක්ව මෙය රග්බි ක්‍රීඩාංගණයක් බවට පරිවර්තනය කර ගැනීමට විශාල කැප කිරීමක් කර තිබේ. අද මහනුවරට ඉමහත් අභිමානයක් එක් කරන තැන වී තිබෙන්නේ එදා මහනුවර කුණු දැමූ ස්ථානය වී තිබීම විශේෂත්වයකි. වසර හතරකට පහකට වරක් නිත්තවෙල ක්‍රීඩාංගණයේ තණ පිඩලි සම්පූර්ණයෙන් ම ඉවත් කර අලුත්වැඩියා කිරීමේ දී, පිළිසකර කිරීමේ දී තාමත් නොදිරා ගිය අපද්‍රව්‍ය මතුවීම සුලබ දෙයක් බවට පත්ව තිබේ. මහනුවර අවට රෝහල්වලින් පවා බැහැර කළ සියලුම අපද්‍රව්‍ය ගොඩ ගසා ඇත්තේ මෙකී මි භාගයේ ය. නිත්තවෙල රග්බි පිටියේ තණ කොළ පවා මෙතරම් සාරවත්ව හොඳින් වැඩී තිබීමට පවා හේතු සාධක වී ඇත්තේ මෙකී භූමි භාගයට පොහොර ව‍ූ සෑම කොටසක්මය. වසර පුර වර්ෂාව තිබුණත් නැතත් නිත්තවෙල රග්බි පිටිය කොළ පාටින් බැබළෙන්නේ මෙකී පොහොර ගතිය නිසා බව නොරහසකි.

එමෙන් ම ක්‍රීඩාංගණයේ හරිත තත්ත්ව‍ය ආරක්ෂා කර ගැනීම සඳහා මෙන් ම අන්තර්ජාතික මට්ටමින් මෙය පවත්වාගෙන යාම සඳහා දිනකට අවම වශයෙන් ජලය ලීටර් දෙලක්ෂයක් හෝ තුන් ලක්ෂ‍යක් අනිවාර්යයෙන් ම ඉසිනු ලබයි. ක්‍රීඩාංගණයේ මෘදු භාවය ආරක්ෂා කර ගැනීමට මෙය බෙහෙවින් ම ඉවහල් වී තිබේ. කන්ද ‍උඩරට ශීත දේශගුණය ද මෙයට සොබාදහමේ ආශිර්වාදයක් සේ ඉවහල් වූවද, මාස ගණන් දැඩි හිරු රශ්මිය පතිත ව‍ූවද, තණකොළ ‍ගහක් නැතුව රග්බි තරගයක් පැවැති කාලයක් නොමැති තරම් ය. මොන තරම් වියදම් අධික ව‍ූවද නිත්තවෙල ක්‍ර‍ීඩාංගණයේ උසස් මට්ටම ආරක්ෂා කර ගැනීමට නිරන්ත‍රයෙන් ම වග බලා ගනියි. එමෙන් ම රග්බි හැර වෙන කිසිම ක්‍රීඩාවකට නිත්තවෙල ක්‍රීඩාංගණය යොදා නොගැනීම ද විශේෂත්වයකි.

මහනුවර ක්‍රීඩා සමාජයේ පළමු සභාපතිවරයා ඩී.එෆ්. ෆිට්ස් ගිබන් ය. අවසන් වරට ඉංග්‍රීසි ජාතිකයකු ‍ සභාපති ධූරය දරා ඇත්තේ (1938) ඒ.එම්.එස්. ක්ලාර්ක් ය. පළමු වරට මහනුවර ක්‍රීඩා සමාජයේ ලාංකිකයකු සභාපති ධූරයට පත්ව ඇත්තේ 1939 දී.‍ ආර්. ඩබ්. හලංගොඩ ප්‍රථම ලාංකේය සභාපතිවරයා වන විට මහනුවර ක්‍රීඩා සමාජයට අනුපමේය සේවයක් කළ වෛද්‍ය සරත් කපුවත්ත වසර 20 ක කාලයක් සභාපති ධූරය දරා තිබේ. 1990 පළමු වතාවට එකී ධූරයට පත් සරත් කපුවත්ත අවසන් වරට සභාපති ධූරය දරා ඇත්තේ 2014 දී ය. 2016 දී සරත් කපුවත්ත ජීවිතයෙන් සමුගෙන තිබේ.

මහනුවර ක්‍රීඩා සමාජයේ හැරවුම් ලක්ෂ්‍යය වශයෙන් අදටත් සැලකෙන්නේ 1992 දී මලික් සමරවික්‍රමගේ ආගමනයයි. සරත් කපුවත්ත සභාපති වශයෙන් කටයුතු කළ කාල‍යේ මලික් - සරත් සුසංයෝගය මහනුවර ක්‍රීඩා සමාජය ලාංකේය ක්‍රීඩා සමාජ අතර ඉහළම තැනකට ඔසවා තැබීමට අවශ්‍ය අඩිතාලම දමා තිබේ. එසේ ශක්තිමත් අත්තිවාරමක් මත ගොඩ නැගුණු මහනුවර ක්‍රීඩා සමාජය අද ජයකෙහෙළි නැංවීමට සමත්ව තිබේ.

සුදු ජාතිකයන් ක්‍රමයෙන් ඉවත්ව යන විට මහනුවර අවට පාසල්වලින් බිහිවූ ක්‍රීඩකයන්ගෙන් මහනුවර ක්‍රීඩා සමාජයේ රග්බි ක්‍රීඩාව පෝෂණය වී තිබේ. ඒ කිංග්ස්වුඩ්, ධර්මරාජ, ත්‍රිත්ව, ශාන්ත අන්තෝනි, ශාන්ත සිල්වෙස්තර්, විද්‍යාර්ථ විද්‍යාලයන්හි බිහිව‍ූ දක්ෂයන්ගෙන් ය. මහනුවර ක්‍රීඩා සමාජය ජයග්‍රාහී මාවතකට අවතීර්ණ වී ඇත්තේ 1991 - 92 දී ය.

අදහස්