ආයෝජකයන් අද්දාගන්න ස්ථාවර ආණ්ඩුවක් ඕනෑ | සිළුමිණ

ආයෝජකයන් අද්දාගන්න ස්ථාවර ආණ්ඩුවක් ඕනෑ

මේ දිනවල වැඩියෙන්ම කතාබහට ලක් වන මාතෘකාවක් තමයි පළාත් සභා ඡන්දය. විෂය භාර රාජ්‍ය ඇමැතිවරයා ලෙස කියන්න පුළුවන්ද ඇයි පළාත් සභා ඡන්දය දිනෙන් දිනම කල් යන්නේ කියලා?

පළාත් සභා ඡන්ද ක්‍රමය පිළිබඳ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියෙන් පනතක් සම්මත වෙලා තිබෙනවා. ඒ අනුව සියයට පනහක් සමානුපාතික ක්‍රමයටත්, තවත් සියයට පනහක් කොට්ඨාස ක්‍රමයටත් වන සේ නියෝජිතයන් පත් කරගත යුතුයි. ගොඩක් දෙනකු මේ කරුණු දන්නේ නැතිවයි කතා කරන්නේ. මේ කාරණයට අදාළව සීමා නිර්ණයක් කරලා යළි පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්න ඕනෑ. සීමා නිර්ණ කොමිසන් සභා වාර්තාවක් මීට මාස තුනකට පමණ පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අද ඔය ඡන්දය තියන්න ඕනෑ කියලා කෑගහන අය මේක පරාජය කළා. එදා වාර්තාව අනුමත කළා නම් කාලය අවසන් වූ පළාත් සභාවල ඡන්දය මැතිවරණ කොමසාරිස්ට පවත්වන්න තිබුණා. පළාත් සභා ඡන්දය පැවැත්වීම රජයට අයිති කරුණක් නොවේ. ඒක අයිති පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අපට නෑ. එහෙම නම් පාර්ලිමේන්තුවම කියන්න ඕනෑ සීමානිර්ණයක් අලුතින් හදලා ඡන්දය තියන්න කියලා.

එත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නම් කියන්නේ නව ක්‍රමය සම්මත කරගන්න බැරි නම් පරණ ක්‍රමයයි අදාළ වන්නේ, ඒ නිසා පරණ ක්‍රමයට අනුව ඡන්දය පවත්වන්න, කියලයි. ආණ්ඩුව ඊට එකඟද?

ආණ්ඩුවට විතරක් මේක කරන්න බෑ. එහෙම නම් මහින්ද රාජපක්ෂ මහතාටත් මේකේ වගකීමක් තිබෙනවා; මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටත් වගකීමක් තිබෙනවා; අනෙකුත් පක්ෂවල නායකයන්ටත් වගකීමක් තිබෙනවා. සියලු පක්ෂ නායකයන් එකතු වෙලා කතා කරලා මේ ප්‍රශ්නය විසඳගන්න ඕනෑ.

පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන්න අගමැතිවරයා පක්ෂ නායකයන්ගේ රැස්වීමක් පසුගිය දා කැ‍ඳෙව්වා. එහි ප්‍රතිගතිය කොහොමද?

පක්ෂය නායක රැස්වීම් කැඳවන්නේ අගමැතිවරයා නොවෙයි; කථානායකවරයායි. කට්ටියම එකතු වෙලා සාකච්ඡා කර තීරණය ගන්න ඕනෑ. මා නම් හිතන්නේ පළමුව තියන්න ඕනෑ ජනාධිපතිවරණයක්. ඒකට හේතුවක් තිබෙනවා. ජනාධිපතිවරයාට 2015 දී රටේ ජනතාව ජන වරමක් දුන්නා. ජනාධිපතිවරයා පසුගිය ඔක්තෝබර් 26 වැනි දා ඒ ජන වරමට පිටුපෑවා. ජනාධිපතිවරයාට එරෙහිව තරග කළ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කළා. දැන් ජනාධිපතිවරයාට පක්ෂපාති ජනවරමක් නොවෙයි තිබෙන්නේ. ඔහුට ඡන්දය දුන් හැටදෙලක්ෂය අද එතැන නෑ. එහෙම නම් ජනාධිපතිවරයා ජන වරම යළි උරගා බලන්න ඕනෑ. ජනවාරි 8න් පස්සේ ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන්ම ජනපතිවරණයකට යන්න බලය තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාත් කියා තිබෙනවා නේද ඡන්දය කල් යෑම ඔහුගේ හදවත රිදීමට කාරණයක් කියලා. නොවැම්බර් මසට පෙර පළාත් සභා මැතිවරණය තියන්න බැරි වු‍ණොත් ඔහු ඉල්ලා අස් වන බවත් පවසනවා...

විශ්‍රාම යන-නොයන එක ඔහු‍ගේ වැඩක්. එයා ගියොත් ඒ තනතුරට තව කෙනෙක් එයි. එයාම ඉන්න ඕනෑ කියලා සම්මතයක් නෑ. මේ රටේ මැතිවරණ පවත්වන එක විතරක් නොවෙයි, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින්නත් ඔහුට වගකීමක් තිබෙනවා. විධායකය නීතිවිරෝධි ලෙස පාර්ලිමේන්තුව විසුරුවපු වෙලාවේ ඔහු නිහඬව හිටියා. ඒත් මැතිවරණ කොමිසමේම සාමාජිකයකු වන රත්නජීවන් හූල් මහතා මේ විසුරුවා හැරීම වැරදියි කියා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. ඔහු නිර්භීතව පෙනී සිටියා. ඇත්තෙන්ම මේ සම්බන්ධයෙන් නඩු තීන්දුව ආපු වෙලාවෙයි මැතිවරණ කොමිසමේ සභාපති ඉල්ලා අස් වෙන්න තිබුණේ.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය පත් කළේ ආණ්ඩුවමයි. ඒත් ආණ්ඩුවම ඇය ඉවත් කළා. පසුව දැන් යළිත් ඇයම අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස පත් කර තිබෙනවා. මොකද මේ?

වෘත්තීය සමිතිවලට ඕනෑ විදියට පත්වීම් කරන්න බෑ. මේ විරුද්ධ වුණ අය පිළිබඳ හොයලා බලපුවාම ඒ අය නීත්‍යනුකූල විදියටත් නීත්‍යනුකූල නොවන විදියටත් උපයන ආදායම රටම දන්නවා. රේගු දෙපාර්තමේන්තුවෙන් රජයට උපයාගත යුතු විශාල මුදලක් අය නොවී පවතිනවා. රේගුවෙන් ගිය වසරේ බිලියන දාහක් අපේක්ෂා කළා. එහෙත් උපයාගත හැකි වුණේ බිලියන නවසිය දහයයි. අකාර්යක්ෂමතාව නිසා ඉලක්කයට යා නොහැකි වී තිබෙනවා. අප පත් කරන නිලධාරීන් වුවත් කාර්යක්ෂම නැති නම් ඉවත් කරන්න වෙනවා.

රේගු වෘත්තීය සමිති චෝදනා කරන්නේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කළේ ආණ්ඩුවේ හොරකම් වහන්න කියලයි...

එහෙම එකක් නෑ. දැන් රේගු වෘත්තීය සමිතිවල නායකයන්ගෙන් වතගොත හොයලා බලන්න වෙනවා. රේගුව කියන්නේ වංචා දූෂණවලින් ඉහළම තිබෙන තැනක්.

ජාතික ආණ්ඩුවක් හැදීම පිළිබඳ පවතින හාහෝවේ වත්මන් තත්ත්වය කොහොමද?

අපිට ස්ථාවර ආණ්ඩුවක් ඕනෑ. එතකොට තමයි ආයෝජකයන් එන්නේ. මහින්ද යුගයේ ගත් ණය වැඩිම ප්‍රමාණයක් ගෙවන්න තිබෙන්නේ මේ වසරේ. මේ වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 5500ක් ගෙවන්න ඕනෑ. ඒකයි රේගුවට ඉලක්ක දීලා තියෙන්නේ. පසුගිය කාලයේ ඇති වූ අස්ථාවරත්වය නිසා ණය දෙන ආයතන අපට ‍ශ්‍රේණිගතව තිබූ තැනින් පහළට දාලා තිබෙනවා. රජය ස්ථාවර කරගන්න ජාතික ආණ්ඩුවකට ගිහින් බලය ශක්තිමත් කරගන්න ඕනෑ. ඒකයි ජාතික ආණ්ඩුවක් හැදීමට අප උත්සාහ ගන්නේ.

කලින් තිබුණු ජාතික ආණ්ඩුවේ අයත් දැන් ජාතික ආණ්ඩුවකට කැමැති නෑ නේද?

එයාලාගේ කැමැත්ත-අකැමැත්ත ප්‍රශ්නයක් නෑ. අපි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ජාතික ආණ්ඩුවක් හදනවා. ව්‍යවස්ථා විරෝධි, සම්ප්‍රදාය වි‍රෝධි ලෙස අප කටයුතු කරන්නේ නෑ.

ආණ්ඩුවේ සමහර ඇමැතිවරුන්ගේ වැය ශීර්ෂ පරාජය කරන්න එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ සූදානමක් තිබෙනවාද?

එහෙම එකක් නෑ. ඒක කටකතාවක්. අප සියලු දෙනා එකමුතුව එකට වැඩ කරනවා.

හැඳුනුම්පතේ හා විදේශ ගමන් බලපත්‍රයේ වෙනසක් කරනවාද?

ඔව්, ඉදිරියේදී රියැදුරු බලපත්‍රයත් හැඳුනුම්පතටම සම්බන්ධ කරනවා. ඒ අතර ඊ-පාස්පොට් ක්‍රමයත් හඳුන්වා දෙනවා. මෙහිදී අද ලෝකයේ දියුණු රටවල භාවිත කරන, ප්‍රමිතියෙන් ඉහළ නවීන විදෙස් ගමන් බලපත්‍රයක් අපේ රටවැසියන්ටත් ලබා දෙනවා.

 

අදහස්