ගම්මිරිස් - පුවක් මාෆියාවෙන් වැසුණු රේගුවේ සැබෑ අර්බුද විසඳේද? | සිළුමිණ

ගම්මිරිස් - පුවක් මාෆියාවෙන් වැසුණු රේගුවේ සැබෑ අර්බුද විසඳේද?

ගම්මිරිස්, පුවක් ප්‍රතිඅපනයන ක්‍රියාකාරකම් “සල්ලි උල්පත්” බවට පත්කරගෙන සිටින වෙළෙඳ මාෆියාව මැඬලීමට නායකත්වය යළි ලබාදීමට රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්.චාල්ර්ස් මහත්මියට අවස්ථාව ලැබී තිබේ. මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් ඇමැති මණ්ඩලයට මීට සති තුනකට පෙර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකා රජයට ආදායම් එක්රැස් කරදෙන ප්‍රධානම ආයතන තුන වන දේශීය ආදායම්, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව අධීක්ෂණය කිරීමට නව තනතුරක් ස්ථාපිත කොට එහි ප්‍රධානීයා බවට චාල්ර්ස් මහත්මිය පත් කරන අතර, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට විශ්‍රාමික නාවික හමුදා ප්‍රධානියකු පත් කිරීමට ඉන් අනුමැතිය ඉල්ලා තබිණි. ඒ යෝජනාවට අනුව චාල්ර්ස් මහත්මිය රේගු දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීම ඇතැමෙකු දුටුවේ මහා ව්‍යසනයක් සිදු වූවාක් මෙනි.

එදා හිටපු අගවිනිසුරුවරියක වන ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉතාම අසාධාරණ ලෙස ධූරයෙන් ඉවත් කරන විට වචනයකුදු පිට නොකළ ඒකාබද්ධ විපක්ෂයේ පිරිස්, චාල්ර්ස් මහත්මියට උසස් වීමක් ලබාදීමට සිදු කළ වෙනස දුටුවේ මහා බියකරු සිදු වීමක් ලෙසය.

එදා බියකරු සිදු විමක් ලෙස දුටු අය කිසිවෙක් අවංකවම චාල්ර්ස් මහත්මියට කැමැත්ත හෝ ශක්තිය සපයන හෝ අය නම් නොවෙති. දේශපාලන වශයෙන් එල්ලෙන්නට වැල් නැතිව සිටින පිරිස් කිඹුල් කඳුළු සලමින් බලාපොරොත්තු වූයේ බොරදියේ මාළු බෑමටයි.

චාල්ර්ස් මහත්මිය ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ආදායම දිනෙන් දින ඉහළ නංවා ගැනීමට අවංකවම කැප වූ දක්ෂ නිලධාරිනියක් වූවාය. ඒ මහත්මිය රටේ ආදායම ඉහළට ඔසවා තැබීමට ගනු ලබන පියවර දැඩි කරන විට ඊට උරණ වූ රේගුවේ කටයුතු නිල නොවන ලෙස මෙහෙයවන වෙළෙඳ මාෆියාව කලබල විය. ඔවුන් නිරන්තරයෙන්ම උත්සාහ දරන්නේ රේගුවෙන් රටට ලැබිය යුතු ආදායම් නිසි ලෙස ලබා නොදී තමන්ගේ සාක්කුවේ දමා ගැනීමටය.

මේ ජාවාරම්කාර මාෆියාව පිළිබඳව ඉඟි තමන්ට ද දැනී ති‍බෙන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඉකුත්දා මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී පවසා සිටියේය.

මේ වෙළෙඳ මාෆියාව දමනයට අති දක්ෂ දැඩි පරිපාලන මෙහෙයවන්නෙකු රේගුවට පත් කොට, ඔහුගේ කටයුතු පරිපාලනයම වශයෙන් අධීක්ෂණය චාල්ර්ස් මහත්මියට භාර කිරීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අදහස විය. ඒ අදහස ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේ ජනාධිපතිවරයා පවා සිය කැමැත්ත පළ කළ බව මංගල සමරවීර මහතා කියා සිටි කරුණකි.

කෙසේ නමුත් රටේ අවධානය මේ මාරු කිරීම වෙත දැඩිව විරෝධතාවයක් සේ එල්ල වීම නිසාත්, එවැනි දෙයක් සිදු වීම සුදුසු නොවන නිසාත් ඇමැතිවරයා නිහතමානීව තම යෝජනාව ඉවත් කර ගත්තේය.

එසේ කරුණු කාරණා සිදු වී නැවත රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් චාල්ර්ස් මහත්මියට මංගල සමරවීර මහතා තවත් වගකීමක් භාර කළේය. එනම් දැනට රටේ ජනතාවගේ සිත්වල පවතින ගම්මිරිස්, පුවක් වැනි ප්‍රතිඅපනයන ජාවාරම් ගැන ඉඟි පිළිබඳව පුළුල් පරීක්ෂණ සිදු කොට ඔවුන්ට එරෙහිව දැඩිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය වාර්තා රජයට සපයන ලෙසයි.

ඒ අනුව මාසයක් ඇතුළත මේ රජයේ ආදායම් කාන්දු කිරීම් පිළිබඳව ඒවාට නායකත්වය ලබා දෙන හොරකම් කරන ව්‍යාපාරිකයින්, රේගු නිලධාරීන් පිළිබඳව කරුණු අනාවරණය වනු ඇත.

එලෙස අනාවරණය කරගන්නා තොරතුරු මත අදාළ පිරිස් වෙත දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට ද පියවර ගන්නා බව මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය. වසර 2015 රේගු දෙපාර්තමේන්තුව රටට රුපියල් බිලියන 788 ක ආදායමක් උපයා දී තිබිණි.

වසර 2016 දී එය රුපියල් බිලියන 831 ක් ද විය. වසර 2017 මැයි 22 වැනි දා, මුදල් හා ජනමාධ්‍ය ඇමැති ධූරයට පත් සිය පාලනය යටතේ රුපියල් බිලියන 921ක ආදායමක් වසර 2018 දී ලබාගෙන ඇති බවද මංගල සමරවීර මහතා කියයි.

මේ ආදායමට රේගු දෙපාර්තමේන්තුව විසින් වසර 2018 ආදායම උපයාදී තිබුණ ද එය රුපියල් බිලියන 1068 ක් තරම් වීමට ඉලක්ක කොට තිබිණි. එයටත් එහා ගිය ආදායමක් වාර්ෂිකව රේගුවෙන් ලබා ගත හැකි බව තම පෞද්ගලික අදහස යැයි ද මංගල සමරවීර මහතා සඳහන් කළේය.

වසර 2012 දී රාජපක්ෂ රෙජිමය විසින් ගම්මිරිස්, පුවක් ප්‍රතිඅපනයනය සඳහා අවශ්‍ය පදනම දමා එය වෙළෙඳ මාෆියාවක් බවට පත් කරගෙන රේගු ආදායම් කාන්දු කළ බව සිහිපත් කළ ඇමැතිවරයා එය වත්මන් රජයේ පාලනය යටතේද ක්‍රියාත්මක වීම කනගාටුවට කරුණක් බව ද කියා සිටියේය.

මේ අන්දමට ගම්මිරිස්, පුවක් ප්‍රතිඅපනයන ජාවාරම් වැළැක්වීමට අගය එකතු කිරීමේ ක්‍රමවේදය ශක්තිමත්ව සිදු වන බවට වාර්තා රේගු නිලධාරීන්ගෙන් ලබා ගන්නා අතර, එලෙස අගය එකතු කිරීමේ ක්‍රියාවලිය සිදු කරන ගබඩා සංකීර්ණ පවත්වාගෙන යෑම පිළිබඳව දැඩිව නිරීක්ෂණය කිරීමට ක්‍රියා කරනු ඇත.

උතුරේ ප්‍රභාකරන් බලවත්ව සිටියදී ඔහුට නොබියව රජයේ කටයුතු මෙහෙය වූ මඩකලපුව දිසාපතිනිය වන චාල්ර්ස් මහත්මියට වරායේ හා රේගුවේ වෙළඳ මාෆියාවන් සමඟ සටන් කිරීමට නොහැකි විය.

ඒ නිසා වඩාත් ශක්තිමත් නිලධාරියකු එයට පත් කිරීමට වුවමනා විය. ඒ අරමුණින් හැර වෙනත් කිසිදු හේතුවක් චාල්ර්ස් මහත්මියගේ තනතුර ඉවත දැමීමට මඟ පෑදුවේ නැති බව මංගල සමරවීර මහතා අවධාරණය කළේය.

මේ වන විට දින හතක් පුරා පැවැති රේගු අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නතර වී ඇත. රේගුවේ කටයුතු සාමාන්‍ය පරිදි ඉදිරියට ඇදෙමින් තිබේ. මේ ඉදිරියට යෑම් තුළ වෙළෙඳ මාෆියාවන් පරාජය කොට රජයේ ආදායම් වැඩි කර ගැනීමට හැකි තැනට මෙහෙයවීම රේගු අධ්‍යක්ෂ ජනරාල් වරියගේ වගකීම වේ.

අදහස්