ජාතිවාදී දේශපාලනය අතර සැබෑ සංහිඳියාව සොයන උතුරේ ආණ්ඩුකාරවරයාගේ සම්මුතිය | සිළුමිණ

ජාතිවාදී දේශපාලනය අතර සැබෑ සංහිඳියාව සොයන උතුරේ ආණ්ඩුකාරවරයාගේ සම්මුතිය

  • සිවිල් ජනයාගේ අදහස
  • දේශපාලකයන්ගේ හැසිරීම
  • බෝනස් ඉවත් කිරීමේ යෝජනා
  • ගුරුකන්ද බුදු පිළිමයට පොලිස්  ආරක්ෂාව

උතුරු පළාතේ බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කිරීමටත් බෞද්ධ භික්ෂුන් වහන්සේ ආරක්ෂා කිරීමටත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් සූදානම්ය. එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ උතුරු පළාතේ බෞද්ධ භික්ෂූන් වහන්සේට හා බෞද්ධ සිද්ධස්ථානවලට සිදු වන අසාධාරණකම් වලට විසඳුමක් ලබාගැනීම අරමුණෙනි.

ඒ සඳහා මේ මාසය තුළදී සම්මුතියක් ඇති කරගන්නා බව ආණ්ඩුකාරවරයා පවසයි. අවශ්‍ය වන්නේ නම් මහා නායක හිමිවරුන් හමු වී සාකච්ඡා කිරීමටත් ඔහු සූදානම්ය.

එම තීරණයට පැමිණ සිටින ආණ්ඩුකාරවරයා ජනමාධ්‍යයෙන් ඉල්ලා සිටින්නේ මේ කරුණු ඉතා පරෙස්සමෙන් හා සංවේදීව වාර්තා කරන ලෙසය.

ආණ්ඩුකාරවරයා එසේ ප්‍රකාශ කළත් මේ වන විට උතුරේ බෞද්ධ වෙහෙර විහාරස්ථාන සම්බන්ධයෙන් මතුව ඇත්තේ ඉතා ව්‍යාකූල තත්ත්වයකි.

උතුරු පළාතේ විශේෂයෙන්ම මුලතිව් පළාතේ විවිධ විහාරස්ථානවල වැඩවාසය කරන භික්ෂූන් වහන්සේට දෙමළ දේශපාලනඥයන්ගෙන් බලපෑම් එල්ල වෙමින් තිබේ. ඔවුන් පවසන්නේ එම පුරාවිද්‍යා ස්ථාන අයත් වන්නේ හින්දු ආගමට බවය. ඔවුන් අවධාරණය කරන්නේ බෞද්ධයන් නැති පළාත්වල භික්ෂූන් වහන්සේ නොසිටිය යුතු බවය.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඇතුළු තවත් ප්‍රාදේශීය දේශපානඥයන් කීප දෙනෙකු මීට දින කීපයකට ඉහතදී පැමිණ පවසා ඇත්තේ මුලතිව් නායාරු හා මඩු ප්‍රදේශයේ පිහිටි රත්නමණ්ඩප විහාරස්ථානය අයත් පෙදෙස සිංහල බෞද්ධයන්ට අයත් නොවන බවත් එය තච්චන්කුලම් යනුවෙන් හැඳින්වෙන දෙමළ ගම්මානයක් බවයි.

මේ විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා තුන් නමක් වැඩ වාසය කළහ. භික්ෂුන් වහන්සේ හා දායයන් පිරිසක් කරුණු පැහැදිලි කරමින් පවසා තිබුණේ පුරාණ ගල් කණු සහිතව ඇති මේ ස්ථානය බෞද්ධ සිද්ධස්ථානයක් බවය.

දන්ත ධාතූන් වහන්සේ පවා මේ ස්ථානයේ වඩා හිඳුවා ඇති බවත් 1955 දී පවා මේ ස්ථානය බෞද්ධ සිද්ධස්ථානයක් වශයෙන් පැවති බවත් දෙමළ ජාතික සන්ධානයේ පිරිසට දායක පිරිස පෙන්වා දී තිබේ.

එම අවස්ථාවේදී ඒ පිරිස භික්ෂූන් වහන්සේට හා දායකයන්ට පවසා ඇත්තේ මේ ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳාගෙන යම් ස්ථිර නිගමනයකට එළඹීම සුදුසු බවය.

එම පිරිස එසේ ප්‍රකාශ කොට පිටව ගියහ. හදිසියේම 29 දා මුලතිව් දිස්ත්‍රික්කයේ දෙමළ ප්‍රාදේශීය දේශපාලනඥයෙකු ඇතුළු අට දෙනෙකු පමණ පැමිණ එම ස්ථානය සිංහල බෞද්ධයන්ට අයත් නොවන නිසා එම ස්ථානයෙන් පිටව යන ලෙස දන්වා තිබේ. මේ අවස්ථාවේදී විහාරස්ථානයේ වැඩ වාසය කොට ඇත්තේ එක් භික්ෂූන් වහන්සේ නමක් පමණි.

උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා සම්මුතිකයක් ගොඩනඟන්නට යන්නේ එවැනි පරිසරයකය. මේ මොහොතේ සිදු විය යුතු අතිශය වැදගත් කටයුත්තක් වෙනුවෙන් හේ ප්‍රවේශය ගෙන ඇත. නමුත් ආණ්ඩුකාරවරයාට කටයුතු කිරීමට සිදු වී ඇත්තේ අතිශය මුග්ධ දේශපාලනයක් සමඟය.

හින්දු වේවා, බෞද්ධ වේවා, වාර්ගික බලය සංකේතවත් කිරීම සඳහා අතාර්කිකව ආගමික සිද්ධස්ථාන හෝ ප්‍රතිමා පිහිටුවීම සංස්කෘතික ඇගයීමකට ලක් වන කටයුත්තක් නොවේ. එහි අරමුණුගත ඉලක්කයන්හි මුග්ධ ස්වරූපයට වාර්ගික අනන්‍යතාවක් නැත.

එහෙත් ක්‍රිස්තු පූර්ව තුන් වන සියවසේ සිට බුදු දහම ස්ථාපිත වෙමින් පැවති උතුරේ බෞද්ධ සිද්ධස්ථානවල නටඹුන් ප්‍රකාශ කරන්නේ රටේ සංස්කෘතික අධ්‍යාත්මයේ පිළිබිඹුවකි. එය සීමා මායිම් රහිතව ප්‍රකට වන ජාතියේ උරුමයකි. එය ආරක්ෂා කිරීම ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ යුතුකමකි. වගකීමකි. එවැනි උරුමයක් කුමන පදනමකින් හෝ ව්‍යසනයට ලක්වේ නම් ඊට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට රටකට හැකි විය යුතුය. එහෙත් උතුරේ තත්වය වෙනස්ය.

මුලතිව් නායාරූ ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ බුදු පිළිමය සම්බන්ධයෙන් ද එවැනි ගැටලුවක් ඇති විය. මේ වන විට එම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය විසින් තාවකාලිකව නතර කොට තිබේ. උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී ටී.රවිහරන් විසින් මුලතිව් අධිකරණයට ගොනු කරණ ලද පෙත්සමකට අනුව ලබන පෙබරවාරී මස 11 දා වන තුරු මේ අතුරු තහනම් නියෝගය බලපැවැත්වේ.

ගුරුකන්දේ නොසන්සුන් තත්ත්වය ඇති වූයේ මේ වසරේ ජනවාරි 14 වෙනිදාය. හින්දු බැතිමත් පිරිසක් ගුරුකන්ද විහාරස්ථානයට යාබදව පිහිටි ගණදෙවි කෝවිලේ පොංගල් උලෙළ නිමිත්තෙන් කිරි ඉතිරවීමට ගිය අවස්ථාවේදී ගුරුකන්ද විහාරස්ථානයේ විහාරාධිපති හිමි ඇතුළු පිරිස සමඟ විශාල අරෝවක් ඇති කර ගත්හ. පොලිසිය පැමිණ අරෝව සමථයකට පත් කළත් තවමත් විරසකය අළු යට ගිනි සේය. කෙසේ වෙතත් මේ විරෝධය කුළු ගන්වමින් ඇත්තේ සාමාන්‍ය වැසියන් නොව මුලතිව් දේශපාලකයෝ කිහිප දෙනෙකි.

ඒ පිළිබඳව අදහස් දක්වන වවුනියාව ඕමන්ත ශ්‍රී නාගපූසනි අම්මාන් කෝවිලේ රත්නම් ධර්ම කුරුක්කල්වරයාගේ කතාවට අනුව ඒ බව ඉතා හොඳින් පැහැදිලි වෙයි.

"මුලතිව් නයාරු ගුරුකන්ද පන්සලේ, පන්සලයි කෝවිලයි දෙකම එකට තියෙන එක කොච්චර හොඳ දෙයක්ද?.‍ බෞද්ධ ජනතාවට පන්සලට ගිහිල්ලා කෝවිලත් එකම තැනකින් වන්දනා කරගෙන එන්න පුළුවන්. හින්දු ජනතාවට කෝවිලට ගිහිල්ලා පන්සලේ බුදු හාමුදුරුවන්ගේ පිළිමයට මල් තියලා වැඳලා එන්න පුළුවන්. ඒත් ඇතැම් දේශපාලනඥයන්ගේ වුවමනාව මත මේ පන්සල හා කෝවිල අල්ලගෙන නැති ප්‍රශ්නයක් ඇති කරන්න හොඳ නැහැ. මේ දේශපාලනයට අහුවෙන්නේ නැතුව මිනිසත්කම අනුව හැම ආගමකටම කියවෙන විදිහට සමඟියෙන් ජිවත් විය යුතුයි."

"ඒ වගේම ආගමික නායකයන් හැමෝම අනෙක් අයට ගරු කරගෙන ජිවත්වෙන්න ඕනේ. එතකොට තමයි සංහිඳියාව ඇති වෙන්නේ,"

"මම හින්දු පූජකතුමෙකු වුණාට මම සිංහල හොඳට කතා කරනවා. ලියන්නත් පුළුවන්. මම වෙද මහත්තයෙක් විදියටත් ඉන්නවා. මම බුදු හාමුදුරුවෝ කියලා දුන්න බුදු දහමත් ‍හොඳට දන්නවා. හින්දු ආගමේ ඉගැන්වීමුත් දන්නවා."

"ඒක හින්දා මම දන්නවා ආගම් දෙකේම තියෙන උතුම්කම. ඒත් සාමාන්‍ය මිනිස්සු රවටාගෙන ඡන්දය ගන්න උත්සහ කරන පිරිස ඒ ගැන දන්නේ නැහැ. එයාලා බලය වෙනුවෙන් මිනිස්සු කුලප්පු කරනවා. නයාරු පන්සලේ ක්‍රියාවත් එහෙම තමයි,"

"ඒත් මම මිනිස්සුන්ට කියනවා දේශපාලන නායකයන්ගේ වුවමනා අනුව කටයුතු කරන්නේ නැතුව සෑම ආගමකටම ගරු කරන්න උත්සාහ කරන්න කියලා. එතකොට මේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මිනිස්සු විදියට අපි, අපිට ලැබිලා තියෙන ජිවිතය තුළ ගැටුම් ඇති කරගන්නේ නැතුව ජිවත්වෙලා මැරිලා යන්න ඕනේ."

කෙසේ වෙතත් අධිකරණ නියෝගය පසෙක තිබියදී යුද හමුදාවට හා පොලීසියට නායාරු ගුරුකන්ද පන්සලේ බුදු පිළිමය ආරක්ෂා කිරීමට ඊට රැකවරණය සපයා දීමට සිදුව තිබේ.

උතුරේ බුදු පිළිමවලටත් බෞද්ධ විහාරස්ථානවලටත් එරෙහිව මුලින්ම විරෝධතාව ගොනු කළේ දෙමළ ජාතික සන්දධානයේ මන්ත්‍රී ටී. රවිහරන්ය. මුල්ම විරෝධය එල්ල වූයේ මුලතිව් කෝකිලායි ප්‍රදේශයේ පිහිටි ශ්‍රී සම්බෝධි විහාරයටය. එම විහාරස්ථානය ඉදි කොට ඇත්තේ පළාතේ දෙමළ වැසියෙකුට අයත් ඉඩමක නිසා වහාම එම විහාරස්ථානය ඉවත් කර ගන්නා ලෙස රවිහරන් ඇතුළු පිරිස කෝකිලායි විහාරයේ විහාරාධිපති තිස්සපුර ගුණරතන හිමියන්ට බලකොට සිටියේය.

අනතුරුව මුලතිව් පළාතේ වැසියෙකු අල්ලාගෙන ඔහුගේ නමට ඉඩම අයිති බව කියමින් මුලතිව් අධිකරණයේ නඩුවක් ගොනු කළේය. ගොනු කළ නඩුව බොරු නඩුවක් බව දැන නඩුව පැවරූ පුද්ගලයා එම නඩුව ඉල්ලා අස් කරගැනීමෙන් පසුව රවිහරන් කළේ විහාරස්ථානයට ගොස් විහාරාධිපති හිමියන් නැති අවස්ථාවක එහි සිටි පිරිසට තර්ජනය කිරීමය. ඒ කාලයේදී ඔහු උතුරු පළාත් සභාවේ මන්ත්‍රී ධුරය දරමින් සිටි නිසා කෝකිලායි විහාරස්ථානයේ සිටි පිරිසට තර්ජනය කිරීම ඉතා පහසු කාර්යයක් විය.

අභියෝග හමුවේ නොසැලී සිටීමේ කෝකිලායි පන්සලේ ගුණරතන හාමුදුරුවන්ගේ ගුණය නිසා අදටත් කෝකිලායි ශ්‍රී සම්බුද්ධ විහාරය අතුරු අන්තරාවකින් තොරව පවතී.

අනතුරුව රවිහරන් යකා නැටුවේ මුලතිව් ඔඩ්ඩිසුඩාන් ප්‍රදේශයේදීය. ඒ මුලතිව් කුරුඳුමලේ පුරාවිද්‍යා ස්ථානය පිහිටුවීමට පුරාවිද්‍යා නිලධාරීන් ගිය අවස්ථාවේදී භික්ෂූන් වහන්සේ දෙනමක් බුදු පිළිමයක් රැගෙන යෑම නිසාය.

කුරුදුමලේ පුරා විද්‍යා ස්ථානය හා කාර්යාලය පිහිටුවීමට ඉඩ නොදී ජනතාව ලවා විශාල විරෝධයක් ඇති කොට අවසානයේදී මුලතිව් අධිකරණයේ නඩුවක් ගොනු කොට මුලතිව් නායාරූ ගුරුකන්ද රජමහා විහාරස්ථානයට මේ වන විට සිදු කොට ඇති තහංචි නියෝගයක් මෙන් නියෝගයක් අධිකරණයෙන් ලබාගත්තේද රවිහරන් හිටපු මන්ත්‍රීවරයාගේ මැදිහත්වීම මතය. මෙහි එකම ප්‍රතිඵලය වී ඇත්තේ තවමත් කුරුදුමලේ පුරා විද්‍යා ස්ථානය විවෘත කරගැනීමට නොහැකි වීමය.

රවිහරන් මන්ත්‍රීවරයා උතුරු පළාත් සභාවේදීත්, ප්‍රසිද්ධ ජනරැලිවලදීත් ප්‍රකාශ කළේ උතුරු පළාතට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවත් මහවැලි ව්‍යාපාරයත් අවශ්‍ය නොවන බවය. ඔවුන් මේ ප්‍රදේශවලට පැමිණෙන්නේ උතුරේ වැසියන්ට අයත් ඉඩම් කොල්ල කෑමේ චේතනාවෙන් බව කියන්නට තරම් මේ තැනැත්තා අඳබාලය.

මේ සම්බන්ධයෙන් ඔහු කළ කතාව තවත් ඔසවා තබමින් එදා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වූ සී.වී.විග්නේස්වරන් කීවේ බෞද්ධ ජනතාව නොමැති පළාතකට බුදු පිළිම හෝ බුදු මැදුරු අනවශ්‍ය බවය.

සී.වී.විග්නේස්වරන් නාගදීපයේ ඉදි කිරීමට ගිය බුදු පිළිමයට විරෝධය පළ කළේය. කිසිවෙකු හෝ අදටත් කතා නොකළද ඒ බුදු පිළිමය ඉදි කිරීමේ යෝජනාව අකුළාගැනීමට තරම් විග්නේස්වරන්ගේ විරෝධය ප්‍රබල විය.

එතැනින් නතර නොවුණු විග්නේස්වරන් අවසානයේදී කියා සිටියේ නාගදීපය යනුවෙන් ස්ථානයක් උතුරේ නැති බවය. එය නාමපුවරුවේ පවා ''නයිනතීව්'' යනුවෙන් වෙනස් විය යුතු බව ඔහු කියා සිටියේය. දැන් විග්නේස්වරන්ගේ දේශපාලන බලය අවසානය

එහෙත් රවිහරන් නැවතී නැත. ඔහු මේ සතියේදී බුදු පිළිම සම්බන්ධයෙන් තවත් ජෝගියක් නැටුවේය. ජනාධිපතිවරයා මුලතිව් පළාතට පැමිණ ආරක්ෂක අංශ විසින් භාවිත කළ උතුරේ වැසියන්ට අයත් ඉඩම් අක්කර දෙදහසකට ආසන්න ප්‍රමාණයක් ආපසු ලබා දීම සිදු කළත් ඒ ඉඩම් ජනතාවට පරිහරණය කිරීමට නොහැකි බව ඔහු කියා සිටියේය. එසේ පවසන්නේ ජනතාවට බාරදුන් ඉඩම් වල බුදු මැදුරු, බුදු පිළිම හා බෝධීන් තිබෙන නිසාය.

යුද හමුදාව විසින් ඒවා ඉදිකොට වන්දනාමාන කළද ඔවුන් එම ස්ථාන වලින් යන විට ඒවා ඉවත් කිරීමට පියවර ගෙන නැත්තේ අහිංසක දෙමළ ජනතාව පිට විශාල වරදක් පැටවීමේ චේතනාවෙන් බවද රවිහරන් කියයි.

උතුරේ ඉඩම් හිමි කිසිවෙකුත් බෞද්ධයන් නොවන නිසා දකුණේ භික්ෂූන් වහන්සේත් පුරාවිද්‍යා නිලධාරීනුත් පැමිණ වහාම එම බුදු පිළිම, බුදු මැදුරු හා බෝධීන් ඉවත් කළ යුතු බව ඔහු පවසයි.

මේ ආගමික සංකේත තිබියදී එම ඉඩම්වල දෙමළ ජනතාව පදිංචි වී ජීවත් වීමට අකැමති බව දකුණේ සියලු දෙනා තේරුම් ගත යුතු බව රවිහරන්ගේ අදහසය.

ඔහුගේ මේ අතාර්කික කතාවට කිසිවෙකු අවධානය යොමු කර නැත. දැන් ඔහු සූදානම් වන්නේ ජනතාව ලවා මේ කාරණයට එරෙහිව දැවැන්ත විරෝධතාවක් ගොඩ නැඟීමටය. රවිහරන්ලාගේ විග්නේස්වරන්ලාගේ දේශපාලනය එසේය. ආණ්ඩුකාර ධූරන්ධර සුරේන් රාගවන්ට උතුරේ සංහිඳියාව සොයා යා යුතු වන්නේ එවැනි බාධක මැදය.

අදහස්