නිදහස පිළිබඳ සත්‍යවාදී හා යථාර්ථවාදී හෘදය විදාරණය | සිළුමිණ

නිදහස පිළිබඳ සත්‍යවාදී හා යථාර්ථවාදී හෘදය විදාරණය

ජගත් කීර්තියට පත් විශිෂ්ට නාට්‍යකරුවකු වූ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් වරක් ප්‍රකාශ කළේ ‘‘සත්‍යය සොයා ගැනීමට වඩා දුෂ්කර වන්නේ එය අනාවරණය කිරීම බව ය. එසේම වසන් කරන ලද සත්‍ය හා සත්‍ය සමඟ සිටින අය නිශ්චිත ව හඳුනා ගැනීම ද අභියෝගයක්” බව ය. බ්‍රෙෂ්ට්ගේ මේ ගාම්භීර ප්‍රකාශය අපට සිහිපත් වූයේ 71 වැනි නිදහස් ජාතික උලෙළේ දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා කරන ලද ප්‍රකාශයෙහි වූ යථාර්ථවාදී හා සත්‍යමය ජීවය සමඟ නැඟුණු සිතුවිලි නිසා ය. මෛත්‍රී ජනාධිපතිවරයා සිය කතාවෙන් මෙරටේ ජනතාවට ගෙවී ගිය දසක හතක සමාජ, දේශපාලන, ආර්ථික, සංස්කෘතික ක්ෂේත්‍රයන්හි යථා ස්වරූපය මෙන්ම, අද්‍යතන දේශපාලනයේ යථාර්ථය වෙත ද ප්‍රබල අවධානයක් යොමු කර තිබේ. නිදහස් මතක ආවර්ජනය මෙන්ම නූතන දේශපාලන භාවිතය පිළිබඳ ජනාධිපතිවරයාගේ විග්‍රහයට උඩින් පැන යෑමට හෝ එහි හරය නොතකා හැරීමට හෝ හෘදය සාක්ෂියක් සහිත කිසිවකුට ඉඩක් නැත. බ්‍රෙෂ්ට් කී පරිදිම සත්‍යය විනිශ්චය හා එය සෘජු ව හෙළි කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. දැනටමත් දේශපාලන ක්ෂේත්‍රයෙහි හරය නොතකා මතුපිටින් කෙරෙන විකට, නර්මාලාප ඇසෙයි.

ශ්‍රී ලංකාවේ නිදහස පිළිබඳ කෙරෙන එක් විවේචනයක් වන්නේ එය අරගලයකින් තොරව අපගේ ඔඩොක්කුවට වැටුණු දෙයක් බව ය. ඉන්දීය නිදහස් අරගලයේ රශ්මියෙන් යටත්විජිතවාදීන්ට ලංකාවට නිදහස ලබාදීමට සිදු වූ බව ද සමහරු කියති. එහෙත් මේ රටේ ජනතාව තුළ අධිරාජ්‍යවාදයට හා ආක්‍රමණවලට එරෙහිව විමුක්ති සටන් කිරීමට තරම් අධිෂ්ඨානයක් තිබුණු බව ද අප මතක තබා ගත යුතුය. 1815 හා 1848 විමුක්ති අරගල ඒ අභීත ජාතික විරෝධයේ සදානුස්මරණීය සිහිවටන බව නිසැක ය. කෙසේ හෝ 1948 දක්වා තිබුණු සමාජ දේශපාලන හා ආර්ථිකය නිදහස ලැබීමෙන් පසුව වුවද සාධනීය ලෙස වර්ධනය නොවූ බව අද අපට පිළිගැනීමට සිදුව තිබේ. ඉතිහාසඥයන්ගේ නිරීක්ෂණ අනුව මේ රටට එරෙහිව ආක්‍රමණ 21ක් සිදුවී ඇත. නිදහසින් පසුව 1971 තරුණ කැරැල්ල හා උතුරේ ප්‍රභාකරන් විසින් ආරම්භ කරන ලද තිස් අවුරුදු ත්‍රස්තවාදයත් අමතක කළ නොහැකිය. මේ කැරලි දෙක ම රටේ තරුණ ජීවිත දහස් ගණනින් විනාශ කළ බව රහසක් නොවේ.

මෙරටේ සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික ආදී සෑම ක්ෂේත්‍රයක් ම බරපතළ අර්බුදයකට තල්ලු කරන ලද්දේ ප්‍රභාකරන් විසින් දියත් කළ ඊළාම්වාදී ව්‍යාපාරය බව අපි දනිමු. මේ ත්‍රස්තවාදය සඳහා විවිධ විදේශීය බලවේගවල අනුබලය ලැබී තිබුණු අතර, එම ත්‍රස්තවාදී සටන පරාජය කිරීම සඳහා ප්‍රභාකරන් සමඟ සිටි දේශීය හා විදේශීය බලවේග ද විය. ජාතික නිදහස සුරැකීම සඳහා එ් ත්‍රස්තවාදය පරාජය කිරීම මෙරටේ සිදුවූ විශිෂ්ට හා ඓතිහාසික කාර්යභාරයක් බවද සිහිපත් කළ යුතුය. එහිලා දේශපාලන නායකත්වය දුන් රාජපක්ෂ පාලනය පිළිබඳ ව අදත් ජනමනස තුළ ඇත්තේ යහපත් චිත්‍රයකි. එහෙත් මේ ජයග්‍රහණයට එරෙහිව නොයෙක් දේශපාලන හා ආර්ථික කෙණෙහිලිකම් අදත් සිදු වේ. එයට එක් හේතුවක් වූයේ මෙරටේ ජාතික සටන්වලදී නොවූ ආකාරයේ විදේශ බලපෑම් හා නිරීක්ෂණ එ් ක්‍රියාවලියට එල්ල වීම ය. එහිදී බොහෝ විට අන්තර්ජාතික එකඟතා හා මානුෂික සම්මුතීන් ආරක්ෂා කිරීමේ වගකීමක් ද මෙරටේ ආණ්ඩුවට තිබුණි. ත්‍රස්තවාදීන් කෙබඳු කුරිරු හා සාහසික ක්‍රියාකාරකම්වල නිරත වුවත් එයට එරෙහි වූ ආරක්ෂක හමුදාවල දුබලතා හා ප්‍රතිචාර විවේචනය කරන පිරිසක් ද සිටිති.

මෛත්‍රී ජනාධිපතිවරයා සිය කතාවේදී ඒ සත්‍යයට සිය හෘදය සංවේදීත්වය මුසු කිරීමට තරම් එඩිතර විය. ඇතැම් ඇන්ජීඕ කාරයන්ට දිරවාගත නොහැකි රණවිරුවන් ගැන ජනාධිපතිවරයා මෙසේ සිහිපත් කරයි.

“1948 ට පෙර තිබූ ආක්‍රමණශීලී විදේශ බලවේගවලට වඩා වෙනත් මුහුණුවරකින් ඒවා දැන් පැමිණ තිබේ. තවදුරටත් නිදහස් දිනය සැමරුම යනු අප රටට ලෝක දේශපාලන සිතියම තුළ නිදහස් ස්වෛරී සහ ස්වාධිපත්‍ය සහිත රාජ්‍යයක් ලෙස නැඟී සිටීම සංකේතවත් කරන දිනය පමණක් ම නොවේ. එනම් නිදහස් දිනය සැමරීමේ මූලික අරමුණු අතරට රටේ නිදහස වෙනුවෙන් කැප වූ වෙහෙස වූ දිවි පිදූ ජාතික විරුවන් සහ යුද බිමේ දී දිවි පිදූ අතුරුදන් වූ සහ අභීතව සටන් කළ යුද විරුවන් සිහි කිරීම ඔවුන්ට ජාතියේ කෘතවේදිත්වය සහ ගෞරවය පිරිනැමීමට ද මම මෙය අවස්ථාවක් කර ගනිමි.”

සැබැවින් ම ලෝක දේශපාලනය තුළ නිදහස් ස්වෛරී සහ ස්වාධිපත්‍යයෙන් යුතු රටක් ලෙස නැඟී සිටීමට නොහැකි නම් නිදහස් සැමරුමක් හුදු ව්‍යාජයක් පමණි. ඒ නිදහස් සටන වෙනුවෙන් දිවි පිදූ අය වීරයෝ නොවෙත්ද? ජනාධිපතිවරයාගේ හැඟවීම වන්නේ භූමියේ නිදහස මෙන්ම මානව නිදහස ඔස්සේ නූතන යුගය විවෘත මනසකින් ප්‍රතිනිර්මාණය කළ යුතු බව ය. ගෙවී ගිය හැත්තෑ වසරක කාලය මුළුල්ලේ අපට එබඳු ජාතික දේශපාලන පදනමක් ස්ථිර ව දමා ගත නොහැකි වූ බව සත්‍යයකි. තිස් අවුරුදු යුද්ධය නිමවා ඉනික්බිතිව රටේ ජාතික සමගිය හා ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය සැලසුම් අපට නොමැතිවීම ගැන රටේ සියලු ම දේශපාලන නායකයන් වගකිව යුතු බව ජනාධිපතිවරයාගේ අදහස ය. ජාතික අභියෝග ජය ගැනීමට අපට නොහැකි වී තිබේ. මන්දගාමී ආර්ථිකයක් මැද හෙම්බත් වූ ජනතාවගේ මුහුණු අදත් අපි දකිමු. මේ ජනාධිපතිවරයාගේ අවධාරණයයි.

“30 අවුරුදු යුද්ධය අවසන් වී දශකයක් ගෙවී ගිය තැන ද රටේ සියලු දෙනාට එකඟ විය හැකි පූර්ණ දේශපාලන විසඳුමකට පැමිණීමට අපට නොහැකි වීම කනගාටුවට කරුණකි. හේතු කුමන ආකාරයේ වුවත්, වගකිව යුත්තන් කවුරුන් වුවත් අප රට සහ ජනතාව මීට දශක ගණනාවක සිටම අපේක්ෂා කළ ආර්ථික සංවර්ධනය රටට ළඟාකර දීමට දේශපාලන නායකයන් ලෙස අප සියලු දෙනා අසමත් වී ඇත. ආර්ථික සංවර්ධනය යන මාතෘකාව යටතේ අත්හදා බැලීම් කරමින් ඒ මඟින් වැරදි නිවැරදි කර ගනිමින් මන්දගාමී ආර්ථික ක්‍රියාවලියක නිරතවීමට තවදුරටත් රටේ ජනතාව සූදානම් නැත.”

සැබවින්ම 21 වන සියවසට උචිත දැක්මක් සහිත දේශපාලන සැලසුම් අපට තිබේද? රටේ භෞතික සංවර්ධනය හෝ නිසි සැලසුමකට සිදුවන බවක් කිව හැකිද? නායකත්වයක් යනු දේශපාලන කල්ලියක හෝ ගජ මිතුරු රැළක අභිලාෂයන්ට ඉඩ දී නිහඬ ව බලා සිටීම නොව රටේ ජීවත්වන සියලු පුරවැසියන්ට අර්ථවත් ජීවන පැවැත්මක් තහවුරු කිරීම බව නිසැක ය. දුප්පත් අසරණ ජන කොටස්, යුද්ධයෙන් පීඩිත වූවන්, වැන්දඹුවන්, ආබාධිතයන්, ළමයින්, කාන්තාවන්, ගොවියන්, ධීවරයන්, කම්කරුවන් ඇතුළු විවිධ කොටස් සූරා කෑමට, බන්ධනයට ලක්ව තිබේ නම් එහි බුද්ධිමය නිදහස නැති බවට ජනාධිපතිවරයා කරන විග්‍රහයට කිසිවකුට පිටුපෑ නොහැකිය.

ජනාධිපතිවරයා කරන ප්‍රබල අවධාරණයක් වන්නේ වාර්ගික අර්බුදයට තවමත් විසඳුමක් ලබාදීමට අප අසමත්ව සිටින බව ය. මේ රටේ ජනතාව හඳුනා ගැනීම මෙන්ම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂාවන් භාවිත කරන අයගේ පොදු අභිලාෂයන් ඉටු නොවීම අපේ ජාතික දුබලකම අනාවරණය කරන්නක් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ කනස්සල්ලෙන් හා වේදනාවෙන් ද යුතුව ය. ජනාධිපතිවරයා දක්වන ආකාරයට ම උතුරේ ජනතාවට යම් ප්‍රමාණයක හෝ අස්වැසිල්ලක් ලැබුණේ ගෙවී ගිය සිව්වසර තුළදී ය. ප්‍රභාකරන්ගේ තුවක්කු කට නිහඬ වීමෙන් පසු සිය ජීවිතය අලුතින් පටන් ගැනීමට උතුරේ ජනතාව බලා සිටි බව සහතිකය. එහෙත් එය දවසින් දවස ගිලිහී යන අපේක්ෂාවක් බවට පත්ව නොතිබේද?

උතුරේ දෙමළ නායකයන්ට පවා නොතේරෙන නොඑසේ නම් අවධානයෙන් ගිලිහී ගිය දෙමළ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ කෙරෙන යුක්ති සහගත විග්‍රහයක් පසුගිය දිනවල දෙමළ තරුණයකු විසින් සිදු කරනු ලැබ තිබුණි. ඒ දෙරණ රූපවාහිනී නාළිකාවේ සංවාදයකට එක්වූ සිද්ධාර්ථන් මෛත්‍රියන් නමැති තරුණයෙකි. දෙමළ බෞද්ධයකු බව කියන මේ තරුණයා ධම්මපදය දෙමළෙන් කියවූ, ලෝක දේශපාලන ප්‍රවණතා ගැන ද උනන්දු වන අයකු බව පැහැදිලි විය. ඔහු උතුරේ ප්‍රශ්නය ඇතැම් දේශපාලන නායකයන් විසින් නඩත්තු කරනු ලබන්නක් බවට ප්‍රබල චෝදනාවක් නඟයි. තවමත් උතුරේ කුල පීඩනය හා ආර්ථික දරිද්‍රතාව ගලා යයි. උතුරේ පොදු ජනයාගෙන් විතැන්ව යුරෝපයේ හා වෙනත් තැන්වල සිය දරුවන් සමඟ ජීවිත ගෙවමින් සිටි සමහර දෙමළ නායකයන්ට මේ තරුණයාගෙන් එල්ල වූයේ නිර්දය විවේචනයකි. මේ තරුණයා කළ තවත් අවධාරණයක් වූයේ ‘‘ආවා කල්ලියක් ලෙස හඳුන්වා හිංසාවට පීඩාවට පත් කරන්නේ අලුත් ජීවිතයක් ඉල්ලා සිටින උතුරේ තරුණයන්” බව ය. ඔහු සහතික කර කියන්නේ උතුර සන්සුන් වීම උතුරේ ජනතාව සුපුරුදු ජීවිත ඇරඹීම මේ දෙබිඩි දේශපාලන නායකයන්ගේ රැකියාවට බරපතළ අභියෝගයක් බව ය. ඒ දෙමළ නායකයන්ගෙන් බහුතරයක් උතුරේ ජනතා හද ගැස්ම හඳුනා නොගත් ව්‍යාජ පැලැන්තියක් බව ය. උතුරේ තරුණ තරුණියන්ට විනෝදාස්වාදය සඳහා අවකාශ නැති බවත් ආදරය වැනි මානුෂික අවස්ථා වර්ධනය කර ගැනීමටවත් පසුබිමක් නැති බවත් ඔහු කියා සිටියේ ය. උතුරේ තරුණයකු ලෙස තමන්ට ප්‍රථම වරට ප්‍රසිද්ධ මාධ්‍යයක සංවාද අවස්ථාවක් හිමි වුවත්, තමා ජීවත්වන උතුරේ මාධ්‍යයක් හෝ තරුණයන්ට අවස්ථාවක් ලබා දී නැති බවත් ඔහුගේ චෝදනාවක් විය.

මේ තරුණයාගේ පසුතැවිල්ල, චෝදනා, වේදනා සියල්ල සාවධාන ව ඇසීම වැදගත් බව අපට යෝජනා කළ හැකිය. ඇත්ත වශයෙන් ම උතුරේ බොහෝ දෙමළ නායකයන්ට මේ යථාර්ථය පිළිබඳ අවබෝධයක් නැති බව ඔවුන් විසින් කරනු ලබන ප්‍රකාශවලින් මෙන්ම දේශපාලන හැසිරීම්වලින් ද අපට පෙනේ. තම ජනතාව වෙනුවෙන් ස්වයංපාලනයක් ඉල්ලන අය මෙන්ම ජාතික එකඟතාවකින් යුතුව එකම රටක ජීවත්වීමට කැමැත්ත ප්‍රකාශ කරන අයගෙන් ද යම් බෙදීමක් දෙමළ සමාජය තුළ නිර්මාණය වී තිබේ. එහි වරද කොතැනද? ජාතික අභිලාෂයන් තහවුරු කරන ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බවට විවාදයක් නැත. එහෙත් මේ සඳහා පෙරමුණේ සිටින සිංහල හා දෙමළ නායකයන්ට ඒ පරමාර්ථයට වඩා වෙනස් දේශපාලන න්‍යාය පත්‍ර තිබෙන බවට ප්‍රබල චෝදනාවක් ඇත.

2015 ජනවරම අලුත් දේශපාලන ගමනකට රට යොමු කරවීමට පළ කළ එකඟතාවකි. එහෙත් එමඟින් ජනතා පැතුම් ඉටු කිරීමට තමන්ට නොහැකි වූයේ විවිධ කණ්ඩායම්වල දේශපාලන අරමුණු හා බාහිර බලවේගවල අතපෙවීම් නිසා බවද ජනාධිපතිවරයා කියා සිටියේ ය. එජාප - ශ්‍රීලනිප එක්ව පිහිටවූ යහපාලන ආණ්ඩුවට පොදු ජාතික සම්මුතියක් ගොඩනඟා ගැනීමට අසීරු වීම අප ලද බරපතළ පරාජයක් නොවේද? මේ පිළිබඳ ව ජනාධිපතිවරයා විසින් කරන ලද අනාවරණ ඇතැම් විට බල දේශපාලනය සඳහා ම පෙනී සිටින අයට අමිහිරි විය හැකිය. යහපාලන ආණ්ඩුව විසින් එකඟතාවකින් යුතුව සිදු කළ 19 වැනි සංශෝධනය මගින් වූ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඉතා වැදගත් ය. එහෙත් ඒවා තුළින් අද සිදුවන බොහෝ දේවල් පරස්පරවිරෝධී බව ද අපට පෙනේ. විශේෂයෙන් ව්‍යවස්ථාදායක සභාව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ව ජනාධිපතිවරයාගේ විවේචනය සාධාරණ එකකි. ජනාධිපතිවරයකුට තිබුණු බලය අඩු කිරීමේ අරමුණ වූයේ එමඟින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ශක්තිමත් කිරීම ය. එහෙත් අද එවැන්නක් සිදුවේද? යන ප්‍රශ්නය ජනතාවගේ මනසේ ද වේ. ස්වාධීන කොමිෂන් සභා පමණක් නොව මානව හිමිකම් ආයතනවල ක්‍රියාකාරිත්වය ද යහපත් නොවන බව ජනාධිපතිවරයා දක්වයි. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කෙරෙන විවේචන හා ඒ වෙනුවෙන් කෙරෙන මැදිහත්වීම් වුව ද ඒක පාර්ශ්වීය බව බොහෝ විට පෙනේ. මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී හිමිකමක් වන ඡන්ද අයිතියට සිදුවූයේ කුමක්ද? මේ ජනාධිපතිවරයාගේ අවධාරණය සදොස් යැයි කිව හැකිද?

“අපි පළාත් සභා පිහිටුවා වසර 30 කට වැඩියි. අද වාර්ෂික අය වැය යෝජනාවලින් පළාත් සභාවලට වෙන් කරන මුදලින් සංවර්ධනයට, ප්‍රාග්ධනයට වෙන් වන්නේ සියයට 15 ක් පමණයි. පුනරාවර්තන වියදම්, නඩත්තු වියදම් සියයට 85 ක්. මේව උඩු යටිකුරු කිරීමට අප වහා කටයුතු කළ යුතුයි. වසර එක හමාරකට ආසන්න කාලය තුළ පළාත් සභා මැතිවරණ නොපවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් ලෙසයි මා දකින්නේ. මේවා කතා කිරීමට අද එන්ජීඕ ඉදිරිපත් වන්නේ නැහැ.”

ජනාධිපතිවරයා සඳහන් කරන පරිදිම මැතිවරණ නොමැති ප්‍රජාතන්ත්‍රවාදයක් රටක තිබිය හැකිද? තිබිය යුතුද? ඇත්තට ම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වීදි බසින, මාධ්‍ය ආයතන වටලන, කිසිදු සංවිධානයක් මේ ප්‍රශ්නයට මැදිහත් වී නැත. රාජ්‍ය නොවන සංවිධාන ද එහිදී අකර්මණ්‍ය වී සිටියි. අපට එළඹිය හැකි නිගමනය කුමක්ද? ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් යනාදී සියල්ල තම පැවැත්මට අවශ්‍ය පරිදි ලඝු කර ගත් සටකපට පුද්ගලයන් අද මේ රටට විපතක් වී ඇති බව නොවේද? මහජන මතයට බියෙන් හිස සඟවා ගන්නා ප්‍රජාතන්ත්‍රවාදී විකටයන්ට අප රැවටී සිටින බව මින් නොපෙනේද?

අද මේ රටම ගිල ගත් බරපතළ විනාශයක් ලෙස මත් ජාවාරම හැඳින්විය හැකිය. මෛත්‍රී ජනාධිපතිවරයා ඒ ජාතික විපතින් රට මුදවා ගැනීමට දරන ප්‍රයත්නය හා එයට දෙන දායකත්වය ඔහුගේ දේශපාලන න්‍යාය පත්‍රයේ ද ප්‍රමුඛ අංගයකි. මත්කුඩු ජාවාරමුන්ට මරණ දඬුවම දිය යුතු බව අභීත ව කියන රාජ්‍ය නායකයා ද ඔහු ය. මත්කුඩුවලට ගොදුරු වී සිටින ගමත්, නගරයත්, ගැහැනුන් හා මිනිසුනුත් ඉන් මුදා ගැනීමට සාධනීය සැලසුම් ද ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරමින් සිටියි. එහෙත් කුඩු ජාවාරම්කරුවන්ට මරණ දඬුවම් දීමට එරෙහිව ඇතැම් ඇන්ජීඕ හඬ මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරීහු ද යුද වැදී සිටිති. මිනිස් ජීවිතයක අගය නිම නැත. එහෙත් එක් මිනිසකුට හෝ මිනිස් කණ්ඩායමකට හෝ රටේ පොදු යහපත විනාශ කිරීමට ඉඩ දිය යුතුද? ප්‍රභාකරන් වෙනුවෙන් පෙනී සිටි මානව හිමිකම් හඬ අද මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ජීවිතවලට රක්ෂණ ආවරණ ලබාදීමට විළියෙන් තොරව කැප වෙති. නීතිය හා යුක්තිය උදෙසා පෙනී සිටීම ශිෂ්ට අයිතියකි. එහෙත් නීතිය හෝ යුක්තිය යනු ජාතිභ්‍රෂ්ටයන්, කූට ජාවාරමුන් වෙනුවෙන් පෙනී සිටීම නොවන බව පමණක් කිව යුතුය.

මෛත්‍රී ජනාධිපතිවරයා සිය වියත් දෙසුමෙන් ජාතියට අවධාරණය කරන්නේ 70 වසරක නිදහස දෙස මතුපිටින් බලා ඔල්වරසන් දීම වෙනුවට එහි යථාර්ථය අධිවිනිශ්චය කළ යුතු බවය. දුගී බවින්, රෝගී බවින් මෙන්ම මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් ද සිටින දේශයක නිදහස අර්ථවත් කර ගන්නේ කෙසේද යන ප්‍රශ්නය වැදගත්ය.

“70 වසරක් තිස්සේ ශ්‍රී ලංකාව ගමන්ගත් මඟ අත්කොට දී ඇත්තේ නිසි තිරසර භෞතික හා මානව සංවර්ධනයක් නොවන බව දැන් අප පසක් කර ගනිමින් සිටිනවා. රටේ නිරපේක්ෂ දුගී භාවය සියයට 6.7 ක් ලෙස වාර්තා කෙරුණත් ජනගහනයෙන් සියයට 50 කට වැඩි ප්‍රතිශතයක් සාපේක්ෂ දිළිඳු බවෙන් පෙළෙනවා. මේ ජන කොටසේ දෛනික ආදායම රුපියල් 1000 ට අඩු බවක් පේනවා. කුඩා ළමයි සිව් දෙනෙකුගෙන් එක් අයෙක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. පහත වැටුණු අපගේ අපනයන ආදායම් වහා වැඩි කිරීමේ අවශ්‍යතාව ඔබ අප දන්නවා. ලෝකය ඩිජිටල් ආර්ථිකයට ගමන් කරමින් සිටින අවධියක අප තවම රටට අවැසි ඥානය ළඟා කර ගැනීමේ අරගලයේ එළිපත්තේ සිටින්නේ.”

සැබැවින්ම සංවර්ධනය යනු මහේශාක්‍ය ගොඩනැගිලි, අධිවේගී මාර්ග හෝ අනේකවිධ පාරිභෝගික භාණ්ඩ විකුණන වෙළෙඳ පොළවල් සුලබ කිරීම නොවේ. ආර්ථික ජාවාරම්කරුවන්ට අවශ්‍ය පරිදි නීති සකසා දීම ද නොවේ. අද ඉදිරිපත්වන ඇතැම් අණ පනත්වල අරමුණුවලට යටින් තිබෙන්නේ ගජ මිතුරන් රකින ප්‍රයෝග බවට චෝදනාවක් ද ඇත. රට පාලනය කිරීමට වඩා මිතුරන්, ඥාතීන් පිනවීම අද දේශපාලනයට කාවැදී තිබෙන රෝගයක් වැන්න. ගොවියකුට සාධාරණ වන්දියක් ගෙවීමට දාහක් දේවල් කියන ආණ්ඩුවලට තම ගජමිතුරන්ට දුන් මිලියන ගණන් වූ බැංකු ණය කපා දැමීම සුළු දෙයකි. තමන්ට අවනත නොවන නිලධාරීන් එ් තනතුරුවලින් ඉවත් කිරීමට ද දේශපාලන චරිත එඩිතර වී සිටිති. වෙන එකක් තබා රාජ්‍ය තාන්ත්‍රික පාස්පෝට් හිමි ඇතැම් අය බිහිසුණු පාතාලයන් ඇසුරු කරන බව ද කියති.

ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ කථාවේදී නූතන දේශපාලනය පිළිබඳ කළ අනාවරණ ද ඉතා වැදගත් ය. පාර්ලිමේන්තුව තුළ සිදුවූ මිරිස් කුඩු ප්‍රහාර මෙන්ම දේශපාලන විනය පිරිහීම ගැන ද එහි ප්‍රබල විවේචනයක් විය. අද දේශපාලනය බඩ වඩා ගැනීමට හා ගොඩවඩා ගැනීමට කැපවූ දූෂිත, වංචනික මෙහෙයුමක් බවට පත්ව තිබෙන බවට කෙරෙන චෝදනාව බරපතළ ය. ජනාධිපතිවරයා පවසන පරිදි ම අද අවංක දේශපාලනඥයන්ගේ හිඟයක් ඇත. දේශපාලනය, ව්‍යාපාරයක් බවට පිරිහී තිබෙන අතර එය මුග්ධ ලුම්පන් සමාජ ස්ථරවල අයගේ අශිෂ්ට මෙහෙයුමක් බවට ද පත්ව තිබේ. භීෂණය නැති කළත්, දූෂණය මැඩලිය නොහැකි වී තිබෙන්නේ මේ යථාර්ථයේ ය. මේ දේශපාලනඥයන්ගෙන් සමාජ යහපත අපේක්ෂා කිරීම ගින්නෙන් සිසිල පැතීමක් වැන්න. මේ අතර මේ දිනවල ආන්දෝලනාත්මක දේශපාලන මාතෘකාවක් බවට පත්ව තිබෙන ජාතික ආණ්ඩුවක් යළි ඇති කිරීම පිළිබඳව ජනාධිපතිවරයාගේ එකඟතාවක් නැති බව ද ප්‍රකාශ කර තිබේ. මේ ජාතික ආණ්ඩුව නීතියට පිටුපා කරන විජ්ජාවක් බව ජවිපෙ දැනට ම චෝදනා කරයි. දෙමළ ජාතික සන්ධානය ද එයට එකඟ නැති බව කියයි. මේ පක්ෂ දෙක ම එදා එජාපය සමඟ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි බව අපට මතක ය. එහෙත් අද ඔව්හු මේ ජාතික ආණ්ඩු අදහස ප්‍රතික්ෂේප කරති.

ජාතික ආණ්ඩුවක් රටට අවශ්‍ය ද? එසේනම් ඒ සඳහා පැහැදිලි හේතු සාධක තිබිය යුතුය. අද රට මුහුණ පා සිටින ණය බර, ආර්ථික අර්බුද වැනි කරුණු සැලකිල්ලට ගතහොත් මේ අවස්ථාව විශාල ඇමති මණ්ඩලයක් නඩත්තු කිරීමට සුදුසු නොවේ යන්න ඉතා සාධාරණ තර්කයකි. විශේෂයෙන් එජාපය සමඟ එබඳු ජාතික ආණ්ඩුවකට එක්ව ඇමති ධුර ලබා ගැනීමට තරම් සුවිශේෂ චරිත හෝ විශේෂඥ දැනුමක් හා වෘත්තීය නිපුණතාවලින් යුතු අය සිටිත් ද යන කාරණය ද වැදගත් ය. බැලූ බැල්මට පෙනී යන්නේ ඇමතිකමක් නොමැතිව සිටීමට අපහසු බලකාමී මානසිකත්වයකින් සිටින අයගේ ආරක්ෂාව ලබා ගැනීමට මේ ජාතික ආණ්ඩු යෝජනාව ඉදිරිපත් වන බව ය. ඒ පැත්තෙන් මේ පැත්තට පැන්න අයට කප්පමක් ගෙවීමට ආණ්ඩුව සැරසෙන බවට සමහරු චෝදනා කරති. ඒ සියල්ලට පිළිතුරු ලබා දීමත්, සියලු අරමුණ ජනහිත සඳහා බවත් තහවුරු කිරීම ආණ්ඩුවට තිබෙන වගකීමකි. අපට යෝජනා කළ හැක්කේ ද ජනාධිපතිවරයා සඳහන් කළ පරිදි ම “රටෙන් ඔබට සිදුවිය යුතු වගකීම් සහ යුතුකම් ගැන ප්‍රශ්න කිරීමට පෙර ඔබෙන් රටට සිදුවිය යුතු යුතුකම් ඉටු කිරීමට ද අදිටන් කරගත යුතුය” යන විශිෂ්ට අදහස දේශපාලනය කරන සියලු දෙනාගේම පරමාදර්ශය විය යුතු බව ය.

මෛත්‍රී ජනාධිපතිවරයා සිය විශිෂ්ට ආමන්ත්‍රණය අවසන් කරන්නේ මෙසේය.

“කිසි දා බෙදෙන්නේ නැති කිසිම දවසක බිඳින්න බැරි රටක් තුළ එක ම ධජයක් යටතේ එක ම දේශයක් හැටියට සියලුදෙනා ම එක හා සමාන ව ජීවත්වන්නට අවශ්‍ය පසුබිම අප සැකසිය යුතුයි. අප එකට සිටිය යුතුයි.”

මේ ලිපිය ආරම්භයේ දී සඳහන් කළ පරිදිම බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ සත්‍යය වෙනුවෙන් පෙනී සිටීමේ අධිෂ්ඨානය අද රට ගැන, හෙට ගැන සිතන 21 වැනි සියවසේ අපේක්ෂාව බවට පත්කර ගත හැකි නම් අප කාටත් සතුටු විය හැකි බව ද සඳහන් කරමු. දේශපාලන අන්තවාදය, අවිචාරය, ජාතිවාදී උමතුව, ආගම්වාදී වියරුව යනාදී සියලු රෝගවලින් මිදී සුවපත්, යහපත්, නැණවත්, ගුණවත් ජනතාවක්, පතිරූප දේශයක් ගොඩනඟා ගැනීමට සියල්ලෝ ම කැප විය යුතු වෙති යන මෛත්‍රී දැක්ම හෙට අපට හා අනාගතයට දක්වන දීප්තිමත් ආලෝකයක් බව ද අවසන් වශයෙන් සටහන් කළ යුතුය.

ඔද තෙද රැඳුණු අබිමන් එකමුතු දැයක

විඳ විඳ මිහිර යා යුතු ගමනක් මිසක

යදමින් බැඳේ නම් බලමුළුවල නොයෙක

නිදහස අකුරු හතරකි හිරවුණු පොතක

අදහස්