මේ හදන්නේ ඇමැතිකම් වැඩි කරගන්නයි | සිළුමිණ

මේ හදන්නේ ඇමැතිකම් වැඩි කරගන්නයි

ශ්‍රීලනිපය සහ පොදුජන පෙරමුණ අතර පුළුල් සන්ධානය අදටත් සාකච්ඡා මට්ටමේ නේද? තවමත් පොදු එකඟතාවක් ඇති කරගැනීමට නොහැකි වුණේ ඇයි?

ඉදිරි සතිය ඇතුළත ඒ සම්බන්ධයෙන් තීන්දුවකට පැමිණීමට බොහෝ විට ඉඩ-කඩ තිබෙනවා. ඇත්ත වශයෙන්ම පොදුජන පෙරමුණත් ශ්‍රීලනිපයත් අතර පොදු එකඟත්වයක් තිබිය යුතුයි කියන කාරණය දෙපාර්ශ්වයේම මතය වෙලා තිබෙනවා. අතිබහුතරයක් මන්ත්‍රීවරුන් මේ සන්ධානගත වීම සඳහා එකඟතාව පළ කර තිබෙනවා.

මේ පක්ෂ දෙකේම අයගෙ දේශපාලන ගමනේ ආරම්භය ශ්‍රීලනිපයයි. එවැනි මූලාරම්භයක් ඇති පිරිස් කවුරුත් කැමැති නැහැ යූඑන්පී ආණ්ඩුවක් යළි බිහිකිරීමේ පසුබිම හදන්න. ඒ නිසා මේ සන්ධානය අතිවිශාල පුළුල් සන්ධානයක් වන බව විශ්වාසයක් අපට තිබෙනවා. දැනට ඇති වී තිබෙන අහිතකර දේ මේ පක්ෂය දෙකඩ වීමයි. ඒ නිසා මේ තත්ත්වය යටතේ වෙනත් පාර්ශ්වයන්ට දේශපාලන වාසි අත් කරගැනීමට අප ඉඩ තැබිය යුතු නැති බව සියලු දෙනාගේම මතය වී තිබෙනවා.

සන්ධානගත වුණත් නැතත් මැතිවරණ ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා පොදුජන පෙරමුණේ ඇතැම් පිරිස් කියනවා...

මා හිතන්නේ මේ එජාපෙ ආණ්ඩුව පරාජය කිරීමට එජාප විරෝධි සියලු බලවේග එකතු විය යුතුයි.

ඇතැම් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ම කියනවා දෙපාර්ශ්වයේම ඒකමතිකත්වයක් ඇති ජනාධිපති අපේක්ෂකයකු පත් නොකරගත හොත් ඉදිරියේදී අර්බුදකාරි තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වන බව...

ඔව්, සන්ධානයක් හදලා වැඩක් නැහැ සමඟියෙන් තීන්දු-තීරණ ගන්න බැරි නම්. ජනාධිපති අපේක්ෂකයා තේරීමේදී ඔහු කව‍රකු වුවත් මේ රටේ ජනතාවගේ ප්‍රසාදය දිනාගත් පුද්ගලයෙක් විය යුතුයි. මෙහිදී ගැටුම් ඇති නොවන ආකාරයට තීන්දු-තීරණ ගැනීම සන්ධානයේ නායකත්වයේ වගකීමයි. මම හිතනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් ශ්‍රීලනිපයේ සහ පොදුජන පෙරමුණේ සියලු පාර්ශ්වවලට එකඟ වෙන්න පුළුවන් තීරණයක් ගනීවි කියලා.

ජනාධිපතිවරයා කැබිනට් යෝජනාවක් ගෙනාවා මැයි 31 දිනට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට. එහෙත් ආණ්ඩුව පවසනවා මුලින් පැවැත්විය යුතු වන්නේ ජනාධිපතිවරණයයි කියලා. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර ඇති මේ ගැටුමෙන් අහිමි වෙලා තිබෙන්නේ මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිතිය නේද?

මොන තර්ක-විතර්ක ගෙනාවත් ජනතාවගේ පරමාධිපත්‍ය බලය තමයි මේ නැති කරලා තිබෙන්නේ. ජනතාව මේ දෙවල් හැමදාම ඉවසන එකක් නැහැ. ඡන්දයක් ඉල්ලලා ජනතාව පාරට බහින දිනය වැඩි ඈතක් නැහැ. ඒ අනුව ක්‍රියා කිරීම ආණ්ඩුවේ වගකීම. බොරු හේතු හදාගෙන හැමදාම මේ විදිහට ඉන්න බැහැ. මේ මැතිවරණ පැවැත්වීම ප්‍රමාද කිරීම තුළ ජනතාව අතර මතයක් ගොඩනැඟිලා තිබෙනවා මේ ආණ්ඩුව ඡන්දයකට යන්න බයයි කියලා.

මැතිවරණ පවත්වන්න නිසි ක්‍රමවේදයක් තිබෙනවා. ඒ අනුව පළමුව පැවැත්විය යුතු වන්නේ පළාත් සභා මැතිවරණයයි. ඉන් අනතුරුවයි ජනාධිපතිවරණය. ඉන් අනතුරුව මහ මැතිවරණය.

ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ ජනාධිතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමයි. ජනාධිපතිවරණය ඊට පෙර පැවැත්වෙයි කියලා කවුරුත් බලාපොරොත්තු වන්න අවශ්‍ය නැහැ.

ඇතැම් දේශපාලන පක්ෂ සඳහන් කරනවා පළාත් සභා නව පනතේ අඩු-පාඩු රැසක් ඇති බව. මේ අඩු-පාඩු සකස් කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය අවශ්‍යයි. මේ සියලු කාරණාවලින් වන්නේ මැතිවරණය කල් යෑම නේද?

පරණ ක්‍රමයට හෝ අලුත් ක්‍රමයට හෝ ඡන්දයකට යෑමට මේ ආණ්ඩුව බයයි. ඒකයි මේ මැතිවරණ කල් යවන්නේ. අපි කියන්නේ මැතිවරණයක් පවත්වන්න කියලා. මේ තරම් ඡන්දවලට බව ආණ්ඩුවක් අපි දැකලා නැහැ. සියලු පක්ෂවල අනුමැතිය ලැබිලා තිබෙනවා පැරණි ක්‍රමයට ඡන්දය පවත්වන්න. පාර්ලිමේන්තුවේ පනතක් සම්මත වෙලා තිබෙනවා අලුත් ක්‍රමයට පවත්වන්න. සංශෝධන යෝජනාවක් ගෙනල්ලා අලුත් ක්‍රමයට මැතිවරණය ගෙන එන එක කල් දමලා, පරණ ඡන්ද ක්‍රමයට ඡන්දය පවත්වන්න මේ අයට පුළුවන්. බොරු දේවල් කියලා ඡන්දය කල් දානවා කියලා මේ රටේ බුද්ධිමත් ජනතාව දන්නවා.

පසුගිය දිනක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු ජාතික ආණ්ඩු යෝජනාව හකුළාගනු ලැබුවේ පරදින බව දැනගෙන කියලා විපක්ෂය කිව්වත්, ඇමැති මණ්ඩලය වැඩි කිරීමට වඩා ආණ්ඩුව ශක්තිමත් කරගැනීම අවශ්‍ය බව ආණ්ඩු පක්ෂය පවසනවා...

ඒක කතාවක් විතරයි. ඇත්ත වශයෙන්ම ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන තිබෙනවා. ඒ විධිවිධාන අනුව කටයුතු කිරීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ක්‍රියා කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණිව, එහි ඇති කරුණු විකෘති කරලා. දැනට බලයේ ඉන්න එජාපෙ ජාතික ආණ්ඩුවක් පිහිටුවනවා නම්, ඒ අය සමඟ තරග නොකරපු වෙනත් පක්ෂ සමඟයි එකතු වෙන්න අවශ්‍ය. එක් පක්ෂයක් නොවෙයි, පක්ෂ කිහිපයක් සමඟයි එකතු වෙන්න ඕනෑ.

එහෙම පක්ෂ කිහිපයක් තිබෙනවා: ශ්‍රීලනිපය තිබෙනවා, ඊළඟට ජවිපෙ සහ ටීඑන්ඒ. මේ අය මේ දේ කරන්න හදන්නේ මුස්ලිම් කොංග්‍රසයේ තනි මන්ත්‍රීවරයකු අල්ලගෙනයි. එය කරන්න පුළුවන් දෙයක් නොවෙයි. එය පිළිගැනෙන්නේ නැහැ. එක් මන්ත්‍රීවරයකු ඉන්න පක්ෂයක් අල්ලාගෙන ජාතික ආණ්ඩුවක් හදන්න හදනවා කියන්නේ සම්පූර්ණයෙන්ම ඇමැතිවරුන් වැඩි කරගැනීමට කරන උපක්‍රමයක්. ඒ අය බලාපොරොත්තු වන්නේ ආණ්ඩු ශක්තිමත් කරගන්න නොවෙයි. තිහට සීමා වී ඇති ඇමැති මණ්ඩලය හතළිස් අට දක්වා වැඩි කරන්නයි මේ අය මේ උපක්‍රමශීලිව කටයුතු කරන්නේ. ටීඑන්ඒ-එක කියනවා ඒ අය මේ සඳහා සහාය දෙන්නේ නැහැ කියලා. එජාපෙ ආණ්ඩු බලය රැඳිලා තිබෙන්නේ මේ ටීඑන්ඒ-එක නිසා.

ඒකාබද්ධ විපක්ෂය රට තුළ ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය කරමින්, එය රටේ ජන මතය බවට පත් කරන්න උත්සාහ කරනවා කියලා ආණ්ඩු පක්ෂය චෝදනා නඟනවා...

රටේ අනිසි දෙයක් වෙනවා නම් එයට විරුද්ධ වීම හා නීත්‍යනුකූල නොවන දෙයක් සිදු වනවා නම් ජනතාව දැනුවත් කිරීම විපක්ෂයේ කාර්යභාරය හා වගකීම. මේ වෙලාවේ ජාතික ආණ්ඩු යෝජනාවට ඉඩ දී බලා සිටියොත්: එය මේ රටේ ජනතාවට කරන අසාධාරණයක් වගේම විපක්ෂයේ කාර්යභාරය පැහැර හැරීමක් ලෙසයි මා දකින්නේ.

 

අදහස්