ඉවාන් දෙපළ වයිර බැඳගත් වග සහ හිමකබාය | සිළුමිණ

ඉවාන් දෙපළ වයිර බැඳගත් වග සහ හිමකබාය

‘ඉවාන් දෙපළ වයිර බැඳගත් වග සහ හිමකබාය’ යනු රුසියානු මහා ලේඛක නිකොලායි ගොගොල්ගේ (1809 - 1852) ඒ ඒ නම්වලින් යුතු කෙටිකතා දෙක මුල් රුසියන් කෘතිවලින් ගෙන සිංහලට අනුවර්තනය කොට සංග්‍රහ කොට ඇති කෘතියයි.

මේ කෘතිය ආරම්භයේ ගොගොල් පිළිබඳ හැඳින්වීමක් අනුවාදක විසින් ඇතුළත් කරනු ලබ ඇත. ඉන්ගත් උද්ධෘතයකි මේ:

‘ලියෝ තොල්ස්තෝයි, ප්යොදර් දොස්තයෙව්ස්කි, සල්තිකොෆ් ෂෙද්රින්, ඉවාන් තුර්ගේනිෆ්, ඇන්තන් චෙකොව්, මක්සීම් ගෝර්කි යන රුසියානු මහා ගත්කරුවෝ ගොගොල්ගේ යථාර්ථවාදී කලාත්මක රීතියෙන් ආභාසය ලබා රුසියානු සාහිත්‍ය කලාව පෝෂණය කළහ. දොස්තයෙව්ස්කි එය කැටි කොට දක්වන්නේ “අප සියලු දෙනා ම ගොගොල්ගේ හිම කබායෙන් එළියට ආවෙමු” කියා ය. නූතන සෝවියට් ලේඛකයෝ යථෝක්ත කලා සම්ප්‍රදාය තව දියුණු කරමින් බහුජාතික සෝවියට් සාහිත්‍යය පෝෂණය කරති. පුෂ්කින් හා ගොගොල් මූලාශ්‍රය කොට ගෙන පැනනැංග රැසියානු සාහිත්‍ය කලා උල්පත ලොව නන්දෙස කලා උල්පත් හා එක්වෙමින් මහා ගංගාවක් සෑදී අනවරතව ගලා බසිමින් මිනිස් සංහතියේ අධ්‍යාත්මය නමැති ලොව සරු සාර කරයි.

ගොගොල්ගේ උපහාසාත්මක කලා රීතිය තියුණු වුව ද, ඇතැම් විට නිර්දය වුව ද ඒ මිනිසා විඩම්බන සිනාවට හසු නොකරන සදය උපහාසයකි. බීඩලු ගලවාලා කෙසෙල්ගස්වල හරය නැති නියා දක්වන්නා සේ මිනිසුන්ගේ ව්‍යාජ හර පෙන්වා දෙන්නා වූ ද උතුම් සාර ධර්ම ජනිත කොට දක්වන්නා වූ ද උපහාසයකි ඒ.

සකාලික සූත්‍රයේ දැක්වෙන පරිදි “කවියා පපුවෙහි ඇනුණ උල ඇත්තෙකි; සැණෙකින් සැලෙන ළය ඇත්තෙකි; පීඩිත මිනිසුන් කෙරේ පතල දයාව ඇත්තෙකි; දැඩි ආත්ම සංයමය ඇත්තෙකි.”

ඇන්තන් චෙකොව් වරක් සඳහන් කළ පරිදි “නියම කවීහු කොහේදෝ යමින් තමන් කැටුව එන ලෙස අපට ද අඬගාති. ඔවුන් තුළ කිසියම් ජීවන දැක්මක් අර්ථයකට පැමිණීමක් ඇති බව සිතින් නොව මුළු අධ්‍යාත්මයෙන් ම අපට හැඟෙයි.”

එම පාඨ ද්වයෙන් සැබෑ කවියකුගේ ආධ්‍යාත්මික ගුණාංගයන් පළවෙති’යි සිතමි. නිකොලායි ගොගොල් එබඳු කවියෙකි’

මේ කෙටිකතා දෙකේ එන සිද්ධි සමාජ පරිසරය කෙසේවෙතත් ඒවායින් විග්‍රහ කෙරෙන මිනිස් චර්යා ඉන් වසර දෙසීයක් ගත වී ඇති අද දවසේ පවා අප රටේ සමාජයට අඩු වැඩි වශයෙන් ගැළපෙන බව ඒවා කියවා අවසන් කළ පසු හැඟේ.

ඉවාන් දෙපළ වයිර බැඳගත් වග නමින් යුත් යුත් කෙටිකතාවේ අසල්වාසීන් වන ඉවාන් ඉවානවිච් සහ ඉවාන් නිකිෆොරවිච් යන ඉවාන්ලා දෙන්නා තුළ අමනාපයක් ඇති වන්නේ ඉතා සුළු සිද්ධියක් පදනම් කැර ගනිමිනි.

ඔවුන් දෙදෙනා ම වංශවතුන් ය. ඇසුරු කරන්නේ එකම තරාතිරමේ අයයි. මේ දෙන්නා ගජ මිතුරන් ලෙස හඳුන්වා දෙනු ලැබ ඇතත් එය එසේ පෙනෙන්නේ මතුපිටින් පමණක් බව ඔවුන්ගේ චරිත විදාරණය කරන අයුරින් පැහැදිලි ය. එහෙත් අමනාපයක මූල බීජයක් රෝපණය වී වැඩී මහා වෛරයක් බවට පත්වෙයි.

ප්‍රදේශයේ සියලු වංශවත්තු ඔවුන් දෙදෙනා අතර සමාදානයක් ඇති කරන්නට උත්සාහ ගත්ත ද ඉවාන්ලා ඊට එකඟ නොවීම නිසා එය සිදු නොවෙයි. ඔවුහු අධිකරණයේ පිහිට පතති. දැන් දොළොස් අවුරුද්දක් ගත වෙලා ය. නඩුවේ තීන්දුව තමාට පක්‍ෂපාත ලෙස හෙට ලැබෙනු ඇත’යි දෙදෙනාම බලා හිඳිති.

හිම කබාය වඩාත් ප්‍රකට කෘතියයි. එය ලෝක සාහිත්‍යය කෙරේ ද මහත් බලපෑමක් ඇති කළ එකක් ලෙස පිළිගැනේ.

අකාකි අකාකියෙවිච් නම් දුප්පත්, අහිංසක පහළ ශ්‍රේණියක ලිපිකරුවෙක් වටා මේ කතාව ගෙතේ.

හිම කබායක් යනු රුසියානුවකුට නැතිව ම බැරි ඇඳුමකි. අකාකිගේ හිම කබාය දැන් හොඳට ම අබලන් වෙලා ය. ඒ නිසා අලුත් හිම කබායක් පාවිච්චියට ගන්නට දැන් කාලය එළඹ තිබේ.

නොකා නොබී ඉතිරි කැර ගත් මුදලින් ඇඳුම් මසන්නකුට පිංසෙණ්ඩු වී අඩු මුදලකින් ශීත ඍතුවේ දැඩි සීතයෙන් මිදීම පිණිස හිම කබායක් මස්සවා ගන්නා අයුරු එහි මුල දී කියැවිය හැකි ය.

එය හැඳ මුල්ම දිනයේ කාර්යාලයට යන අකාකි ප්‍රධානියකුගේ ඇරයුමක් නිසා රාත්‍රි සාදයකට ඉන් සැරසී යන්නේ මහත් ප්‍රමෝදයෙනි. පමා රැයේ සාදයෙන් පිටත්වන ඔහුට මග වැළහෙයි. මැරයෝ දෙදෙ‍ෙනක් ඔහුගේ කබාය කොල්ල කති. ඒ පිළිබඳව ඔහු කරන ලබන පැමිණලෙි කිසිදු ආයතනයක් විසින් ගණන් ගනු නොලැබේ. ප්‍රදේශයේ මහබලධාරියා ද නෑසූ කන්ව සිටියි. ශෝකයෙන් පීඩිතවන අකාකි උණකින් මියයයි. ඔහු මිය ගිය බව කාර්යාලයය දැන ගන්නේ දින කිහිපයක් ඉක්ම ගිය පසුව ය. අලුත් සේවයෙක් ඔහුගේ තැන ගනියි. මේ කෙටිකතා දෙකෙන් ම එකල රාජ්‍ය සේවයේ තත්ත්වය විවරණය කිරීම විශේෂයකි.

නිලධාරිවාදය ගැන සෝවියට් යුගයට චෝදනා එල්ලවන නමුත් පූර්ව සෝවියට් යුගයේ පවා එය තදින් ම තිබුණු බව ගොගොල් සමාජයට පෙන්වා දෙයි. මහේස්ත්‍රාත්ගේ කාර්යාලයයට නිකිෆොරවිච්ගේ පැමිණිල්ල පවා ප්‍රවේසම් කැර ගත නොහැකි ය. පැමිණිලි විභාග කොට තීන්දුවක් දෙන්නට වසර දහයක් ගත වුවත් නොහැකි වී තිබේ. අකාකිගේ කාර්යාලයය ගැන කෙරෙන විග්‍රහය අනුව පෙනී යන්නේ අහිංසක අවංක සේවකයකුට රාජ්‍ය සේවයේ ඇති තැනයි.

පද්ම හර්ෂ කුරණගේගේ කෘතියක් වන ‘ඉවාන්දෙපල වයිර බැඳගත් වග සහ හිම කබාය’ලේක්හවුස් ප්‍රකාශනයක් ලෙස 1991 වසරේ ප්‍රථමවරට මුද්‍රණයෙන් නිකුත් විය. මෙහි ඇත්තේ එහි පිට කවරයයි.

 
 

අදහස්