පොතක් ලිය­න්නට හත් වතා­වක් සිරි­පාදේ ගිය ලේඛ­කයා | සිළුමිණ

පොතක් ලිය­න්නට හත් වතා­වක් සිරි­පාදේ ගිය ලේඛ­කයා

 

සිය ලෞකික ආශා ප්‍රහීන කර වතුපිටිල හරකාබාන ඇතුළු දේපළ පවා අනෙකාට පවරා, අග්ගලා ගෙඩි සහිත "සැහැල්ලුව”ත් කරේ එල්ලාගෙන බැදි මං දිගේ රුහුණු රටේ සබරගමුවට ගොස් මහ හිමේට පිවිස දම්වැල් වල එල්ලී මහගිරිදඹය නැඟ සිරිපා වැඳි පැරැන්නෝත් - සුව පහසු වාහනයක නල්ලතන්නියට හෝ මරේ වත්තට ගොස් එතැන් සිට කෙටි පෙත්මඟක පහසුවෙන් සිරිපා කරුණා කර ආපසු එන නවීනයෝත් "සිරිපාදය” අරබයා පරම්පරා ගැටුමකින් තොරව පිළිගන්නා එක් සත්‍යයක් වෙයි. එනම් "එක් වාරයක්වත් සිරිපාදය නොවැඳීමත්- එක් වාරයකට වඩා වැඩි වාරයක් සිරිපා වැඳීමත් යන දෙකම අනුවණ කමක්” යන්නයි.

එහෙත් වේයන්ගොඩ නඟරයේ ප්‍රසිද්ධ ඡායාරූප ශාලාවක හිමිකරු වන, ඒ අපූරු මිනිසා එක් අරමුණක් වෙනුවෙන් මහ හිමය සිසාරා දුෂ්කර පෙත් මං දිඟේ ශ්‍රීපාදය වෙත අවස්ථා හතකදී ළඟාවී ඇත්තේ බොහෝ දෙනා අතර පරසිදු ඉහත කියමන අලුයම ලූ කෙළ පිඬක් ලෙස නොසළකා බැහැර කරමිනි.

"මගේ වෘත්තියත් එක්කල පුංචි ම හරි නිවාඩුවක් ලැබුණහම කැමරාවකුත් එල්ලගෙන ඇවිදින්න යන එක මගේ පුරුද්ද. ගොඩක් වෙලාවට රටේ නමගිය තැන් වෙනුවට එතරම් ප්‍රසිද්ධ නැති තැන් හොයාගෙන යන්න, ඒවාගේ ඡායාරූප ගන්න, විස්තර හොයන්න මම පුරුදු වෙලා හිටියා.”

මෙවර සිරිපා සමය ඇරඹුමත් සමඟ මට හමුවන විට ඔහු ගෙවමින් සිටියේ සිය ජීවන ගමනේ හැට හතර වෙනි වසරයි. එහෙත් තරුණයකු සේ කඩිසරව සිය ව්‍යාපාරයේ කටයුතු මෙහෙයවමින්, වරින් වර පැමිණෙන පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා අනුව විවිධාකාරයේ ඡායාරූප ගනිමින්, සිය කාර්ය මණ්ඩලයට මඟ පෙන්වමින් ගෙවෙන දවස අවිවේකී ය.

"මට උසස්පෙළින් විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණා. ඊට පස්සේ පෞද්ගලික ගුරු වෘත්තියෙන් ජීවිතය පටන් ගත්තා. කැමරාවට හිත ගියේ එතැනින් පස්සේ. ජීවිතය ගොඩනඟාගෙන එනකොට ලැබෙන හැම විවේකය ම යොදාගත්තේ ඇවිදින්න.”

"ඔහොම අවුරුදු දහයක් පහළොවක් ඇවිදින කොට මට නොදැනිම ලංකාව පුරා ගොඩක් තැන් වල ඡායාරූපත්, තොරතුරුත් මගේ ළඟ එකතු වෙලා තිබුණා. ඒ කාලේ රටේ තොටේ විස්තර හොයාගන්න වෙබ් අඩවි, ගූගල්, යූටියුබ් වගේ ඒවා තිබුණේ නෑ. පරණ පත්තර පොත් විතරයි තිබුණේ. මේ නිසා මේ විස්තර එකතු කරලා පොතක් කරන්න කියලා දන්න කියන අය මාව උනන්දු කළා.”

ඒ උනන්දු කිරීම සහස්‍රය එළැඹීමත් සමඟ මල්ඵල ගැනුනේ මෙරට සුවිශේෂී ස්ථාන පන්සියයකට අධික ස්ථාන ගැන විස්තර ඇතුළත් "සිරිලක ඇසු දුටු තැන්” කෘතිය එස්.පී.සරත් වීරසිංහ ගේ කර්තෘත්වයෙන් කළඑළි බැසීමත් සමඟ ය. ඉන්පසුවද ඔහුගේ හිතුවක්කාර හු‍ෙදකලා ගමන් බිමන් වලට නැවැතීමේ තිත තැබුණේ නැත. ඉස්පාසුවක් ලැබෙන හැම මොහොතකම සැඟවුණු ගමනාන්තයක අත්දැකීම් ලබන්නට ඔහුට හැකියාව ලැබිණි.

"මගේ තාත්තා වැඩකලේ රේල්ලුවේ. මම ඉපදුණේ වේයන්ගොඩදි. හැබැයි අපේ අම්මා රත්නපුරේ. ඉතින් පුංචි කාලේ ඇහෙන කතන්දර ගොන්නේ සිරිපාදේ ගැන කියවෙන කතන්දර, වගතුග විස්තර අඩු නැතිව තිබුණා. මේ නිසා සිරීපාදේ ගැන මගේ තිබුණු කුතූහලය වයසත් එක්ක වැඩිවුණා මිසෙක අඩුවුණේ නෑ.”

ඒ කුතූහලය නිසාම, 2003 වසරේ සිරිපා වාරය ඇරඹුමේදී 'ගල්පොත්තාවෙල රජමහා විහාරයේ” සිදුවෙන වත් පිළිවෙත් වල අයුරුව දැකගන්නට වුවමනාවක් සරත් වීරසිංහ මහතාට ඇතිවිණි. ඒ අරමුණ සඵල කර ගැනීමට උඳුවප් පෝයට පෙර දින අලුයම් යාමයේ ගල්පොත්තාවෙලට ළඟා වූ ඔහු එහි සිදුකෙරෙන වත් පිළිවෙත් දැක ගත්තේ ය.

'කලින් දවසේ රෑ කොළඹින් පිටවුණු මම පාරෙ බස් එකේ උදේ පාන්දරම ගල්පොත්තාවෙල පන්සලට ගියා. ඊට පස්සේ දෙවි හාමුදුරුවො වඩම්මන පෙරහැරේ යන නන්නාඳුනන වාහනේක නැඟල අවිස්සාවේල්ලල හැටන් හරහා නල්ලතන්නියට ගියා. එතැන ඉඳන් මහ රෑම ඒ පෙරහරේ සිරිපාදෙ නැංඟා.”

එක් සුවිශේෂී අත්දැකීමක් ලෙස හුදකලා සටහනකින් සීමා වන්නට ඉඩ තිබූ සිරිපා ගමනක කතාව පොතක් ලෙසින් එළි දක්වන සිතුවිල්ලක් වීරසිංහ මහතාට ඇතිවන්නේ දෙවි හාමුදුරුවන් වඩම්මන පෙරහැරේ සිරිපා කරුණා කරන අතරමඟදී ය.

'ඇත්තට ම ඒ වෙනකොට සමන් දෙවියෝ ගැන, සිරිපා පුද පූජා ගැන පර්යේෂණ ග්‍රන්ථ පළ වෙලා තිබුණා. ඒත් ප්‍රධාන පාරවල් තුනෙත්, අතුරු පාරවල් වලත් මං සලකුණු ගැන චාරිකා සටහන් එකතුවක් පළ වෙලා තිබුණේ නෑ. ඉතින් කන්ද නඟින මට එක පාරටම මේ විදිහෙ පොතක් පළ කරන්න ඕන කියල සිතුවිල්ලක් ආවා. හිතේ කොනකවත් නොතිබුණු අදහසක් රටතොට ඇවිදින මට ඉබේ ම ඔළුවට ආවෙ සමන් දෙවියන්ගේ ආශිර්වාදය නිසාද කියලත් අද හිතෙනවා. ”

ඉන් අනතුරුව යළි නිවෙසට පැමිණි ඔහු සිය අදහස තම චාරිකා සඳහා නිබඳ සහයෝගය දෙන, සහය සහභාගීත්වය ලබා දෙන මිතුරු කැල වෙත ඉදිරිපත් කළේය. හුදකලා චාරිකා වෙනුවට අරමුණක් සහිතව මහ හිමය ඔස්සේ වැටුණු වනගත පාරවල් දිගේ සිරිපා වඳින්නට යන්නට යෝජනා කෙරෙන මේ ගමනට ඔවුන් කැමැත්ත දුන්නේ දෙවරක් නොසිතා ම ය. එහෙත් වසරකුත් මාස පහක කාලයක් තුළ කෙරුණු මේ ගමන් බිමන් සඳහා ඒ සියලු දෙනා සහභාගී වූයේ වරින් වර ය. එහෙත් කිසිදු මොහොතක සරත් වීරසිංහ ව තනිව මහ හිමයේ යවන්නට ඔවුන් ඉඩ තැබුවේ නැත.

'මගේ ගමන් සගයන් අතරින් කෙනෙක් ගණකාධිකාරීවරයෙක්; අනෙක් කෙනා නීතිඥයෙක්; හමුදා නිලධාරියෙකුත් ඉන්නවා; ව්‍යාපාරිකයෝ දෙන්නෙක්; තව කෙනෙක් ඡායාරූප ශිල්පියෙක්. මේ වෙනකොට කණ්ඩායමේ සමහර සාමාජිකයන්ගේ වයස අවුරුදු හැත්තෑවක්. ඒත් අපි පහුගිය සතියෙත් හොරකැලේට ගිහින් ඇවිදලා, වැවකින් නාලා එහෙම ආවා.”

ඉන් අනතුරුව පොතක් ලිවීම වෙනුවෙන් වන සිරිපා බිම සම්බන්ධ වැදගත්කම් සොයා යමින් ඒ ආශ්‍රිත ග්‍රන්ථ පරීශිලනය කරන්නට සරත් වීරසිංහ මහතා උත්සුක විය. ජාතික පුස්තකාලයට වරින්වර ගිය ඔහු පැරණි පොත් පත් සඟරා ද විමර්ශනය කළේය. ඒ වෙනුවෙන් සහයෝගය දී ඇත්තේ කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ධූරය හෙබවූ සිරිනිමල් ලක්දුසිංහ මහතා ය. ලක්දුසිංහ මහතා ද වේයන්ගොඩ ම පදිංචිව සිටින සරත් වීරසිංහ මහතාගේ අසල්වැසියෙකි. සබරගමුවේ වැඩිහිටියන්, ස්වාමීන් වහන්සේලා සමඟ ද අදහස් හුවමාරු කර ගත්තේ ය. පැරණි රජ දරුවන් සමයේ සිරිපා බිම සමඟ කෙරුණු ගනුදෙනු, පුදපූජා, වත් පිළිවෙත් පිළිබඳ තොරතුරු සොයනු පිණිස 'මහාවංශයද” පරිශීලනය කළේ ය.

'නිකම්ම චාරිකා සටහනක් වෙනුවට විමර්ශනාත්මක සටහනක් පොතට ඇතුළත් කිරීම තමයි මගේ බලාපොරොත්තුව වුණේ. ඒ නිසා පතපොත වගේම ප්‍රදේශයේ ගැමියන් හමුවී කතා කිරීමත් මම අනිවාර්යයෙන් සිදු කළා. මගේ විද්‍යා අධ්‍යාපනයත් මේ තොරතුරු ගවේශනයේදී පිටුවහලක් වුණා. පරීක්ෂණය, නිරීක්ෂණය, නිගමනය කියන සංකල්ප මත පිහිටා තොරතුරු සෙවීම නිසා හැම තොරතුරක්ම සාධනීය විදියට නිවැරදි ව ම උකහා ගන්න හැකියාවක් මට ලැබුණා.”

සිරිපා පියුම වැඳගන්නට බැතිමතුන් උඩමළුවට පිවිසෙන ප්‍රධාන මාර්ග තුනකි. ඉන් දුර වැඩිම පාර කුරුවිට-එරත්න පාර ය. අසීරු ම මාර්ගය රත්නපුර පළාබද්දල, පාර ය. කුරුවිට පාර ඉඳිකටුපානේදී පළාබද්දල, මඟට එකතු වේ. පහසු ම ප්‍රධාන මාර්ගය හැටන් - නල්ලතන්නිය පාර ය. දුර කිලෝමීටර පහකට අඩු ය. අප්‍රකට පාරවල්වලින් පහසු ම මඟ වන්නේ මරේවත්ත පාර ය. හැටන් පාරේ මහගිරිදඹය පාමුලට වැටෙන ඒ මඟෙන් වන මං හුරු අයකුට පැයකට අඩු පා ගමනකින් සිරිපා මළුවට පිවිසිය හැකිය. අසීරු ම මාර්ගය රත් ගඟ- දෙහෙනකන්ද මාර්ගයයි. එය ඇහැළ කණුවේදී පළාබද්දල පාරට එකතු වේ. කුරුවිට පාරේ මැදහින්නේදී එකතු වෙන දැරණියගල-මාළිබොඩ මාර්ගය අඩුම ජනාකීර්ණත්වයක් සහිත අප්‍රකට මාර්ගයයි. සරත් වීරසිංහ මහතා මේ හැම මාර්ගයක ම සිරිපා කරුණා කොට ඒවායේ දි හමුවන ප්‍රධාන මං සලකුණු ගැන විස්තරාත්මක සටහන් සහිතව 'මුනි සිරිපා සිඹිමින්නේ” යනුවෙන් ගවේෂණාත්මක කෘතියක් එළිදක්වා ඇත්තේ 2005 වසරේ අගොස්තු මාසයේදී ය. පිටු 194කින් යුත් එහි පළමු මුද්‍රණය රුපියල් 350කට අලෙවි කොට ඇත්තේ කර්තෘ ප්‍රකාශනයක් ලෙස ය.

'හැම මාර්ගයම අසීරු වුණත් ගවේෂණය සඳහා සිරිපා නැංග අපිට කටුකම අත්දැකීම් වලට මුහුණ දෙන්න වුණේ දැරණියගල මාලිබොඩ පාරෙදි. මමත් යුද හමුදාවේ සරත් විජේසිංහත් විතරයි ඒ ගමනට ගියේ. උත්සව කාලෙ නිසා අනෙක් අයට විවේකය තිබුණේ නෑ. අපි මාළිබොඩල දික්ඇල්ලේ කන්දට ගියේ හවස එකට විතර. මඟ පෙන්වන්න සහායකයෙක් ගමෙන් ගන්න හිටියට, ඒ වෙලාවෙ මැදහින්නට යන්න කිසිම කෙනෙක් කැමැති වුණේ නෑ; හවස් වෙලා වැඩි නිසා. පාරේ හම්බුවෙන අන්තිම ගෙදරින් තේකක් එහෙම බීලා අපි හවස තුනට විතර ගමන පිටත් වුණා.”

කඳු නඟිමින් බසිමින් යා යුතු මාළිබොඩ මාර්ගය සැබෑ ම ගිරි දුර්ග මඟකි. ඊට අමතරව හමුවන ප්‍රධානම උවදුර වන්නේ කූඩැල්ලන් ය. පළමුවෙන් ම හමුවන පන්දෙණිය ගඟත්, මැදහින්නට පෙර අවසානයට හමුවෙන සීත ගඟුලත් අතර දොළ පහරවල් කිහිපයක් ද තරණය කළ යුතුය.

'ටික දුරක් යද්දි මහ වැස්ස. දොළ පාරවල් මඩ පාටට එනවා. මේ නිසා හිතුවට වඩා වැඩි වෙලාවකුත් ගියා. කොහොම හරි සීත ගඟුලට එද්දි රෑ වෙලා. සීත ගඟුලෙන් එගොඩ වෙන තැන එහා පැත්තෙන් පාරක් නෑ. එතැනදි පාර තියෙන්නේ ටිකක් ගඟ උඩහට වෙන්න. ඒක හොයාගෙන මැදහින්නට එද්දි, විදුලියත් නෑ. වාරෙ මුල් කාලෙ දාල තිබුණු කඩත් නෑ. අන්තිමේ විවේක ගත්තේ විදුලි බල මණ්ඩලේ උප ඩිපෝවක. ගඟේදි හරි පාර හොයාගන්න බැරි වුණා නම් අපි මහ රෑ අතරමං වෙනවා.”

පොතට අවශ්‍ය කරුණු ගොනු කිරීමෙන් පසු 2005 වසරේ සිරිපා වාරය හමාර වූ විගස ම මේ පොත එළිදක්වන්නට කටයුතු කළ වීරසිංහ මහතා එය පිළිගන්වා ඇත්තේ එවකට ශ්‍රීපාදස්ථානාධිපති හඳපාන්ගොඩ විමල නාහිමිපාණන්ටය.

ඒ මොහොතේ කුරුවිට පාරේ සිරිපා කරුණා කරන විට හමුවන මර උගුලක් ගැන කතුවරයා විමල හිමියන් දැනුම්වත් කළේ තමන් ලද අත්දැකීමක් මුල් කරගෙන ය.

කුරුවිට පාරේ සිරිපා නඟින විට වර්ණගලත්, බේරුමණ්ඩියත් අතර හමුවන සීත ගඟුල කුරුවිට ගඟේ ඉහත්තාවයි. එය පුළුල් ගංගාවකි. සාමාන්‍ය තත්ත්ව යටතේ නිසංසලව ගලා යන කුරුවිට ගඟ කෙටි වැස්සකදී දෙගොඩතළා යන්නේ මාරාවේශවය. එවිට වැසි අඩුවී පැය කිහිපයක් යනතුරු එක් ඉවුරකට වී සිටින්නට වන්දනාකරුවන්ට සිදු වේ. මේ නිසා, දෙපසම විශ්‍රාම ශාලා දෙකක් තනවා තිබේ. සමහර විටෙක වැසි අඩුවන තුරු දවසක් දෙකක් විශ්‍රාම ශාලාවල ගෙවන්නට මේ මාර්ගය භාවිත කරන්නන්ට සිදු වේ. අතීත නඩ වලට මේ ඉවසුම තිබුණ ද නවීන නඩ වලට මේ ඉවසුම අපහසුවකි.

'අපි කුරුවිට පාරේ ගවේෂණයට කරුණා කරද්දි හොඳට පැහැදිලිව තිබුණු කුරුවිට ගඟ ආපහු එද්දි මාරාවේශ වෙලා. පැය දෙක තුනක් අම්බලමට වෙලා ගත කරලා, එතැනින් පස්සේ ටිකක් වතුර අඩු වුණහම මෙගොඩ වෙන්න උත්සාහ කළා. ඒත් උත්සාහය අවදානම් බව තේරිලා පහු බැස්සා. හීනි කම්බියක් තමයි අල්ලගෙන එන්න තිබුණේ. ඊළඟ පාර එගොඩ වෙන්න යනකොටම කම්බිය කැඩුණා. ආයෙ පහු බැස්සා. පැය හයකට විතර පස්සේ තමයි එගොඩ වෙන්න පුළුවන් වුණේ. ඒ පැය හයට ම එතැන හිටිය එකම නඩේ අපි විතරයි. ගඟ මැදදි කම්බිය කැඩිලා ගහගෙන ගියානම් ඇසින් දකින සාක්ෂි එකක්වත් නැහැ. මේ අවදානම මම විමල හාමුදුරුවන්ට කිව්වා.”

එහෙත් ඒ ගැන අවධානය යොමු නොවූ නිසා, ඊට වසර කිහිපයකට පසු කුරුවිට පාරේ සීත ගඟුල තරණය කළ අම්බලන්ගොඩ නඩයක, ගැබිනියක ඇතුළු එකම පවුලේ තිදෙනකු හදිසි සැඩ පහරකට හසුව ගසාගෙන ගියේ සිරිපා වන්දනාවේ ඛේදවාචකයක සලකුණක් ඉතිරි කර තබමිනි.

'මේ පොතට මට හිතාගන්න බැරි තරම් ඉල්ලුමක් ලැබුණා. මහා සංස්කෘතිය ඇතු‍ළත එතෙක් ලේඛකයකු නොවුණු මට පාඨක විචාරක ප්‍රතිචාර ලැබෙන්න ගත්තා. රූපවාහිනී වැඩසටහන්වලට ආරාධනා ලැබුණා. ලේක්හවුස් එකේ කාංචනා අමිලානිත්, ලක්බිමේ තිලක් සේනාසිංහත් මඟේ වෑයම අගය කරමින් පුවත්පත් ලිපි ලිව්වා. ඒ ලැබුණු ප්‍රතිචාරවල පිටිවහල නිසා මම මේ වන කොට පොත් දහයකට වඩා එළි දැක්වූ ලේඛකයෙක්.”

'මුනි සිරිපා සිඹිමින්නේ” සිරිපා මාර්ග හයේ කතාව පොත මේ වන විට පිටපත් හාරදහසකට ආසන්න සංඛ්‍යාවක් පාඨකයා අතට පත්ව තිබේ. ආචාර්ය අත්තනායක එම්. හේරත් මහතාත් - දක්ෂ පරිවර්තකයකු වන සේනාරත්න වීරසිංහ මහතාත් තමාගේ උත්සාහය අගය කිරීම පිළිබඳ ව ආඩම්බර වන බව පවසන සරත් වීරසිංහ මහතා ජාතික තලයේ සම්මාන හිමි නොවුණ ද ලැබුණු මහජන ප්‍රසාදයත්, ප්‍රතිචාරයත් ගැන අවංකව ම සතුටු වන බව ප්‍රකාශ කළේය.

පසුකාලීන ව පළ කළ පාර, නුවර පාර දිගේ, අපේ වැව්නියාව, මීමුරේ සනුහරේ, මුතු ඇටය හැඬුදා ආදිය ද සරත් වීරසිංහයන් අතින් ලියැවුණු කදිම ගවේෂණාත්මක කෘති ය. ජංගම දුරකථනය දුලබ සමයෙක, එහි පිවිස නෙක නෙක යෙදුම් හරහා තොරතුරු ලබාගන්නට පහසුකම් නොමැති සමයෙක ලියවුණු මේ කෘති වල අන්තර්ගතය විශ්වකෝෂයක තරම් වටිනාකමකින් යුතුය.

සිළුමිණේ අපට ද ඔහුව මුණ ගැසෙන්නේ පසුගිය සතියෙන් ඇරඹුණු 'සමනොළ සිරිපා වරුණේ” ලිපි පෙළ වෙනුවෙන් වගතුග සොයා යද්දී ය.

'මම හොයාගත්තු දේ මහ සයුරෙන් ගත්තු දිය දෝතක් වගේ කුඩා ප්‍රමාණයක්. තව තවත් හොයා යනවා නම් සැඟවුණු බොහෝ තොරතුරු මතු කරගන්න පුළුවන් වේවි. අතීත තොරතුරුත්, මම හොයාගත්තු දේවලුත් පදනම් කරගෙන ආසාවක් කැපවීමක් තියෙන ඕනෑම කෙනකුට අලුත් දෙයක් හොයාගෙන යන්න පුළුවන් වේවි කියල හිතනවා.”

ගවේශකයකු යනු තමන් දකින දේට ඔබ්බෙන් සැඟවුණු දේ සොයා යන්නට සමතෙකි. හුදු වාර්තාකරුවකුගෙන් මිදී ගවේෂණයක යෙදෙන්නට නම් ඉවසීමත්, හු‍ෙදකලා විමර්ශනයට ඉඩකඩත්, මානසික නිදහසත් යන සියල්ලම වැදගත් ය. පවුල් බරත්, ව්‍යාපාරික කටයුතුත් අතර ඒ නිදහස ලැබෙන්නේ එහෙමත් අයකුට ය.

'හිටපු විදුහල්පතිනියක් විදිහට බිරියගෙනුත්, වැඩිවියට පැමිණි දියණියන්ගෙනුත් මගේ වැඩකටයුතු වලට ලැබෙන්නේ හොඳ සහයෝගයක්. මගේ කාර්ය මණ්ඩලයෙනුත් ඒ විදියෙම සහයෝගයක් ලැබෙනවා. මගේ සංචාරක කණ්ඩායමේ හිතමිතුරන් වුණත් බොහොම ළෙන්ගතුයි. එතැනින් එහාට මගේ අසල්වැසියනුත්, යාබද ව්‍යාපාරික ස්ථානවල ව්‍යාපාරිකයොත් මම ගවේශකයකු බව නොදැනීමත් මගේ ගවේෂණවලට ගෙනෙන්නේ හොඳ පිටුවහලක්. ඔවුන්ට මම ඔවුන්ගේ අනෙකා මිසෙක විශේෂිතයෙක් නොවෙයි.”

[email protected]

අදහස්