මව හා පියා ගැන බර්ග්මාන්ගේ දියණියගෙන් නවකතාවක් | Page 2 | සිළුමිණ

මව හා පියා ගැන බර්ග්මාන්ගේ දියණියගෙන් නවකතාවක්

ප්‍රකට නෝර්වේජියානු නිළියක වන ලිව් උල්මාන් (Liv ULLMANN) සහ සුප්‍රකට ස්වීඩන් ජාතික සිනමාකරුවකු වූ ඉන්ග්මාර් බර්ග්මාන් යන චරිත පාදක කරගෙන ඔවුන්ගේ දියණිය වන ලිව් උල්මාන් විසින් රචනා කරන ලද නවකතාවක් පසුගියදා ප්‍රකාශයට පත් විය.

නවකතා රචිකාවක මෙන්ම මාධ්‍යවේදිනියක ද වන ලින් උල්මාන් රචනා කළ හය වැනි නවකතාව මෙය වේ. නමින් එය 'අන්ක්වායට්' (Unquiet) වේ.

මෙයට පෙර පළව ඇති බර්ග්මාන් පිළිබඳ අපදාන සහ ලිව් උල්මාන් විසින් රචනා කරන ලද මතක සටහන් කෘති ඔස්සේ ඔවුන් දෙදෙනාගේ පවුල් සංස්ථාව පිළිබඳ තොරතුරු රැසක් හෙළිදරව් වී ඇති නමුදු , දියණිය විසින් රචිත මේ නවකතාව මඟින් තවත් රසවත් හා අප්‍රකට තොරතුරු රැසක් ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

විශේෂයෙන්ම කුඩා දැරියක ලෙස ලින් සිය මවුපියන් සමඟ එකල ගත කළ පවුල් ජීවිතයේ අපූර්වත්වය දුටු අයුරු ප්‍රබන්ධයක් ස්වරූපයෙන් ඉදිරිපත් කිරීමට දරා ඇති උත්සාහය සාර්ථක වී ඇති බව විචාරකයන් පවසයි.


වර්ජිනියා වුල්ෆ්ගේ 137 වැනි ජන්ම සංවත්සරය

විශ්ව සාහිත්‍යයට කැපී පෙනෙන නිර්මාණ දායකත්වයක් සැපයූ වර්ජිනියා වුල්ෆ් නමැති ලෝ ප්‍රකට ලේඛිකාවගේ 137 වැනි ජන්ම සංවත්සරය පසුගිය ජනවාරි 25 වැනිදාට යෙදී තිබිණි. ලොව පුරා විවිධ රටවල් ඇය වෙනුවෙන් උත්සව, දේශන සහ වැඩමුළු රැසක් පවත්වා ඇති බව වාර්තා වේ. මෙයට වසර ගණනාවකට පෙර ඇය මෙලොවින් සමුගෙන ගිය නමුදු ඇයගේ සුවිශේෂී නිර්මාණ ප්‍රතිභාව ඔස්සේ විශ්ව සාහිත්‍යයට ඇගෙන් සිදුවූ සුවිශේෂී මෙහෙවර අගයමින් අදටත් මෙවැනි සැමරුම් උත්සව ලොව පුරා පැවැත්වෙන්නේ ඇයගේ කෘති මෙන්ම ඇය ද සුවිශේෂ වන නිසා ය. ලංකාවේ පාඨකයන් අතර ඉහළ පිළිගැනීමට ලක්ව ඇති 'බද්දේගම' නමැති පරිවර්තිත නවකතාවේ මුල් කෘතිය වන 'ද විලේජ් ඉන් ද ජන්ගල් ' රචනා කළ ලෙනාර්ඩ් වුල්ෆ් නමැති ඉංග්‍රීසි ලේඛකයාගේ බිරිය ලෙස ද ඇය මෙරට ඇතැම් පිරිස් අතර අවධානයට පාත්‍රව සිටියි. විශ්ව සාහි්‍යය ප්‍රජාව අතර වර්ජිනියා වුල්ෆ් යන නමින් වඩාත් ප්‍රචලිතව සිටි ඇය විසිවැනි සියවසේ බිහිවූ ප්‍රමුඛතම නුතනවාදී ලේඛිකාවක් ලෙස සැලකේ. දෙවැනි ලෝක යුද සමයේදී ලන්ඩන් නුවර සාහිත්‍යය සමාජය තුළ විශේෂ අවධානයට පාත්‍රවූ ලේඛිකාවක ලෙස ද ඇය සැලකෙයි. විශ්ව සාහිත්‍යයේ ඉහළ ම අවධානයට පාත්‍ර වූ නවකතා, රචනා සහ විචාර ලිපි රැසක් ඇය අතින් රචනා වී තිබේ.


සැමුවෙල් බෙකට් නොබෙල් ත්‍යාගයට නුසුදුසු වී ද?

අයර්ලන්ත නාට්‍ය රචක සැමුවෙල් බෙකට් (Samuel Beckett) 1969 වසරේදී නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලබා ඇත.

නමුත් එයට වසරකට පෙර නොබෙල් ජූරි කමිටුවේ ඇතැම් සාමාජිකයන් විසින් ඔහු නොබෙල් සාහිත්‍ය ත්‍යාගය සඳහා සුදුසුදැයි ප්‍රශ්න කර තිබෙන බව වාර්තා වේ.

සෑම වසරකම නොබෙල් ත්‍යාගලාභියා තෝරා ගැනීමෙන් පසුව ඒ පිළිබඳ සමීක්ෂණ තොරතුරු වසර 50ක් යනතුරු ප්‍රසිද්ධ කරන්නේ නැත. එහෙත් 1968 වසරට එම සම්මානය පිරිනමා වසර 50ක් සම්පුර්ණ වී ඇති නිසා මෑතකදී ඒ ගැන සැබෑ තොරතුරු හෙළිදරවු කර ඇත.

ඊට අනුව නොබෙල් ජූරි කමිටුවේ සභාපති ඇන්ඩර්ස් ඕස්ටර්ලින්ග් විසින් ඉතා පැහැදිලිව සැමුවෙල් බෙකට්ගේ සාහිත්‍ය කෘති වල ප්‍රමිතිය ගැන සැක පහළ කර සටහනක් ලියා තිබේ.

ඒ වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය සඳහා ප්‍රංස නවකතා රචක ආන්ද්‍රේ මැල්රෝ , බ්‍රිතාන්‍ය ජාතික කවියකු වන ඩබ්ලිව්. එච්. ඕඩ්න් සහ ජපන් ජාතික නවකතා රචක යසුනරි කවබතා යන තවත් විශිෂ්ට ලේඛකයන් ද නිර්දේශ වී තිබුණි.


ජොයිස් කැරල් ඕටිස්ට ජෙරුසලම් සාහිත්‍ය ත්‍යාගය

ප්‍රකට අමෙරිකානු ලේඛිකා ජොයිස් කැරල් ඕට්ස් (Joyce Carol Oates) මේ වසරේ ජෙරුසලම් සාහිත්‍ය ත්‍යාගයෙන් පිදුම් ලැබීමට නියමිත බව පසුගියදා ප්‍රකාශයට පත් කෙරැණි. ලොව පුරා ඉංගී‍්‍රසි බසින් සාහිත්‍යකරණයේ නියැළෙන ලේඛක ලේඛිකාවන් සඳහා වසර දෙකකට වරක් බැගින් පිරිනැමෙන ඉහළම ඇගයීමක් ලෙස සැලකෙන මේ ත්‍යාගය එළඹෙන මැයි මාසයේ පැවැත්වෙන අන්තර්ජාතික පොත් සල්පිළේ සමාරම්භක උත්සවයේදී ජෙරුසලමේ නගරාධිපති මෝෂෙ ලයන් විසින් ඇයට පිරිනැමීමට නියමිතයි. දැනට 80 හැවිරිදි වියේ පසු වන මේ ලේඛිකාව විසින් සාහිත්‍යයට ලබා දෙන ලද විශිෂ්ට දායකත්වය අගයමින් මෙවර මේ ත්‍යාගය ඇයට පිරිනැමීමට තීරණය කළ බවයි, ජෙරුසලම් අන්තර්ජාතික ග්‍රන්ථ මණ්ඩලය පවසන්නේ.

දශක පහකට අධික කාලයක් පුරා සාහිත්‍ය නිර්මාණකරණයෙහි නියැළී සිටිමින් ඇය රචනා කළ “වී වර් ද මල්වානීස්’ (We Were the Mulvaneys) ‘බ්ලොන්ඩේ’ (Blonde) ‘දි අකර්ස්ඩ්’ (The Accursed) ඇතුළු කෘති රැසක් මේ ත්‍යාගය සඳහා සැලකිල්ලට ගෙන තිබේ. 

Comments