මළ යකා අන්තිමේදී මිනිහෙක් වුණා! | සිළුමිණ

මළ යකා අන්තිමේදී මිනිහෙක් වුණා!

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ 'මඩොල් දූව' කෘතිය ගැන කෙරෙන විමර්ශනාත්මක විශ්ලේෂණය

“අඹ හා කජු කෑමට රැස් වුණු ගිරවුන් හා වවුලන්ද නඟන හඩ දෙකන් හිරිගන්වන්නක් විය. කෑරලකු හැඬූ හඬ, මට ඇසුණේ කැලේ සැඟවී සිටි මට සරදම් කරනු පිණිස සිනාසෙන මිනිසකු නඟන හඬක් ලෙසිනි. මා ආපසු යන්ට හැරෙත්ම බොහෝ ඈත සිටි මිනිසකු කාරන හඬ වැනි හඬක් මට ඇසිණ. නැවතී කන් දුන් නමුත්, ඒ හඬ යළිත් මට නෑසිණ. මමද දෙතුන් වරක් කාරා කෙළ ගසා ‘කවුද?’ යි ඇසීමි. මිනිත්තු පහක් පමණ කන් දීගෙන සිටි නමුත් මට අමුතු හඬක් නෑසිණ. යම් කිසි සතකුගේ හඬක් විය යුතු යයි සිතූ මා ආපසු ගමන් කෙළේ, යළිත් දූපතට එන අදහස ඇතිවය. මා අවුලා ගත් පොල් ගෙඩි දෙක ඔරුවෙහි දමා ඔරුවට නැඟ එගොඩ බලා ඔරුව පැදවූයෙමි.”

මේ සිද්ධියෙන් අනතුරුව, පිළියම් කරගත් ඔරුවකින් මඩොල් දූවට පැමිණෙන උපාලි සහ ජින්නා, එහි වූ ගල් ගුහාවක් සුද්ද කොට එහි පදිංචි වෙති. එතැන් සිට ඔවුන‍්ගේ නිවහන මඩොල් දූවය. දූවෙන් එපිට ගොඩබිමෙහි වෙසෙන පොඩි ගමරාල, ඔවුන්ගේ එකම හිතේසිවන්තයාය. ගිනිවැල්ලෙ, තමාගේත් ජින්නාගේත් ම‍ඩොල් දූවේ ජීවිතයෙන් බින්දු මාත්‍රයක් විස්තර කරන්නේ මෙසේය.

“මේ වර පොඩි ගමරාලගෙන් ඉල්ලාගෙන ආ බණ්ඩක්කා, වැටකොළු, පතෝල ආදී ඇට වර්ග, පාත්ති කපා එදින හවස ඉන්දන ලද්දේ ජින්නා විසිනි.

“කිතුල් පිත්තක් කපා එයින් බිලි පිත්ත සාදාගෙන තන්ගුස් පට එහි බැඳ මාළු බානු පිණිස මම එදින හවස ගං ඉවුර අසලට ගොස් ගලක් උඩට නැංගෙමි. ජින්නාද ටික වේලාවකින් ඇවිත් ගල උඩට නැඟී මා මාළු බානු බලා සිටියේය. මම ගොම්බටයන් තුන් දෙනකුද ලොකු ඉරිබටයකුද කොරලියකුද බෑවෙමි. ජින්නා මාළුවන් පස්දෙසා හම ගසා කපා හොද්දක් ඉවුවේය. අප එදා රෑ බත් කෑවේ ඒ මාළු හොද්දත් සමඟ ය.

“මඩොල් දූවෙහි අප වාසය කළ පැත්ත ක්‍රමයෙන් එළිමහන් පෙදෙසක් වත්ම බතල, මයියොක්කා, එළවළු ආදිය වවන ලද හේන ක්‍රමයෙන් විශාල විය. අප වැහි කාලය බලා පොල් පැළ විස්සක්ද කෙසෙල් ගස් පහළොවක්ද මයියොක්කා හේනට පහළින් පිහිටි ඕවිටෙහි ඉන්දුවෙමු.

“පොඩි ගමරාල සති තුනහතරකට වරක් පැමිණ, අපේ හේන බලා සන්තෝෂ වී අපට ප්‍රශංසා කරයි. ඔහු සමහර දවසක රැය අප සමඟ ගල් ගුහාවෙහි ගත කෙළේය. ඔහු අප මාළු බානු දුටු හැම වැරයෙහිම ‘පව් වැඩක්’ යයි කීවේය.

මේ අතර ජින්නාට නයෙක් දෂ්ට කරයි. පොඩි ගමරාලනේ ලැබී තිබුණු පතරොම් තුවක්කුව අතට ගන්නා ගිනිවැල්ලෙ, නයාගේ පෙණ ගොබයට එල්ල කරයි. එහෙත් ජින්නා ඔහු වළක්වමින් මෙසේ කියයි.

“නයි මරන එක බොහොම නරකයි. වයිර බැඳ ගන්නවා. නයෙක් මැරුවම පරම්පරාවක් පල දෙනවා. ඊටත් වැඩිය ඌ නයෙක් නෙවි හැපින්නක්.”

“වයිර බැඳගන්නා නිසා නොවෙන්නම් මරා දමන්න ඕනෑ.”

“එහෙම කියන්න එපා. නයෙක් මරාල පවුලක් එහෙමම විනාශ වෙලා තියෙනවා.”

ජින්නා කියන්නේ, මේ හැපින්න ඇවිත් ඇත්තේ ගිනිවැල්ලෙට තියෙන ආදරේ නිසා බව ය.

‘මට මොකටද හැපින්නෙක් ආදරේ වෙන්නේ? ඇයි මිනිහෝ, හැපින්න ආදරේ වෙන්න ඕනැ නයකුට, මම නයෙක් ය?’ උපාලි කියයි.

‘හෙම කියන්න එපා’ යි ජින්නා මහදැනමුත්තකු ලෙස කියයි. මහත්තයලයි අම්ම, මහත්තයට ආද‍ෙර්ට ඇවිල්ල තියෙනවා. මට දෂ්ට කරලා තියෙන්නේ, මහත්තයා මෙහාට එක්ක ආවාට තරහෙන් - මට බය ගන්නන්න. නැති නම් මගේ අතට හරියට ගහන්න බැරිකමට නෙවි, යන්තම් වදින්න ගහල තියෙන්නේ.’

නයාගේ පහර, ජින්නාගේ අතට හරියට වැදී නැත. කෙසෙල්බඩ ඉස්ම පොවා ඔහු සුවපත් කරන්නට උපාලි සමත් වෙයි.

උපාලිත් ජින්නාත් එකතුව මඩොල්දූවේ විශාල පෙදෙක් ගොවිතැන් කරති. මයියොක්කා ද, බතල ද, කෙසෙල් ද, නොයෙක් වර්ගයේ එළවළු ද වගා කරන ඔවුන්ගේ බෝග, ඔරුවෙන් ගෙනැවිත් කඩපොළේ අලෙවි කරති. අල බතලත් එළවළුත් කෙසෙල් කැනුත් අඹ හා කජුත් එගොඩ ගෙන ගොස් විකුණා මුදල් කිරීම නිසා, ඔවුන්ගේ දූපත ගැන ගැමියෝ බෙහෙවින් කතාබහ කළහ. ‘මඩොල් දූවේ බතල’, ‘මඩොල් දූවේ එළවළු’ ආදී වශයෙන් ඔවුන්ගේ අල බතල ද, එළවළු ආදිය ද ගැමියන් අතර ජනප්‍රියව ගියේය. මේ අතවාරයේදී ඔවුන්ගේ හිතේසිවන්ත පොඩි ගමරාල පමණක් නොව, වෙනත් බොහෝ ගැමියෝද මඩොල් දූවට යන්ට එන්ට වූහ. ඇතැම් දවසක කොළඹින් පැමිණි ගැහැනු මිනිස්සු ඔයෙහි යාත්‍රා කිරීමෙන් ද මාළු බෑමෙන් ද සන්තෝෂ වී, දහවල් කෑම සඳහා මඩොල් දූවට ගොඩ බටහ. වරක් ගාල්ලේ පෙරකදෝරුවකුත් ඔහුගේ බිරිය සහ දුවත් පුතාත්, පොඩි ගමරාල සමඟ මඩොල්දූවට පැමිණියහ. උපාලි සහ ජින්නා බත් උයා මයියොක්කා තම්බා පොල් සම්බෝල හදා කුම්බලා කරවල උයා ඔවුන්ට සංග්‍රහ කළහ. පිරිස පිටව යන්නේ, සිය මඩොල් දූවේ මිතුරන් දෙදෙනාට ගාල්ලට එන්නැයි ආරාධනා කරමිනි. තමන් ඊළඟ නිවාඩුවට නොවරදවාම මඩොල් දූවට එන බව ළමයි කියති.

“අපි ලබන නිවාඩුවට ආවාම ගිනිවැල්ලෙට ඉංගිරිසි උගන්වනවා” යි පිරිමි ළමයා කීය.

“මම ඉංගිරිසි දෙවෙනි පොත කියවා තියෙනවා” උපාලි පිළිවදන් දෙයි.

“ඔහෝ! එහෙනම් ඉක්මනටම ඉංගිරිසි ඉගෙනගන්න පුළුවනි. ලෙහෙසියෙන් තේරුම්ගන්න පුළුවන් පොත් දෙකක් උපාලිට අපි එවන්නම්. අපි අනික් පාර එන්න ඉස්සර, ඒ පොත් කියවා තව ටිකක් දුර ඉංගිරිසි ඉගෙනගන්න පුළුවනි” යි ළමයි කියති.

මේ අතරවාරයේදී, ආණ්ඩුවේ අවසර නැතිව මඩොල්දූව වගා කිරීම ගැන විමසන්ට ගම්මුලාදෑනියාත් ආණ්ඩුවේ නිලධාරියකුත් දූවට පැමිණෙති. ඔවුන් එන්නේ පොඩි ගමරාලද කැටුවය. ගම්මුලාදෑනියාගේ කීම පිට, මේ ගැටවුන් දෙදෙනා වගා කළ දූවේ ඉඩම් බද්දට ගන්ට, ඇතැම් අය ඉදිරිපත්ව සිටින බැව් හෙළිදරව් වෙයි.

තමා, මඩොල් දූව නීතියට අනුව බදු ගත් අයුරු, ගිනිවැල්ලේ පහදා දෙන්නේ මෙසේය.

“පසුදා මා පොඩි ගමරාල සමඟ ගාල්ලට ගොස් පළමු ව ගියේ, අපේ යහළු පෙරකදෝරු මහතා හමු වීමට ය. ඔහුත් ඔහුගේ නෝනාත් අපට හොඳින් සංග්‍රහ කළෝය. අපට අනුකම්පා කළ පෙරකදෝරු මහතා, අපත් සමඟ කච්චේරියට ගොස් මඩොල් දූව බැලීමට පැමිණි නිලධාරියා සමඟ පළමුව ද, ආණ්ඩුවේ ඒජන්ත සමඟ අනතුරුව ද, අප වෙනුවෙන් කතා කෙළේය. ඉල්ලුම්කාරයන් කිහිපදෙනකුත් සිටින නමුත්, ඒජන්ත මහතා මඩොල් දූව අපට ම බාර දීමට කැමති විය. මම මඩොල් දූවට අවුරුද්දකට රුපියල් විසි පහ බැගින් ගෙවීමට බැඳී, පසුගිය කාලයටත් ඉදිරියට අවුරුද්දකටත් මුදල් කච්චේරියට බැන්දෙමි.

“හවස් වරුවේ අප පෙරකදෝරු මහත්මයාගේ ගෙදරට ගිය විට පාසැලෙන් ඇවිත් සිටි ළමයි දෙන්නා මට සංග්‍රහ කොට මාත් කැටුව කොටු තාප්පය උඩ ඇවිදීමට ගියෝය. කොටුවේ පහන් කනුවද ලොකු හෝටලයක් ද රේස් පිටියද අනතුරුව උසාවියද ඔවුහු මට පෙන්නුවෝය.”

මෙහි වාසයට පැමිණි දිනවල සිටම ගිනිවැල්ලෙටත් ජින්නාටත් දූපතේ එහා පැත්තේ ඉහළ පහළ යන එළියක් දැකගන්ට ලැබුණි. ‍ෙම් එළිය එහි සැඟවී සිටින මිනිහකුගේ තතු හෙළි කරන ඇවිදින ගින්නකි. මේ දෙදෙනාගේ ඊළඟ වික්‍රමය ඒ මිනිහා ගැන සොයා බැලීමය. මුහුණ පුරා රැවුළ වැවුණු මිනිහෙක්, ඔවුන් නෙත ගැටෙයි. ඒ වික්‍රමය ගිනිවැ‍ල්ලෙගේ බසින් මෙසේය.

“මම බිම වැතිර, තුවක්කුවේ මිට මගේ දකුණු කිහිල්ලට තබා, කඳ අල්ලා ගත්තෙමි. ජින්නාද ද බිම වැතිර කැත්ත දකුණු අතට ගත්තේය. මිනිසා සිටින දෙසට සෙමින් බඩ ගාන්ට සිතුණේ කුමක් නිසා දැයි අපට ද නොහැ‍ඟේ. පළමුව මා තුළ හටගත් බියද අතුරුදහන් විය. පඳුරු අතරින් කඳුගැටය මුදුනට බඩගාන ජින්නාගේ කකුලේ හැපුණු ගලක් සරාස් යන හඬ නඟමින් පහළට පෙරළිණ. එකෙණෙහිම නැඟී ගල් ගුහාව ඇතුළට වැදුණු අර මිනිහා, තුවක්කුවක් ගෙන එළියට ඇවිත් කඳුගැටය මුදුනට නැඟී, එබි එබී බලන්ට විය. අප මඳක් ඈතින් ලොකු ගලක් පිටිපසට වත්ම කන් බිහිරි කරන වෙඩි හඬක් අපට ඇසිණ. අපට වෙඩි තැබූ මිනිසා, ආපසු ගල්ගුහාව ඇතුළට දුවනු, දුම් වලා අතරින් අපට යන්තම් පෙනිණ.

“ඒ මිනිහා ආපහු දිව්වේ මොකටද?” යි මම ජින්නාගෙන් ඇසුවෙමි.

“ඌ දුවන්න ඇත්තේ තුවක්කුවේ බෙහෙත් දමා කොටන්න වෙන්න ඕනෑ. උගේ තුවක්කුව බෙහෙත් තුවක්කුවක් නිසා තමයි, වෙඩි හඬ එච්චර සැර උණෙත්, හුඟක් දුම් පිට උණෙත්. දැන් අපි හණික ගල් ගුහාවට දුවල, ඌ පණපිටින් සිටිද්දි හරි, මරාල හරි උගේ තුවක්කුව ගන්න ඕනෑ, නැත්නම් අපේ වැඩ ඉවරයි ජින්නා කීය.

“අපි දෙදෙනාම නැඟී දිවගොස් එබී බැලුවෙමු. හැඩි දැඩි මිනිසා තුවක්කුවෙහි බෙහෙත් දමා අච්චු කූරෙන් කොටනු දුටු මම, අහසට වෙඩිල්ලක් තබා තවත් පතුරමක් සැණකින් තුවක්කුවෙහි දමාගෙන, ගල් ලෙන දොරටුවට දිව ගොස් තුවක්කුව ඔහුට එල්ල කොට ඇල්ලුවෙමි.”

ගිනිවැල්ලෙට පසුව දැනගන්ට ලැබෙන පරිදි, මේ මිනිහා “මිනීවරුවෙකි. ඔහු ඉතා වැර - වෑයමින් හවුල් ඉඩමක හේන් ගොවිතැන් කෙළේය. මයියොක්කා, බ තල ආදිය සහ කෙසෙල් පඳුරු ද ඉතා සරුව එහි වැවුණු පසු පිට පළාතක සිටි අයිතිකාරයෝ දෙදෙනෙක් ද ඒ ගොවිතැනින් කොටස් ඉල්ලන්ට ආවෝය. ඔහු කලහ කොට ඔවුන් දෙදෙනාම එලවුවේය. දෙසතියකට පමණ පසු, ඔවුන් දෙදෙනාගෙන් එකෙක් මැරයන් තුන් දෙනෙකුත් සමඟ ඇවිත් කෙසෙල් කැන් කපාගෙන මයියොක්කා ද ඉගුළුවේ. බාලප්පු නමැති ඔහු, ඉවසිය නොහැකි තැන කැත්තකුත් ගෙන ඔවුන් හා කලහයට ගියේය. ඒ කලහයෙහිදී මැරයෝ ඔහුට ගහන්ට පටන් ගත්හ. ඔහු දෙදෙනකු තුවාල කොට තවත් එකකුගේ හිසට දෙතුන් වරක් කැත්තෙන් කෙටුවේය. හිසට වැදුණු කැති පහරකින් ඒ මැරයා එතනම මැරී වැටුණේය. අනික් ඈයෝ පැන දිවුවෝය.

බාලප්පු ඉන්දියාවට පැන යන බවක් අඟවා ආපසු ඇවිත් දූපතේ දුෂ්කර පැත්තෙහි පදිංචි වූ සැටිත්, මිනිසුන්ගේ පැමිණීම වළක්වන්නට ඇවිදින ගින්නක් ඇති කළ සැටිත්, ඔහ‍ුගේ ධෛර්යවන්ත බිරිය පිළිබඳ තතුත්, ඇය සිය සැමියා බලන්ට ඔරුවෙන් එන අයුරුත් යන මේ කරුණු හෙළිදරව් කරනු ලැබෙයි. ජින්නා නම් සිතාගෙන සිටියේ, මේ ඇවිදින ගින්න මළ යකෙක් කියාය. “මළ යකා අන්තිමේදී මිනිහෙක් උණා” යයි ජින්නා කියයි.

ගැටවරයන් දෙදෙන ගල් ගුහාවට මඳක් ඈතින් වරිච්චි බැඳ මැටි ගසා ගෙයක් ද හදති. එයට ගුරුහරුකම් දීමෙන් උධව් කෙළේ පොඩි ගමරාලය.

කටයුතු මෙසේ සිදුවෙද්දී “බඩගිනියි” කියා ගෙන හිඟන්නකු වැනි තරුණයෙක් පැමිණෙයි. ඔහු කවරෙක්ද?

ලොකු පවුලකට අයත්ව සිටි පුංචි මහත්තයා නමැති මේ අලසයා කල් යාදී, උපාලිත් ජින්නාත් සමඟ එකතු වී කම්මැලිකමින් මුත් වැඩ කරන්ට වෙයි.

“ඔහුගේ පියා හාමු මහත්මයෙකි. ඒ හාමු මහත්මයාගේ පියා මුදියන්සේ හාමුදුරුවෙකි. මවු - පිය දෙදෙනා පුංචි මහත්තයා ඇති දැඩි කර තිබෙන්නේ මහත් ආදරයෙනි. ඔහු දස ඇවිරිදි වයසෙහි සිටියදී පියාත්, පසළොස් ඇවිරිදි වයසෙහි සිටියදී මවත් මළෝය. අනතුරුව ඔහු, ඔහුගේ නෑයන්ගේ ගෙවල දස අවුරුද්දක් පමණ කිසි වැඩක් නොකොට ජීවත් වූයේය. ඔහු කන්දොස්කිරියාවක් කොට සැලකූ නෑයෝ, ඔහු තමල්ගේ ගෙවලින් පිට කළෝය. කම්මැලිකම නිසා කෑම ටික සපයාගත නොහැකි වූ ඔහු, තක්කඩිකමින් ජීවත්වන්නට වූයේ අනතුරුවය.

“මඩොල් දූවට ආවේ කුමටදැයි ඇසූ විට ඔහු කී කථාව මෙසේය.

“පප්පත් මම්මත් මැරුණට පස්සෙ මමත් අවුරුදු දහයක් විතර අංකල්ලයි ගෙදර උන්නා. කාලෙකට පස්සෙ, ඇන්ටි මම ලවා ගෙදර වැඩපල කරවන්න පටන්ගත්තා. පප්පා හරි මම්මා හරි උන්නා නම්, ඒ ගොල්ලන් මට කියා වැඩ කරවන්නෙ නැහැ. පප්පත් මම්මත් ඉන්දෙද්දී ගෙයින් එළියට බැහැලා නරක ළමයි එක්ක සෙල්ලමටවත් යන්න දුන්නේ නැහැ. මට කියා වැඩ කරවන්න පටන්ගත්තු නිසා, මම තරහ වෙලා ඒ අංකල්ගේ ගෙදරින් පිට වී ගියා. ඊට පස්සේ කුඩම්මා කෙනෙකුගේ ගෙදර අවුරුදු හතරක් විතර උන්නා. මම කකා නිකම් ඉන්නවාය කියා, ඒ ගොල්ලන් මට බණින්නත් ඇනුම්පද කියන්නත් පටන්ගත්තා. මම ඒ ගොල්ලන් එක්කත් සංඩු වෙලා පප්පාගේ වෙන නෑයන්ගේ ගෙදරවල දවස් තුන හතර බැගින් ඉන්න පටන්ගත්තා. ඒ කාලෙදි මම පිට පළාත්වලට ගොහින්, අතරමං වූ බවත් පප්පාගේ නමත් කියා මිනිසුන්ගෙන් සල්ලි ඉල්ලා ගත්තා. මගේ විදිය දැක්කාම කවුරුත් මට අනුකම්පා කරා. ‘තාත්තාට පප්පාය කියන්න පුරුදු උණු ඈයන්ට ඔහොම වෙන්න ඕනෑ’ යයි කියමින් සමහරු මට බණින්න පටන්ගත්තා.”

මේ අතර දිනක් පොඩි ගමරාල සමඟ ඔවුන්ගේ මිතුරු පෙරකදෝරු මහත්මයා දූවට පැමිණෙයි. ඔහු අත ඇත්තේ සිළුමිණෙහි පළ වූ මෙම දැන්වීමයි.

“උපාලි ගිනිවැල්ලෙ,

“නුඹේ තාත්තා රෝගාතුරව අන්තරාය අඩියක ඉන්නවා. තාත්තා නිතරම නුඹේ නම කියමින්, නුඹ දකින්න ආසාවෙන් ඉන්නවා. දෙසතියකට මෙපිට මෙහි එන්ට පුළුවන් තැනක ඉන්නවා නම්, කරුණාකර වහාම පිටත් වී වරෙන්. තාත්තාට වැලඳී තිබෙන්නේ හොද කරන්න බැරි හෘදයාබාධයකි. ඒ නිසා මේ දැන්වීම කියවන්ට ලැබුණු වහාම පිටත් වී වරෙන්. අපෙන් වරදක් උනා නම් ඊට සමා වෙලා අප වෙත එනවා ඇතැයි කියා මමත් තාත්තාත් බලාපොරොත්තු වෙනවා.

“මීට, කුඩම්මා.”

ගිනිවැල්ලෙ වහාම ගමට යන්ට තීරණය කරයි.

පුංචි මහත්තයා යනු දුනුවීර මුදියන්සේගේ පුතා බැව් හෙළි කරන්නේ නීතිඥවරයාය.

ගිනිවැල්ලෙ ගෙදර යන විට තාත්තා සිටියේ, ඉතාම අන්තරාදායක තත්වයකය. “අනේ පුතා, මට හුඟක් අමාරුයි. මම ජීවත් වෙන එකක් නැහැ”යි තාත්තා කියයි. උපාලිගේ දෑසට කඳුළු නැ‍ඟෙයි.

උපාලි කාමරයෙන් එළියට ආ විට, ඔහු දුටු සැණෙහි කුඩම්මා හඬා ගෙනැවිත් ඔහුගේ හිස අල්ලා සිම්බාය.

“මම තාත්තාගේ කාමරෙන් පිට උණේ මට ඇ‍‍ඬෙන්ට ආ නිසයි. අනේ පුතේ, උඹ ආ එක බොහොම හොඳයි. මේ ඉතුරුව තියෙන දෙයක් උණත් විකුණා, තාත්තා ජීවත් කරගන්න බලන්න ඕනෑ.”

“මොකුත් විකුණන්න ඕනෑ නෑ කුඩම්මා. මා ළඟ සල්ලි ටිකක් තියෙනවා. මට මොකොටද සල්ලි. තාත්තාගේ ලෙඩේට වියදම් කරනවා. ඉතුරුවා කුඩම්මා ගන්න.”

උපාලි ගිනිවැල්ලෙ ගමට පැමිණ සතියකට පමණ පසුව තාත්තා හදිසියේ මළේය. ඔහු තාත්තාගේ අවසන් කටයුතු නිමා, මතක දානයද දී, තමා වෙත ඉතිරිව තිබුණු මුදලින් රුපියල් විස්සක් හැර ඉතිරි මුදල් කුඩම්මා අතට දෙයි.

“අනේ පුතා මට සල්ලි මොකටද? ලැබෙන සුළු ආදායමකින් මට අරපිරිමසාගෙන ජීවත් වෙන්න පුළුවනි. පුතා මල්ලිට ටිකක් සලකන්න. මම පුතාගෙන් බලාපොරොත්තු වෙන්නේ එච්චරයි. පුතා මෙහෙම ඉන්නවාන ම් තමයි, මම සතුටු. දැන් තාත්තාත් නැති නිසා මම හිත සනසාගන්න ඕනෑ පුතාලා බලා.”

“කුඩම්මා කනගාටු වෙන්න එපා. මම මල්ලිට, උගන්වන්න වියදම් එවන්නම්.”

උපාලි ගිනිවැල්ලෙ ආපසු මඩොල් දූවට පැමිණෙන විට, පුංචි මහත්තයා තුළ ලොකු වෙනසක් ඇති වී තිබුණි.

ලබන සතියට

අදහස්