මෙහෙ­වර නිමා කළ කවි­ය­කුට අම­තමි අනු­ර­සිරි හෙට්ටිගේ | සිළුමිණ

මෙහෙ­වර නිමා කළ කවි­ය­කුට අම­තමි අනු­ර­සිරි හෙට්ටිගේ

අනුරසිරි හෙට්ටිගේ නිර්මාණකරුවාගේ ප්‍රමුඛ ප්‍රකාශන මාධ්‍ය වන්නේ, කෙටිකතාව, නවකතාව හා යෞවන සාහිත්‍ය කෘති ය. මෙකී සාහිත්‍ය ප්‍රභේද සියල්ල තුළ ම පාහේ ඔහු විසින් පසුගිය දශකයක පමණ කාලයක් තුළ පළ කරන ලද ඇතැම් නිර්මාණ කෘති සඳහා විවිධ සාහිත්‍ය උලෙළ සම්මාන පිරිනැමී ඇත. ගොඩගේ ජාතික සම්මාන, රාජ්‍ය සාහිත්‍ය සම්මාන, ස්වර්ණ පුස්තක සම්මාන සඳහා නිර්දේශ, ෆෙයාර්වේ සාහිත්‍ය සම්මාන ඒ අතර වේ. අනුරසිරි හෙට්ටිගේ තම ප්‍රකාශන මාධ්‍ය අතරට කවිය එක්කර ගන්නේ සන්ත බස්තියම් වීදිය (2014) කාව්‍ය කෘතිය සමඟිනි. කවියට බැඳ ඇල්ම අත් හරිනු නොහැකි කවියා තම දෙවන කාව්‍ය සංග්‍රහය තරු නිවුණු පසුව ද (2018) නමින් පළ කොට ඇත. නවකතාව, කෙටිකතාව මෙන් ජනප්‍රිය සාහිත්‍යාංගයක් නොවූව ද පළමු කවිපොත පළ කිරීමෙන් ලද උත්තේජනයෙන් අනුරසිරි කවියා කවිය අත් නොහැර සිටින බව හැඟේ.

මෙහෙවර නිමා කළ කවියකුට අමතමි

නාඳුනන රූ මතක සිඳලන

හඳුනන මහරු කවි සිත

අක්ෂර සිතුවමක මුසු කොට

ඔබත් ගිය පසු

හුදෙකලයි කවි සිත

වදන් ගළපා පෙරා මී විත

දශක යුග පොබ කෙරුව

කවක් ගැන ලියා කුමකට

යන්න ආ ගමන් යා යුතුමය

ඉන්න හැකි නම් ඒ කවියකුට විතර ම ය

කොතැන පිපුණත් මල් සුවඳම ය

අපමණ මිනිස්කමට කැප ම ය

මිතුර!

මේ මල් සෙනෙහසිනි‍

කඳුළක් නොසොල්වමි

නුඹ ලියූ අකුරු අතරෙහි වැද

ජීවිතය ඇහිඳිමි

වියෝ වී ගිය කවි මිතුරකු පිළිබඳ සහෝදර කවියෙකුගේ ළයෙහි උපන් ශෝකය ද කවියා මේ නිර්මාණය මඟින් ප්‍රකාශ කොට සිටින්නේ?

කවියා හැර ගොස් සිටින මිතුරු කවියා කෙබන්දෙක්ද?

ඔහුත් කථකයාත් අතර වූයේ කෙබඳු සබඳතාවක්ද?

කථකයා කවියාගේ සමීප මිතුරෙක්ද නොවේ නම්, ඔහුගේ කවියට පෙම් බැඳි ලොබ බැඳි කවි රසිකයෙක් ද? නාඳුනන රූ මතක සිඳලන - හඳුනන මහරු කවි සිත අක්ෂර සිතුවමකට මුසු කොට ඔහු ගොස් අවසන් ය.

කථකයාගේ අතීතකාමී මතක අතර, කවියා වෙන් වූ පසු කවි සිත හුදෙකලා වී ඇත. ඔහුගේ වියොව කිසිවෙකුටත් වැළැක්විය හැකි නොවේ. ජීවිත ස්වභාවය එය වුවත් කවියකුගේ වියොව එසේ නොවේ. නිර්මාණයක සුවඳ නොමියෙන බැවින් යා යුතු ගමන් යන්නට සිදුවූවත් කවියෙකුට පමණක් ඉන්නට හැකිය.

“යන්න ආ ගමන් යා යුතු ම ය

ඉන්න හැකි නම් ඒ කවියකුට විතරම ය

කොතැන පිපුණත් මල් සුවඳ ම ය

අපමණ මිනිසත්කමට කැප ම ය

කවියකු යනු මිනිසත් බව පිරුණු හදැත්තෙකි. ඔහු ගේ නැඹුරුව මිනිසත්කමට ය. ඔහු ඊට කැපව සිටින්නෙකි. කවියකින් විහිදී පැතිරෙන සුවඳෙහි වෙනසක් නොවේ. මලක් කොතැනක පිපුණ ද එහි සුවඳෙහි වෙනසක් නොවන්නා සේ ය. කථකයා වියෝ වූ කවි මිතුරා වෙනුවෙන් ශෝක වෙයි. එහෙත් නො හඬයි. ඔහුට ස්නේහයෙන් මල් මිටක් පුදයි. මිතුරු කවියාගේ කවි’කුරු අතරට ගොස් කථකයා ජීවිතය සොයන්නට සිතයි. ඉන් ගම්‍ය වනුයේ කුමක්ද? මෙහෙවර නිමා කළ කවියාගේ කවියෙහි ස්වභාවයයි. ඔහු ජීවිතය තම කවියට විෂයය කොටගත් නිර්මාණකරුවකු නොවන්නේ ද? එනිසා නොවේද කථකයා කවියාගේ නිර්මාණ අතරට රිංගා ජීවිතය සොයන්නට වෙහෙස වන්නේ?

මිතුර

මේ මල් සෙනෙහසිනි

කඳුළක් නොසෙල්වමි

නුඹ ලියූ අකුරු අතරෙහි වැද

ජීවිතය ඇහිදිමි

නුඹ ලියූ අකුරු අතරෙහි වැද ජීවිතය ඇහිඳිමි යන්න ප්‍රබල කාව්‍යොක්තියකි. කථකයා විසින් අමතනු ලබන මෙහෙවර නිමා කළ කවියා පිළිබඳ, ඔහුගේ නිර්මාණ පිළිබඳ චිත්තරූපාවලියක් මැවීමට කථකයා උත්සාහ ගන්නා බව පෙනේ. අන්තර් පුද්ගල මානව සබඳතාවක් ඔස්සේ වියෝ වූ මිතුරු කවියකු පිළිබඳ අතීත ස්මරණයකට පිවිසෙන කථක කවියාට මෙහෙවර නිමා කළ කවියා පෙනෙන්නේ, ජීවිතයේ යථාර්ථය හඳුනාගත් නිර්මාණකරුවකු පරිද්දෙනි. කථකයා ජීවිතය ඇහිඳින්නට, වියෝ වූ කවි මිතුරාගේ අකුරු අතරට වදින්නේ එබැවිනි. පුද්ගල සංවේදනාවක්, තම නිර්මාණුභූතිය ලෙස තෝරාගන්නා අනුරසිරි හෙට්ටිගේ කවියාගේ කාව්‍ය භාෂාව සරලය. එහෙත් අර්ථ රසයෙන් යුතු යි. සංක්ෂිප්ත ගුණය රැක ගැනීමට ඔහු සමත් වී සිටී.

අදහස්