රාජ්‍ය ගු වන් විදුලි නාලි­කා­ව­ලට වැඩි සම්මාන ප්‍රමා­ණ­යක් හිමි වීම වළ­ක්වන්න බැහැ | සිළුමිණ

රාජ්‍ය ගු වන් විදුලි නාලි­කා­ව­ලට වැඩි සම්මාන ප්‍රමා­ණ­යක් හිමි වීම වළ­ක්වන්න බැහැ

 

 

අනෙකුත් සෑම විද්යුත් නාලිකාවකට ම වඩා ගුවන් විදුලිය තාමත් මිනිසුන් අතර ජනප්‍රියයි. එය විවිධ කෝණ රාශියකින් විග්‍රහ කරන්න පුළුවන්. ඒ වගේම න්‍යායාත්මක එළඹුම් රාශියකින් විග්‍රහ කරන්න පුළුවන්. ඒ හැම එළැඹුමක් ම මොහොතකට පැත්තකින් තිබ්බත් ගුවන් විදුලිය තාම මිනිසුන්ට විශ්වාසයි. ඒ නිසා තමයි අද ජංගම දූරකථනය එහෙම නැත්නම් අතේ පලඳින ඔර‍ලෝසුවට පවා එය ඇවිත් තියෙන්නෙ.

රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සේන නානායක්කාර සන්නිවේදන ක්ෂේත්‍රයේ සිටින ප්‍රාමාණිකයෙකි; ගවේෂකයෙකි. උක්ත විෂයය සම්බන්ධයෙන් ඔහු විසින් සම්පාදනය කොට ඇති ග්‍රන්ථ සංඛ්‍යාව ද විශාල ය. නිර්මාණ ලෝකයේ විවිධ ඉසව් ස්පර්ශ කළ ඔහු වර්තමානයේ ගුවන් විදුලි රාජ්‍ය උ‍පදේශක සභාවේ සභාපතිවරයා වෙයි. මේ මස 12 දින නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වෙන ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උලෙළෙහි නියමුවා වනුයේ ද ඔහු ය. මේ සංවාද සටහන ඒ උලෙළ පදනම් කොටගෙන බිහි වෙයි.

 

නූතන තාක්ෂණික ලෝකයේ ගුවන් විදුලියට හිමි වනුයේ කුමන ස්ථානයක්ද?

ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නූතන තාක්ෂණික ලෝකයේ තවමත් ගුවන් විදුලියට හිමි වනුයේ ඉතා ප්‍රබල ස්ථානයක්. ඇත්තට ම කියනව නම් අනෙකුත් සෑම විද්යුත් නාළිකාවකට ම වඩා ගුවන් විදුලිය තාමත් මිනිසුන් අතර ජනප්‍රියයි. එය විවිධ කෝණ රාශියකින් විග්‍රහ කරන්න පුළුවන්.

ඒ වගේම න්‍යායාත්මක එළඹුම් රාශියකින් විග්‍රහ කරන්න පුළුවන්. ඒත් ඒ හැම එළැඹුමක් ම මොහොතකට පැත්තකින් තිබ්බත් ගුවන් විදුලිය තාම මිනිසුන්ට විශ්වාසයි. ඒ නිසා තමයි අද ජංගම දුරකථනය එහෙම නැත්නම් අතේ පලඳින ඔර‍ලෝසුවට පවා එය ඇවිත් තියෙන්නෙ. ගුවන් විදුලිය මිනිස්සුන්ට අවශ්‍ය නැත්නම් එය ජංගම දුරකථනයට හෝ එහෙම නැත්නම් තාක්ෂණික වශයෙන් ඉතා දියුණු එහෙත් සරල උපකරණවලට එය ඇතුළත් කරන්නෙ නැහැනෙ.

ඒ නිසා කවුරුත් ඒ පිළිබඳ ව වැඩි අවධානයක් යොමු නොකළත් ඇත්තටම බැලුවොත් තාමත් මුළු ලෝකයෙ ම ජනප්‍රිය ම හා වැදගත් ම විද්යුත් නාලිකාව ගුවන් විදුලියයි.

රේඩියෝව ලෝකයට හඳුන්වා දුන් දා පටන් ම නූතන ශිෂ්ටාචාරයෙ ගමන් මඟට එය ඍජු ලෙස බලපෑවා. ඇත්ත ම කියනවා නම් මිනිස්සු ලෝකය දුටුවෙ රේඩියෝව එහෙම නැත්නම් ගුවන් විදුලිය ඔස්සේ. ගුවන් විදුලිය මඟින් ප්‍රචාරය වුණු වැඩසටහන් අහන්න පවුලෙ හැම සාමාජිකයෙක් ම ගුවන් විදුලිය වටා එක්රොක් වුණා. අද එවැනි සාමූහික සවන්දීමක් නැති වුණාට එකිනෙක පුද්ගලයො ස්වාධීන වශයෙන් තාම ගුවන් විදුලියට සවන් දෙනවා.

 

එහෙත් එහි ගුණාත්මක බව පිරිහී තියෙනවා...

ඔබ කියන කරුණෙහි සත්‍යයක් තියෙනවා. මුල් කාලෙ අපිට තිබුණෙ ශ්‍රී ලංකා ගුවන් විදුලිය සේවාවේ වැඩසටහන් පමණයි.

සිංහල වැඩසටහන් ගත්තොත් අපිට තිබුණෙ සිංහල ස්වදේශීය සේවය හා වෙ‍ෙළඳ සේවය විතරයි. ඒ නිසා එහි වැඩ සටහන්වල ඉතා ඉහළ ප්‍රමිතියක් තිබුණා. මොන වැඩසටහනක වුණත් ග්‍රාහකයා හට අවශෝෂණය කරගන්න දෙයක් තිබුණා. ඒත් අද වෙනකොට නාලිකා ගණන ඉතා විශාලයි. නාලිකාවලට අවශ්‍ය සංඛ්‍යාත නොමිලේ ලබා ගන්න පුළුවන් කියන තරමට එය වැඩි වෙලා.

ඉදිරියෙදි තවත් වැඩි වෙන්න තියෙනවා. මේ නාලිකා ප්‍රමාණය අපේ ජනගහනයට සාපේක්ෂ ව ඉතා වැඩියි. මේ නිසා අද එය වල්මත් වී ඇති තත්ත්වයක් තියෙනවා.

අද බොහෝ නාලිකා ගුණාත්මක තත්ත්වයට වඩා සලකන්නෙ ජනප්‍රියතාවයි. මේ සෑම නාලිකාවකට ම වගේ යම්කිසි වාණිජමය පරමාර්ථයක් තියෙනවා. තරඟකාරි ලොවක වාණිජමය පරමාර්ථයක් තිබීම වරදක් නොවෙයි. නමුත් එය ළඟා කර ගන්නා මාර්ගය ග්‍රාහකයාගේ බුද්ධි මට්ටම් හා වින්දන මට්ටම් මොට කරනා මාර්ගයක් නොවිය යුතුයි.

ජනතාව බුද්ධිමය වශයෙන් පහළ දාලා ඔවුන්ගේ වින්දන මට්ටම් අවර ගණයට පත්කරලා මුළු සමාජයක් විනාශ කරනවා නම් එතැන සන්නිවේදන මාර්ගයකින් සිදුවන දේ සිදු වෙන්නෙ නැහැ. සන්නිවේදන කාර්යය කියන්නෙ ඉතා ප්‍රබල දෙයක්. සන්නිවේදන මාධ්‍ය ඔස්සේ තමයි සමාජයක මතය නිර්මාණය වෙන්නෙ. ඒ නිර්මාණය වන මතය ජනතාවගේ සුබ සිද්ධිය සඳහා විය යුතුයි. එහෙම නැත්නම් එයින් ඇති ප්‍රයෝජනය කුමක්ද? අද බොහෝ නාලිකා මුදල් හම්බ කිරීමෙන් නොනැවතී, තමන්ගේ යම් යම් දේශපාලන අරමුණු ඉටුකර ගැනීමේ මාධ්‍යයක් වශයෙන් ගුවන් විදුලිය යොදා ගන්නවා. ගුවන් විදුලිය තුළ දේශපාලනය සාකච්ඡා කළ යුතු නැහැ කියල මින් අදහස් වෙන්නෙ නැහැ. හැබැයි එය මාධ්‍ය සදාචාරයට අනුගත විය යුතුයි.

එවැනි වගකීමකින් තොරව මාධ්‍ය හසුරුවනවා නම් එහි අවසානයේ වෙන්නෙ සමාජය දිගින් දිගට ම පිරිහීමයි.

ඒ දවස්වල ප්‍රාදේශීය නාලිකාවක පවා ඒ මාධ්‍ය සදාචාරය ක්‍රියාත්මක වුණා. මම බිහිවෙන්නෙත් රජරට ගුවන් විදුලිය සේවය මඟින්.

වැස්සකටවත් ගුවන් විදුලි ආයතනයකට ගොඩවෙලා හිටියෙ නැති අපිට රජරට ගුවන් විදුලිය තමයි හෙවණ දුන්නෙ. ඒ කියන්නෙ 1979 වසරේ. ගුවන් විදුලියේ ස්වර්ණමය යුග‍ය.

එතැනදි අපිට මුණ ගැහිච්ච ස්වර්ණ ශ්‍රී බණ්ඩාර ඇතුළු නිර්මාණාත්මක මිනිසුන් අපට පෙන්වූ දුන්නු ලෝකය ඉතා විශාලයි. හැම නාලිකාවක් අතරෙම ඒ කාලෙ ශ්‍රාවකයන්ගෙ වැඩිම කැමැත්ත දිනා ගත්තෙ ස්වර්ණ ශ්‍රී බණ්ඩාර මෙහෙයවපු “පිලේ පැදුර” වැඩසටහනයි. එය ගුවන් විදුලිය සම්බන්ධයෙන් ඉතා වටිනා ග්‍රන්ථයක් සම්පාදනය කළ ආචාර්ය නන්දන කරුණානායකගෙ පොතේ පැහැදිලිව සටහන් වෙලා තියෙනවා.

ප්‍රාදේශීය සේවයක වැඩසටහනක් ජනතාව කැමතිම ගුවන් විදුලි වැඩසටහනක් ලෙස තේරෙන්නෙ එහි ඇති ගුණාත්මක බව නිසා නොවේද? ඒ අනුව ගුණාත්මක බව යන්න ගුවන් විදුලි වැඩසටහනක මූලික අංගය විය යුතුයි. නමුත් වර්තමානයෙ එම තත්ත්වය ලොකු ගරා වැටීමකට ලක්වෙලා තියෙනවා.

ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උලෙළ එ් තත්වය නඟා සිටුවීමට ගත් එක් ප්‍රයත්නයක්...

අනිවාර්යෙන් ම. එක් අතකින් අපි යම් යම් වැඩකටයුතු පිළිබඳ විවේචනයක යෙදී සිටින අතරෙම එය නඟා සිටුවීම වෙනුවෙන් ද යම් දායකත්වයක් සැපයිය යුතුයි. ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උලෙළෙහි ප්‍රධාන නියමුවා වශයෙන් මටත් මා වටා රොක් වී සිටින අනෙකුත් සියලු ම දෙනාගේත් එක ම පරාමර්ථය එයයි.

අපි මේ සම්මාන උලෙළ සංවිධානය කරන්නෙ ඉතාම උතුම් පරමාර්ථයකිනුයි. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවත්, කලා මණ්ඩලයත්, ගුවන් විදුලි රාජ්‍ය උපදේහක සභාවත් එකතුව සංවිධානය කරන මේ උලෙළ අවුරුදු 93කට පස්සෙ පළමු වරට පැවැත්වුණෙ 2017 වර්ෂයෙදි. දෙවන වරට තමයි 2019 පෙබරවාරි 12 දින පැවැත්වෙන්නෙ.

මේ කාර්යය අනිවාර්යෙන් ම සිදුවිය යුත්තක්. අනිකුත් හැම දෙයක් සඳහා ම සම්මාන උලෙළවල් පැවැත්වෙනවා. නමුත් ගුවන් විදුලියට රාජ්‍ය මට්ටමේ සම්මාන උලෙළක් තිබුණෙ නැහැ; එය බලවත් අඩුවක්.

ඒ නිසා ගුවන් විදුලි ශිල්පීන්ට ඔවුනගෙ මෙහෙවරට කරන ගෞරවයක් වශයෙන් මෙම රාජ්‍ය උලෙළ හැඳින්විය හැකියි. ඒ හරහා ඔවුනගේ කැපවීම, ආත්ම ධෛර්යය, උනන්දුව තවත් වැඩ වෙනවා.

ගුවන් විදුලියෙ ප්‍රවෘත්ති සංස්කරණය වුණත් ඉතාම නිර්මාණශීලී වැඩක්; ප්‍රවෘත්ති ප්‍රකාශය පවා එහෙමයි.

එවැනි නිර්මාණාත්මක මිනිසුන් අගය කිරීම මඟින් ඔවුන්ගේ වැඩසටහන්වල ගුණාත්මක බව වැඩි වෙනවා. එවැනි තැනකට වර්තමාන තරුණ ගුවන් විදුලි ශිල්පීන් ශිල්පිනියන් ගැනීම තමයි අපේ එකම අරමුණ. ඒ වෙනුවෙන් අපි කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් නොලබා එමෙන්ම කිසිදු විශේෂ වරප්‍රසාදයක් ලබා ගැනීමේ අරමුණින් තොරව අප ඉතා මහන්සි වෙනවා.

 

එහි ක්‍රියාත්මක ව්‍යුහය කෙබඳු ද?

මූලික වශයෙන් අපි එය ප්‍රධාන ධාරා හතරකට වෙන් කර තියෙනවා. එහි පළවන ධාරාව තමයි ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන්. දෙවැන්න තමයි විවිධ වැඩසටහන්; තෙවැන්න ගුවන් විදුලි නාට්‍ය; හතරවැන්න තමයි වෙනත් වැඩසටහන්. මේ ප්‍රධාන කොටස් හතර ඇතුළෙ අනු කොටස් රාශියක් තියෙනවා.

හොඳම ප්‍රවෘත්ති නිවේදකයා, නිවේදිකාව, සංස්කරණය, සම්මුඛ සාකච්ඡා, සඟරාමය වැඩසටහන්, සංගීතමය වැඩසටහන් ඇතුළු ගුවන් විදුලි නාලිකා තුළ ඉදිරිපත්වන හැම වැඩසටහනක් ම මෙයට ඇතුළත් වෙනවා. ඒ අනුව ගුවන් විදුලි වැඩසටහන් අති විශාල ප්‍රමාණයක් සමීක්ෂණය කරන්න සිදු වෙනවා. ඒ සඳහා විශාල කාලයක් වැය වෙනවා. විශාල මිනිස් සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.

නමුත් මේ හැම බාධකයක් ම අපි කොහොම හරි ජය ගන්නවා. ඒකට මේ වැඩසටහන් සමීක්ෂකයන්ගෙන් ලැබෙන සහය ඉතා විශාලයි.

ලංකාවේ ඉන්න විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන එමෙන්ම ජනසන්නිවේදනයට සම්බන්ධතාවක් ඇති ප්‍රාමාණික සමීක්ෂකයන් රාශියක් එහි සමීක්ෂකයන් වශයෙන් වැඩ කටයුතු කරනවා. ඔවුන් සම්පූර්ණයෙන් ම ස්වාධීනයි.

ඔවුන්ගේ ස්වාධීන තීරණය උපදේශක මණ්ඩලය වශයෙන් අපි පිළිගන්නවා. මේ සමීක්ෂකයන් එකම තැනකට එකතු කරලා එකම දිනක, එකම වෙලාවක ගුවන් විදුලි වැඩසටන් ශ්‍රවණය කරනවා.

උදාහරණයක් වශයෙන් ගත්තොත් ප්‍රවෘත්ති හා කාලීන අංශයෙ සමීක්ෂකයො පස් දෙනෙක් ඉන්නවා නම් ඔවුන් පස් දෙනාම එකම දවසක එකම වෙලාවක මුණ ගැහෙන්න ඕන.

අපේ සමීක්ෂක මණ්ඩලයෙ ඉන්න හැම දෙනාම වගෙ විවිධ කටයුතුවල නිරත වෙලා ඉන්න නිසා ඔවුන්ගෙන් දින හා වේලාවන් ලබා ගැනීම ද එතරම් පහසු නැහැ.

එවැනි අවස්ථාවලදි අපිට විශේෂ පරිශ්‍රමයක් දරන්න වෙනවා. ඒ නිසා මේ වැඩ කටයුතු අවසානයක් දක්වා ගෙන යෑම අසීරු වුණත් එය හරිම තෘප්තිමත් කටයුත්තක්.

 

සම්මාන සීමා වනුයේ රජයේ ගුවන් විදුලියට පමණ ද?

නැහැ. මෙය ගුවන් විදුලි රාජ්‍ය සම්මානය මිසක් රාජ්‍ය ගුවන් විදුලි සම්මානය නොවෙයි.

ඒ නිසා මෙය රාජ්‍ය ගුවන් විදුලි ආයතනවලට වගේම පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවලට ද විවෘතයි. නමුත් පසුගිය වසරෙදි අපිට ‍චෝදනාවක් ආවා, එය රාජ්‍ය ගුවන් විදුලි නාළිකාවලට පමණක් සීමා වෙලා කියලා; එහෙම දෙයක් නැහැ; එය විවෘතයි. හැබැයි මෙම තරගයට ඉදිරිපත් වීමේදී රාජ්‍ය ගුවන් විදුලි ආයතන සමඟ සන්සන්දනය කරනකොට ඉදිරිපත් වන පෞද්ගලික ගුවන් විදුලි නාලිකා ප්‍රමාණය අඩුයි.

එතැනදි රාජ්‍ය ගුවන් විදුලි නාලිකාවලට වැඩි සම්මාන ප්‍රමාණයක් හිමි වීම වළක්වන්න බැහැ.

ඕනම තරගයකදී එකම තැනකින් හෝ ආයතනයකින් තරගකරුවන් වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් වෙනවා නම් ඔවුනට තරගය දිනීමේ සම්භාවිතාව වැඩියි. එවැනි දෙයක් තමයි මෙහිදීත් සිද්ධ වෙන්නෙ. එහෙම නැතුව හිතාමතාම එවැනි තීරණයකට අපි එළැඹෙන්නෙ නැහැ. අපි සියයට සියයක් ම අපක්ෂපාතියි.

2017 වසරට සාපේක්ෂව මේ වසරේදි තරගයට ඉදිරිපත් වී ඇති පෞද්ගලික ගුවන් විදුලි නාලිකා ගණන වැඩිවෙලා තියෙනවා.

එහෙම වුණත් තාම ඒ ප්‍රමාණය සියයට දහයක පමණ ප්‍රතිශතයක තියෙන්නෙ. එය ක්‍රමයෙන් වැඩි වෙයි කියල මම හිතනවා.

ඒ වගේම ගුවන් විදුලි ක්ෂේත්‍රයට අපමණ සේවයක් කොට අද නිහඬ ජීවිත ගත කරන බො‍හෝ දෙනෙක් සිටිනවා. ඔවුනට උපහාර දැක්වීමේ වැඩසටහනකුත් අපි ක්‍රියාත්මක කරනවා. අතීතය අමතක කරල වර්තමානය ගොඩනඟන්න බැහැ.

ඒ අතීතය සමඟ සබැඳි මගේ ජීවිත කාලයත තුළදී මෙම කාර්ය මෙහෙයවන්න ලැබීම මා ලද වාසනාවක්. ඒ මඟින් වර්තමාන පරපුරට ජයග්‍රහණයක් ළඟා කර දීමට වෙහෙසීම වචනයෙන් විස්තර කළ නොහැකි සතුටක්.

 

අදහස්