සඳ තරණ චාරි­කාවේ යුලි­සිස්ගේ කතාව: ෆස්ට් මෑන් | සිළුමිණ

සඳ තරණ චාරි­කාවේ යුලි­සිස්ගේ කතාව: ෆස්ට් මෑන්

සඳ ජයගත් පළමු මිනිසා වූ නීල් ආම්ස්ට්‍රොන්ග් මරු කටට ම ගොස් යම්තම් දිවි ගලවාගත් දිනයට නාසා ආයතනය එතරම් ප්‍රසිද්ධියක් ලබා දුන්නේ නැත. අභ්‍යාවකාශය ජය ගැනීමේ අභියෝගයේදි ඇමරිකාව සමඟ කරට කර සිටි රුසියානුවන්ව පැරදවීමේ මහා සංග්‍රාමයේ ජයග්‍රාහි කිරුළ වූයේ සඳ මත පා තැබීමයි. සඳ ජයගැනීමේ ඇපලෝ හා ජෙමිනි මෙහෙයුම්වල සාර්ථකත්වය බොහෝ දුරට නිර්ණය කෙරුණේ ඒවාට බිලිවූ ජීවිත මතිනි. සඳ ජයගත් ඇපොලෝ 11 යානයේ ප්‍රධාන නියමුවා ලෙස නීල් ආම්ස්ට්‍රෝන්ව තෝරා ගැනෙද්දී නාසා ආයතනයේ දෑත් තිබුණේ, සඳ ජයගැනීමේ මෙහෙයුමේ නාමයෙන් දිවි පිදූ අභ්‍යාවකාශගාමීන් රැසකගේ රුධිරයෙන් තෙත්ව ය.

අත්හදා බැලිමේ මෙහෙයුමක් අතරවාරයේදි ඇපොලෝ 1 යානයේ හටගත් ගින්නකින් එහි ගමන්ගත් ගගනගාමීන් තිදෙනාම මියගොස් තිබුණේ ඊට වසරකට පෙර ය. ඒ අතර ආම්ස්ට්‍රෝන්ග්ගේ ප්‍රාණසම මිතුරෙකුවූ එඩ් වයිට් ද විය. මේ නිසා 1968 මැයි 1දා සඳ මත ගොඩබැසීමේ ගවේෂණ යානයේ‘ පෙර පුහුණුවක නියැළී සිටියදී යානය අනපේක්ෂිත ලෙස කඩාවැටීමෙන් මරුමුවට පත්වන්නට ඔන්න මෙන්න තිබියදී ප්‍රාතිහාර්යකින් මෙන් ආම්ස්ට්‍රෝන්ග් දිවි ගලවාගැනීමේ සිද්ධිය උණුසුම් පුවතක් කිරීමේ අවශ්‍යතාවක් නාසා ආයතනයට කොහෙත්ම තිබුණේ නැත.

ගිනිගත් යානයේ තෙල් වැකුණු කළු දුමාරය මැදින් ටෙක්සාස්හි ජනශුන්‍ය තැනිතලාවකට ගොඩබැසගත් ආම්ස්ට්‍රෝන්ග් ඉන් පැයක් ගතවන්නටත් පෙර සිටියේ නාසා ආයතනයේ සිය කාර්යාල මේසය ඉදිරිපිටය. ඒ සිදුවූ අනතුර ගැන නිහඬ ව ම වාර්තාවක් සකසමිනි. එතරම් ම දැඩි ආත්ම ශක්තියකින් හෙබියකු වූ හේ කිසිවිටෙක තම ප්‍රතිරූපය හැඟීම්වලින් බිඳී විසිරෙන්නට ඉඩ නුදුන්නෙකි. තමන්ට හිමි ප්‍රශංසා පවා පරිත්‍යාග කරනවා විනා ඒවා ඉවසා දරා ගැනීමට තරම් පෘථග්ජනත්වයකින් තොරවූ ආම්ස්ට්‍රෝන්ග්, සඳ ජය ගැනීමේ මෙහෙයුමට නාසා ආයතනය විසින් කළ නිවැරදි ම තෝරාගැනීම බවට සැකයක් නැත.

දෛනිකව මරණය සමඟ කරන පොරබැදීම් හමුවේ පවා ඔහුගේ සඳ ජය ගැනීමේ පාරමිතාව ක්ලේශ මාත්‍රයකින්වත් සසල වුණේ නැතග එක පිම්මට සඳ තරණයට ආම්ස්ට්‍රෝන්ග් ගත් උත්සාහය පිටුපසින් ඒ වෙනුවෙන් ඇපකැපවූ තවත් හාරලක්ෂයක පිරිසක් සිටියහ.

එම පිරිස වූකලී 1962දී ජනපති ජෝන් එෆ්. කෙනඩි එම දශකය අවසන් වීමට ප්‍රථම ඇමරිකානුවකු සඳ මතට යැවීමට දුන් අභියෝගාත්මක පොරොන්දුව පිළිගත් මිලියන දෙසීයක්වූ ඇමරිකානු ප්‍රජාවගේ සංකේතාත්මක නියෝජනයකි.

සැබවින්ම කෙනඩි අනාවැකි පළ කළ පරිදිම එය දුෂ්කර අභියෝගයක් ම විය. මීට වසර පනහකට පමණ එපිටදී එය යථාර්ථයක් බවට පත්වීම කිනම් ආකාරවලින්, කොපමණ වාර ගණනක් වැළකී යන්නට තිබුණ ද යන්නට, අභ්‍යාවකාශ යුගය පසුකරමින් අද ජීවත්වන බොහෝදෙනෙකුට අවබෝධයක් නැත. එම යථාර්ථය අවබෝධ කරවීමේ, සඳ තරණයට නොදෙවැනි අභියෝගය තම කරපිට ගත්තේ ළාබාලම ඔස්කාර් සම්මානලාභි හොලිවුඩ් අධ්‍යක්ෂ ඩේමියන් චැසල් ය.

මේ දිනවල විද්වත් සම්භාවනාවට පාත්‍ර වෙමින් ලොව පුරා තිරගත වනිෆර්ස්ට් මෑන්‘ යනු එම විසල් අභියෝගය ජය ගැනීමේ සුමිහිරි ප්‍රතිඵලයයි.

හැටේ දශකයේ මුල්භාගයේදි ඇමරිකානු අභ්‍යාවකාශ වැඩසටහනේ මුදුන්මල්කඩ වූ ඇපලෝ 11 සඳ ජය ගැනීමේ මෙහෙයුමේ නියමුවා වුයේ නීල් ආම්ස්ට්‍රෝන්ග් ය.

ජයග්‍රහණය කරා ගිය ගමන හරස් කරමින් එල්ලවු බාධක, කම්කටොලු හා ඛේදවාචකවල පෙළගැස්ම දිගහැරෙන්නේ ඔස්කාර් සම්මාන නිර්දේශිත රංගන ශිල්පියකු වන රයන් ගොස්ලින් විසින් නිරූපණය කරනු ලබන ආම්ස්ට්‍රෝන්ග්ගේ වෘත්තීය හා පෞද්ගලික දිවි මං සළකුණු ඇසුරිනි. විටෙක ඒවා උද්වේගකාරී ය; නමුත් බොහෝවිට වේදනාකාරී ය.

ජනපති කෙනඩි සිහින දුටු චන්ද්‍ර චාරිකාව හෝමර්ගේ පුරාණ ග්‍රීක වීර කාව්‍යයක් වන ඔඩිසි‘ බඳු නම් එහි ප්‍රධාන චරිතය වන කිසිවකින් නොසැලෙන යුලිසියස්‘ : ඔඩිසියස් * නීල් ආම්ස්ට්‍රෝන්ග් ය. බිය, වේදනාව, හා අවිනිශ්චිත බවින් නිතර පීඩා විඳිමින්, සිය වල්ලභයා යළි දකින්නට ලැබේද, නොලැබේද යන අනිත්‍යයත් සමඟ පොරබඳින පෙනිලොපිය නම් ජෑන් ආම්ස්ට්‍රෝන්ග් ය.

සිය හැඟීම් තම හදවත තුළ ම සිරකොට තබා ගන්නා, කාගෙනුත් වෙන්ව සිටීමට ප්‍රියකරන හු‍ෙදකලා දිවයිනක් බඳු තම සැමියාත්, පිටස්තර ලෝකයත් යා කරන පාලම වන්නේ ආම්ස්ට්‍රොන්ග් බිරිය වන ජෑන්ය. අහිමිවීම්, බිඳ වැටීම් හා ආම්ස්ට්‍රොන්ග්ගේ නිහඬ, සංවෘත පුද්ගලභාවය අතරමැද වුවද, ආම්ස්ට්‍රෝන්ග් පවුල විසිර යන්නට නොදී පවත්වාගෙන යන්නී ඇයයි.

සිය සැමියාව නාසා ආයතනය විසින් ජෙමිනි වැඩසටහනට තෝරාගත් විට දරු පවුලත් රැගෙන හූස්ටන් කරා පැමිණෙන ඇගේ සෑම දවසක් ම ගෙවෙන්නේ තමා කොයි මොහොතේ හෝ වැන්දඹුභාවයට පත්විය හැකිය යන නියත බිය සිත්හි දරා ගෙනය. ආම්ස්ට්‍රෝන්ග් ඇපලෝ 11 මෙහෙයුමට පිටත්ව යාමට පෙර දා රාත්‍රියේ එතෙක් කලක් මුවින් නොබැණ සිතේ දරාගෙන සිටි වික්ෂිප්තභාවය ජෑන් පළමුවරට පිටකර හරින්නේ සිය ළාබාල දරු දෙදෙනා වෙනුවෙනි.

"ඔයා මේ දැන් එයාලට කියන්න ඕනේ. එයාලගේ තාත්තා මේ යන්න හදන්නේ ආපහු නොඑන ගමනක් කියලා. ඔයයි ඒක එයාලට කියන්න ඕනේ; මම නෙවෙයි. මට දැන් ඇතිවෙලයි තියෙන්නේ."

මීට වසර පනහකට පමණ එපිටදී එළැඹුණු ඓතිහාසික දිනයකට පෙරදා හු‍ෙදකලා රාත්‍රියකදී ආම්ස්ට්‍රෝන්ග් නි‍ෙවසේ සිදුවන්නට ඇති මේ සිදුවීම ප්‍රතිනිර්මාණය කරන්නී 'ෆර්ස්ට් මෑන්‘ චිත්‍රපටයේ ජෑන්ගේ චරිතය නිරූපණය කරන ක්ලෙයාර් ෆෝයි‘ය.

සිය පුතුන් දෙදෙනාට අවසන් වරට සමුදෙන මොහොත හැකිතාක් කල් දමන්නට කල් මරමින් සිටි ආම්ස්ට්‍රෝන්ග්ට ජෑන්ගේ අභියෝගය සඳ ජය ගැනීමේ අභියෝගයටත් වඩා දුෂ්කර වූවා නිසැකය.

ආම්ස්ට්‍රෝන්ග්ගේ නෙිටු පුතු මාක් එම සමුගැනීමේ අවස්ථාව විස්තර කර තිබුණේ සිය පියාගෙන් උරුමවූ හැඟීම්වලින් සසල නොවෙන ගතිගුණය මොනවට කියාපාන වචන වලිනි.

"අපේ ගෙදර සාමාන්‍යයෙන් කෑම මේස සාකච්ඡා තියන්නේ නැහැ. ඒත් එදා මගේ අයියා රික් එක්ක මම ඒ හමුවීම ඉවර කරලා ආවේ තාත්තා ආපහු එනවාමයි කියන විශ්වාසය ඇතිවයි."

කන් හැන්දකින් මනින්නට තරම් හෝ ප්‍රමාණවත් ළතෙත් බවක් හෝ මානූෂීයත්වයක් තමන්ට ඇති බවක් පිටතින් නොපෙන්වුවත් ඇතුළතින් නීල් ආම්ස්ට්‍රෝන්ග් සිටියේ හඬා වැටෙමිනි.

මොළයේ හටගත් පිළිකාවකින් වයස අවුරුදු දෙකේදි තමන්ව සදහට ම හැරදා ගිය සිය හුරතල් දියණිය කෙන්ගේ මතකය නිරන්තරයෙන්ම ඔහුව හොල්මන් කළේය. සඳ ජය ගැනීමේ මෙහෙයුමේ අර්බුදකාරි හා තීරණාත්මක අවස්ථාවලදී පවා රෝගී කේරන්ගේ මුදු හිසකෙස් අතරින් සිය අතැඟිලි යවමින් පිරිමැදි මතකයන් ආම්ස්ට්‍රෝන්ග් ව පෙළු අයුරු රයන් ගොස්ලින් නිරූපණය කරන්නේ හද පාරන ලෙස ය.

අධ්‍යක්ෂ චැසල් පවසන ආකාරයට එය අන්තරීක්ෂය වුවද තරණය කිරීමට යමකු පොලඹවන තරම් ප්‍රබල අන්දමේ වේදනාකාරී අහිමි වීමකි. ආම්ස්ට්‍රෝන්ග්ගේ උපශාන්ත, හැඟීම්වලින් සසල නොවූ පුද්ගලත්වයට මෙන්ම සඳ ජය ගැනීමේ අභියෝගය භාරගැනීමට පවා ඔහුව පෙලඹවූ සාධකය ඇතැම්විට එම අහිමිවීම වූවා විය හැකිය. ෆර්ස්ට් මෑන් ලබා තිබෙන ජයග්‍රහණයට හේතුව එය සඳ තරණය ගැන වැඩිදෙනෙක් දන්නා කතාවක් කීමෙන් නොසෑහී එහි නියමුවා පිළිබඳ ලෝකය මෙතෙක් නොදැන සිටි කතාවක් තිරයට ගෙනා නිසාය.

ජේම්ස් ආර්. හැන්සන්ගේ ෆර්ස්ට් මෑන්‘ කෘතිය ඇසුරෙන් ජොෂ් සින්ගර් විසින් රචිත තිරපිටපතකට අනුව ඩේමියන් චැසල් විසින් සලරූ තිරයට ගෙනා සඳ තරණයේ නීල් ආම්ස්ට්‍රෝන්ග්ගේ කතාව, අභ්‍යාවකාශය තේමා කරගත් සෙසු චිත්‍රපට හා බැඳෙන්නේ හු‍ෙදකලාව‘ නිසා ය.

අභ්‍යාවකාශයත් එය වසා පැතිරගත් තනිකම හා හු‍ෙදකලාව ගැනත් කතා කළ පළමුවැන්නා චැසල් නොවේ. ආන්ද්‍රේ ටාර්කොව්ස්කිගේ සෝලාරිස්‘ හා ඩග්ලස් ටර්න්බුල්ගේ සයිලන්ට් රනින්‘ හි සිට මෑත කාලයේදි ඇල්ෆොන්සෝ කුඑරොන්ගේ ග්‍රැවිටි‘ දක්වාත් අන්තරීක්ෂ හු‍ෙදකලාව ගැන අනේකාකාරයෙන් කතාකොට තිබේ.

ෆර්ස්ට් මෑන්හි විශේෂත්වය වන්නේ එය පෘථග්ජන අහිමිවීමක් සමඟ දැනෙන හු‍ෙදකලාව අන්තරීක්ෂය සමඟ මුහුකොට ඇති නිසා ය. සඳ මත පා තැබීමෙන් පසු එහි පිහිටිි ලිට්ල් වෙස්ට් ක්‍රේටර්‘ නැමැති ආවාටයට සිය මියගිය දියණියගේ අත් පළඳනාව හෙළන ආම්ස්ට්‍රෝන්ග්ගේ හුදකලාව අන්තරීක්ෂයේ සීමා පරාසයෙන් ඔබ්බට යන්නකි.

සඳ ජයගත් ඇපලෝ 11 මෙහෙයුම සිදුවු අවධිය සේම එය තිරයට ගෙනා අවධියත් ඇමරිකාව දේශපාලනික අර්බුදවලින් බැටකමින් සිටි වකවානුවක් විය.

මීට වසර පනහකට පමණ පෙරදි වියට්නාම යුද්ධයෙන් සේම සිවිල් අයිතීන් පිළිබඳ වූ අරගලවලින් හෙම්බත්ව සිටි ඇමරිකානුවන් සඳ තරණ මෙහෙයුමට මුදල් වැය කිරීම දුටුවේ වැඩකට නැති නාස්තියක් ලෙසයි. එදා එලෙස නැඟී ආ ජනතා විරෝධයේ නියෝජනයක් ෆර්ස්ට් මෑන් හි දිගහැරෙන්නේ අප්‍රිකානු ඇමරිකානු ජෑස් කවියකු වනිජිල් ස්කොට් හෙරන්ගේ ගීතවලින් සඳ තරණ මෙහෙයුමට සිදු කළ අරියාදුකම්වලට තිත වැටුණේ 1969 ජූලි 20දා සමස්ත මනුෂ්‍ය සංහතියම වෙනුවෙන් නීල් ආම්ස්ට්‍රෝන්ග් සඳ මත පියවර තැබූ අයුරු මිලියන ගණනක්වූ ලෝකවාසීන් රූපවාහිනියෙන් නරඹත්දී ය.

සඳගමනට අඩසිය වසක් සපිරෙන්නට වසරක් තිබියදී සඳ ගමනේ සිනමා සම්ප්‍රාප්තිය හොලිවුඩයේ ජන කෙහෙළි නංවත්දීල ඊට චෝදනා නඟන්නට තරම් නිහීනවූ දේශපාළුවෝ ඇමරිකාවේත් සිටියහ.

සඳ මත ගොඩබැසීම, පියවර තැබීම, පමණක් නොව ආම්ස්ට්‍රෝන්ග් වෙස්ට් ක්‍රේටර්හි ගත කළ ඔහුට ම පෞද්ගලික වූ සංවේදී මොහොත යනාදි හැමාකාරයෙන් ම ඊට අනුභූත වූ මුල් ඓතිහාසික සිදුවීමට චිත්‍රපටය පක්ෂපාති වුවද, පුහුදුන් දේශමාමකයන්ට ඒ ප්‍රමාණවත් වූයේ නැත.

සඳ මත ගොඩ බැස, ඇමරිකානු ධජය එහි ස්ථාපිත කරන අයුරු චිත්‍රපටයෙන් කපා හැර ඇති බවට විවේචනය කළ එවැන්නන්ට, ෆර්ස්ට් මෑන් හි සෙසු සියලු දර්ශනවල ඇමරිකානු ධජය ලෙළ දුන් බව පෙනුණේ නැත. ඒ හැරත් ජාතික ධජයක් ගැන කියමින් ව්‍යාජ දේශාභිමානයක් කරපින්නා ගත්තවුන්ගේ පාරම්බෑම්වලට වඩා උත්කෘෂ්ට යමක් මින් නිරූපණය වන බව ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි පටු අදහස් ඇත්තවුන්ට අවබෝධ කරවීම, ඔටුවකුට විය සිදුරෙන් රිංගා යෑමටත් වඩා දුෂ්කර කර්තව්‍යයකි.

අද මෙන්ම එදාද පවත්නා දේශපාලනික ස්ථාවරයෙන් ඇපලෝ මෙහෙයුමට ගැලවීමක් තිබුණේ නැත.

එදා යුද්ධයෙන් බැටකෑ රටක හිඳිමින් ජිල් ස්කොට් හෙරන් සිය විවේචනාත්මක ගීතයෙන් ඇපලෝ මෙහෙයුමට එරෙහිව නැඟූ චෝදනා අදට ද එකසේ වලංගුය. අභ්‍යාවකාශ තරණය වැනි විසිතුරු සිහින ජය ගැනීමට ප්‍රතිපාදන වෙන් කරත්දී තම රෝහල් බිල ගෙවා ගැනීමට තරම්වත් වත්කමක් නැති පිරිසක්ද සිටින බව අමතක කළ යුතු නැත. එහෙත් ජයගත යුතු ඉලක්ක වෙත ළඟා වීමට එවැනි තත්ත්ව බාධාවක් කරගත යුතු නැති බව මීට වසර පනහකට එපිටදී නීල් ආම්ස්ට්‍රෝන්ග් කියා දී තිබේ.

එදා සඳ ජයගත් මිනිසා අද විශ්වය ජය ගනිමින් සිටින්නේ ආම්ස්ට්‍රෝන්ග් දුන් පූර්වාදර්ශය අනුව යමිනි. අනේකවිධ දුක් තැවුල් මධ්‍යයේ අරමුණ අත නෑර සිටි නීල් ආම්ස්ට්‍රෝන්ග් හැරෙන්නට එම පූර්වාදර්ශය දෙන්නට අන් සුදුස්සකු නැති බව අපට සිහිපත් කර දෙන්නේ ෆර්ස්ට් මෑන් ය‘.

 

අදහස්