ගීය­කට පෙර­ළුණු විරහ වේද­නා­වෙන් කියූ වස් කවිය අමුඩේ | සිළුමිණ

ගීය­කට පෙර­ළුණු විරහ වේද­නා­වෙන් කියූ වස් කවිය අමුඩේ

‘වසර මතක නැත. නමුත් සිද්ධිය අද ඊයේ මෙන් මතකය. ලොකු අයියා ජැන්ඩියට හැඳ පැලඳ ගෙන පොඩි අයියා සමඟ සිය මිතුරකුගේ මංගල උත්සවයකට ගියේය. ඔහුගේ තනිවට පොඩි අයියාද ගියේය. අම්මා එළි වන තුරු මඟ බලා සිටියාය. ඔන්න ඔය දොරවල් වහලා නිදා ගන්න. එන වෙලාවක එන්නේ නැතැ. දොරකඩ වාඩි වී අයියලා එනතුරු මඟ බලා සිටින අම්මාට තාත්තා කීවේ මඳක් තරහිනි. බිය වන්නට දෙයක් නැත. අයියලා මත්පැන් බොන්නේ ද නැත. රාත්‍රිය ගෙවී ගියේය. අයියලා ගෙදර නොආවෝය. අම්මා හා තාත්තා අයියලා ගැන සොයන්නට විය.

“අන්න මඟුල් ගෙදර ගිය හැමෝම ඉස්පිරිතාලේලු”

පණිවිඩය අවේ එහා ගෙදරිනි. තාත්තා හනිකට ඉස්පිරිතාලේ ගියේය. ගමෙන් බාගයකට වඩා මඟුල් ගෙදර ගොස් තිබිණි. කොල්ලන්ට වමනේ යනවා. බඩ එළිය යනවා. ගත්තනම් බැදිහාල් කැඳ මුට්ටියක් හදලා. මනමාලියි මනමාලයත් ඉස්පිරිතාලේ. මඟුල් ගෙදර ගිය හැමෝම වගේ ඉස්පිරිතාලේ වාට්ටු දෙකේ පිරිලා. කවුදෝ කෑමට ජාපාල ඇට දාලාලු.”

අම්මාත් තාත්තාත් කැඳ හදන්නට වූහ. ගම්මු තැඹිලි කපාගෙන රෝහල් ගියහ. වැඩේ නරකය. එය පළිගැනීමකි. මනාලිය වෙනත් අයකු හා දිග යන දා ඇය නොලැබීමේ දුකට කලින් පෙම්වතා සිය දුක හා තරහව පිටකරගෙ තිබුණේ එසේය. කාලය වෙනස්ය. දැන් පෙම් පලහිලව් අවසන් වන්නේ එසේ නොවේ. එක්කෝ පිහියෙන් ඇන මරා දමාය. එහෙමත් නැත්නම් වෙඩි තබා මරා දැමීමෙනි. හිමි කරගන්නට බැරි වූ විට දෙදෙනාටම ජීවත් වීමේ වරම අහිමි කරන යුගයකට අද පෙම්වතුන් පැමිණ තිබේ. එහෙත්

“දුන්නු තේ එකට සිනී වෙනුවට

කලපු ලුණු හැන්දක්ම වැටියාන්

ආයුබෝවන් කියන මොහොතේ

බුලත් හෙප්පුව බිම පෙරළියන්

කොයිතරම් ලස්සන වුණත් මට

ඌට මහ වස කැතට පෙනියාන්...”

 

මේ ගීතය ඇසුණු විට සිනහවක් නැගුණේ ඉබේටමය. එනමුදු සිනහව පසෙකලා බැලූ විට හාස්‍ය රසය යටපත් කරගෙන මෙය අපූරු කතාවක් අපට කියයි. එකක් පෙම්වතකුගේ අහිංසක ආයාචනයකි. අහිමි වීම විඳදරා ගන්නට බැරිව ඔහු ප්‍රාර්ථනා කරන්නේ බොහෝ අහිංසක ඉල්ලීම් ටිකකි. තම පෙම්වතිය බලන්නට වෙනත් මනාලයකු එන දා එය ඔහු විඳ දරා ගන්නේ එසේ කියමිනි. ඔහු අහිංසක පෙම්වතකු යැයි අපට කියන්නට සිදුවන්නේ ඔහුගේ ඉල්ලීම් හා ප්‍රාර්ථනා නිසාය. ඔහු කිණිසි අමෝරාගෙන පෙම්වතියගේ දෙමාපියන් සහෝදරයා සමඟ ගැටුමට නොයයි. නමුදු බොහෝ පෙම්බඳින පෙම්වතිය තමන්ටම හිමි වේවා යන්න ඔහුගේ පැතුමයි.

ජාති බේද, ආගම් බේද, කුලය, දුප්පත් පොහොසත්කම් මේ කිසිවක් දෙදෙනකු අතර ආදරය ඇති වීමට බලපාන්නේ නැත. ආදරයෙන් බැඳුණු හිත් එක වහලක් යටට වනදා මේ සියල්ලම බලපානු ලැබේ. දිවි හිමියෙන් වෙන් නොවන්නේ යැයි කියා පෙමින් බැඳුණ ද මවුපිය විරෝධය මැද දෙපසට වූ පෙම්වතුන් බොහෝය. නමුදු ආදරයට මුල් තැන දී මවුපියන්ට හොරෙන් ලොවක් ගොඩනගා ගත් පෙම්වතුන් පෙම්වතියන් ද අප අතර නැතුවාම නොවේ. ආදරය මහ පුදුමාකාරය. කොහොම වුණත් සමන් ලෙනින්ගේ සංගීතයෙන් හැඩවී ඔහු විසින්ම ගයන ජන ගී ආරේ මෙම අපූරු ගීතයේ පද රචකයා දිල්ෂාන් පතිරත්න ගීතය පිළිබඳ පවසන්නේ මෙවැනි කතාවකි.

‘‘එකෝමත් එක කාලෙක මට පෙම්වතියක් හිටියා. ඒකි හරි ලස්සන කෙල්ල. මලක් වගේ. අපි හිටියෙ බොහොම ආදරෙන්. නමුත් ඇයට මට වඩා හොඳ කෙනකු විවාහ කර දෙන්න ඇගේ මවුපියන්ට ඕන වුණා. ඔවුන් මගේ කෙල්ලට මනාලයෙක් ගෙනාවා. ඔය මනාලයා මැරියන් කියලා හිතුණු වාර අපමණයි. මනාලයා කෙල්ල බලන්න එනදාට ඌව මරන්න කියලා පිහියක් මන්නයක් අතට ගන්න තරම් මගෙ හිතට හයියක් තිබුණේ නැහැ. මගේ කෙල්ලගේ අම්මා, අයියා, ආච්චි අම්මා හැමෝ ගැනම මගේ හිතේ තිබුණේ තරහක්. තාත්තා මට මුකුත් කියලා නැහැ. මට තාත්තා ගැන තරහක් තිබුණේ නැහැ.

හැමෝ ගැනම තිබුණ තරහා මම ඇරියේ කපුවගෙ පිටින්. මට ඕන වුණේ විලිසංගෙ නැති වෙන ජාතියේ වැඩකින් ඒ මඟුල් කතාව ඉවර කරන්න. ඔන්න ඔය විදිහටයි මම වස්කවිය ලිව්වේ. මුලින්ම මේ කවිය පළවුණේ මගේ කලියුගයේ කුමාරයා කවි පොතේ. මේක සින්දුවක් කරමු කියලා මුලින්ම කිව්වේ සහන් රංවල. පස්සේ තමයි සමන් මේ කවිය දැක්කේ. කොහොම හරි සමන්, සහන් ගෙන් මේ කවිය ඉල්ලගෙන කියලා තිබුණා. මට වගේම සමන්ටත් මේ කවියේ අත්දැකීම විඳින්න ලැබිලා තියෙනවා.”

වස්කවියක් වූ උපහාසයෙන් පිරුණ මේ කවිය පිළිබඳ දිල්ශාන්ගේ අදහසයි ඒ. වර්තමානයේ ඇසෙන බොහෝ ගීත අතර වෙනස්ම අදහසක් වෙනස්ම වින්දනයක් වෙනස්ම ආරකට අසන්නට හැකි ගීතයක් ලෙස මෙම ගීතය හැඳින්විය හැකිය. මෙය සමාජ ජාලා වෙබ් අඩවි වල ‘අමුඩේ‘ නමින් බොහෝ ප්‍රසිද්ධියක් ලබා තිබේ.

 

 

අදහස්