නවක ගායක සුපු­න්ගෙන් අලුත් ගීත තුනක් | සිළුමිණ

නවක ගායක සුපු­න්ගෙන් අලුත් ගීත තුනක්

ආදරවන්තයින්ගේ දිනය එළැඹෙන්නට ඇත්තේ තව දින කිහිපයකි. අතීතයේ පටන් පෙම්වතුන්, පෙම්වතියන් තමන්ගේ ආදරය දිනා ගැනීමට දිවි පරදුවට තිබූ අවස්ථාද අපි අසා ඇත්තෙමු. එවැනි පෙම්වතුන්, පෙම්වතියන් වෙනුවෙන් ඉදිවුණු සිහිවටන, ගීත, ආදර කතා කොතෙකුත් අප ඇත. එලෙස උපන් ගීත යුගයෙන් යුගයට රසික සිත් අමන්දානන්දයට පත් කරමින් පෙම්වතුන්ගේ සිත් සතන් තුළ සදා ලැගුම් ගනී. වත්මන් පරපුරේ ගායක සුපුන් ශලින්ද ගායනා කරන ගීතද පෙම්වතුන් වෙනුවෙන් ගැයෙන්ආදරණීය ගීතයන්ය.

ආදරය ගැන කියා දුන්නු

ආදරෙන් සමුගෙන ගියේ

ආයි කිසිදින විඳින්නට බැරි

පවන් රැල්ලක් හමාගියේ....

සරත් විමලසිරිගේ පද රචනයට මහින්ද බණ්ඩාර සංගීතවත් කළ සුපුන් ශලින්ද ගායනාකරන මෙම ගීතය මේ දිනවල යූ ටියුබ් හරහා රසවිඳිය හැක. රසිකයන් වෙනුවෙන් හරවත්, රසවත් ගීත කලාවක් ඇති කරන්නට උත්සාහයක යෙදෙන දක්ෂ ඩ්‍රම්ස් වාදන ශිල්පියකු ලෙසත් සුපුන් හදුන්වා දිය හැකියි.

‘මම සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ මෙලඩියන්ස් වාදක මණ්ඩලයේ ඩ්‍රම්ස් වාදන ශිල්පියා ලෙසයි. අවරුදු දහයක් පමණ එම වාදක මණ්ඩලයේ සිටියා. පසුව කිසියම් හෝ හේතුවක් නිසා එම සංගීත කණ්ඩායම විසිරී ගියා. ඉන් පසුව ඉතාලියේ වසර දාසයක් රැකියාව කර නැවතත් මෙරටට පැමණියා‘

සුපුන් පාසල් කාලයේ සිටම සංගීතය විෂයක් ලෙස හදාරා තිබේ. මීගමුව ශාන්ත මරියා විදුහලෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු ට ගීත ගායනයට පල්ලියේ ආභාෂය මෙන්ම පියාගේ මග පෙන්වීමද ලැබී ඇත.

‘මගේ පියා කැලැරන්ස් රොද්‍රිගූ. ඔහු අසුව දශකයේ ජනප්‍රිය ගායකයෙක්. තාත්තා ගායනාකළ ක්ෂිතිජ ඉසව්වේ, ආදරෙයි මං ආදරෙයි, ඒ කාලයේ රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය ගීත‘

රුවන් ශ්‍රිලාල් සහ ප්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ සාමාජිකයන් සුපුන්ගේ සමකාලීනයන් ලෙස හදුන්වාදිය හැක .

‘මට ඉතාලි යනකොට වයස අවුරුදු විසිතුනයි. වසර දහසයක්ම ඉතාලියේ ගතකර ලංකාවට ආවේ. මෙවර පැමිණ කලාවට අතගසා තවම වසර දෙකයි. අමිල දිල්ෂාන් පද රචනය කර සංගීතවත් කළ ‘මං ගාව දෑස තනිවෙච්ච‘ ගීතය සහ සම්පත් ප්‍රනාන්දුපුල්ලේ පද රචනය කර නාලක අංජන සංගීතවත්කළ ‘සඳ මායාවිය‘ ගීතයත් නාලක අංජන සංගීතවත් කළ තනුජා ධනංසූරිය පද රචනය කළ ‘හොඳම කාලය ගෙවී ගිය පසු‘ ගීත රූප රාමු සමගින් ළඟදීම රසිකයන් වෙත තිළිණ කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

‘මම ගීත ගායනාකරන්නේ මුදල් හම්බකරගන්න නෙමෙයි. මගේ හිතේ සතුටට සහ විනෝදාංශයක් ලෙසයි. මගේ රැකියාව ව්‍යාපාරික කටයුතුවල නිරතවීම. බිරිය හර්ෂණීත් දරුවන් හසිනි, හසින්ද, හසින්දි, හසලි ආදරයෙන් සිහිපත් කරනවා. ඔවුන්ගේ වැඩත්, ව්‍යාපාරික කටයුතු හේතුවෙන් එළිමහන් සංගීත ප්‍රසංගවලට සහභාගිවෙන්නට අවස්ථාවක් නැහැ. එහෙත් අලංකාර ගී පද රචනා තිබෙනවනම් ජෝන් සීපුඩ් ප්‍රයිවට් ලිමිටඩ්, කොස්ගහවත්ත, නැගෙනහිර කළුවාරිප්පුව, කටාන ලිපිනයට යොමු කරන්න.

නයනා

ඡායාරූපය- ශාන් රඹුක්වැල්ල


සිට්රෝ අත්කම්

නිර්මාණ ප්‍රදර්ශනයක්

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී පූර්ණා කුලරත්න සහ ඇගේ සිසුවියන් 7වැනි වරටත් ඉදිරිපත් කරන සිට්රෝ අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය ලබන 16 සහ 17 දිනවල කොළඹ 07 ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේදී පෙ.ව. 10.00 සිට පස්වරු 7.00 දක්වා පැවැත්වේ. මෙහිදී බ්‍රසීලියන් එම්බ්‍රොයිඩරි, රිබන්, පේපර් ටෝල්, හාර්ඩැන්ගර්, ටෙට්සුකා, පන්ච් එම්බ්‍රොයිඩරි මේස රෙදි ඇඳ ඇතිරිලි, බිත්ති සැරසිලි ඇතුළු විවිධ අත්කම් නිර්මාණ 250කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන පිරිස අතරින් කුසපත් ඇදීමෙන් තෝරාගන්නා ජයග්‍රාහකයන් තිදෙනකුට ත්‍යාග පිරිනැමේ.


දිඹුලාගල පුරාවත බෞද්ධ රූපවාහිනී

වැඩ සටහනේ රූගත කිරීම් නිමවේ

ඓතිහාසික දිඹුලාගල රජමහා විහාරාධිපති මිල්ලානේ සිරියලංකාර හිමි සහ ශාස්ත්‍රපති පණ්ඩිත මාදුලුවාවේ විජිතලංකාර හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් කලා ශිල්පී අතුල ශ්‍රී ලාල් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරන ‘උදුම්බරාගිරි ධූමරක්තපබ්බත දිඹුලාගල පුරාවත‘ සමාජ සංස්කෘතික බෞද්ධ රූපවාහිනී වැඩ සටහන මේ වන විට රූගත කිරීම් නිමකර තිබේ. මහා වංශයෙහි සඳහන් පරිදි පුලතිසිපුර 1 වැනි විජයබා රජ දවස ඔහුගේ බිසව සුන්දරා දේවිය සිදු කළ ශාසනික සේවාව ඇසුරෙන් මෙම කතා පුවත නිර්මාණය කර ඇති අතර මෙම කතා පුවතේ එන ධර්ම සංගායනාව, ගල් විහාරයේදී සිදුකරන ලද ධම්ම කථිකාව, දේශීය විදේශීය ජාත්‍යන්තර පාලි බෞද්ධ සාමලා පොකුණ රජමහා විහාරය, එකල පැවැති චිත්‍ර සිතුවම් ගැන , ආදි මානවයා විසූ තැන්, ශිලා ලිපි සහ බෝධි ඝරයන්, සඳකඩ පහණ්, දාස්තොටදී කරන ලද උපසම්පදා කර්මයද, බිසවුන් විසින් නිර්මාණය කරන ලද ගල්කුටි සහ පණ්ඩුකාභය කතා පුවතද මෙයට ඇතුළත්වේ. රංගන ශිල්පී ෂෙහානි මල්ෂා සහ රංගන ශිල්පී අතුල ශ්‍රී ලාල් දිඹුලාගල පුරාවත නිර්මාණයේ චරිත නිරූපණය කරති.


17 වැනිදා චිත්‍ර කලා ඇකඩමියක් ඇරැඹේ

විවිධ වෘත්තීන්වල යෙදී සිටින තරුණවියේදී චිත්‍ර ඇඳීමේ ආශාව ගිලිහී ගිය වැඩිහිටියන්ට , තරුණ තරුණියන්ට, උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විධිමත් චිත්‍ර කලා ඇකඩමියක් ලබන 17 වැනිදා ඉරිදා පෙරවරු 10.00ට නාවල කොස්වත්ත පාරේ අංක 22/7 ස්වර්ණදිසි පෙදෙසේදී ආරම්භ කෙරේ.

මිනිස් රූප ඇඳීම, ප්‍රතිරූප, සත්ව රූප ඇඳීම, භූමි දර්ශන ඇඳීම, පර්යාලේඛන චිත්‍ර, අඳුර ආලෝකය අනුව තෙල් සායම්, දිය සායම්, ඇක්‍රලික්, චාකෝල්, පැස්ටල්, පැන්සල් රේඛා යන මාධ්‍ය වලින් හැසිරවීම මෙහිදී විධිමත්ව අධ්‍යයනය කළ හැකිය.

දිවයිනේ ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් දෙදෙනකු හා ලංකා කලා සංගමයේ හිටපු සභාපතිවරයකු වන බ්‍රින්ඩ්ලි ජයතුංග හා ලංකා කලා සංගමයේ හිටපු චිත්‍ර කලා උපෙදේශකවරයකු වන බණ්ඩාරගම ජයන්ත කන්නන්ගර යන දෙදෙනා විසින් මෙහෙයවනු ලබයි.


මීළඟ පරපුර

රැකියාව අතරතුර කලාවේ නියැලෙන මධුර ප්‍රසන්න බන්දුසේන

“හිමිදිරියේම පිපෙන මල් පොකුරේ පුංචි මලක් වෙන්න...”ගීතය ඇතළු තවත් ගී කිහිපයක්ම ගායනා කර ඇති මධුර ගී ගැයිමට පමණක් නොව කලා අංශ කිහියකින් දස්කම් දක්වන්නෙකි.

හතර දෙනකුගෙන් යුත් පවුලේ තුන්වැන්නාව උපන් මධුර පාසල් නවයක පමණ උගත්තේය. ඊට හේතුව වූයේ සිය පියා විදුහල්පතිවරයකු ලෙස ගුරු සේවයේ නියැලීම නිසා ලැබෙන මාරුවීම් අනුව යාමට සිදුවීමය. අම්මාගෙත් තාත්තාගෙත් ආදරය, මඟ පෙන්වීම මැද හැදී වැඩුණ මධුර පාසල් වියේදී ඉගෙනුමට මුල්තැන දුන්නේය.

මැදගම ජාතික පාසල , මොනරාගල රාජකීය විද්‍යාලය, මහනුවර කිංස්වුඩ් විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයකම ඉගෙනුම ලැබූ මධුර උසස් පෙළ සඳහා ඉගෙනුම ලැබුවේ ගණිත අංශයෙනි. පාසල් අධ්‍යාපනය අවසානයේ බැංකු කේෂත්‍රයේ රැකියාවක නියුතු වූ මධුරගේ ජීවිතය නිර්මාණකරණයට යොමු වන්නේද ඒ සමඟය. මේවන විට ඔහු වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශයේ රැකියාවේ නියුතු වන්නේය.

“ මම කවි ලිව්වා සිංදු ලිව්වා. නමුත් මේ දේවල් කෙරෙහි තිබුණ මගේ උනන්දුව වැඩි වන්නෙත් ඒ සඳහා කාලය වැයකරන්න ලැබෙන්නෙත් කොළඹට ආවට පස්සේ. මම දුලිප් ගබඩා මුදලි සර් යටතේ ඕඩියෝ ඉංජිනේරු පාඨමාලාවක් හැදැරුවා. මම මුලින් කියපු සිංදුව තමයි අසිරි සිරි දළදා කියන ගීතය. ඒ සිංදුව කළේ 2008 වසරේදී. ඉන් පස්සේ මම නත්තල් ගීතයක් ලිව්වා. එය ගැයුවේ රිද්මා තිළිණි ප්‍රනාන්දු. මම ගීත වලට රූප රචනාත් කර තිබෙනවා. මාව මේ කලා කටයුතු සඳහා උනන්දු කළේ තිසර මනෝජ් හා අමිත් ගුරුලේවල කියන යාළුවෝ. මම ගීත ගායනා කරනවා වගේම තනු නිර්මාණය කරනවා, සිංදු ලියනවා. ගීතයක් කරන්න කියලා මා උනන්දු කළේ ලකිත් ශ්‍යාමන් සොහොයුරා. මම මෙ හැමදේම කරන්නෙ රැකියාව කරන ගමන්. මට මේ හැමදේටම දීපිකා, කිත්මිණි සොහොයුරියනුත් උදව් කරනවා. ඉදිරියේදි තවත් ගීත කිහිපයක් කිරීම තමයි මගේ බලා පොරොත්තුව.”

මධුර පවසන්නේය. සංගීත ක්ෂේත්‍රයට ආධුනිකයකු වන ඔහුට දිගු ගමනක් යාමට සුබ පතමු.

ඔහුගේ ලිපිනය-303/1

සොෆ් ෆාස්ට්

නුවරඑඵළිය.

 

අදහස්