පෙම්වතා ගැන කතා­ ක­රන්න මම කැමති නෑ | Page 2 | සිළුමිණ

පෙම්වතා ගැන කතා­ ක­රන්න මම කැමති නෑ

හාරකෝටිය ටෙලිනාට්‍යයෙන් රංගනයට පිවිස මේ වන විට සිල්ලර සමනල්ලු, කෝටිපතියෝ ටෙලිනාට්‍ය සමඟ ඔබ වෙත එන දිනිති වල්ගමගේ මේ දිනවල රසිකයන් අතර ජනප්‍රිය රංගන ශිල්පිනියක්. කෝටිපතියෝ ටෙලිනාට්‍යයේ අභිෂේකා චරිතය මඟින් ප්‍රේක්ෂක ආදරය දිනූ ඇය කලාවේ සෙමෙන් ගමනක් යන දක්ෂ, රුවැති රංගන ශිල්පිනියක් යැයි කීවොත් නිවැරැදියි. මේ ඇය රසඳුන තුන්වැනි පිටුව හැඩකරන්නට එක්වූ අයුරුයි.

 

‘අභිෂේකා‘ ප්‍රේක්ෂකයන් ඔබව වැලඳගත් ආදරණීය නම...

 

ඔව්.. අභිෂේකා නමින් තමයි දැන් ගොඩක් අය කතාකරන්නේ.

 

එහෙනම් අභිෂේකා කියන්නද? දිනිති කියන්නද?

 

දිනිති කියන්න. මොකද අභිෂේකා චරිතය අවසන් වෙන්න ළඟයි. එහෙත් දිනිති හැමදාම ඉන්නවනේ.

 

එහෙත් අභිෂේකා අතිශයින් ජනප්‍රියයි. කියනවද අභිෂේකාට ලැබෙන ප්‍රතිචාර ගැන...

 

ප්‍රතිචාර ගොඩක්ම හොඳයි. ලංකාවේ ටෙලිනාට්‍ය නරඹන හැමකෙනෙක්ම ‘කෝටිපතියෝ’ ටෙලි නාට්‍යයේ අභිෂේකාට ආදරය කරනවා. අභිෂේකාට ඉක්මනට සනීපවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. අනුකම්පා කරනවා. ඒ ප්‍රතිචාරත් එක්ක මේ දවස්වල බොහොම සතුටින් ඉන්නවා.

 

ඔබ රංගනයට එන්නේ..

 

චාමර සමරවික්‍රම කියන මගේ අයියගෙ යහළුවා මාර්ගයෙන්. ඔහු මගෙන් රඟපාන්න කැමැතිද කියා කිහිප අවස්ථාවක්ම ඇහුවා. එහෙත් මම කැමැති වුණේ නෑ.

පස්සෙ කාලයක් ගිහින් නැවතත් චාමර අයියා “නංගී ‘හාරකෝටිය‘ කියා අලුත් ටෙලි ඩ්‍රාමා එකක් පටන්ගන්නවා. ඒකෙ ඉන්නෙ ඔක්කොම හොඳ නළු නිළියෝ එනවද කියල ඇහුවා. මම ටිකක් අදිමදි කරල එන්නම් කීවා. පස්සෙ හාරකෝටිය අධ්‍යක්ෂ ශිවා අයියා මාව දැකල අභිෂේකා චරිතයට තෝරා ගත්තා. මම අදටත් චාමර අයියව දැක්කම කියනවා ඔයා තමයි මාව බලෙන්ම නිළියක් කළේ කියල. ඇත්තටම ඔහුට ස්තූතිවන්ත විය යුතුයි මාව රංගන ශිල්පිනියක් කළාට.

 

ඇත්තද ... පාසල් කාලයේදී වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක් කියන්නේ...

 

ගාල්ල කලාපයේ පැවැති වේදිකා නාට්‍ය කිහිපයකම පාසල් යන කාලයේදි රඟපෑවා. ශේක්ස්පියර් නාට්‍යයේ රඟපෑවා. වයස අවුරුදු හතේදි රාජ්‍ය නාට්‍ය උ‌ෙල­‌ෙළ්දි ‘සළුව‘ කියන වේදිකා නාට්‍යයට කළ රංගනයට කුසලතා සම්මානයක් ලැබුණා. සමස්ත ලංකා තරගවලින් කිහිප අවස්ථාවකදීම සම්මාන ලබා තිබෙනවා.

 

 

ඔබේ වෘත්තිය රංගනය නෙමෙයි..

 

ඔව්. මම වෘත්තියෙන් ගුවන්සේවිකාවක් ලෙස ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගමේ සේවය කරනවා.

 

ඔබේ මවුපියන් කැමැති නෑ නේද.. ඔබ ගුවන් සේවිකාවක වුණාට..

 

මගේ පියා නාට්‍ය හා රංගකලාව පිළිබඳව ගුරු උපදේශකවරයකු ලෙස සේවයකර දැන් විශ්‍රාමිකයි. මව ගුරුවරියක්. මට ඉන්නේ අයියලා දෙදෙනෙක්. ඔවුන් විවාහකයි. ඒ අය අදත් කැමති නැහැ මගේ වෘත්තියට. මම මගේ තනි කැමැත්තට තමයි මේ වෘත්තිය තෝරා ගත්තේ. මේ රැකියාව මගේ කුඩා කළ සිට තිබූ හීනයක්.

 

ඉන්දියාවට යැව්වෙත් රැකියාවට යන අදහස වෙනස් කරන්න ද?

 

නැහැ. අම්මටයි තාත්තටයි ඕනෑ වුණා මම උපාධිධාරිණියක් වෙනවා දකින්න. විශේෂයෙන් මගේ අම්මා මගෙන් උපාධියක් බලාපොරොත්තු වුණා. ඒ නිසා මට හිතුණා මම උපාධියක් ලබාගෙන ඒ අයගේ බලාපොරොත්තු ඉටුකළොත් ඔවුනුත් මගේ බලාපොරොත්තුව ඉටු කරයි කියලා. ඒ නිසා තමයි 2010 වසරේදි ඉන්දියාවට ගියේ ජෛව තාක්ෂණය පිළිබඳ උපාධිය හදාරන්න. එහි වසර තුනක් සිට උපාධිය ලබාගෙන ඇවිත් නැවතත් ගුවන් සේවිකාවක් වන්න කැමැත්ත අරගෙන තමයි රැකියාවට ගියේ.

 

ඇයි ඔය තරමටම එම වෘත්තියට කැමැති?

 

කුඩා කාලෙ සිටම හීනයක් තිබුණා ලෝකය බලන්න ඕනෑ, දකින්න ඕනෑ කියලා. එයට හොඳම අවස්ථාව මේ රැකියාව තමයි කියලා හිතුවා. මට ඕනෙ ලෝකෙ තියෙන රටවල් සියල්ලම බලන්න. ඒවායෙහි තියෙන සුන්දරත්වය විඳින්න. 2014 ගුවන්සේවිකාවක් ලෙස රැකියාවට යොමුවුණේ ඒ නිසයි. මේවන විට රටවල් පනස් පහකට පමණ ගොස් තිබෙනවා.

 

පෙම්වතා ගැනත් කියමු..

 

පෙම්වතා ගැන කතා කරන්න මම කැමැති නැහැ.

 

අනාගත බලාපොරොත්තු..

 

බලාපොරොත්තු සියල්ලම මේ වන විට සපුරාගෙන අවසන්. මගේ බලාපොරොත්තුව ඉටු කරගත්තා. මවුපියන්ගෙ බලාපොරොත්තුව ඉටුකළා. රංගන ශිල්පිනියක ලෙස පසුගිය කාලයේ රයිගම් සම්මාන සඳහා නිර්දේශ වුණා. එවිට මම කලාවට පය තියල මාස පහයි. හැම බලාපොරොත්තුවක්ම ඉටුවන විට අමුතුවෙන් ළඟා කරගන්න කියා විශේෂ බලාපොරොත්තුවක් නෑ.

 

කවුරුද මේතාක් එන්න උදවු කළේ..

 

පළමුව මගේ තාත්තා. ඔහු තමයි මට ලැබෙන නිර්මාණවල පිටපත් කියවලා මට ගැළපෙන චරිතයක්ද කියා තීරණය කරන්නේ.

ඉන් පසුව මගේ අම්මා, සහොයුරන්, මගේ ලොකු අම්මා ඇය තමයි කොළඹට වී මගේ තනි රකින්නෙ. රැකියාව කරන ස්ථානයේ සියලුම දෙනා, චාමර අයියා,ශිවා අයියා, සංජීව නිර්මාල්, සද්ධා අයියා ඇතුළු සියලුම දෙනාව ආදරයෙන් සිහිපත් කරනවා. 

Comments