මම කැමැ­ති හැම ආර­කම ගීත ගායනා කරන්න - චිලාන් ද සිල්වා | සිළුමිණ

මම කැමැ­ති හැම ආර­කම ගීත ගායනා කරන්න - චිලාන් ද සිල්වා

මෙරට ගායන ක්ෂේත්‍රයේ වේග රිද්ම බයිලා ගායකයන් අතර ඔහුගේ නම මුලටම කියැවෙයි. ඒ තරමටම ඔහුගේ රුව මෙන්ම හඬත් අපේ සිත් සතන් තුළ සදා මතකයේ රැඳෙයි. දශක ගණනක් පුරා ලාංකේය ගීත කලාවේ විරාජමාන වෙමින් සිටින මෙම අසහාය ගායකයා සමන් ද සිල්වාය. ඔහුගේ පුත් චිලාන් ද සිල්වා පියාගේ අඩිපාරේ යන්නට එංගලන්තයේ සිට පසුගියදා ලංකාවට පැමිණියා. ඒ නිකම් නෙමෙයි අලුතෙන් ගීතයක්ද අරගෙනයි. ඒ ගැන රසඳුන සමග කළ කතා බහයි මේ.

චිලාන් ඔබ මොනවද එංගලන්තයේ කරන්නේ..

හෝටල් 17ක කළමනාකරුවෙක් ලෙස වැඩකරනවා. ඊට අමතරව නිවාඩු දිනවල බෑන්ඩ් එකක ඩ්‍රම්ස් වාදනය කරනවා. අපේ බෑන්ඩ් එකේ ඉන්න සියලු දෙනාම ලංකාවේ අය.

ඔබේ පියා ප්‍රවීණ ගායකයෙක්. එහෙත් ඔබ කටයුතු කරන්නේ වාදකයෙක් විදිහට...

මම ඩ්‍රම්ස් වාදනයට අමතරව ගායනයත් කරනවා. මිල්ටන් මල්ලවාරච්චි, කලැරන්ස් විජේවර්ධන සහ මගේ පියාගේ ගීත තමයි වැඩිපුරම ගායනා කරන්නේ. තාත්තාගේ ගීත ගොඩක් වේග රිද්ම නිසා මම කැමැතියි හැම ආරකම ගීත ගායනා කරන්න.

ඔබ ගීතයක් නිර්මාණය කර තිබෙනවා...

ඔව්. මා ගායනා කළ පළමු ගීතය තමයි පෑරෙනා නෙතු අගින්.

කියමුද එහි පද ටිකක්...

පෑරෙනා නෙතු අගින්

ආදරේ බොඳ වුණා

පෑහෙනා දුක අරන්

අපි තවත් දුර ගියා..

මෙම ගීතයේ පද රචනය මනුරංග විජේසේකර. සංගීතය දිලුම් තේජන.

චිලාන් ඇයි අලුත්ම ගීතයකින් ක්ෂේත්‍රයට එන්න හිතුවේ...

මම සමන් ද සිල්වාගේ පුතා කියල තාත්තගෙ ගීත ගායනා කරල තාත්තගෙන් යැපෙන කලාකරුවෙක් වෙන්න කැමැති නැහැ. මට ඕනෑ වුණා මගේම මගේම ගීතයකින් කලාවට එන්නට.

ඔබ කුඩා කාලයේ සිටම සංගීතය හැදෑරුවත් කලාවට එන්න මෙතරම් ප්‍රමාද වුණේ ඇයි?

මම පාසල් ගියේ කොළඹ නාලන්දා විද්‍යාලයට. සාමාන්‍ය පෙළ දක්වා සංගීතය හැදෑරුවා. සාමාන්‍ය පෙළ කරන කාලෙදි DJ ශිල්පියෙකු ලෙස ප්‍රසංග සහ උත්සව සඳහා සහභාගිවුණා. උසස් පෙළ අවසන් කර තාත්තාගේ ‘සමන් ඇන්ඩ් ද ක්ලෑන්‘ කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදන ශිල්පියා ලෙස වැඩ කළා. ඉන් පසු තමයි එංගලන්තයට යන්නේ වැඩිදුර අධ්‍යාපනය හදාරන්න. ඒ නිසයි මගේම ගීතයක් ගායනා කරන්න ප්‍රමාද වුණේ. එහෙම නැතුව කලාව අතහැරලා නෙමෙයි.

මෙම ගීතය ආදර ගීයක්...

ඔව්. ‘පෑරෙනා නෙතු අගින්‘ ගීතය ආදර ගීතයක්. එහි මියුසික් වීඩියෝව ළඟදීම එළිදක්වනවා. මී ළඟට ‘අහසට ගිනි තියා‘ කියන ගීතයත් ළඟදීම රසිකයන්ට තිළිණ කරනවා. එහි මියුසික් වීඩියෝව ලන්ඩන්වල කරන්නයි බලාපොරොත්තුව.

විදේශ රටක සිටිමින් මෙරට කලාවේ නියැළෙන එක පහසුවෙයි කියා හිතනවද...

මම දන්නවා විදෙස් රටක ඉඳන් ලංකාවේ කලාව කරන්න බැහැ. ඒ නිසා දැනටමත් තීරණයක් අරන් ඉන්නේ. තව අවුරුදු දෙකකින් විතර ලංකාවේ පූර්ණකාලීනව කලාවේ නිරත වෙනවා කියලා.

තාත්තා කැමැති වෙයිද ඔබේ අදහසට...

ඔහු කැමැතියි මම කලාවට එනවට. දැනටත් කියන්නේ මෙහෙ නමක් හදාගෙන ගායකයකු ලෙසින් වැඩකරන්න කියා. මගේ කැමැත්තටයි විදෙස්ගත වෙලා ඉන්නේ. කොහොමත් මම කලාවේ රැඳෙනවා නම් මගේම ගීතවලින් මගේම අනන්‍යතාවක් ගොඩනගා ගෙන තමයි එය කරන්න අදහස් කරගෙන ඉන්නේ. නැත් නම් හැමදාමත් සමන් ද සිල්වාගේ පුතා කියල තමයි ඉන්න වෙන්නේ.

වර්තමානයේ සංගීත ක්ෂේත්‍රයේ පිය පුතු සුසංයෝගය සුලබ දසුනක් වෙලා.. ඔබත් පියා සමග එක්ව ගමනක් යන්නද සූදානම් වන්නේ...

එහෙම අදහසක් තියෙනවා. ඔහුගේ ‘නියරේ පිය මැනලා‘ ගීතය අලුත් විදිහට Re make කරලා තාත්තා සමග ගායනා කරන්න අදහසක් තිබෙනවා. ඒ වගේම අපි දෙදෙනා එක්ව තව අවුරුදු දෙකකින් විතර ‘පිය- පුතු‘ කොන්සර්ට් එකක් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ කාලය තුළ මගේ සංගීත දැනුම වැඩි දියුණු කරගන්නත්, මගේම කියලා තවත් අලුතෙන් ගීත ටිකක් ගායනා කරන්නත් හිතාගෙන ඉන්නවා. තාත්තා ඔහුටම ආවේණික හඬක් සහ හැඩයක් හදාගෙන අනන්‍යතාවක් ගොඩනගා ගත්තා වගේ මමත් මටම අවේණික අනන්‍යතාවක් ගොඩනගා ගන්නවා.

ඔබේ සොහොයුරා මේ දේවල්වලට සම්බන්ධ කරගන්නේ නැද්ද...

මගේ මල්ලි චෙටාන් ද සිල්වා. ඔහු ඩුබායි හි රැකියාව කරන ගමන් ගායකයෙක්, වාදකයෙක් ලෙස වැඩ කරනවා. ඔහුත් මම වගේම දවසක ලංකාවේ කලාවට එක්වේවි. අපි විදෙස්ගතව සිටියා කියා මෙහෙ කලාකරුවන් සමග සම්බන්ධතා අත්හැරලා නැහැ. අපි ඉපදුණු දවසේ ඉඳලා හැදුණේ වැඩුණේ කලාවත් එක්ක. ඒ නිසා කලාව අපිට අලුත් දෙයක් නෙමෙයි. විශේෂයෙන් නවක ගායක ගායිකාවන් සමගත් සම්බන්ධතා ගොඩනඟාගෙන සිටිනවා.

ගෙදර විස්තර ටිකක් කියමුද...

මගේ අම්මා අනෝමා ද සිල්වා. ඇය ව්‍යාපාරයක් කරගෙන යනවා. නංගී විවාහකයි. බබාලා දෙදෙනෙක් ඉන්නවා. මම තවම අවිවාහකයි.

අනාගත බලාපොරොත්තු...

මගේම ස්ටයිල් එකක් හදාගෙන කලාවේ නිරත වීම. තව දින කිහිපයකින් විදෙස්ගත වුවත් හැකි සෑම විටම මෙරටට ඇවිත් තාත්තා සමග ප්‍රසංග වේදිකාවට සහභාගි වීම. 

අදහස්