රිදී දල්ලෙන් නිප­ද­වෙන මිල අධික තේ Silver Tips Imperial | සිළුමිණ

රිදී දල්ලෙන් නිප­ද­වෙන මිල අධික තේ Silver Tips Imperial

තේ යනු අපේ රටත් සමඟ දැඩි ලෙස බද්ධ වී තිබෙන නාමයකි. ඒ ලෝකයේ බොහෝ රටවල ‘සිලෝන් ටී’ හෙවත් අපේ රටේ තේ සඳහා හොඳ ඉල්ලුමක් තිබෙන නිසායි.

අපේ රටේ මෙන්ම අපේ අසල්වැසි රට වන ඉන්දියාවේද තේ නිෂ්පාදනය සිදු කරනවා. මේ අතරින් ඉතාම සුවිශේෂ තේ වර්ගයක් වන Silver Tips Imperial හෙවත් රිදී දල්ලෙන් සාදනු ලබන තේ පිළිබඳව අද අතැඹුලෙන් ඔබට කියනවා.

තේ අතුරින් ඉස්තරම් තේ වර්ගය ලෙස හැඳින්වෙන මෙම තේ වලට ‘Champagne of teas’ (ෂැම්පේන් ඔෆ් ටීස්) යන නාමය ලැබී තිබෙනවා. ඉන්දියාවේ හිමෙන් වැසී තිබෙන හිමාල කඳුවැටිය අසල කොටි සහ වන අලින්ගෙන් පිරී තිබෙන දර්ජීලිං (Darjeeling) ප්‍රදේශයේ කඳු බෑවුම්වල ඉදි කර තිබෙනෙ බෞද්ධ විහාරස්ථාන නිසාද මෙම ප්‍රදේශය ප්‍රසිද්ධ වී තිබෙනවා.

මීටර් 2,200ක් ඉහළින් තිබෙන මෙම ප්‍රදේශයේ තේ වතු 87ක් පිහිටා තිබුණත් ඉහළම ප්‍රමිතියෙන් යුතු ‘රිදී දලු‘ තේ සාදන්නේ මින් එක් තේ වත්තක පමණයි.

ම‍ෙකබරි ලෙසින් හඳුන්වන එම තේ නිෂ්පාදකයන් සාදන තේ මෙතරම් සුවිශේෂී වන්නේ ඔවුන් වසරේ දින කිහිපයක පුර පසළොස්වක පොහොය දින මධ්‍යම රාත්‍රියේ පමණක් මේ තේ දලු නෙළීම හා නිෂ්පාදනය සිදු කරන නිසායි.

මෙම තේ සඳහා මිල නියම කරන්නේ පසෙහි ස්වභාවය, කාලගුණික තත්ත්වය හා පසළොස්වක චන්ද්‍රයා යන කරුණු තුනම සලකා බැලීමෙනි. 2014 වර්ෂයේ මෙම තේ කිලෝවක් ඇමෙරිකානු ඩොලර් 1850කට එනම් ලංකා රුපියල් ලක්ෂ 3කට වඩා වැඩි මුදලකට අලෙවි වී තිබෙන අතර ඒවා මිලදී ගෙන තිබෙන්නේ බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව හා ජපානය වැනි රටවල සිටින ප්‍රභූවරුන් විසින‍ෙ.

මීට අමතරව නරේන්ද්‍ර මෝදි මහතා විසින් බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිනට එම වසරේ ත්‍යාගයක් ලෙස මෙම තේ ලබා දී ඇති අතර 2014 FIFA ලෝක කුසලානයේදී පවා මෙම තේ අලෙවි වී තිබෙනවා.

1859 වසරේදී ආරම්භ කරන ලද මකෙබරි තේ වත්ත දර්ජීලිංවල තිබෙනා පැරැණිතම තේ වැවිලිකරු වනවා. ඔවුන් පවසන්නේ මාර්තු මස මැද සිට මැයි මස දක්වා අතර කාලය තුළ චන්ද්‍රයාගේ බලපෑම නිසා අවට ශක්තිය ඉහළ අගයක් ගන්නා බවයි.

වෙනත් කාල වලට වඩා මෙම කාලයේ වඩදිය මට්ටම වැඩි බවත්, ශාකවල ජල ප්‍රමාණය අඩු බවත්, අවට වාතයේ තිබෙන ඉහළ ඔක්සිජන් හා ශක්තිය නිසා මෘදු තේ දල්ලක් එම කාලයට ඇති වන නිසා ඔවුන් එම කාලයට පමණක් තේ දලු නෙළීම සිදු කරන්නේ ඉතාමත් සුවිශේෂ උත්සවයක් පවත්වන්නාක් මෙනි.

පසළොස්වක පොහොය දින ඉර බැස ගිය පසු සාම්ප්‍රදායික බටහිර බෙංගාලි ඇඳුම් වලින් සැරසුණු වතු වැසියන් තේ වත්ත වෙත පැමිණෙනවා.

පිරිමින් රබන් හා බෙර වයන අතර කාන්තාවන් වේද ගාථා කියමින් නර්තනයේ නිරත වනවා. මධ්‍යම රාත්‍රිය පැමිණි පසුව කාන්තාවන් පාන්දර 3 පමණ වන තෙක් රිදී දල්ල හෙවත් කොළ දෙකකින් යුත් දල්ල නෙලා ගන්නේ පිරිමින්ගේ පන්දම් එළි මධ්‍යයේයි.

මෙම පන්දම් දල්වන්නේ දිවියන්ගෙන් තේ දළු නෙළන්නන් ආරක්ෂා කරගැනීමටයි. සඳේ බලපෑම උපරිම අවස්ථාවේ නෙළාගත් තේ දලු ඉර උදාවට පෙර ඇසුරුම් කර පවා අවසන් කරන්නේ හිරු එළිය නිසා තේ වල සුවඳට හා තත්වයට බලපෑමක් එල්ල වන නිසායි.

ඉතාම සුමට තේ වර්ගයක් ලෙසින් සැලකෙන මෙම තේ පානය කළ විට ක්ෂණික ප්‍රබෝධයක් ඇතිවන බවත් මෙයට මහලු වීම අඩු කර සිරුරට නව පණක් ලබා දිය හැකි බව පැවසෙනවා.

ඉන්දියානු පවුලකට අයත් ව්‍යාපාරයක් වන මෙම තේ වත්තේ වර්තමාන අයිතිකරු හා සභාපති වන බැනර්ජී මහතා වසර 47ක් මෙහි සභාපතිවරයා ලෙසින් සිට පසුව මෙහි කොටස් සියල්ලම මෙම වත්තේ සේවය කරන සියලුම සේවකයන්ට එනම් සේවකයන් 600කට පමණ බෙදා දී තිබෙන්නේ මෙම සුවිශේෂ තේ වර්ගයේ අනාගතය එම සේවකයන් අතට ලබා දෙමිනි. 

 
 

අදහස්