සමීප රූප | සිළුමිණ

සමීප රූප

පසුගිය මාස කීපය පුරා ඉන්ද්‍රචාපගේ සමීපරූප අතරට එකතු වුණු කවි පොත් අතර කවිකාරියන්ගේ පොත් රාශියක්ම ඉන්ද්‍රචාපගෙ මතකයෙ. කල්පනා ඇම්බ්‍රොස්, කෞශල්‍යා ජයලත්, දිනු රාජගුරු, තාරිකා තත්සරණී, කසුන්සලා ගිම්හානි, චතුරිකා විනෝදී පෙරේරා, සිරිනාලි නවරත්න, රෝහිණී විජේසිංහ, අනුරා ශ්‍රී කුමාරි වීරසිංහ, සසංකා විතානගේ මේ කවිකාරියන්ගෙන් කීපදෙනෙක්. ඉන්ද්‍රචාප අතට සතිපතා කවි පිටුවකට ලැබෙන කවි අතරත්, කවි වෙබ් අඩවිවලත්, පුවත්පත් කවි පිටු අතරත් ඉන්ද්‍රචාප දකින කවිකාරියන්ගෙ නිර්මාණ අතර අපූරු කවි කියවන්න ලැබෙනවා. අද සමීපරූප අතරට එකතු වෙන්නෙ සතිපතා කවි පිටුවකට එවපු කවි අතර ඉන්ද්‍රචාපගෙ ඇසට හසුවුණු කවිකාරියකගෙ කවි දෙකක්. කවිකාරි තාමත් පාසල් යන ශිෂ්‍යාවක් කියල ඉන්ද්‍රචාප හිතනවා. නගරයෙන් ඈත අම්පාර ඩී.එස්. සේනානායක ජාතික පාසලේ ඉගෙනගන්නා කේ.ජී.රවින්දි වත්සලා විජේරත්න ශිෂ්‍යාවගෙ කවිය ඉන්ද්‍රචාපගෙ සමීපරූයට හසුවන්නෙ ලංකා කව් මුතු මිණි කවි පිටුවට එවපු කවි අතරෙ තිබිලා.

ඈ එවල තිබුණු මුල්ම කෙටි කවියෙ සමීපරූපය මෙහෙමයි.

 

කවි සිත

“වැහිදා කළුව මැද

පුරපස සඳත් නැති

අමාවකට තරු හට

අවසරද නැති

වැහි පොද වැටී

මල් අග

දිය බිඳිති රැඳී

වැහි සීතලට කවි සිත

ගල් වෙලා නැති....“

 

මේ කවිකාරි අත්දැකීම කවියට නගන්න අවශ්‍යම වචන තෝරගෙන තියෙන විදිය, ඒ වචන මවන චිත්තරූප ඉන්ද්‍රචාපගේ හිත් ගත්ත සමීප රූප වුණා. වැහිදා කළුව මැද, පුරපස සඳ නොමැති අහස, අමාවක බැවින් තරුවලට ද අවසර නැත. වැහි පොද වැටී වැහි සීතල දැනුණ ද කවි සිත ගල් වී නැත කියන මේ ළා බාල කවිකාරියගේ නිර්මාණයෙහි අපූර්වත්වය ඉන්ද්‍රචාපගේ සමීපරූපය අතර මේ කවිය රැඳෙන්න හේතු වුණා වගේ.

2018 දෙසැම්බරයෙ රවින්දිගෙ මුල්ම කවිය සමීපරූපයට එකතු වුණාට පස්සෙ 2019 පෙබරවාරියෙදි තවත් අපූරු කවියක් ඉන්ද්‍රචාප දකිනව.

වැරදීම

“සිහින සිත්තම් රටා අතරින්

හීන එකිනෙක ගලා ආ මුත්

අනේ දවසක හිරු දකින්නට

නොහැකිවන බව හැඟෙන අයුරුත්

හැඟුම් අතරින් කටුක ලොවකට

ආ බවක් දැන් හැඟී ඇති මුත්

පමා වී ඇති ඒ අතීතය

පලක් නෑ දැන් සිහි කිරීමත්

සොළොස් වයසෙදි කවි කියාලා

පුතා නළවන සිහින් යුවතිය

පොඩි හීන මල් කෙනෙති අතරින්

ඇඳුණු සිතුවම මැකුණි හෙමිහිට

අනේ ලස්සන හෙටක හීනය

බොඳ වුණා ඈ දෙනෙත් අබියස

මොහොතකට කී චාටු වදනින්

අඳුරු වූවා සොඳුරු දිවියම

එපා අනුවණ අයෙක් වන්නට

ඔබට වේ මේ මහරු ඔවදන

මායාව ඒ දෙව් වෙසින් ආ

කරයි දිවියම අමාවක සඳ... “

 

සමීපරූපයේ ඇඳුණු මුල් කවියට වඩා වෙනස් අත්දැකීමක් කවියට නගන්නට කවිකාරිය ගත් සාර්ථක උත්සාහයක් ඉන්ද්‍රචාප දකිනවා. මුල් කවියට වෙනස් ජීවන අත්දැකීමක් කවිකාරියගෙ අත්දැකීම වෙනවා. ඒත් කවිය අවසානයේ කවිකාරි ඉස්සරහට ඇවිත් උපදේශ දෙන්න හදන්නෙ ඇයි කියල ඉන්ද්‍රචාපට වැටහෙන්නෙ නෑ. මේ කවිකාරියගෙ කවිත්වය සමීපරූපයෙ සටහන් කරගෙන මෙහෙම බෙදා ගන්නෙ තවමත් පාසල් යන දියණියක් හැටියට ඇගේ කවිත්වය අගය කිරීමක්, ඇගේ ඉදිරි කවි මගට ආශීර්වාදයක් විදියට. 

අදහස්