සර්, රාම් මෝහන් නේද? | සිළුමිණ

සර්, රාම් මෝහන් නේද?

රාම් මෝහන්ගේ සිතට බියක් පිවිසුණේ තමාගේ සහායට කිසිවෙක් නොසිටි හෙයිනි. වෛද්‍ය මනෝජ්සිං රෝගාතුරවීම නිසා ඔහුට නවාතැනින් පිටත ඒමට ක්‍රමයක් නැතිව සිටියේය. කෑම පිසීමට සිටි ඉන්දීය ජාතිකයා නිසා තරමක පහසුවක් දැනුණි. කුඩා ගම්මානයේ සැරසරද්දී දුටු සෙනඟගේ පෙනුම ඉන්දීයන්ට සමානය. ඇතැම් ගැහැනු කේරල කාන්තාවන්ට සමානය. දවස පුරාම ඇවිද්දේ නීලක හේරත් පිළිබඳ හෝඩුවාවක් සොයා ගැනීමටය. වෙල්යාය අසලට ‍ගියේ පිරිසුදු වාතාශ්‍රයක් ලැබීම සඳහා.

නියර දිගේ එන තරුණයින් අතරින් ඉදිරියෙන් එන තැනැත්තා දැකීමෙන් හේ තිගැස්සී සිටියේය.

එම තැනැත්තා පිළිබඳ මතකයක් තිබුණාක් වැන්න.

එම තැනැත්තා රාම් මෝහන්ට සිනාවකින් සංග්‍රහ කළේය.

ශ්‍රී ලාංකිකයන් එසේය. රාම් මෝහන් එම සිනාවට ප්‍රතිචාර දැක්වූයේය.

වෛද්‍ය අජිත්සිං පැවසුවේ අදාළ තැනැත්තා කිට්ටුව තැනක පදිංචිව සිටිය හැකි බවය. රාම් මෝහන් සාක්කුවේ දමා ගෙන ආ චිත්‍රය ගෙන ඕනෑකමින් බැලුවේය. ඔහු සිතා ආවේ දුවට සම්බන්ධ තැනැත්තා නිකම්ම නිකං තැනැත්තෙක් කියාය. ඔහු හොඳ පෞරුෂයක් ඇති යෞවනයෙකි. ඔහු කෘෂි කර්මයට කැමැත්තෙක් බව හැඟී ගියේ වෙල්යාය දෙස සිට පැමිණි හෙයිනි.

“සර්. රාම් මෝහන් නේද?”

“මාව දන්නෙ කොහොමද?”

“රාම් මෝහන් සර් එනවා කියලා ඩොක්ට අජිත් සිං කිව්වා. ඩොක්ටර්ට එන්ට සනීප නෑ.”

“ඩොක්ට ගැන මෙච්චර දන්නෙ කොහොමද?”

“ඩොක්ට උණ හැදිලා අපි දන්න ලොජ් එකක ඉන්නවා.”

“ෂහ්. ඩොක්ට මාව හම්බ වෙන්න එනවා කිව්වනෙ.”

“ඒ පැත්තෙ යන්න එපා. මේක වෛරස් උණක්.”

“මම ලංකාවෙ සංචාරයක යන්නත් එක්කලයි ආවෙ. මේ මනුස්සයා අසනීප වුණානෙ.”

“මගෙ යාළුවකුගෙ වාහනයක් තියෙනවා. සර් කැමැති තැනක එක්ක යන්නම්.”

රාම් මෝහන් මඳ වේලාවක් කල්පනා කළේය. වෛද්‍යවරයා සුව වන තෙක් මේ අයුරින් සිටීම කළ නොහැකිය. තමාට අවශ්‍ය පුද්ගලයා හමුවීම සතුටට කරුණකි. අවශ්‍ය මොහොතක ඔහු මරා දැමීම කළ හැකිය. එවැනි දඬුවමක් දීමේදී වුවද තමා වැරැදිකාරයකු ලෙස සැක කිරීමට කෙනෙකුට නොහැකිය.

“සර් මේ ගමනට මා එන්නෙ නෑ. සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි ගයිඩ් කෙනෙක් හොයා දෙන්නම්.”

“නෑ නෑ. මට කිසිම සැකයක් නෑ. ඉස්සෙල්ලා මේ වෙල්යාය ගැන කියන්න.”

“සර් කෝට්ටේ VIII වැනි වීර පරාක්‍රමබාහු රජ වෙලා තිබියදී ප්‍රාදේශීය සාමාන්තර රජවරු හිටියා. සකලකලා වල්ලභ සාමාසන රජ උඩුගම්පල ඉඳල මේ ප්‍රදේශය පාලනය කළා. මේ කුඹුරුවල සාර්ථක වී අස්වැන්නක් ලැබුව. මුතුරාජවෙල, බොල්ලත, අතරවිට, මාකෙවිට ප්‍රදේශවල සශ්‍රීක වී වගාවක් තිබුණා.”

තම ගමනේ මඟ පෙන්වන්නා ලෙස මෙම තරුණයා සිටීම මැනැවයි ඔහු කල්පනා කළේය. තවදුරටත් ඇවිදීමේ කැමැත්ත තිබුණත් කලක සිට පවතින තුනටියේ හා පාද අමාරුවට බෙහෙතක් ගැනීමට වෙලාවක් තිබුණේ නැත. ඔස්ටියෝ පොරොසීස් තත්ත්වයක් ඇති බවට වෛද්‍යවරු සැක කරති. ඔහු ගමන් කළේ අපහසුවෙනි.

“ඇයි සර් කොර ගහන්නෙ.”

“ආතරයිටිස්, දිගටම බේත් ගත්තා. අඩුවක් නෑ.”

“නීලක කුස්වල හොඳ වෙද මහත්තයෙක් ඉන්නවා. තෙල්මසාජ් එකක් දුන්නොත් හරියන්ට ඉඩ තියෙනවා.” මෙතෙක් නිහඬව සිටි යසස් කීවේය.

“උඹ කියල බලපං... මෑන් ඉන්නෙ මා ගැන එච්චර පැහැදීමකින් නෙමේ.”

“සර් පොඩ්ඩක් කකුල පෙන්වන්න බලන්න.” යසස් කීවේය.

රාම් මෝහන් වේදනා ගෙන දෙන පාදය හා උරපත්ත පෙන්නුවේය.

“සර් ඇයි මෙච්චර අමාරු තියාගෙන බේතක් ගත්තෙ නැත්තෙ. ඉස්සරහට මෙහෙම හිටියොත් ඇවිදින්න බැරිවෙයි.”

“මේ දවස්වල වැඩ වැඩියි. බේතක් ගන්ට වෙලාවක් තිබුණේ නෑ.”

“සර් ලංකාවෙ ආතරයිටිස් වලට බෙහෙත් කරන ප්‍රසිද්ධ වෙද මහත්තුරු ඉන්නවා.” නීලක කීවේය.

“අපි මේ ගමන ගිහින් ඇවිදින් මසාජ් එකක් කරමු.”

“කමක් නෑ. මේ පතුල ඉදිමිලා.”

වෛද්‍යවරයා රාම් මෝහන්ට ඇමතුමක් ගන්නේ මේ අතරය.

“සර් දැන් කොහොමද?” ම‍නෝජ් සිං ඇසුවේය.

“මට නීලක හේරත් හම්බ වුණා.”

“සර් අර ප්‍රශ්න කතා කළාද?”

“නෑ. නෑ. තවම කතා කළේ නෑ. ඩොක්ට අර මගෙ ආතරයිටිස් ප්‍රශ්නෙට තෙල් සාත්තුවක් දමල දෙන්ට ද ඇහුවා. මොකද කියන්නෙ.”

“හොඳයි කමක් නෑ. සිංහල පාරම්පරික වෙදකම් තියෙනවා. සර්ට හොඳයි. අපි කරල බලමු.”

“මම මේ ටුවර් එක ගිහින් ඇවිදින් කරන්නයි ඉන්නෙ.”

වෛද්‍යවරයා අසනීපයෙන් පසුවූ නිසා මැදිවූයේ ප්‍රශ්නයකටය. තවම දුවගේ ප්‍රශ්නය පිළිබඳව කතා කිරීමට ලැබුණේ නැත.

ෆයිසර්ගෙන් ඇමතුම ආවේ සංචාරයේ යෙදෙමින් සිටියදීයි.

“සර් කොල්ලා හම්බ වුණාද?”

“හම්බ වුණා.”

“අද ඉවර කරන්නද. ටෝර් ගාල ඔළුවට තියන්නද? නැතිනම් ලොරියක හප්පල මරන්ටද?”

“එපා. එපා මම වෙලාව කියන්නම්.”

“සර් අද හෙටම ඉවර කරමු. මොකද පරක්කු වුණාම හිත වෙනස් වෙන්ට පුළුවන්. මැරුණේ කොහොමද කියල කාටවත් හොයන්න බැරි විදිහට වැඩේ කරන්නම්.”

“නෑ ප්‍රශ්නෙ මේකයි. මගෙ යෝජනාවලට කැමැති වුණොත් මරන්ට ඕන නෑ.”

“සර් ඔවුන් ඇත්ත කියන්නෙ නෑ. මරල දාමු. ඒක අපට ලේසියි.”

“කට්ටියට දැන්ම කියන්ට එපා. දැනට මට ආරක්ෂාව දුන්නම ඇති.”

නීලක මිතුරා කැටිව මදක් දුර ගියේය.

“මේ මනුස්සයා දුවට කොච්චර ආදරේද. මේ ඇවිදින් ඉන්නෙ මගෙන් බේරා ගන්ටයි.”

“ලොක්කත් එක්ක ගමනක් යමුද?”

තරුණයන් කළ යෝජනාවට රාම් මෝහන් කැමති වූයේ තමාට ආරක්ෂකයන් සිටින හෙයිනි. ඔහු කිසිදාක බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භූමිය දැක තිබුණේ නැත.

“සර් මේක ලංකාවට චීන රජයෙන් ලැබුණු ශාලාවක්.”

“මේ කුටි ගහල තියෙන්නෙ ඇයි.”

“කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි පෞද්ගලික අංශයි එක්වෙලා එක්සිබිෂන් එකක් කරනවා.”

ප්‍රදර්ශන භූමියට පිවිසි පසු ඔහුගේ සිතට පිවිසුණේ සතුටකි. නොයෙක් වර්ගවල කෘෂි භෝග, පැළ ඇට, පොහොර, කෘෂි මෙවලම් දැකීමෙන් සිතට පිවිසුණේ සතුටකි. අපනයන මට්ටමේ දොඩම් හෙක්ටයාර දාහක් ඔහු සතුව ඇත.

කෘෂි ව්‍යාපර උපදෙස් උපදේශකවරුන්ගෙන් ලබා ගත්තේ නොදන්නා අයෙක් මෙනි. පොහොර, පළිබෝධ නාශක හා යහපත් කෘෂි පිළිවෙළකට දුන් අත්පත්‍රිකා ඔහු එක් රැස් කර ගත්තේය.

දිවා ආහරය ගත්තේ හෙළ බොජුන් හල්වලිනි. කොකිස්, වඩේ, කැවුම්, ආස්මි, බිබික්කන් පලතුරු බීමවලද රස වින්දේය. ඒ ඇමතුම ආවේ චම්පා වෙතිනි.

“නීලක මට ඔයා ගැන බයයි. ඔයා ඉන්නෙ කා එක්කද?”

“මම ඉන්නෙ අප්පා එක්ක. එග්රිකල්චර් එක්ෂිබිෂන් එකක් බලන්ට ආවා.”

“බලන්න ඔයාල එක්ක සැක සහිත කවුරුවත් ඉන්නවද කියලා.”

 

ලබන සතියට

අදහස්