BOLLYWOOD & HOLLYWOOD | සිළුමිණ

BOLLYWOOD & HOLLYWOOD

අනිල් කපූර්ට උසේන් බෝල්ට්ගේ වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර

ප්‍රවීණ නළු අනිල් කපූර් පසුගිය සති කිහිපයේ තරමක කාර්ය බහුල තත්වයක පසුවුණා. ඒ, ඔහු රඟපෑ ‘ඒක් ලඩ්කි කෝ දේඛා තෝ එයිසා ලගා’ නම් වූ අලුත් ම බොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රචාරක වැඩසටහන් රැසකට සහභාගි වෙමින් සිටි නිසයි.

චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවල අනිල් කපූර් යෙදී සිටියේ දැඩි අපහසුවකින්. ඔහුගේ දකුණු උරහිස දැඩි වේදනාවකින් වෙළී ගියා.

ඒ නිසා තමන්ට නියමිත කටයුතු නිම වූ විගසින් ම මේ සඳහා ප්‍රතිකාර ලැබීමට ජර්මනිය බලා පිටත්ව යෑමටයි අනිල් තීරණය කළේ. “පහුගිය අවුරුදු ගාණක් තිස්සෙ මම චිත්‍රපටවල ත්‍රාසජනක රඟපෑම් ඉදිරිපත් කළා. ඒ රඟපෑම්වල ප්‍රතිඵලයක් තමයි, මේ ආබාධය. මට ප්‍රතිකාර කරන්න මම තෝර ගත්තෙ විල්හෙල්ම් මුලර් කියන ප්‍රසිද්ධ වෛද්‍යවරයා. එයා තමයි කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට්, හිටපු ටෙනිස් ක්‍රීඩක බොරිස් බෙකර් වගේ ප්‍රසිද්ධ අයටත් ප්‍රතිකාර කළේ.” අනිල් කපූර් ඉන්දීය මාධ්‍යයකට එලෙස පැවසුවා.

අනිල්ගේ රඟපෑම් ඇතුළත් ‘ටෝටල් ධාමාල්” චිත්‍රපටය ද ළඟදීම තිරගත වීමට නියමිතයි.


තවත් ආදරණීය ‘වීර් - සාරා’ කතාවක්!

බොලිවුඩ් යොවුන් නළු නිළි පරපුරේ වැඩි දෙනකුගෙන් ඔවුන්ගේ පෙම් සබඳතා ගැන විස්තර කවුරුන් හෝ විමසුවොත් ලැබෙන්නේ අව්‍යාජ උත්තර නම් නොවෙයි. විශේෂයෙන් ම යොවුන් නිළියන් හැම විටම වග බලා ගන්නේ තමන්ට සැබවින්ම පෙම් සබඳකමක් තිබුණත් එය සඟවා ගන්නයි. ‘අපි දෙන්න අතරෙ තියෙන්නෙ යාළුකමක්, හිතවත්කමක් විතරයි’... වැනි උත්තරයක් තමයි මුමුනන්නේ.

ඒත් යොවුන් නිළි සාරා අලි ඛාන් ඊට වඩා වෙනස් ගති තියෙන චරිතයක්. (සාරා, ජනප්‍රිය නළු සයිෆ් අලිඛාන්ගේ පළමු විවාහයේ දියණියයි.) ඇය කිසිම මොහොතක ඇගේ සැබෑ පෙම්කතා වසන් කරන්න වෑයම් කරන්නෙ නැහැ. මාධ්‍යවලින් පවා තමන්ගේ ප්‍රේමණීය ජීවිතයේ වගතුග ඇය නොපැකිළව විස්තර කරනවා. මෑතකදී පැතිර ගිය ආරංචියක සටහන් වුණේ සාරා, ඉන්දියාවේ දේශපාලනඥයකුගේ පුත්‍රයකු සමඟ පෙම් සබඳකමක් පවත්වන බවයි. මෙහි ඇත්ත නැත්ත දැන ගැනීමේ බලාපොරොත්තුවෙන් එක්තරා රූපවාහිනී වැඩසටහනකදී ඇගෙන් මේ ගැන ප්‍රශ්න කෙරුණා. එයට නොබියව උත්තර දුන් සාරා පැවසුවේ ඉන්දියාවේ මන් මෝහන් සිං අගමැතිවරයාගේ රජයේ හිටපු ඇමතිවරයකු වන සුශිල් කුමාර් සින්ද්ගේ මුණුපුරකු වන වීර් පහරියා ඇගේ පෙම්වතා බවයි. “එයා තමයි මම ආදරය කරන එකම පුද්ගලයා. වෙන පෙම්වතෙක් මගේ ජීවිතය තුළ ඉඳලා නැහැ.” සාරා එලෙස පැවසූ විට වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදියා ඇගෙන් ඇසුවේ මීට පෙර කවුරුන් හෝ ඔබේ හදවත රිදවා තිබෙනවාද කියලයි. ‘වීර් ම‍ගේ හදවත රිදවලා නැහැ.’ සාරා ක්ෂණිකවම උත්තර දුන්නා. ආරංචිවලට අනුව මේ අලුත් ‘වීර් - සාරා’ පෙම් කතාව ඇරැඹී ඇත්තේ 2016 දීලු.


‘තාත්තා අහිංසකයි’ කැතී කියයි

පැරිස් මයිකල් කැතරින් ජැක්සන් ගායිකාවක, නිළියක සහ නිරූපිකාවක ලෙස කලා ලොව වැජඹෙනවා. ඇය, ගී ලොව සුපිරි තරුවක වූ මයිකල් ජැක්සන්ගේ දියණියයි. තවමත් 20 වැනි වියෙහි පසුවන පැරිස්, පසුගිය කාල‍යේ අසනීපයෙන් පසුවුණා. ඒ, ඇගේ මානසික තත්ත්වයෙහි සිදුවූ වෙනසක් හේතුවෙන්. ඇයට පුනරුත්ථාපන මධ්‍යස්ථානයක නේවාසිකව ප්‍රතිකාර ගන්නත් සිදුවුණා.

දැන් ඇගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරිලා. මේ වනවිට නීරෝගී මනසකින් පසුවන ඇයට නැවතත් කනස්සලු වීමට කරුණක් මතුවෙලා. ඒ, ඇගේ පියාවූ මයිකල් ජැක්සන් පිළිබඳ නිර්මාණය වූ වාර්තා චිත්‍රපටයක් නිසා. ‘ලීවින් නෙවර්ලන්ඩ්’ නම් වූ මේ චිත්‍රපටයෙහි මයිකල් ජැක්සන්ට එදා එල්ල වූ ලිංගික අපචාර චෝදනා රැසක් පිළිබඳ සිදුවීම් ද ඇතුළත් කර තිබෙනවා. මේ ගැන දුක්මුසුව අදහස් දක්වන පැරිස් පවසන්නේ තම පියා අහිංසක පුද්ගලයකු බවයි. පියාට එල්ල වන අපචාර ‍චෝදනා ඇය පිළිගන්නේ නැහැ. ‘ලීවින් නෙවර්ලන්ඩ්’ චිත්‍රපටය නැරඹීමටවත් ඇගේ කැමැත්තක් නැහැ.

මේ වාර්තා චිත්‍රපටයට එරෙහිව නඩු පැවරීමට පැරිස් උත්සාහ කරන බවයි, හොලිවුඩ් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ.


මිතුරුකමක් නිසා ජස්ටින් බීබර් දොස් අසයි

රැප් ගායක ක්‍රිස් බ්‍රවුන්ට මෑතකදී බරපතළ චෝදනාවක් එල්ල වුණා. එමඟින් කියැවුණේ ඔහු 25 වියැති නිරූපිකාවක ලෙස හැඳින්වෙන කරිමා නමැත්තියව දූෂණය කළ බවයි. මේ අතවර චෝදනාව එල්ල කර ඇත්තේද කරිමා විසින්මයි. ඇය පැවසුවේ පැරිසියේ හෝටලයකදී ක්‍රිස් විසින් තමන්ට අතවර කළ බවයි. චෝදනාවෙන් පසුව ප්‍රංස පොලීසිය ක්‍රිස් බ්‍රවුන් සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාව අත්අඩංගුවට ගත්තා. කෙ‍සේ වෙතත් දින කිහිපයකට පසුව දෙදෙනාම නිදහස් කෙරුණා.

මේ ගැන සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි සටහනක් තබමින් ක්‍රිස් පැවසුවේ නිරූපිකාව විසින් නගන ලද චෝදනාව අසත්‍යයක් බවයි. “මේක මගේ ජීවිතයට, මගේ දියණියට, මගේ පවුලේ අයට අගෞරවයක් කළ චෝදනාවක්.” ක්‍රිස් එලෙස සඳහන් කර තිබුණා.

මේ සිද්ධියෙන් පසුව කරිමා විසින් තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. මෙහිදී ඇය පවසන්නේ තමන් විසින් කලින් පැමිණිල්ල ඉදිරිපත් කරන විටදී පොලිසිය විසින් ගන්නා ලද තමන්ගේ ඡායාරූපයක් කිසියම් අයකු අන්තර්ජාලයට මුදා හැර ඇති බවයි.

සිදුවිණැයි කියන මේ අතවර සිද්ධියේදී ක්‍රිස් වෙනුවෙන් කතා කළේ ජනප්‍රිය ගායක ජස්ටින් බීබර් පමණයි. මේ හේතුවෙන් විශාල රසික පිරිසක් බීබර්ට දොස් නඟා තිබුණා. ක්‍රිස්, බීබර්ගේ සමීප මිතුරෙක්.

අදහස්