අදත් දොර දොර පුද ලබන කටුපිටි මාදම්පේ තනිවැල්ලේ දෙයියෝ | සිළුමිණ

අදත් දොර දොර පුද ලබන කටුපිටි මාදම්පේ තනිවැල්ලේ දෙයියෝ

  • මිනිසුන් වෙනුවෙන් ජීවිතය කැප කළ සැබෑ රජෙකු මරණයෙන් මතු ජීවමාන වන ආකාරය ගැන කියැවෙන කතාව
  • මාදම්පෙ සිදු වුණු දැවැන්ත මුස්ලිම් ආක්‍රමණය වැළැක්වුවා
  • පෘතුගීසීන්ට එරෙහි මුල්ම සටන දියත් කළා

පොදු ජනතා හිතකාමීව කටයුතු කළ හෝ රට දැය සමය වෙනුවෙන් සුවිශේෂී සේවවාක් කළ ශ්‍රේෂ්ඨයන් ඔවුන්ගේ අභාවයෙන් පසු දෙවත්වයේ ලා සැලකීම අප සමාජයේ වෙසෙසින් දක්නට ලැබෙන්නකි. නිදසුන් වශයෙන් කතරගම දෙවියන් ලෙස ඇදහීමට ලක්ව ඇත්තේ ඈත රුහුණේ පුරාණයේ සිටි මහාසේන නම් ප්‍රදේශාධිපතියෙකු බවත් එතුමාගේ අභාවයෙන් පසු මහාඝෝෂ දෙවි නමින් කතරගම දී ඇදහීමට ලක්ව ඇති ආකාරය සාධක සහිතව මහාචාර්ය කඹුරුපිටියේ වනරතන නාහිමියන් පෙන්වා දී ඇත. මින්නේරි වැව ඇතුළු වැව් ගණනාවක් සාදා රටේ ආර්ථිකය ශක්තිමත් කර රටවාසීන්ට යහතින් ජීවත්වීමට මඟ සැලසූ මහසෙන් රජතුමා මින්නේරි දෙවියන් වශයෙන් අදහන බව අපි දනිමු.

වර්ෂ 1818 කැරැල්ලේ පුරෝගාමිත්වය ගත් කිවුලේගෙදර මොහොට්ටාල බදුලු ප්‍රදේශයේ දේවත්වයෙන් පිදීම තවත් උදාහරණයකි. එවැනිම ශ්‍රේෂ්ඨ පුරුෂයෙකුට අභාවයෙන් පසු දේවත්වයට පත් කොට ඇදහීමේ දේවාලයක් හා එහි ශාඛා දේවාල හලාවත ප්‍රදේශයේ පිහිටි මාදම්පේ හෙවත් කටුපිටි මාදම්පේ ප්‍රදේශයේදී දැකිය හැකිය.

කටුපිටි මාදම්පේ යනුවෙන් සඳහන් වන්නේ රාජාවලියේය. කොළඹ සිට හලාවත දෙසට ගමන් කරන කල්හි මාදම්පේ නගරය ආරම්භයේදි ම මහමඟ පසෙක ඇති එම දේවාලය ඉතා පහසුවෙන් හඳුනාගත හැක්කේ එහි පිහිටුවා ඇති විශාල අශ්ව රූපය නිසා ය. අසලින්ම ඇති තිනිපිටි වැවේ දකුණු ඉවුරේ පිහිටා ඇති එම දෙවොල කැප වී ඇත්තේ තනිවැල්ලේ දෙවියන්ට ය. දේවාලය අසලින් කඩුපිටි ඔය ගලා බසී.

තනිවැල්ලේ දෙවියන් උදෙසා ඉදි වී ඇති ප්‍රධාන දේවාලය මෙය වුවත් මාදම්පේ අවට ගම්මානවල තත් දෙවියන් උදෙසා කුඩා දේවාල ඉදි කර තිබීමෙන් මාදම්පා ප්‍රදේශයේ තනිවැල්ලේ දේව ඇදහිල්ලේ ජනප්‍රියත්වය හා විශ්වාසය අවබෝධ කරගත හැකි වේ. එම කුඩා දේවාල කුඩාවැව, මහවැව , පූකුලම , මැල්ලවගාර, ගල්අමුණ, ගල්මුරුව හා ජයරත්නාගාර යන ගම් තුළ දැකිය හැකි ය.

කඩුපිටි ඔය මැද කුඩා දූපතක් මෙන් පිහිටි බිම්කඩ තනිවැල්ල දෙවිඳුන්ගේ සන්හිඳ ලෙස සලකනු ලැබේ. එසේ මාදම්පේ ප්‍රදේශයේ දේවත්වයක් ලබා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාලන සමයේ මාදම්පේ සිය රාජධානිය කරගත් ප්‍රාදේශීය රජකු වූ තනියවල්ලබාහු ය. දෙවියන්ගේ හා දේවාලයේ නාමය තනිවැල්ල යනුවෙන් පසුව බැවහැර වන්නට ඇත්තේ තනියවල්ල යන නාමය අනුව විය හැකි ය. දේවාලය ඉදිරිපිට පිහිටුවා ඇති සුවිසල් අස්රුව පිළිබඳ ප්‍රදේශයේ ජනප්‍රවාද කතාවක් තිබේ.

එනම්, එම දේවාලය ඉදිරි මාර්ගයෙන් පුරාණයේ සිය අශ්ව කරත්තයෙන් ගමන් ගත් සෙට්ඨි ව්‍යාපාරිකයෙකු අවස්ථා දෙකක දී ම අනතුරට ලක් වීමකි. එසේ ගමන් කරද්දී අශ්වයා දෙවතාවක් ම වැව දෙසට දිව යෑමෙන් කරත්තය පෙරැළී සෙට්ඨි මිනිසාට තුවාල විය. පසු දිනක රාත්‍රියේ ඔහුට තනිවැල්ලේ දෙවියන් සිහිනෙන් පෙනී බාරයක් ලෙස අශ්ව රුවක් නෙළීමට අණ කළෙන් එම අස් රුව නෙළු බවකි.

එම දේවාලය පිලිබඳව ගජමන් නෝනා විසින් ලියන ලදැයි පැවසෙන කවි පන්තියක් ද වේ.

සකලසිරින් සුවිපුල්ල-

මාදම්පාපුර තුල්ල

දේවාලයට අසල්ල-

සැදි සෙබමන්

දස දිග අතු විහිදිල්ල

- ලෙළදෙන පන්ගත නිල්ල

නඳ දෙන විහඟ සියල්ල

- තුති ගොසයෙන්

යන එන දන නොව වැල්ල

- සුරිඳුන් වැඳ නොපැකිල්ල

වැඩහිද නිවි සැනසිල්ලු

- කරති නිතින්

මෙලෙසට දුටු සතලොල්ල

- වන මග නුග සෙවණැල්ල

සුරිඳුන් හට තනිවැල්ල - මිහිකත දුන්

1848 දී එමර්සන් ටෙනන්ට් ද සිය ඒන්ෂන්ට් සිලෝන් ග්‍රන්ථයේ එම සුවිසල් නුගරුක පාමුල තනවැල්ලබාහු දෙවියන් සඳහා පූජාසනයක් තිබෙන බවත් තනිවැල්ල දෙවියන් යනු මාදම්පේ රජු වශයෙන් යනුවෙන් එම ප්‍රදේශය පාලනය කළ අධිපතියා බව ද ඔහු සියතින්ම දිවි තොර කරගත් බව ද සඳහන් කර ඇත. ගජමන් නෝනා මෙන් ම පාකර් ද සඳහන් කළ එම සුවිසල් නුගරුක දිරා ගියෙන් එය කපා දමා නව නුගරුකක් එහි සිටුවා තිබේ. තනියවල්ලභ රජු දේවත්වයේ ලා සැලකීමට එතුමා විසින් කරන ලද ප්‍රදේශයට එල්ලවූ මුස්ලිම් ආක්‍රමණ පරාජය කිරීම පෘතුගීසීන්ට විරුද්ධව සටන් මෙහෙයවීම පමණක් නොව පාකර් මෙන්ම බෙල් විසින් ද සඳහන් කරන පරිදි සිය දිවි නසාගැනීම ද හේතු වන්නට ඇත.

එම එක් ප්‍රවාදයකට අනුව රාජාවලියේ හා අලකේශ්වර යුද්ධයේ සඳහන් වන කායල්පට්ටනමේ කදිරායන නම් මුස්ලිම් ආක්‍රමණිකයා හලාවතට ගොඩ බැස බලෙන් මුතු කිමිදීමටත් වෙළඳාම සඳහා සිටි ඇතුන් පැහැරගැනීමත් නිසා එම දාමරිකයන් මැඬලිමට සේනාව සමඟ එහි සටනට ගිය කල්හි එක්තරා ඇමති කෙනෙක් තනියවල්ලභගේ රූමත් බිසව වසඟයට ගැනීමට තැත් දරා එය අසාර්ථක වූ කල්හි යුද්ධයට ගිය රජතුමා පැරැදී දිවි නසාගත් බව පැවසූයෙන් ඇය දේවාලය අසල ඇති තිනිපිටි වැවට පැන දිවි නසාගත් බව ය. යුද්ධය ජයගෙන පැමිණි රජතුමා සියදිවි හානිකරගෙන ඇත. මෙයට සමාන කතාන්දර වෙනත් අධිපතීන් ගැනද විවිධ ප්‍රදේශවලින් ඇසෙන නිසා එම ප්‍රවෘත්තියේ සත්‍ය අසත්‍යභාවය තීරණය කළ නොහැකිය. තව ද හලාවත ප්‍රදේශයේ ඉංග්‍රිසි සහකාර ඒජන්ත වශයෙන් සිටි ඊ.ටී.නොයෙස් ප්‍රදේශයේ පැවැති ජනප්‍රවාදයක් අනුව සටහන් කරන්නේ තනියවල්ලභ යුද්ධයට ගිය අවස්ථාවේ පෘතුගීසින් විසින් තම බිසව අල්ලාගෙන යෑම නිසා ශෝකයට පත් වී රජු දිවි නසාගත් බව ය . .

තනියවල්ලබාහු රජු කාගේ කවුරුදැයි සෙවීමේ දී රාජාවලියේ ද අලකේශ්වර යුද්ධයේ ද තරමක් විස්තර අනාවරණය කරගත හැකි වේ. ලංකා ඉතිහාසය පිළිබඳ විද්‍යාර්ථීන් තනියවල්ලභ රජු පිළිබඳ වැඩි අවධානයක් යොමු කර නැතත් එච්.සී.පී.බෙල් විසින් 1920 දී රාජකීය සමිති සඟරාවට ප්‍රින්ස් තනියවල්ලබාහු ඔෆ් මාදම්පේ මැයෙන් වටිනා ලිපියක් සපයමින් තනියවල්භ විසින් නිකුත් කරන ලද සන්නස් කීපයක් ද ප්‍රකාශයට පත් කර තිබීම තනියවල්ලභ පිළිබඳ අධ්‍යයනයක දී විද්‍යාර්ථීන්ට වැදගත් වේ. රාජාවලිය හා අලකේශ්වර යුද්ධය යන ග්‍රන්ථ අනුව යාපනය ජයගෙන එහි පාලනය කරමින් සිටි සපුමල් කුමරු 6 වන බුවනෙකබාහු නමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජ්‍යයට පත් වීමෙන් පසු සතරකෝරලය පාලනය සඳහා පත් කර සිටියේ ඔහුගේ බාල සහෝදර අම්බුළුගල කුමාරයා ය.

බුවනෙකබාගෙන් පසුව 8 වන වීර පරාක්‍රමබාහු නමින් කෝට්ටේ රාජ්‍යයට පත් වූයේ එම අම්බුළුගල කුමාරයා ය. ඔහු රාජ්‍යයට පත් වීමෙන් පසු තම දරුවන් රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගනිමින් රටේ අභ්‍යන්තර ආරක්ෂාව ද සැලකිල්ලට ගෙන එම දරුවන් ප්‍රාදේශීය පාලකයන් බවට පත් කර ඇත. ඒ අනුව යකඩ දෝළිය හෙවත් දෙවන බිසවගෙන් උපන් කුමාරවරුන් දෙදෙනෙකුද ප්‍රාදේශීය පාලකයන් ලෙස පත් කර තිබේ. ඒ බව දක්වන රාජාවලිය “බාලබිසෝ අදහසින් ඒ රජහට ජාතක කර වැදූ කුමාරවරුන් දෙදෙනක. ඔහු නම් සකලකලාවල්ලභ රජය. තනියවල්ල රජය.

 

මේ දෙදෙනාගෙන් සකලකලාවල්ලභ රජ උඩුගම්පොළ උන්නාහ. තනියවල්ලභ රජ මාදම්පේ උන්නාහ” යනුවෙනි. වීර පරාක්‍රමබාහු සිය අග බිසව වශයෙන් පාවාගත්තේ මැණික්කඩවර කීරවැල්ලේ කුමරියකි. තනියවල්ලභ හා සකලකලාවල්ලභගේ මෑණියන් වූ දෙවන බිසව එම අග බිසවගේ නැඟණියක් වීම නිසා ප්‍රාදේශීය පාලකයන් ලෙස පත් කිරීමට ඔවුනට වංශ වශයෙන් ද උරුමයක් විය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අවදියේදී මහත් ප්‍රසිද්ධියට පත්ව ඇති වීදියබණ්ඩාර යනු තනියවල්ලභ රජුගේ දියණියගේ පුතෙකු බව රාජාවලියේ සඳහන් ය.

රාජාවලිය මෙන්ම අලකේශ්වර යුද්ධයේ ද දකුණු ඉන්දියාවේ කායල්පට්ටනයේ කදිරායන නම් වූ මුස්ලිම් ආක්‍රමණිකයෙකු පෘතුගීසින් මෙරටට පැමිණි ආසන්න සමයේ මහ සෙනඟ සමඟ හලාවතව ගොඩබැස බලෙන් මුතු කිමිදීමටත් වෙළඳාම සඳහා සිටි ඇතුන් පැහැරගැනීමටත් පටන්ගත් කල්හි සිය සොයුරු සකලකලාවල්ලභ සමඟ මොවුන් පරාජය කර කදිරායනගේ සෙනඟ විනාශ කරන ලද්දේ තනියවල්ලභ විසිනි. රාජාවලියේ මෙම සෙනග යොන්ගොල්ල යනුවෙන් හඳුන්වා ඇත. කායල්පට්ටන යනු දකුණු ඉන්දියාවේ ට්‍යුටිකොරින් නම් ස්ථානයට සැතපුම් 25ක් පමණ පහළින් පිහිටි ඉතා වැදගත් හා සමෘධිමත් මුස්ලිම් වෙළඳ නගරයක් ලෙස මාර්කෝපෝලේ සඳහන් කරන්නේ අෂාර් නම් මුස්ලිම් පාලකයා යටතේ පැවැති නගරයක් බව ය.

පෘතුගීසින් පැමිණෙන විට මෙරට විදේශ වෙළඳාමේ ප්‍රබලයන් වූයේ මුස්ලිම්වරුය ය. එහෙත් කෝට්ටේ පාලකයා පෘතුගීසින්ට මෙරට කුරුඳු ඇතුළු වෙළඳ භාණ්ඩ ලබාගැනීමටත් ඔවුන් සමඟ ගිවිසුම්වලට එළඹීමටත් විරුද්ධත්වය පෑමක් වශයෙන් කදිරායනගේ ආක්‍රමණය එල්ල වූවා විය හැකි ය.

කෙසේ වෙතත් එම ආක්‍රමණය වැළැක්වීමෙන් දේශීයයන්ගේ ආරක්ෂාවත් රටේ ගෞරවයත් ආරක්ෂා වී තිබිම වැදගත් ය. පෘතුගීසීන් මෙරටට පැමිණ 1518 දී කොළඹ ඔවුන්ගේ වෙළඳ ගබඩාවක් හා බළකොටුවක් සෑදීම ආරම්භ කළේ එහි ආරක්ෂාවට ඔවුන්ගේ හමුදාව ද යොදවමිනි. කෝට්ටේ පාලක විජයබාහුට ඔවුන්ට විරුද්ධව නැඟී සිටිමට ශක්තියක් නැති වුවත් මාදම්පේ සිටි තනියවල්ලභ එම ක්‍රියාවට විරුද්ධව විජයබාහු ද පොලඹවාගෙන විශාල හමුදාවක් සහිතව සටනක් මෙහෙයවූ බව ගැස්පාර් කොරයා වාර්තා කර තිබේ. මේ අනුව පෘතුගීසින්ට විරුද්ධව ප්‍රථමයෙන්ම සටනක් මෙහෙය වූ පාලකයා වන්නේ මාදම්පේ තනියවල්භ ය. දේශීය ජනතාව අතර තනියවල්ලභ දේවත්වයේ සැලකීමට රට ජාතිය වෙනුවෙන් එතුමා කළ මෙම කාර්යයන් ද හේතු වන්නට ඇත.

තනියවල්ලභගේ අභාවය කවදා කෙසේ වී දැයි නිශ්චිතව දැක්වීමට සාධක විරල ය. එතුමාගේ මාලිගය තිබූ තැන වශයෙන් ප්‍රදේශවාසීන්ගේ විශ්වාසයේ පවතින තැනක් මාදම්පේ නගරයේ සිට සැතපුම් එක හමාරක් පමණ දුරින් මහමඟ අසල ඇත. එහි විශාල නුගරුකක් තිබෙන අතර ප්‍රදේශවාසීන් නුගරුක යට පිහිටුවා ඇති පූජාසනයක් මල්පහන් පිදීමට යොදාගෙන තිබේ. ගොඩැල්ලක් මෙන් දිස්වෙන එම ස්ථානය ප්‍රදේශවාසීන් විසින් හඳුන්වනු ලබන්නේ මාලිගාවත්ත නමිනි. තනිවල්ලභගේ මරණය දිවි නසාගැනීමක් නොව සිය මුනුපුරු වීදිය බණ්ඩාර විසින් කරන ලද ඝාතනයක් යැයි ඇතමුන් ප්‍රකාශ කර ඇතත් ඒ සඳහා පාදක කරගෙන ඇති සාධක ප්‍රබල හෝ විශ්වාසදායක නැත. එහෙත් අලකේශ්වර යුද්ධයේ කෝට්ටෙන් පලා යන වීදිය බණ්ඩාර සීතාවකටත් කෝට්ටේ රාජ්‍යයටත් විපක්ෂ වන අතර මුණ්ඩකොණ්ඩපොට පැමිණ එහි පාලක එදිරිමානසූර්ය මරා එහි බලය ලබාගත් බවත් සිය නමට තනියවැල්ල නාමය අභිධානයක් ලෙස යොදාගත් බවත් අලකේශ්වර යුද්ධය හා රාජාවලිය සඳහන් කරයි.

වීදිය බණ්ඩාර තනියවල්ල නාමය ගන්නට ඇත්තේ තනියවල්ලභ රජු ප්‍රදේශවාසීන් අතර ජනප්‍රියත්වයට පත් වූවෙකු නිසා විය යුතු ය. විජයබා කොල්ලයෙන් පසු කෝට්ටේ ඇතුළු පෘතුගීසි ක්‍රියාකාරකම්වලට තනියවල්ලභගෙන් විරුද්ධ වීමක් දක්නට නොලැබෙන නිසා 1551 පෘතුගීසීන් අතින් බුවනෙකබාහු ඝාතනය කිරීමට කලකට පෙර තනියවල්භ මිය යන්නට ඇතැයි සිතිය හැකි ය. අපගේ මූලාශ්‍රවල හෝ පෘතුගීසි මූලාශ්‍රයවල වැඩි විස්තර සඳහන් නොවුණත් මාදම්පා ප්‍රදේශවාසීන් එතුමා දේවත්වයෙන් සැලකීමට තරම් සේවාවක් ප්‍රදේශවාසීන්ටත් රට ජාතියටත් සිදු වී ඇති බව නම් නිසැක ය.

අදහස්