ජපන් වාහනවල මීටර කැරකැවිල්ලේ අලුත්ම සෙල්ලම් | Page 2 | සිළුමිණ

ජපන් වාහනවල මීටර කැරකැවිල්ලේ අලුත්ම සෙල්ලම්

  • මීටර් වෙනස් කරන්නම හදපු ගැජට් වෙළෙඳපොලේ
  • ගැජට්එක ගත්තාම පාඨමාලාව නොමිලේ
  • පරිසරය සුරකින්න ජපනා යොදන උපකරණ අපේ රටේදී ගලවා දමනවා
  • පාරිභෝගිකයා රකින්න වාහන අලෙවියේ ප්‍රමිතියක් ඇති කළ යුතුයි

පසුගිය සතියේ හයිබ්‍රිඩ් වාහන සම්බන්ධව අප පළ කළ ලිපියට ලැබුණු පාඨක ප්‍රතිචාර පෙන්නුම් කර සිටියේ වාහන සම්බන්ධව ඇත්ත දැනගැනීමට පාඨක පොදු මහජනතාව කොතරම් කැමැත්තෙන් පසුවන්නේද යන්නයි. අද අපේ රටේ අති විශාල වාහන සංඛ්‍යාවක් සංසරණය වුවද, කෝටි ගණනින් මුදල් හුවමාරු වන වෙළෙඳපොළක් පැවතියද, රටේ ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් වාහන හිමිකරුවන් වුවද වාහන ගැන දැනුවත්භාවය ඉතා අල්පය.

වැඩි දෙනා වාහන මිලදී ගැනීමේදී රැවටෙති. වාහන විකිණීමේදී රැවටෙති. වාහන අලුත්වැඩියා කරගැනීමේදී රැවටෙති. මේ රැවටීම්වලට හසු වන කිසිම කෙනෙකුට වාහන සම්බන්ධයෙන් නිසි දැනුම ලබාගැනීමේ මඟක් නම් නැත. තිබෙනවා නම් එක්කෝ කටකතාය. නැති නම් තමන්ගේ නෑදැයෙකු හෝ විශ්වාසනීය මිත්‍රයෙකු ක්ෂේත්‍රයේ සිටිය යුතුය. මේ කරුණු එකක් හෝ සම්පූර්ණ නොවේ නම් බොහෝ විට සිදු වන්නේ රැවටීමය.

පසුගිය ලිපියෙන්ද මෝටර් රථ අලෙවිකරුවන්ට යම් යම් චෝදනා එල්ල කර සිටියද එවැනි වංචා සඳහා සහභාගී නොවී තම සේවාදායකයන්ට උපරිම සේවාවක් ලබාදෙන විශ්වාසනීය ව්‍යාපාරිකයන්ද සිටින බව ප්‍රථමයෙන්ම පැවසිය යුතුය.

ඉන්පසුව පැවසීමට ඇත්තේ අපේ රටේ මෝටර් රථ අලෙවි ක්ෂේත්‍රයට අදාළව මහාපරිමාණයෙන් ක්‍රියාත්මක වන්නා වූ තවත් වංචාවක් සම්බන්ධවය. වාහන ක්ෂේත්‍රය විනාශ කිරීමට තොරතුරු මාධ්‍යට ලබා දෙනවා යැයි චෝදනා ලබන නුවන් මදනායක මහතා අපට එම වංචාව සම්බන්ධව තොරතුරු ලබා දෙමින් පවසා සිටියේ තම ක්ෂේත්‍රය රැකීමට නම් එහි වංචා වසා ගැනීමට නොව වංචා නැති කිරීමට දායක වීම තම වගකීමක් සේ සලකන බවයි.

අද වාහන වෙළෙඳපොළෙන් වාහනයක් මිලදීගැනීමට යන ඔබ, අලෙවිකරුවා පවසන සියල්ල විශ්වාසයට ගනිමින්, ඔහු ලබාදෙන සහතික පත් විශ්වාසයට ගනිමින් ඔහු පවසන මිල ගෙවා වාහනයක් නිවසට ගෙන එන්නේ ඉමහත් සතුටෙනි. එහෙත් ඔබ විශ්වාස කළ සියල්ල සත්‍ය වීමට නොව අසත්‍ය වීමට විශාල ඉඩක් පවතින බව මේ දක්වා ඔබ නොදැන සිටින්නට ඇත.

ඔබ මිලදී ගත් වාහනය ඇතැම් විට පිටරටදී අනතුරුකට මුහුණ පෑ රථයක් විය හැකිය. ඇතැම් විට ඒ රටේදී අධික දුරක් ධාවනය කෙරුණු එහෙත් වේග මීටර වෙනස් කෙරුණු රථයක් වීමට ඉඩ ඇත. ඇතැම් විට පිටරටකදී භාවිතයෙන් ඉවත් කෙරුණු රථයක් වුව විය හැකිය. අපේ රටේ වාහන වෙළෙඳපොළ තුළ සිදු වන එම වංචා සම්බන්ධව නුවන් මදනායක මහතා මෙසේ වැඩි විස්තර පැවසීය .

“ඕනෑම කෙනෙක් වාහනයක් මිලදී ගන්න ගියාම පිළිතුරු හොයන ප්‍රශ්න දෙකක් තියෙනවා. එක, වාහනය කොච්චර පෙට්‍රල් කරනවද කියන එක. දෙක තමන් මිලදී ගන්න යන වාහනය ජනප්‍රිය වර්ගයකට අයත් වන වාහනයක්ද කියන එක. මේ ප්‍රශ්න දෙක ඔළුවේ තියාගෙන තව හොයනවා වාහනය කොච්චර දුර දුවලද කියලා. අපි දන්නවා ලංකාවට ගෙන්වන්නේ ලාභයක් තියාගෙන අලෙවි කළ හැකි වාහන කියලා. ජපානයේදී ටිකක් ධාවනය කරපු වාහන එහේ ඔක්ෂන්වලදී තරමක් අඩු මිලට ගන්න පුළුවන්.

මුලින්ම අපේ අය කරන්නේ මේ වාහන අඩු මිලට මිලදී ගන්න එක. මේ වෙනුවෙන් වාහන අලෙවිකරුවන්ගේ නියෝජිතයෝ, නෑදෑයෝ ඒ රටවල පදිංචි වෙලා ඉන්නවා. ඔවුන් අපේ රටෙන්ම කාර්මිකයන් මාස කිහිපයකට වීසා ලබාගෙන ජපානයේ නවත්වාගෙන ඉන්නවා. මේ විදිහට අඩු මිලට ඔක්ෂන්වලින් වාහන මිලදී ගෙන ඒ වෙනුවෙන් ජපානයේදී ලබා දෙන JAAI (Japan Auto Appraisal Institute) සහතිකයත් ලබා ගන්නවා. ඉන් පස්සේ අපේ මැකෑනික්ලා දම්මලා වැඩ කරන එයාලගේ ගරාජ්වලට දාලා මේ වාහනවල මයිලේජ් වෙනස් කරනවා. ජපානයේ ඔක්ෂන් එකේ දත්ත තියෙන්නේ මාස තුනක් විතරයි. ඒ නිසා මේ වාහන ආයෙම ඔක්ෂන් එකට දැම්මාම පෙන්වන්නේ අලුත්ම වාහනයක් විදිහට. ඒ විදිහට වෙනස් කරපු මයිලේජ්වලට අදාළව අලුත් JAAI සහතිකයක් ලබා ගන්නවා. ඒ විදිහට ලබා ගන්න සහතික එක්ක මේ වාහන ලංකාවට එවනවා.

සමහරු එච්චර කරන්නෙත් නැහැ. JAAI සහතික ලැබෙන්නේ තැපෑලෙන්. මේ සහතික වෙනස් කරනවා. දැනගන්න ලැබුණු විදිහට මේ සහතිකය දැන් පිටකොටුවෙත් ප්‍රින්ට් කරනවා.

අපේ රටේ ලියාපදිංචියේදී මේ වාහන කිසිවක් චෙක් කරලා තොරතුරු නිවැරදිද කියලා බලන්නේ නැහැ. ප්‍රමිති සහතිකයක් නැහැ. ප්‍රමිති සහතිකයකට කියලා තියෙන්නේ JAAI සහතිකය විතරයි. ඒකත් හොර කරනවා. එතකොට පාරිභෝගිකයන්ට විශ්වාසයට ගන්න කිසිවක් නැහැ. අන්න ඒ නිසයි මෙය ප්‍රබල ප්‍රශ්නයක් වෙන්නේ.

ඉස්සර වැඩිදෙනා විශ්වාස කළේ මයිලේජ් හෙවත් ධාවන දුර වෙනස් කළ හැකි වන්නේ ඇනලොග් මීටර්වල විතරයි කියලා. ඩිජිටල් මීටර් වෙනස් කරන්න බෑ කිව්වා. ඒත් අද වෙන කොට තාක්ෂණය අවභාවිත කරලා ඩිජිටල් මීටර් පවා වෙනස් කරනවා. මේ ඩිජිටල් මීටර් වෙනස් කිරීම උගන්වන ආයතන පවා බිහිවෙලා තිබෙනවා. මේ අධ්‍යාපන ආයතන තමන්ට සිසුන් ගෙන්වා ගන්න දැන්වීම් දාන්නේ සේල්වලට එන වාහනවල මයිලේජ් අඩු කිරීමෙන් විතරක් විශාල ලාභයක් ලබන්න පුළුවන් කියලයි. එක කාලෙකදී මේ දේවල් වුණේ හොරෙන්. ඒත් දැන් මේ සේරම ප්‍රසිද්ධියේ සිදු වෙනවා. වාහනවල මයිලේජ් වෙනස් කරන්න භාවිත කරන උපකරණ අලෙවි කරනවා. Speedometer correction Tool, Odo meter correction Tool, Speedometer correction Course යනාදී වශයෙන් ඍජුවම දැන්වීම් පළ කරනවා. ටූල් එක මිලදී ගත්තම නොමිලේ පුහුණුවක් ලබා දෙනවා. කිසිම පිළිගත් අධ්‍යාපන ආයතනයක් මේ දේවල කරන්නේ නැහැ. මේ දේවල් අනුමත කරන්නේත් නැහැ. ඒත් මේ දේවල් අද අපේ රටේ ඉතාම සුලබ වෙලා.

වාහනයක මයිලේජ් එක නැති නම් ධාවනය වී ඇති කිලෝමීටර් ප්‍රමාණය කියන්නේ වාහනයේ නඩත්තුවට අත්‍යවශ්‍ය දෙයක්. නියමිත කාලයේදී ඔයිල් මාරු කරන්න, ටයර් ඇතුළු අනෙකුත් අමතර කොටස්, බෙල්ට් මාරු කරන්න තමයි මේ මයිලේජ් එක උපයෝගි කර ගන්නේ. නිසි කලට මේ අලුත්වැඩියා නොකිරීමෙන් රථයේ ආයු කාලය අඩු වීමයි සිදු වෙන්නේ. ඒත් අපේ රටේ අලෙවියට ඇති වාහන අතරින් බොහොමයක මයිලේජ් අඩු කරනවා. මේකෙන් අමාරුවේ වැටෙන්නේ වාහනය මිලදී ගන්නා පුද්ගලයා .

තවත් දෙයක් කියන්නම්. ඩීසල් වාහනවල තියෙනවා DPF System කියලා උපාංගයක්. ඒ කියන්නේ Diesel Particulate Filter කියන එක. මේ උපාංගය තියෙන්නේ රථයෙන් පිටවල විෂ දුමෙන් පරිසරය ආරක්ෂා කරගැනීමට.

ඩීසල් වාහනවල ප්‍රධාන කාබනික විමෝචක දෙකක් අඩංගුයි.

NOX - එමඟින් අදහස් වන්නේ නයිට්‍රජන් සහිත වායු සංඝටකයක්

SOOT - එමඟින් අදහස් වන්නේ කාබන් හෙවත් දැලි

මීට අමතරව හයිඩ්‍රොකාබන් සහ කාබන් මොනොක්සයිඩ් තිබුණත් ඒ සුළු වශයෙන්. අපේ රටේ දුම් පරීක්ෂාවේදී ඩීසල් වාහනවලට අදාළව බලන්නේ කාබන් සම්බන්ධව පමණයි. මොකද එය පොළොවේ තැන්පත් වන නිසා.

ජපානයේදී වාහන නිෂ්පාදනය කරන්නේ මේ සංඝටක හැකි තරම් අඩු වන අන්දමටයි. EURO 4 සහ ඉන් ඉහළට වන ඉන්ධන භාවිත කළ යුතු වාහනවල දුම් බටයේ විශේෂිත ෆිල්ටරයක් සවි කර තිබෙනවා. මෙයට තමයි Diesel Particulate Filter කියන්නේ. මේ උපාංගයෙන් කෙරෙන්නේ දුම් බටයෙන් පිටවන දැලි සියල්ලම ෆිල්ටර් කිරීමයි. ටික කාලයක් භාවිත කළාට පස්සේ මේ ෆිල්ටර් එක බ්ලොක් වෙනවා. බ්ලොක් එක අරින්න වාහනය වේගයෙන් ගමන් කරන වේලාවක අමු ඩීසල් ටිකක් එවලා ෆිල්ටර් එක ඇතුළේ රැඳී ඇති දැලි හෙවත් කාබන් ෆිල්ටර් එකේදිම දහනය කරලා, ඒ කියන්නේ තව දුරටත් කුඩා අංශුවලට කඩලා හානියක් නොවන විදිහට පරිසරයට මුදා හැරීම සිදු කරනවා.

රටේ පරිසරය ගැන හිතනවා නම් තේරෙනවා ඇති මේ ෆිල්ටර් ඩීසල් වාහනවලට අත්‍යවශ්‍යයි කියලා. මේ කාබන් හැදෙන්න බලපාන ප්‍රධාන සාධකය තමයි ඩීසල්වල සල්ෆර් ප්‍රතිශතය. ඩීසල්වල EURO අගය ඉහළ යනවා කියන්නේ එම ඉන්ධනවල සල්ෆර් අගය අඩුයි කියන එක. සල්ෆර් වෙනුවට වෙනත් රසායනික ද්‍රව්‍ය යොදා තිබෙනවා.

අපේ රටේ EURO 4 අගය ශ්‍රේණි ගත කිරීමට කලින් Brand new වාහන මෙරටට ගෙන්වූ ප්‍රධාන පෙළේ සමාගම් අපේ රටට ගෙන්වූයේ මේ ෆිල්ටර් කොටස ඇතුළත්ව නැති වාහන. ඒත් ඒ වෙනකොටත් EURO 4 ශ්‍රේණියේ වාහන භාවිත කළ ජපානය තමන්ගේ රටේ ධාවනයට නිපදවූ වාහනවල මේ ෆිල්ටරය ඇතුළත් කර තිබුණා. ඇතැම් පිරිස් මේ ජපානයේ ධාවනය වෙනුවෙන් නිෂ්පාදනය කළ වාහන අරගෙන ඒවා අපේ රටට ආනයනය කළා.

ඒ වාහනවලට යෙදිය යුතු වුණේ EURO 4 කාණ්ඩයේ ඉන්ධන. ඒත් එම කාණ්ඩයේ ඉන්ධන ඒ වෙනකොට අපේ රටේ නැහැ. ඉතින් මේ රථවල Diesel Particulate Filter හෙවත් DPF අඩු කිලෝමීටර් ගණනක් ධාවනයෙන් පසු බ්ලොක් වෙන්න පටන් ගත්තා. මේ බ්ලොක් වීම් සිදු වුණු වාහන කාර්මිකයන් ළඟට අරගෙන ගියාම ඔවුන් කලේ මේ DPFඑක එක්කෝ කඩලා ඉවත් කළා. නැත්නම් DPF එක වැඩකරන්නේ නැති වෙන්න unit එකක් ගෙනත් හයි කළා.

අපි දන්නවා ගරාජ් එකක් ගත්තොත් එහි සිදු කරන ප්‍රධාන කාර්මික කටයුතු කිහිපයක් තිබෙනවා. පසුකාලීනව මේ DPF එක ඉවත් කිරීම ගරාජයක සිදු කරන ප්‍රධාන කටයුතුවලින් එකක් බවට පත් වුණා. මේ DPF ඉවත් කිරීමට ඉගෙනගැනීම කෙටි කලකින් ලොකු ලාභයක් ලබාගත හැකි වැඩක් වුණා. ඒ නිසා මේ උපාංගය ඉවත් කිරීමට උගන්වන තැන් බිහි වුණා. මේ උපාංගය ඉවත් කිරීමට යොදා ගත හැකි යන්ත්‍රෝපකරණ පිටරටින් ගෙන්වන්න පටන් ගත්තා.

දැන් ලංකාවේ EURO 4 ඉන්ධන තිබෙනවා. එතකොට දැන් අපට මේ DPF එක භාවිතය අවශ්‍යයි. ඒත් අදටත් අපේ රටේ වාහනවල DPF එක ඉවත් කරනවා. ජපානයේ වාහන නිෂ්පාදකයන් මේවා දැනගත්තොත් හිනාවෙයි.

මේ විදිහට පරිසරය ආරක්ෂා කරන්න මෝටර් රථ නිෂ්පාදකයාම නිෂ්පාදනය කරලා තිබෙන දේ කඩලා ඉවත් කරලා දාලා කාබන් බදු පැනෙව්වා කියලා කෑ ගහනවා.

මේ සියල්ල මෝටර් වාහන ක්ෂේත්‍රයේ, ඒ කියන්නේ අලෙවි, සහ අධ්‍යාපන මේ සියල්ලේ අවභාවිතය. නිසි නියාමනයක් ප්‍රමිතියක් නැති කම. වාහන ගෙන්වීමේදී වගේම, අලුත්වැඩියාවේදී, කාර්මික අධ්‍යාපනය ලබා දීමේදී ප්‍රමිතියක් ඇති කළ යුතුමයි.

 

Comments