බේබද්දන් වී මැරෙන්න වැටුණු දළුකානේ ආදි වාසී ගෑනු | සිළුමිණ

බේබද්දන් වී මැරෙන්න වැටුණු දළුකානේ ආදි වාසී ගෑනු

  • තාත්තලා අම්මලා දරුවන් කසිප්පු බොන්නෙ එකට
  • අම්මලා බීලා වෙරි වෙලා පාරෙ වැටිලා
  • ගැහැනු ළමයි වැඩි දෙනෙක් කොළඹ සම්බාහන මධ්‍යස්ථානවල
  • අවුරුදු 10 ඉඳන් දරුවන් කසිප්පු බොනවා

“සොබා දහමත් එක්ක බැඳීමෙන් ජීවත් වූ අපේ රැහේ උදවිය කිසි කෙනෙකුට කරදරයක් වුණේ නැහැ. මී පැණි ටිකක් කඩාගෙන,හේනක් කොටාගෙන දුෂ්කරව වුණත් අපි පුංචි කාලේ සතුටින් ජීවත් වුණා. දැන් අවුරුදු දහයක විතර ඉඳලා අපේ රැහේ පවුල්වල සමඟිය ,සතුට, කසිප්පුවල දියවෙලා යනවා. මහ එවුන් විතරක් නොවෙයි දළුකානේ වැදි රැහේ කිරි සප්පයො ටිකත් දැන් කසිප්පුවලට ගංජාවලට හුරුවෙලා ඉවරයි. පොඩි එවුන් එකා දෙන්නා ලෙඩ්ඩු වෙනවා. රැහේ පොඩි එවුන් අකාලයේ මැරෙනවා. මේ මහා ඛේදවාචකයෙන් අපිව බේරගන්න රත්තරනේ“

දිඹුලාගල ආදි වාසී පරපුරේ වැඩිහිටි කාන්තාවක වන කන්දප්පුගේ ලිසී නෝනා මහත්මිය වේදනාවෙන් පවසන්නීය. කසිප්පුකාරයන්ට එරෙහිව ඇය තනිව සටන් කරන්නීය .ඇය අවස්ථා ගණනාවකදී උපවාස කළාය. ඒ සෑම අවස්ථාවකදීම සමාජයෙන් ඇයට එල්ල වූයේ ගල් මුල්ය. නමුත් මේ දිරිය මාතාව සටන අතහැරීමට සුදානම් නැත.

පසුගිය 71 වන නිදහස් දිනයේදී ද ඇය මත් උවදුරට එරෙහිව දළුකානේ බස් නැවතුමේ වහලයට ගොඩ වූවාය. තම රැහේ උදවිය බේරා දෙන ලෙස ජනාධිපතිතුමාට අවධාරණය කළාය. ආදි වාසී රැහේ උන් මේ උවදුරෙන් බේරාගැනීමට අවසන් හුස්ම පොද යන තුරු මතට එරෙහිව සටන් කරන බව ඇය තිර අදිටනින් කියන්නීය.

“අපි පුංචි කාලේ හරිම සතුටින් ජීවත් වුණා. හේනක් කුඹුරක් කරලා, මී පැණි ටිකක් එකතු කරලා අපේ තාත්තා අපට කන්න අදින්න දුන්නා. අපේ පවුල්වල හොඳ සමඟියක් තිබුණා. ඒ කාලේ අරක්කු බොන පිරිමි වැදි රැහේ හිටියේ නැහැ. කලාතුරකින් දවසක මොනවා හරි දෙයක් අරගෙන වෙළඳාමට කදුරුවෙලට ගියත් අපේ තාත්තලා දරුවන්ට කන්න බොන්න දේවල් ගෙනැත් දීලා සතුටු වෙනවා.

අද අපේ සමාජය උඩු යටිකුරු වෙලා. එකෙකුට එකෙක් නැති වෙන විදිහට බෙදී වෙන් වෙලා. මේ සියල්ල සිද්ධ වුණේ ගමේ කසිප්පු විකුණන්න පටන් ගත්තට පස්සේ. මම කසිප්පු නිසා හොඳටම බැට කෑව බිරියක් වගේ ම අම්මා කෙනෙක්. මගේ සැමියා කසිප්පුවලට ඇබ්බැහි වුණා. ඒ කසිප්පු ජරාව නිසාම මනුස්සයාට ජීවිතයත් නැති වුණා. ඒ විතරක් නොවෙයි මගේ පුතාලත් කසිප්පුවලට ඇබ්බැහි වුණා. මම මගේ පුතාව පොලිසියට අල්ලා දුන්නා. කොල්ලා උසාවි දැම්මා. මම දඩේ ගෙවලා ගත්තා. එදායින් පස්සේ කොල්ලා හැදුණා.

මම දළුකාන ඉස්කොලේ අටේ පන්තියට ඉගෙන ගත්තා. ඒත් මං මෝඩ වැදි ගැහැනියෙක් නොවෙයි. මං රටේ ලෝකේ සිද්ධ වෙන දේවල් හොඳට දන්නවා. පෙලොන්නරුව දිස්ත්‍රික්කයේ වැඩිම පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවෙලා ඉන්නේ දළුකානේ කියලා මහ හිතෙනවා. අපේ ගමේ තාත්තා , අම්මා, පිරිමි දරුවෝ සියලුම දෙනා එකට කසිප්පු බොන පවුල් තියෙනවා. හැන්දෑවේ හතර පහ වෙනකොට කසිප්පු බීලා ගෙවල්වල ගෑනු මිනිස්සු රණ්ඩු වෙනවා. අවුරුදු දහයේ ඉඳන් වැඩි පිරිසක් පිරිමි අරක්කු , කසිප්පු වගේම ගංජා බොනවා. පහුගිය මාසේ අපේ ගමේ අවුරුදු විස්සටත් අඩු කොල්ලෝ තුන් දෙනෙක් බයික් එකක ගිහින් හැප්පිලා දෙන්නෙක් එතනම මැරුණා. මරණ පරීක්ෂණයෙන් දැනගත්තා මුන් තුන්දෙනා හොඳටම බීලා තමයි බයික් එකේ වේගයෙන් ගිහින් තියෙන්නෙ කියලා. කියන්න ලැජ්ජයි… අපේ ගමේ ගෑනුත් කසිප්පු ජාවාරමේ යෙදෙනවා.

මේ වසංගතය පාලනය කරන්න අරලගංවිල පොලිසියේ ස්ථානාධිපති වෙලා හිටිය ලසන්න බණ්ඩාර මහත්තයා පහුගිය කාලේ ලොකු උත්සාහයක් ගත්තා. දැන් එතුමා වැලිකන්දට මාරු වෙලා. ඒ මහත්තයා මාරු වෙලා ගියා විතරයි දැන් කසිප්පු කාරයෝ දෙතුන් ගුණෙන් පෙරනවා. මේවා පෙරන උන්ගේ අවුරුදු දහයේ දොළහේ කොල්ලොත් හොඳට බොනවා. ඒ වුණාට මහ උන්ට ඒකේ වගක් නැහැ. කියන්න ලැජ්ජයි මහත්තයෝ සමහර ගෑනු බීලා වෙරිවෙලා වැටෙනවා. සමහර පිරිමි වගේම ගෑනු මත් වුණාම හැසිරෙන්නේ සත්තු වගෙයි.

මං පහුගිය 2016 දීත් දෙවතාවක් මේ කසිප්පු ජාවාරමට විරුද්ධව විරෝධතා කළා. ඒ අවස්ථාවලදී පොලිසිය ඇවිත් කසිප්පු ජාවාරම් කාරයෝ අල්ලාලා උසාවි දැම්මා. පොලිසියෙන් කසිප්පු අල්ලන්න ආවම කසිප්පු බොන ගෑනු නිරුවත පෙන්නලා පොලිසියත් අපහසුතාවට පත් කරනවා. පහුගිය කාලේ එහෙම කරපු අයට පොලිසියෙන් නඩු දැම්මා. මම කවදාවත් නීති විරෝධී වැඩ කළේ නැහැ. මේ වතාවෙත් මම බස් හෝල්ට් එකට නැඟලා විරෝධතාවක් කළා. මේක අහිංසක විරෝධතාවක්.

පාරවල් වහලා මිනිස්සු පීඩාවට පත් කරන්න මම කටයුතු කළේ නැහැ. මගේ එකම ඉල්ලීම මේ කසිප්පු ජාවාරම්කාරයන් අල්ලලා නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න කියන එකයි. ඒ වගේම අපේ ආදි වාසී රැහේ පාසල් වයසේ සියයට අනූවක් විතර පිරිමි දරුවෝ කසිප්පු, ගංජා වගේම මත් පෙතිවගේකට පුරුදු වෙලා. ඉස්කොලේ යන්න සුදුසු වයසේ ඉන්න විශාල පිරිසක් ගෙවල්වල ඉන්නවා. උන්ට කරන්න වැඩක් නැහැ. මේ පොඩි උන් දළුකානේ වැවට ගිහින් මාළු අල්ලනවා. සමහරු කසිප්පු බොනවා. නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල අය මේ ගැන මීට වඩා අවධානය යොමු කරන්න.

මට නැති වෙන්න දෙයක් නැහැ. මම මුඛ පිළිකා රෝගියෙක්. දැන් අපි ජීවත් වෙන්නේ දිඹුලාගල පන්සලට එන මිනිස්සුන්ගෙන් කීයක් හරි ඉල්ලාගෙනයි. නැතිබැරිකම කියන්න මම ලැජ්ජා වෙන්නෙ නැහැ. දැන් ගමේ කසිප්පුකාරයන් මාව දැක්කම බයික් එක හප්පන්න වගේ ළඟින් පදිනවා. උන් මට කෙළගහගෙන යනවා. ගමේ විශාල පිරිසක් අස්සන් කරලා මේ විරෝධතාවට සහයෝගය දුන්නා. නමුත් කිසි කෙනෙක් ඉදිරියට ඇවිත් ඉදිරිපත් වෙන්න බයයි. දැන් අරලගංවිල ඉන්න ඕ අයි සී මහත්තයා කිව්වා මාසෙන් කසිප්පු කාරයන් අල්ලනවා කියලා. නමුත් ජාවාරම්කාරයන් තවම මේක ජයටම කරගෙන යනවා.“

හැන්දැවේ හයට විතර දළුකානට ගිය අපට ලිසී නෝනාගේ කතාව සැබෑවක් බව පසක් විය. කන්දප්පුලාගේ දීප්ති සාන්ත එක්ක අපි ගම මැදින් ඇවිද ගියෙමු. පැල්පත් නිවාස කීපයකම පිරිමි වෙරිමතින් දොඩවති. කොල්ලො කුරුට්ටෝ කීප දෙනෙක් බීඩියක්, සිගරටුටවක් කටේ ගහගෙන පාපැදියෙන් ගම හරහා යති. දළුකානේ අපට නොපෙනෙන ලෝකය ගැන සාන්ත තම හඩ අවදි කළේය.

“අපේ ගමේ දැන් හැම මත්ද්‍රව්‍ය තියෙනවා. මහා පරිමාණයෙන් කසිප්පු පෙරනවා. විකුණනවා. ඒ වගේම ගමේ ගෑනු ,පිරිමි,පොඩි ළමයි හැම කෙනාම බොනවා. කේරල ගංජා ගමට එනවා. ඒ වගේම මත් බෙහෙත් පෙත්කුත් ගමේ සමහර කොල්ලෝ බොනවා. අවුරුදු දහය පැන්න ගමන් හැම කොල්ලම බොන්න පටන් ගන්නවා. හයේ පන්තියේ ඉඳන් ඉස්කෝලේ යන්නේ කීප දෙනයි. වැඩි දෙනෙක් ඉස්කෝලේ යන්නෙ නැහැ.

දළුකාන ගමේ කීප දෙනෙක් පහුගිය කාලේ අලි ගහලා මරුණා. ඒ වැඩි දෙනෙක් බීලා ගිහිං අලියට බිලි වුණා. ආදි වාසී ගෑනු සම්බාහන මධ්‍යස්ථානවල රස්සාවල්වලට යන එක දැන් අපේ ගමේ අලුත්ම වසංගතය. මහත්තයෝ මම කළුයි නේ. මම වැද්දෙක්. අපේ වැදි පරපුරේ ගෑනුත් අපි වගේම කළුයි. හැබැයි මුං කෙළඹ පැත්තේ මසාජ් සෙන්ටර්වලට ගිහිං මාස තුනක් විතර ඉදලා ගමට එනකොට ඉටි රූප වගේ සුදුයි. තොල් පාට කරලා කොණ්ඩා පාට කරලා දිලිහි දිලිහි ගමේ කැරකෙන කොට අනෙක් ගෑනුන්ටත් මේ විසේ ඔළුවට ගහනවා. උන් මේවාගේ වැඩට යන්න ඕනෑ කියලා මිනිහා එක්ක රණ්ඩු කරනවා. ගෑනි කොළඹ ගියාම මිනිහා හොඳට බොනවා. දරුවෝ නන්නත්තාරේ යනවා. අපි සැබෑ ආදිවාසීන් වුණාට අපේ ගමේ ඉන්න පිටින් ආව මිනිස්සු ආදිවාසී නම විකුණගෙන කනවා. මේ ගමේ තියෙන්නේ ලේසියෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්න නොවෙයි. රජයේ වගකිවයුතු ආයතන ගණනාවක් මේ සදහා මැදිහත් විය යුතුයි.

දළුකානේ පාරම්පරික ආදිවාසීන් බහුතරයකගේ ජීවන තත්ත්වය ඉතා පහළ මට්ටමක පවතින බව පෙනෙයි. දරුවො දෙතුන්දෙනා එක්ක කුඩා මැටි පැල්පත්වල කූඩු වී සිටින ඔවුන්ට හෙට දවසක් ගැන බලාපොරොත්තුවක් නැත. එදා දවසට කුලියකට ගොස් ලැබෙන ආදායමෙන් බඩකට පුරවා ගන්නවා හැර ඉදිරි දියුණුවකට සැලසුමක් නැත.

දිඹුලාගල ආරණ්‍ය සේනානයේ වැඩ විසූ මාතර කිතලගම සිරි සීලාලංකාර නායක හාමුදුරුවෝ මේ වැදි ජනතාවගේ ජීවිතයට එදා අලෝකයක් වූහ. උන් වහන්සේගේ සාසනික හා සමාජීය සේවාව අදටත් වැදි ජනතාව කෘතඥ පූර්වකව සිහි කරති .අද දවසේ වැදි ජනතාවගේ ජීවිතය දිනෙන් දින අගාධයට යද්දී නිහඩව සිටින්නේ ඇයි දැයි දිඹුලාගල කශ්‍යප මහ පිරිවෙණේ නියෝජ්‍ය පරිවේණාධිපති ගොරකඔය බෝධිමාලංකාර ස්වාමීන් වහන්සේගෙන් විමසුවෙමු.

“ආදි වාසී ජනතාවගේ ජීවිතය මත් රකුසා විසින් ගිලගනිමින් පවතිනවා. මේ මිනිස්සු මතින් මුදාගන්න අපේ ස්වාමීන් වහන්සේ බෙහෝ වෙහෙසෙනවා .අපි නිහඬව ඉන්නෙ නැහැ. අපි දැනුවත් කිරීම් කරනවා. නීතිය ක්‍රියාත්මක කරන ආයතන එක්ක එකතු වෙලා වැදි ජනතාව වගේම මෙම ප්‍රදේශයේ ජීවත්වන සිංහල, දෙමළ මුස්ලිම් ජනතාව මත් උවදුරෙන් බේරාගැනීමට වැඩසටහන් ක්‍රියාත්මක කළා . නමුත් මේ සියල්ල ගඟට කැපු ඉනි වගේ වුණා.

මත් ජාවාරම මැඬලන්න ජනාධිපතිතුමා මේ අවස්ථාවේ ලොකු උත්සහායක යෙදෙනවා. මහා සංඝරත්නය විදිහට අපි ඒ පිළිබදව ජනාධිපතිතුමාට ආශිර්වාද කරනවා. මම ජනාධිපතිතුමාට යෝජනා කරනවා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගමින් ගමට ගොස් මත්ද්‍රව්‍ය නිවාරණය කරමු කියලා. එය දළුකානේන් පටන් ගනිමු කියලාත් යෝජනා කරනවා. මේ වන විට දළුකානේ අම්මා තාත්තා, පුතාලා සියලු දෙනා එකට මත්පැන් පානය කරනවා කියලා මිනිස්සුන්ට ඇවිත් කියනවා. ඒ වගේම තමයි ගංජා, මත්පෙති වගේම රජයේ අනුමත අරක්කු සහ දුම්වැටිත් දළුකානේ මිනිසුන්ගේ ජීවිත පහළ දැමීමට දායක වෙනවා.

දිඹුලාගල වැදි සමාජය මේ තත්ත්වයට ඇද වැටීමට හේතු කාරණා කීපයක් බලපානවා. සමහර වැලි ටිපර්කාරයන් ප්‍රවාහනයට දායක වෙනවා. ඒ වගේම වැලි මංකඩවල වැඩ කරන වැඩි දෙනෙක් ගංජා ගහලා වැඩ කරන්නේ කියලා ඒ වගේ වැඩ කරන අයම අපට කියනවා .මනම්පිටිය ,දළුකාන, සොරිවිල, මිල්ලාන ,නව මිල්ලාන, පැලෑටියාව, මඟුල්දමන යන ගම්මාන දක්වා අද මේ කසිප්පු ජරාව ව්‍යාප්ත වී තිබෙනවා. මේ ගම්මා31නවල ලඳුකැලෑ තිබෙනවා. මහ දවාලටත් ඒවගේ අලි ඉන්නවා. පොලිසියෙන් කීප දෙනෙක් ඇවිල්ලා මේක අල්ලන්න බැහැ .පහුගිය කාලේ ලේසියෙන් ජාවාරම් කාරයෝ ඇල්ලුවා. උසාවි දැම්මා. නමුත් වැඩක් නැහැ. උන් ආයෙත් ඇවිත් පුරුදු රස්සාවම කරනවා.

පොලිස් විශේෂ කාර්ය බළකායට මේ වැඩේ භාර දුන්නා නම් සතියෙන් නිට්ටාවටම ඉවර කරනවා. විශේෂයෙන් ආදාවාසී පවුල් ගැන විශේෂ අවධානය යොමු කළ යුතුයි. මේ අය මත්ද්‍රව්‍යවලින් ගලවා ගන්න ගමන් ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කළ යුතු වෙනවා. ඔවුන් වැඩි දෙනෙකුට ඉන්න හිටින්න ගෙයක් නැහැ. දරුවන් පාසල් යන්නෙ නැහැ. ඔවුන්ට නිසි පෝෂණයක් නැහැ. ගෙවතු කැලෑ වැදිලා .ඔවුන් වගා කටයුතුවලට හෝ නැඹුරු කළ යුතුයි. ඒ වගේම ස්වයං රැකියා වැඩ සටහනක් මේ අය වෙනුවෙන්ම ආරම්භ කළ යුතුයි. දළුකානේ සමාජ ප්‍රශ්නයට විශේෂ අවධානය යොමු කොට විසැඳුමක් ලබා නොදුන්නොත් මේ තත්ත්වය දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය පුරාම කෙටි කාලයකින් ව්‍යාප්ත වේවී. එහෙම වුණොත් ඉතිං බණ කියලා හදන්න නම් අපහසු වෙයි.

දිඹුලාගල ආදිවාසී ජනතාව වෙනුවෙන් හඬ නඟන රැහේ කීප දෙනා මත්ද්‍රව්‍ය ජාවාම්කරුවන්ගේ අපහාස උපහාසයට ලක්වෙති. නමුත් ඔවුහු නොසැලී සිටිති. මේ දිරිය මිනිසුන් හා එක්ව දළුකාන ආදිවාසී මිනිසුන්ගේ ජීවිත ගොඩ ගැනීමට වග කව යුත්තන් මැදිහත් වෙන්නේ කවදාද?

අදහස්