මහ සයුර දිනුවත් පිළිකාවට පැරැදුණු ජෙරමි | සිළුමිණ

මහ සයුර දිනුවත් පිළිකාවට පැරැදුණු ජෙරමි

රුවල් ඔරු චාරිකා කිව් සැණින් අපට කුඩා වියේ ඇසූ සින්බෑඩ්, රොබින්සන් කෲසෝ වැනි මුහුදු ගවේෂකයන්ගේ චාරිකා සිහියට නැ‍ඟෙන්නේ නිරායාසයෙනි. එහෙත් රුවල් ඔරුවට බැඳි ප්‍රේමය නිසා ම රුවල් ඔරුවක නැඟී ශ්‍රී ලංකාව වට‍ා චාරිකා කරමින් අසීරු මුහුදු චාරිකාවල නිරත සැබෑ ශූරයකු වන ජෙරමි බෝලිං ගැන අප කතා කරන්නේ ඔහු කතාන්දරයක චරිතයක් ලෙසින් නොවේ. ඔහු අසීරු වික්‍රමයන් කරන සැබෑ ශ්‍රී ලාංකිකයකු වන නිසාය.

කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ජෙරමි බෝලිං පිහිනුම් ක්‍රීඩාවට අත්පොත තැබුවේ සිය පාසලෙනි. එහෙත් ඔහුට ඒ සඳහා අවශ්‍ය උත්තේජනය, ධෛර්යය හා ශක්තිය ලැබුණේ ඔහුගේ මවගෙනි. ඔහුගේ මව හා තාරා බෝලිං 50-60 දශකයේ ශ්‍රී ලංකාවට දෙස් විදෙස් කීර්තිය ලබා දුන් පිහිනුම් ශූරියක වීම ඊ‍ට හේතුවයි. පසුව තාරා ‍‍බෝලිං පිහිනුම් උපදේශිකාවක් වූවාය. දකුණු ආසියාවේ පිහිනුම් ශූරයා ලෙස කිරුළු පළන් ශ්‍රී ලංකාවේ ජුලියන් බෝලිං, ජෙරමි බෝලිංගේ බාල සොහොයුරාය.

ජෙරමි බෝලිං පාසල් සිසුවකුව සිටී කාලයේ පටන් නව මං සෙවු ක්‍රීඩකයෙකි. පිහිනුම් ක්‍රීඩාව කරන අතර ම වෝටර් පෝලෝ ක්‍රීඩාවට ද පිවිසි ජෙරමි ඉන් ජාතික තලයේ දස්කම් දැක්වීය. ඉන් අනතුරුව ඔහු යොමු වුයේ රළ මත ලිස්සා යෑමේ (වින්ඩ් සර්ෆින්) ක්‍රීඩාවට ය. ඔහුගේ නව ක්‍රීඩා සොයා යෑමේ පිපාසය එයින් සංසිඳුණේ නැත. රුවල් ඔරු ක්‍රීඩාවට පිවිසුණේ ඊට පසුවය. 2011 වසරේදී එංගලන්තයේ පැවැති ලෝක ශුරතා රුවල් ඔරු තරගාවලිය නියෝජනය කිරීමට ඔහුට අවස්ථාව උදා වූයේ ඔහු තුළ ඒ කෙරෙහි තිබූ දක්ෂතාව නිසා ය.

රුවල් ඔරු මත නැඟී කිසිවෙකු නොකළ දේවල් කිරීමටත් අසීරු මුහුදු චාරිකාවල යෙදීමටත් උත්සාහ දැරූ ඔහුගේ කුලුඳුල් ප්‍රයන්නය වූයේ අඩි 17ක් පමණ වන ඉතා කුඩා රුවල් ඔරුවක නැඟී ශ්‍රී ලංකාව වටා යාත්‍රා කිරීමයි. එහෙත් උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පැවැති යුදමය තත්ත්වය නිසා ඔහුට ඊට අවසර ලැබුණේ නැත. 2009 වසරේ යුද්ධය අවසාන වීමෙන් පසුව ද ජෙරමි බෝලිං ඊට උත්සාහ කළ ද එවිට ද ඔහුට අවසර නොලැබ‍ුණේ උතුරු - නැගෙනහිර මුහුදු තීරයන් ඒ වන විට සුරක්ෂිත නොවුණු බැවිනි.

එහෙත් තම සිහිනය අත් නොහළ ජෙරමි නැවත 2014 වර්ෂයේදී ද උත්සාහ දැරීය. එවිට ඔහුගේ වයස අවුරුදු 52 කි. එම අවස්ථාවේදී වෙරළට කිලෝමීටරයක් දෙකක් ඈතින් දිවයින ව‍ටා යාත්‍රා කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඔහුට අවසර ලැබිණි. අවසානයේදී ජෙරමි 2014 පෙබරවාරි 29 වැනි දා දිවයින වටා යන රුවල් ඔරු සවාරිය ඇරැඹීය.

ගාල්ලෙන් ආරම්භ කළ එම සංචාරයේ ගමන් මාර්ගය බළපිටිය, පාණදුර, ගල්කිස්ස, මීගමුව, හලාවත, අලංකුඩා, කල්පිටිය, බත්තලංගුණ්ඩුව, අරිප්පු තලෙයි මන්නාරම, ඉලුප්පුකඩුවායි, ඩෙවල්ස් පොයින්ට්, පුංකුඩුතිවු, කන්කසන්තුරේ, පේදුරුතුඩුව, චුන්ඩිකුලම්, අලම්පි, නිලාවැලි, ත්‍රිකුණාමලය, කාන්තන්කුඩි, ඔලුවිල්, ආරුගම්බේ, ඕකන්ද, පටිනංගල, කිරින්ද, හම්බන්තොට, තංගල්ල, මිරිස්ස, මාතර සහ ගාල්ල ලෙස දැක්විය හැකිය.

මෙම චාරිකාවේදි මුහුදු ගමනකට අවශ්‍ය කරන උපකරණ හැරුණු විට දොඩම්, කෙසෙල්, වතුර සහ විජලන අවස්ථාවකට අවශ්‍ය ජීවනී පැකට් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් රැගෙන ගියේ එය කුඩා රුවල් ඔරුවට පහසුවෙන් වන නිසාය. තෙවෙනි දවසේ රාත්‍රිය ගල්කිස්සේ ගත කරන මොහොතේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට ද ඔහු අමතක කළේ නැත. සෑම රාත්‍රියක්ම කූඩාරමක පහන් කළ ජෙරොමි මුහුදු ගමන ආරම්භ කළේ පෙරවරු 5.30 ටය. ජෙරමි බෝලිංගේ මුහුදු චාරිකාවට සමගාමීව ගොඩබිමෙන් වාහන සපයමින් සම්පූර්ණ චාරිකාවට අනුග්‍රහය ලබා දීමට Froutier Automotive ආයතනය ඉදිරිපත් විය. ජෙරමි සහ ඔහුගේ සහායකයාට යා යුතු තැන් සහ සිටිය යුතු තැන් දැනුම් දෙනු ලැබුවේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසිනි. ඔවුන් දිනකට පැය 7-8 ක් වැනි කාලයක් යාත්‍රා කළ අතර දිනකට ගමන් කළ දුර කිලෝමීටර් 40ක් පමණ විය. ශ්‍රී ලංකාව වටා ගමන් කළ රුවල් චාරිකාවට ඔවුන්ට ගත වූ කාලය දින 30 කි. යාත්‍රා කළ දුර ප්‍රමාණය කිලෝ මීටර් 1301කි. මුහුදු ගමනේදී ඔවුන්ගේ එකම ආහාරය වූයේ දොඩම් සහ කෙසෙල් පමණි. රාත්‍රි කාලය ගත කිරීම සඳහා ඔවුහු ගොඩබිමට පැමිණි විට පමණක් මාළු, බත් සමඟ වෙනත් ආහාරවලින් සප්පායම් වූහ.

මෙම මුහුදු චාරිකාවේ දී ජෙරමිට මුහුණදීමට සිදුවූ අකරතැබ්බ ද සුළුපටු ‍නැත. වරක් පුංකුඩුතිවු අසල වැලිපරයක් මඟ හැරීම සඳහා ඔවුන්ට කිලෝමීටර් 40ක් ඉන්දියාව දෙසට යෑමට සිදු විය. නැවතත් ශ්‍රී ලංකාව දෙසට කිලෝමීටර් 40ක් පැමිණීමෙන් කිලෝමීටර් 80ක් පමණ අමතරව එහා මෙහා යෑමට නාස්ති විය. එය තවත් විදියකින් පවසන්නේ නම් ඔවුන්ගේ ගමන් මාර්ගය ඔස්සේ ඔවුන්ට එදින යාත්‍රා කිරීමට හැකි වී තිබුණේ කිලෝමීටර් 6ක් පමණි. පැය 11 ½ ක් මුහුදේ එහා මෙහා ගිය ඔවුන් සේන්දු වූයේ ගමන ආරම්භ කළ ස්ථානයට නුදුරු තැනකට ය.‍

කන්කසන්තුරේට ළඟා වීමේදී ද ජෙරමි තවත් අපූරු අත්දැකීමකට මුහුණ දුන්නේ ය. ඒ ඔවුන් වැරදි දිශාවකට යාත්‍රා කිරීමයි. ඊට හේතු වූයේ සුළං හැමීම වෙනස් මඟක් ගැනීමයි. චලෙයි, නිලාවැලි වැනි ප්‍රදේශවලදීත් විශාල කුණාටු ඇති වීමෙන් ඔරුව පෙරළීමේ අවදානමකට ද ඔවුන්ට මුහුණදීමට සිදු විය.‍

අඩි 20 – 25 තරම් උස්ව නැඟුණු දළ රළ පෙළ සමඟ පොර බදමින් මුහුදු චාරිකාව ජය ගත් ජෙරමිට පිළිකාව සමඟ පොර බදමින් ජීවන චාරිකාව ජය ගැනීමට මාරයා ඉඩ නොදීම නම් සැබවින්ම කනගාටුදායකය. 57 වැනි වියේ දී ඔහුට මරු වැලඳගැනීමට සිදු වූයේ එම නිසා ය. ජෙරමි බෝලිං ක්‍රීඩකයාගේ දේහය තලවතුගොඩ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබූ අතර ඊයේ (09) අවසාන කටයුතු සිදුකෙරිණි.

අදහස්