මාතර රෝහලේ උපස්ථායක මධුෂ් රට වනසන අපරාධකරුවකු වූ හැටි | සිළුමිණ

මාතර රෝහලේ උපස්ථායක මධුෂ් රට වනසන අපරාධකරුවකු වූ හැටි

  • මුලින් වැඩ කළේ අම්පාරේ ගරාජයක
  • පොලිස් නිලධාරීන්ට ඩුබායි සිට මරණ තර්ජන
  • ඩැනී හිත්තැටිය ඇතුළු දකුණේ ඝාතන රැසක් මෙහෙයවූයේ මධුෂ්

සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත කඹුරුපිටියේ ගතාර උපන්නෙකි. මුලින්ම ඔහු කඹුරුපිටියේ මධුෂ් ය. ඔහු අපරාධ ලෝකයේ ‘මාකඳුරේ මධුෂ්’ නමින් ප්‍රචලිත වන්නේ විවාහයෙන් පසුවය. ඔහු විවාහ වන්නේ මාතර, මාකඳුර, ඉදිගහගොල්ල පදිංචි කාන්තාවක් සමගය. ඇය නමින් ගයානි මුතුමාලි ය. කඹුරු පිටියේ මධුෂ් මාකඳුරේ මධුෂ් වන්නේ විවාහයෙන් පසු මාකඳුට පැමිණි නිසාය.

මධුෂ්ගේ මව මාලනී සමරසිංහය. ඇය මියයන්නේ 1989 භීෂණ සමයේදී වෙඩි හුවමාරුවකට මැදිවීමෙන්ය. ඒ වනවිට මධුෂ්ට වයස අවුරුදු දහයකි. අම්මාගේ මරණයෙන් පසු පියා වෙනත් විවාහයක් ක‍රගෙන වටයල ප්‍රදේශයේට යන්නේය. එදා සිට මධුෂ් හැදී වැඩෙන්නේ ආච්චි හා පුංචි අම්මා ළඟය.

ආර්ථික අපහසුතා නිසා මධුෂ්ගේ පාසල් අධ්‍යාපනය අතරමගදී නැවතින්නේය. පසුව ඔහු අම්ප‍ාරේ ගරාජයක සේවයට යන්නේය.

විවාහ වන විට ඔහු මාතර මහ රෝහලේ සනීපාරක්ෂක කම්කරුවකි. වර්ෂ 2014 අප්‍රේල් 29 දක්වා මධුෂ් රෝහල් සේවයට වාර්තා කර තිබුණේ ය.

‘මාකඳුරේ මධුෂ්’ ගේ නම පළමු වරට පොලිස් පොතේ ලියවෙන්නේ වර්ෂ 1999 ඔක්තෝබර් 28 දාය. ඒ බෝර දොළහේ තුවක්කුවක් හා අත්බෝම්බයක් ළඟ තබා ගැනීමේ වරදටය. ඔහුව අත්අඩංගුවට ගන්නේ මාවරල පොලිසියෙනි. නඩු පවරන්නේ මාතර මහාධිකරණයේය. බී.ආර්. 509199 නඩුවට අදාළව වරද පිළිගැනීමෙන් පසු ඔහුට වසර දහයක අත්හිටවූ සිරදඬුවමක් ලැබුණේය.

මධුෂ්ට එරෙහිව මුල්ම වරට අපරාධයක් වාර්තාවන්නේ 2004 නොවැම්බර් 29 දා ය. ඒ මාකඳුර නගරයේදී ටී 56 අවියකින් වෙඩි තබා දිද්දෙනිපොත නැගෙනහිර පදිංචි ගමගේ කුසුමදාස ඝාතනය කිරීම සම්බන්ධවය. මේ ඝාතන සිද්ධියට අදාලව මොරවක මහේස්ත්‍රාත් උසාවියේ නඩු පවරා තිබු‍ණේ ය.

එහෙත් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීමෙන් 2003 මාර්තු 21 දා මොහුව මුදා හැරියේය.මධුෂ් අපරාධ ලෝකයේ තීරණාත්මක පිම්ම පනින්නේ ඔහුගේ‍ එකම සොහොයුරා වූ නිරෝෂණ ලක්ෂිතව නාඳුනන කණ්ඩායමක් විසින් පැහැර ගෙන ගොස් මාතර වේල්ල මත තබා ඝාතනය කිරීමෙන් පසුය.

පිස්තෝලයකින් වෙඩි තබා මාකඳුර මහගෙදරවත්ත ප්‍රදේශයේ දී විජේතුංග ගමගේ උපනන්ද ඝාතනය කිරීම, ඔහුට එරෙහිව ඉදිරිපත් වුණු ඊළඟ චෝදනාවය. ඒ මිනීමැරුමේදීත් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිකමින් නීතිපති විසින් ඔහුව මුදා හැරියේය. මේ අතර බන්ධනාගාර තුළ ගත කළ කාලයේදී හඳුනාගත් අපරාධකරුවන් මධුෂ්ගේ ජීවිතය වෙනස් කළේය. මීගමුවේ කොල්ලකෑම් කිහිපයකටම මධුෂ් එක්වන්නේ ඒ අනුවය. වර්ෂ 2005 මැයි 11 දා හා 2005 මැයි 30 දා කොල්ල කෑම් දෙකක් සිදු සිදු කෙරිණි.

මධුෂ් පාතල ලෝකයේ කරළියට එන්නේ එවකට දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති, හිටපු අමාත්‍ය ඩැනී හිත්තැටිය වෙඩි තබා ඝාතනය කිරීමෙනි. මේ අපරාධය සිදුවන විට මධුෂ් හිටියේ බන්ධනාගාරගතවය. වර්ෂ 2006 ජූනි 11 වැනිදා සිදුකළ මෙම ඝාතනය සඳහා මධුෂ් විසින් යොදවා තිබුණේ සුනිල් ප්‍රේමරත්න නොහොත් ඇටයා සහ කඹුරුපිටියේ හර්ෂ යන දෙදෙනාය.

බන්ධනාගාරයේ සිටියදී හඳුනාගත් පුද්ගලයන් හරහා ගිනි අවි ජාවාරම, මුදල් කොල්ලකෑම, 2011 වසරේ ජූනි 29 දා කඹුරුපිටිය පිනිදිය වත්තේ පදිංචි දයානන්ද ජයවර්ධන යන අයට ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම මධුෂ්ට එරෙහි එල්ල වී තිබුණු චෝදනා විය.

බන්ධනාගාරයේ සිට ඝාතන මෙහෙයවීම මධුෂ්ට එරෙහිව එල්ලවුණු බිහිසුණුම චෝදනාව විය. ඔහු බන්ධනාගාරයේ සිටියදී හඳුනාගත් විවිධ ප්‍රදේශවල සිට පැමිණි අපරාධකරුවන්ගේ සංචිතයක් අරඹා එම සංචිතය මෙහෙයවමින් ගත් අපරාධ රැල්ලක් රට තුළ නිර්මාණය කළේය. ඔහු ඇප ගන්නට නොහැකිව සිටිනවුන්ට උදව් උපකාර කර ලංකාව පුරාම තමාගේ හිතවතුන් ජාලයක් ඇති කරගත්තේය.

අම්පාර රැකියාව කරන අතරතුර මධුෂ් යම් ප්‍රමාණයකට දෙමළ භාෂාව ඉගෙන ගත්තේය. මේ භාෂා හැකියාවත් සමග ඔහු බන්ධනාගාරයේ සිටි එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සමඟ ද සබඳතා ඇති කරගත්තේය. දකුණේ ප්‍රභූ ඝාතන සඳහා මධුෂ්ගේ සහාය ගන්නට කොළඹ ක්‍රියාත්මක කොටි ජාලය ද කටයුතු කර තිබුණේ ය.

සිව්වැනි ඊළාම් යුද සමයේ දකුණේ ප්‍රභූ ප්‍රහාර සඳහා පැමිණි කොටි ත්‍රස්තයන් එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ ඝාතනය කරන්නට සැලසුම් කළේය. හම්බන්තොට දී ජනාධිපතිවරයා වැඩි ආරක්ෂාවක් නොමැතිව ගමන් කරන නිසා මධුෂ්ගේ සහාය ඇතිව කොටි හම්බන්තොට දී ක්ලේමෝ බෝම්බයක් ඇටවූහ. කොටි ත්‍රස්තයන්ගේ ඉලක්කය වැරදී යන්නේ අහඹු ලෙස ය. කෙසේ වුව ද තමන්ට දුන් සහාය වෙනුවෙන් කොටි සංවිධානය මධුෂ්ට ආයුධ පෙට්ටියක් තෑගි ලෙස දුන් බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට තොරතුරු වූයේ ය. කොටි සංවිධානය පමණක් භාවිත කළ මයික්‍රෝ පිස්තෝල පාතාල කල්ලි අතට පත්වූයේ මෙමඟින් බව කියැවිණි.

බන්ධනාගාර ගතව සිටි මාකඳුරේ මධුෂ් විශේෂ අධිකරණ නියෝගයකින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන වසර දෙකක් පමණ රඳවා ගැන‍ීමේ නියෝග මත තබාගත්තේ ඒ ගැන ප්‍රශ්න කරන්නටය. නමුදු මධුෂ්ගෙන් කිසිදු දෙයක් හෙළි කරගත නොහැකි විය. ඔහුව යළිත් බන්ධනාගාර ගත කෙරිණි.

මේ අතර මාකඳුරේ මධුෂ්ට කොටි සංවිධානය සමඟ ඥාති සබඳතාවක් ඇති වග බුද්ධි අංශ තහවුරු කරගත්තේ ය. ඒ කොටි සංවිධානයේ හිටපු පොලිස්පති නඩේෂන්ගේ බිරිය වූ දකුණේ පදිංචිකාරියක වන විනීතා ගුණසේකර සමඟය. විනීතා නමැති කත මධුෂ්ගේ මවගේ පියාගේ පාර්ශ්වයෙන් මධුෂ්ට ඥාති විය. එහෙත් ඔවුන් සමඟ කිසිදු ඥාති සබඳතාවයක් නොපැවැත්වූ බව මධුෂ් විසින් ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබුණේ ය.

කෙසේ වෙතත් මාකඳුරේ මධුෂ් තම ප්‍රහාරක ජාලය මෙහෙයවූයේ කොටි සංවිධානයේ ඔත්තු අංශ ප්‍රධානී පොට්ටු අම්මාන් ක්‍රියාත්මක කළ රීතියට අනුවය. පොට්ටු, කොළඹ ප්‍රහාර සඳහා එන ත්‍රස්ත කණ්ඩායම්වල කිසිවෙකුත් එකිනෙකට මුණ ගැස්සුවේ නැත. අවශ්‍ය වූවිට දුරකථනයෙන් ඔවුන්ව වන්නියේ සිට මෙහෙයවූයේය. බෝම්බය ගෙන එන්නේ එකෙකි. ප්‍රහාරය එල්ල කරන්නේ එකෙකි. ඔත්තු බලන්නේ තවෙකෙකි. මේ අයුරින් එක් එක් පුද්ගලයන් කිසි‍විටෙක නොහඳුනන අතර ආරක්ෂක අංශවලට එකෙකු කොටු වුවත් සියලු දෙනාම හසු කරගත නොහැකි විය.

මධුෂ් පාතාල ප්‍රහාර මෙහෙයවූවේත් ඒ ආකාරයමය. ඩුබායිහි ඉඳිමින් ඔහු ඒ සඳහා රටපුරා සිටින අපරාධකරුවන් යොදා ගත්තේ ය.

ඇප මත නිදහස ලබා, වසර ගණනකට පසු බන්ධනාගාරයෙන් එළියට එන මධුෂ් මුස්ලිම් ජාතිකයකු සේ රැවුල වවාගෙන ව්‍යාජ පාකිස්ථාන් ගුවන් ගමන් බලපත්‍රයක් මගින් ඩුබායි රාජ්‍යයට පැන ගන්නේය. ඔහුට ඒ සඳහා උදව් කරන්නේ රටේ ප්‍රබල දේශපාලකයෙකි.

මධුෂ් ඩුබායිවලට ගන්නට උදව් කරන්නේ කන්ජිපානි ඉම්රාන් නැමැති මුස්ලිම් පාතාල නායකයාය. උදර්පන නීතිය යටතේ ඩුබායි රාජ්‍යයට ගොස් අපරාධකරුවන් අත්අඩංගුවට ගත නොහැකි නිසා ඩුබායි රාජ්‍යට පාතාලයේ තෝතැන්නක් වූයේය. ඩුබායි හි රැඳෙමින් මධුෂ් ලංකාවේ පාතාලය මෙහෙයවීය. කප්පම් ගත්තේය. මත්කුඩු ජාවාරම කළේය. කොන්ත්‍රාත් ඝාතන කළේය.

මධුෂ් ගැන වැඩිපුරම කතාබහට ලක්වූයේ රණාලේ සමයං රැගත් බන්ධනාගාර බස් රථයට එල්ල කළ ප්‍රහාරයේ මහමොලකරු වීම නිසා ය. මේ ඝාතනය සිදුවූයේ සමයං විසින් තමාගේ දකුණත මෙන් වූ කඹුරුපිටියේ හර්ෂව ඔබේසේකරපුරදී ඝාතනය කළ පලිය ගන්නටය. සමයංට එරෙහිව මධුෂ් දියත් කළ යුද්ධයට සමයං සමඟ ගැටෙමින් සිටි අංගොඩ ලොක්කා හා අතුරුගිරියේ ලඩියාගේ කල්ලිය ද සම්බන්ධ ගත්තේය.

ඔවුන්ගේ මුල් සැලසුම වූයේ දෙසැම්බර් 31 වැනිදා මැදියම් රැයේ පත්තු වන රතිඤ්ඤා හඬ මැද බන්ධනාගාර බස් රථයකින් හිරගෙදරට කඩාවැදී සමයං අහවර කිරීම ය. එහෙත් සැලසුම වෙනස් කර බන්ධනාගාරයෙන් රැගෙන එද්දී සමයං ඝාතනය කිරීමට සුදුසු වෙඩික්කරුවන් යෙදවීමට මදුෂ් තීරණය කරන්නේය. අංගොඩ ලොක්කාට සම්බන්ධ කෙරුණු මේ ප්‍රහාරකයන් 2017 පෙබරවාරි 17 දා අතුරුගිරියේ රබර් වත්තට රැස්වී වීඩියෝ ඇමතුමක් මගින් මධුෂ් හා සම්බන්ධ වෙති. කළුතර, එතනමඩලදී ප්‍රහාරය දියත් කරන්නට ඔවුන්ට මධුෂ්ගෙන් උපදෙස් ලැබිණි. සමයං සමඟ ගෝලයන් පස් දෙනකු‍ත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුත් ඝාතනය කරමින් රටම කැළඹූ මේ ප්‍රහාරයෙන් පසුව අංගොඩ ලොක්කා හා ලඩියා ඉන්දියාවට පනින්න මෙහෙයුමක් දද ඊටම ඈඳී තිබිණි.

සමයං ගේ බිරිය යැයි අනුමාන කර වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී තම වෙඩික්කරුවන් ළවා දෙහිඕවිට මාතම්මන පදිංචි සංජීවනී නමැති ගැබිණි මවකට වෙඩි තබන්නේ ද මධුෂ් ය.

මාකඳු‍රේ මධුෂ් සිදු කළ ඝාතන හා අපරාධ ප්‍රසිද්ධියට පත්වන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඝාතන තැතත් සමඟය. ඒ වනවිටත් මධුෂ්ගේ දෙවැනි බිරිය ලෙස ඩුබායිවලට ගොස් සිටි මහරගම කළු තුෂාරගේ බිරියගේ ඉල්ලීම මත එම ප්‍රහාරය එල්ල කර තිබුණු බව පැවසෙයි. වැලිකඩ කැරැල්ලේදී කළු තුෂාර ඝාතනය වූයේ පොලිස් පරික්ෂක රංගජීවගේ අනුදැනුම මත බවට ඔවුන් අතර තිබූ විශ්වාසය මතය.

මෙම ඝාතන තැතේදී පොලිස් පරික්ෂක රංගජීව වෙඩි වැදී තුවාල ලබා ජීවිතය බේරාගත්තද ඔහු සමඟ ගිය කොස්තාපල්වරයකු ඝාතනය විය.

රංගජීවට එදින මත්කුඩු පිළිබඳ ඔත්තුව දී ඇත්තේද ඔහු තොටු කර ගැනීමේ උගුලක් ලෙස බව පසුව අනාවරණය විය. එයද මදුස් විසින් අටවන ලද උගුලකි. මීගමුව ෆේරොස් නමැත්තාගේ ගේ ඥාතියකු මෙම ඔත්තුව දී ඇති අතර පසුව කළු තුෂාරගේ බිරිය විසින් ඔහු ඉන්දියාවට පන්නාගෙන ඇත.

මින් පසුව වැඩිම කතාබහක් ඇති වන්නේ අලුත්කඩේ උසාවිය ළඟට කොස් මල්ලී නැමැති පාතාලයකුගේ හිස කපා ගෙනවිත් දැමීමය.

ඩ්‍රොප් මී නමින් රිස්කාන් නමැත්තා විසින් අරඹන ලද කොළඹ කේන්ද්‍රකරගත් ජංගම දුරකථන ම මගින් ක්‍රියාත්මක කුලී වාහන සපයන මහා පරිමාණ ව්‍යාපාරයට මධූෂ් කෝටි දහයක් ආයෝජනය කර තිබූ බව විමර්ශනවලදී හෙළි වී ඇත.

නමුත් පසුව රිස්කාන් කෙසෙල්වත්තේ දී ඝාතනය වූ අතර ඊට ඈඳුණේ කොස් මල්ලීගේ නමය. ඔහු අගුණුකොළ පැලැස්සට ගෙන ගොස් ඝාතනය කර හිස කොළඹට එවන්නේ රිස්කාන් ඝාතනයේ පලිය ගන්නටය.

කොස්මල්ලි මරා දමන්නට පෙර ගස් බැඳ වද දී තිබුණේද මධූෂ්ට වීඩියෝ ඇමතුමකින් පෙන්වා දෙමින්ය.

කඹුරුපිටියේ පිහිටි මධූෂ්ගේ පුංචි අම්මාගේ නිවසේ සිටි මෙම ඝාතනයට සම්බන්ධ තිදෙනෙකු පසුගිය වසරේ මාර්තු 17 දා එනම් ළාතනයෙන් දින 10කට පසු අත්අඩංගුවට ගැනිණි. පුංචි අම්මාගේ නිවස ආසන්යේ පදිංචි කටුවන පොලීසියේ සැරයන් සුනිල්ව ඝාතනය කරන බවට මධූෂ් කතා කර තර්ජනය කරන්නේ ඉන්පසුවය.

මීට පෙර මිරිහාන විශේෂ ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරාට හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ කොස්තාපල්වරයකුට තර්ජනය කිරීම සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි. මේ අයුරින් මධූෂ්ගේ තර්ජනවලට බියෙන් මධූෂ්ට ඔත්තු දෙන පොලිස් කණ්ඩායම් ගැන ද විටින් විට හෙළි විය.

කෙසේ වුවද මාකදුරේ මධූෂ්ට එරෙහිව පොලිස් විශේෂ කාර්ය බලකාය ඇරඹි මෙහෙයුම්වලින් මධූෂ්ගේ කල්ලියේ ප්‍රබල චරිත අනාවරණ වන්නේ මධූෂ්ට හිතාගන්නටවත් ඉඩක් නොතබාය. විල්පිට කැලෑවේදී මධූෂ්ගේ සියලු මුදල් ගනුදෙනු මෙහෙය වූ තිලක්ට පොලිස් විශේෂ කාර්ය බලකාය අතින් මරු තුරුළට යන්නට හැකි විය.

මධූෂ්ගේ කල්ලියේ බයිලා මහනුවරට ආසන්නයේදී ඝාතනය වන්නේද පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ වෙඩි හුවමාරුවකිනි. මාකදුරේ මධූෂ්ගේ මුදුන් මුල් ගලවා දැමීමට ඇරඹි එස්.ටී.එෆ් . මෙහෙයුමෙන් මධූෂ්ගේ ඇවිදින ආයුධ ගබඩාව වූ වැලිගම චින්තක කොටුකර ගත්තේය.

මාකරේ මධූෂ් වැලිගම ලසන්ත නමැති තම අනුගාමිකයා වැලිගම ප්‍රාදේශීය සභා ඡන්දයට ඉදිරිපත් කර තිබුණේ ‍දේශපාලනික වශයෙන් බලය ඇල්ලීමටය.

කෙසේ වුවද වැලිගම ලසන්තත් විශේෂ කාර්ය බලකායට කොටු වන්නේ වැලිගම චින්තක සමඟය. ඩුබායි හි රැඳී සිටිමින් රටක් හොල්ලන්නට වෙර දරන මධූෂ්ට එරෙහිව ජාත්‍යන්තර නිල් නිවේදන නිකුත් කරන්නේ ජාත්‍යන්තර පොලීසියේ සහායෙන් හෝ අත්අඩංගුවට ගන්නටය.

උදර්පන නීතිය යටතේ අපරාධකරුවන් පිටුවහල් කිරීමේ නීතිය ක්‍රියාත්මක නොවන නිසා මාකදුරේ මධූෂ් කොටුකර ගැනීමේ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක් ආරම්භ කරන්නට සිදුවන්නේ මධූෂ්ගේ අපරාධ රැල්ල රටම භීතියට පත් කරද්දීය. මාකදුරේ මධූෂ්ට එරෙහිව ඇති සාක්ෂි ප්‍රමාණවත් නොමැති කමින් මධූෂ්ට අපරාධ චෝදනා ගොනුවක් සකස් කර ගැනීමට පොලීසියට නොහැකි විය. සාක්ෂිකරුවන් බිය වැද්දීම නිසා සාක්ෂි එක් රැස් කිරීම අපහසු කාර්යයක් විය. ඒ නිසා මධුෂ්ට ජාත්‍යන්තර රතු නිවේදනය නිකුත් කිරීම අපහසු විය.

සංවිධානාත්මක අපරාධ මැඩලීමේ භාරදූර අභියෝගය පොලිස් විශේෂ කාර්ය බළකා සේනා විධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා යටතට පැවරීමත් සමඟ පොලිස් ඉතිහාසයේ පළමු වරට රටින් පිටත පිණුම් ගසන පාතාල නායකයින් කොටුකර ගැනීමේ විවිධ පියවර ගැනිණ.

2017 වසරේදී මෙරට සංචාරයකට පැමිණි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිවරයා හමුවීමට අමාත්‍ය සාගල රත්නායක මහතා සමඟ ගිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඩුබායි හි සිටින පාතාල කණ්ඩායම් අත් අඩංගුවට ගැනීමේ සහාය ඉල්ලා අපරාධකරුවන්ගේ වාර්තාවක් ඉදිරිපත් කළේය. ඒ අනුව ඔවුන්ට මෙම අපරාධකරුවන් සෙවීමේ මෙහෙයුමට ඩුබායි රාජ්‍යයේ සහයද ලැබිණි. පසුගියදා මධුෂ් කොටුවන්නේ මේ දැවැන්ත සැලසුම මැදය.

අදහස්