වදන්වලට සීමා නොවී බුදු දහමට ප්‍රමුඛත්වය දෙන්න | සිළුමිණ

වදන්වලට සීමා නොවී බුදු දහමට ප්‍රමුඛත්වය දෙන්න

මෙරට අතීතය පිළිබඳ ව විමසා බලන විට එකල පැවතියේ රාජාණ්ඩු ක්‍රමයකි (මෙය බටහිර විද්වතුන් රාජාණ්ඩු ක්‍රමය ලෙස අර්ථකථනය කරන ක්‍රමයට වඩා වෙනස් වූවකි). ඒ පිළිබඳ ව කා හට වත් විවාදයක් නැත. එසේ වුවත් ජනතාව ඒකී රාජ්‍ය පාලනය තුළ සැපෙන් හා සතුටින් ජීවත් වූ බවට තොරතුරු හා පුරාවිද්‍යාත්මක සාධක ඕනෑ තරම් තිබේ. යම් අවස්ථාවල දුෂ්කරතාවලට මුහුණ දුන්නද මෙරට ඉතාමත් සෞභාග්‍යවත් රටකි. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා සර්වාභරණයෙන් විභූෂිත ව තරුණියකට කිසිදු අතවරයක් තොරව නිරුපද්‍රැත ව ගමන් කළ හැකි යැයි පවසා තිබුණේ එනිසා ය. නමුත් අද තත්ත්වය ඊට හාත්පසින් ම වෙනස් ය. අද පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට සර්වාභරණයෙන් සැරසී ගමන් කිරීම කෙසේ වතුදු සාමාන්‍ය ඇඳුමක් ඇඳ මීටර් සීයයක් ගමන් කළ හැකිද? යන ප්‍රශ්නය බරපතළ ලෙස මතුව තිබේ. එසේ නම් අප විමසා බැලිය යුතු වන්නේ එවැනි ජන සමාජයකට මෙවැනි ඉරණමක් අත් වූයේ කෙසේද යන්න ය.

සෞභාග්‍යවත් රටකට අත් වූ ඉරණම

අපට මෙවැනි ඉරණමක් අත් වූයේ කෙසේද යන්න විමසා බැලීමේ දී අතීත මෙන්ම මෑතකාලීන සිදුවීම් පිළිබඳ ව ද අවධානය යොමු කිරීම ඉතා වැදගත් ය. 1505 දී විදේශීය යුරෝපීය ජාතියක් සාමූහිකව ලංකාවට ගොඩබැස්සේ ය. මීට පෙර වෙළෙඳාම් කටයුතු සඳහා විවිධ රටවලින් ඕනෑතරම් විදේශිකයන් මෙරටට පැමිණ තිබුණ ද මේ ආකාරයට වෙළෙඳ හා දේශපාලන අරමුණක් සහිත යුරෝපීයන් සංවිධානාත්මකව පැමිණියේ ප්‍රථම වතාවට ය. එනමුත් 1505 දී බටහිරයන් මෙරට ආක්‍රමණය කිරීමට චේතනාන්විතව පැමිණි බව මින් අදහස් නොකරමි. එහෙත් මෙකී බටහිරයන්ගේ ආගමනයත් සමඟ ලංකාවේ දේශපාලන, ආර්ථික වපසරිය වෙනස් වීමට බඳුන් වූ අතර ඊට අනුරූපව ජනතාවගේ සිතුම් පැතුම් ද වෙනස් විය.

දේශපාලන වපසරිය වෙනස් වීම යනු බටහිරියන් පැමිණීමට පෙර පැවති රාජාණ්ඩු ක්‍රමය වෙනස් වීමට පටන් ගැනීම ය. මෙකී වෙනස් වීමට ප්‍රථම මෙරට පැවති රාජාණ්ඩු ක්‍රමය කලාතුරකින් අවස්ථාවක දෙකක හැරුණු කල සුබ සාධනය පදනම් කරගත් ජනහිතකාමී රාජාණ්ඩු පාලන ක්‍රමයක් විය. රජු ජනතාවගේ සියලු ඕනෑ එපාකම් සොයා බැලූ අයකු වූ අතර ඒ සඳහා යොදවා සිටි හේවායන්ට අමතරව රජවරු ද වෙස්ගෙන ජනතාව අතර සැරිසැරූහ; ඒ අනුව දුප්පතුන් හඳුනාගෙන ඔවුන්ගේ දුගී භාවය තුරන් කිරීමට පියවර ගත්හ. මහා සම්මතය අනුව යමින් දසරාජ ධර්මය, සතර සංග්‍රාහවස්තු ආදී ධර්ම කාරණා අනුගමනය කරමින් රජු කටයුතු කළේය. මෙහි තිබූ විශේෂත්වය වන්නේ මෙරට සිටි සිංහල බෞද්ධ පාලකයන් පමණක් නොව වෙනත් ජාතින්ට අයත් ප්‍රදේශීය පාලකයන් ද මේ රාජ ධර්ම අනුගමනය කිරීම ය. උදාහරණයක් ලෙස දක්වන්නේ නම් එළාර රජු ධාර්මික පාලකයකු බව මහාවංශකරුවා පවසයි. එළාර රජුගේ පුත්‍රයා නැතිනම් ඔහුගේ ඇවෑමෙන් සිහසුණ හිමි කුමාරයා වසු පැටවකු කරත්තයට යටකර මැරීම සම්බන්ධයෙන් ඒ හා සමානව ම ඔහුට දඬුවම් ලබාදී මරණයට පත් කළේය. තම ලෙය වුව සාධාරණය වෙනුවෙන් ඔහු පෙනී සිටියේ ය. එය කිසිදු පියකුට ලෙහෙසි කටයුත්තක් නොවේ. එසේම ස්තූපයක කොටසක් තමන් අතින් කැඩුණු අවස්ථාවේද මහ මඟ දිගාවී දඬුවමක් විඳීමට හේ සූදානම් විය. විදේශීය ආක්‍රමණික පාලකයන් ලෙස ඔවුන් එසේ ක්‍රියා කළ ද බටහිර ජාතීන්ගේ පැමිණීමත් සමඟ මේ තත්ත්වය වෙනස් විය. ඔවුන් විසින් මෙරට පාලන ක්‍රමයේ පෙර පැවති තත්ත්වය වෙනුවට දේශපාලන හා ආර්ථික ඒකාධිකාරයක් නිර්මාණය කළේය. බටහිරයන් විසින් ආර්ථිකය හා දේශපාලනය එකට ඇඳාගෙන කටයුතු කළ නිසාම එතෙක් පෙරදිග රටවල නොතිබූ ආකාරයට සෙසු ජාතීන්ට ප්‍රහාර එල්ල කරමින් වාණිජ ඒකාධිකාරයක් නිර්මාණය කිරීමට පටන් ගත්තේය. ඒ සමඟම විවිධ ක්‍රම මඟින් ඔවුන්ගේ සංස්කෘතිය ද හඳුන්වා දීමට කටයුතු කළේය. ලංකාව මෙකී බලපෑමට දැඩි ලෙස මුහුණ පෑවේය. මෙනිසා එතෙක් ඔවුන් සතු පැවති ආර්ථිකයට, සාම්ප්‍රදායික දැනුමට හා හරපද්ධතියට විශාල බලපෑමක් එල්ල විය.

නැවත නැඟී සිටීමට උත්සාහ කිරීම

ඊට එරෙහිව මෙරට ජනතාව විවිධ අවස්ථාවල නැඟී සිටියහ. මයාදුන්නේ, පළමුවන රාජසිංහ, විමලධර්මසූරිය, දෙවන රාජසිංහ වැනි නායකයන් ඊට නායකත්වය දුන්නේ ය. මෙනිසා පෘතුගීසින්ට හා ලංදේශීන්ට මුහුදුබඩ පළාත්වලට පමණක් සීමාවී සිටීමට සිදු විය. විටින් විට උඩරට රාජධානිය අත්පත් කර ගැනීමට උත්සාහ කළ ද එය නිශ්ඵල විය. නමුත් 1815 පමණ වන විට මෙරට ප්‍රභූන් තුළ එකඟත්වයක් නොමැති කමින් නැතිනම් අර්බුද හා මතභේද හේතුවෙන් උපක්‍රමික ව ගිවිසුමකට ඔවුන් නතු කරගැනීමට ඉංග්‍රීසීන්ට හැකි විය. ඒ අනුව මුළුමහත් ලංකාව ම එක ආක්‍රමණිකයකුගේ ආධිපත්‍යට විය. මෙනිසා අපේ විනාශ වෙමින් තිබුණු ආර්ථිකය දේශීය දැනුම (පාරම්පරික පරිපාලන දැනුම, කෘෂිකාර්මික දැනුම, ජල කළමනාකරණය, වාස්තු විද්‍යා දැනුම) සහ හරපද්ධතියත්, ඊට අනුරූපව සකස් වී පැවති චින්තනයත් මුළුමනින් ම වෙනස් මඟකට යොමු කළේය. එසේ වුවද නැවත වතාවක් 1818 දී අපි ඉංග්‍රීසීන්ට විරුද්ධ ව නැඟී සිටියෙමු. ඌව වෙල්ලස්ස කැරැල්ල ලෙස බටහිරියන් මෙය හැඳින්වුව ද ඇත්තෙන් ම මෙය නිදහස් අරගලයකි. ඒ අවස්ථාවේදී ද අපට ජයගත නොහැකි වූයේ මෙරට ඒවන විට සිටි ප්‍රභූන් සහ රදලයන් එකිනෙකා සමඟ පැවති මතභේද හේතුවෙන් පෞද්ගලික අරමුණු ශාක්ෂාත් කර ගැනීම උදෙසා මේ සටන පාවාදීම නිසා ය.

1818 නැඟී සිටීමෙන් අනතුරුව ඉංග්‍රීසීන් විසින් නීති සම්පාදනය කිරීමට කටයුතු කළ අතර, 1833 වන විට කොල්බෲක් කැමරන් යෝජනා හරහා මෙරට ඉඩම් අත්පත් කර ගැනීමට පටන් ගත්තේය. පසුව ඒවා වතු වගාව සඳහා යොදාගැනීමට ඔවුන් කටයුතු කළේය. ඒ අනුව මෙරට වසර දහස් ගණනක් තිස්සේ පැවත ආ සමාජ සම්මුතිගත නීති වෙනස් කරමින් ඔවුන්ගේ ආර්ථික පරිවර්තනය සඳහා අවශ්‍ය නීති ප්‍රතිපත්ති හඳුන්වා දුන්නේය. මෙනිසා සමාජ පරිවර්තන ක්‍රියාවලිය වේගවත් විය.           

බටහිරියන්ට මුළුමනින්ම යටත් වීමට ප්‍රථම හොඳට හෝ නරකට අපට තිබුණේ වැඩවසම් ආකෘතියක පාලන ක්‍රමයකි. මිනිසුන්ට ඉඩකඩම් ලබාදුන් අතර, එම ඉඩකඩම්වල භුක්තිය වෙනුවෙන් ඔවුන් කිසියම් රාජකාරියක නිරත විය (පසු කාලීනව උස් පහත් කුල ලෙස මේ අය අර්ථගැන්වීම ආරම්භ වන්නේ දකුණු ඉන්දීය ආකල්ප පැමිණීමත් සමඟය). එය කිසියම් විදියක සමාජ ව්‍යූහයකි. ඔවුනොවුන් මෙරට සමාජ ඉදිරිගමනෙහි පාර්ශ්වකරුවන් විය. කුඹල් කර්මාන්තයේ යෙදෙන්නා ඒ කටයුත්ත නොකරන්නේ නම් ජනතාවට ආහාර සකස් කර ගැනීමට අවශ්‍ය හැලි, වලං නැතිව යන්නේ ය. යකඩ කර්මාන්තයේ නියුතු කම්මල්කරුවා ඒ කටයුත්ත නොකරන්නේ නම් කෘෂිකර්මාන්තයට අවශ්‍ය උපකරණ මෙන්ම යුද්ධයකදී අවශ්‍ය කරන අවි ආයුධ නොමැති වන්නේ ය. රෙදි කර්මාන්තයේ නියුතු රෙදි වියන්නා රෙදි නිෂ්පාදනය නොකළේ නම් හැඳීමට වස්ත්‍ර නොමැති වන්නේ ය. ඒ අනුව බලන කල මෙකී සෑම සමාජ ස්ථරයක ම පැවතියේ ස්වයංපෝෂිත සමාජ ක්‍රමයකට අවශ්‍ය දෑ ය; එනම් නිෂ්පාදන හා සේවා ය. අද සිට අතීතය දෙස බලමින් අප මේ සඳහා විවිධ නිර්වචන ලබාදුන්න ද එකී සමාජයේ පැවැත්ම තහවුරු වීමටත් ඉදිරියට පැවතීමටත් මේකී සමාජ ව්‍යූහය නිර්මාණය වී තිබිණි. එවායේ කිසියම් අඩු පාඩුකම් පැවති බව සත්‍යයකි. අද අප දියුණු සමාජ ක්‍රමයක වෙසෙන බව කල්පනා කළ ද අප අනුමත නොකරන කොතරම් දෑ මේ ක්‍රමය තුළ පවතිනවාද? එසේ නම් අතීතයට සාපේක්ෂව ඒවා දියුණු සමාජ ක්‍රම ලෙස සැලකීම ද යෝග්‍ය වේ. මෙලෙස පැවති ස්වයංපෝෂිත ආර්ථික, සමාජ ජීවන ක්‍රමය බිඳ වැටිණි. ඊට අනුරූපව එතෙක් පැවති සාරධර්ම හරපද්ධතීන් මෙන්ම චින්තනය ද විනාශ විය. අද අප එතරම් ගණන් නොගත්තද මෙකී ආක්‍රමණික ආර්ථික දේශපාලන ක්‍රමය තුළ අපේ ස්වභාවික පරිසරයද විශාල විනාශයකට ගොදුරු විය.

ස්වාභාවික පරිසරය විනාශ කිරීම

අතීතයේ සිටි පාලකයන් කිසි කලෙක මධ්‍යම කඳුකරයේ කිසිදු වෙනසක් සිදු කළේ නැත; එහි ජලාශ ඉදිකිරීමට ගියේ නැත. එහි තිබෙන වනාන්තරය කිසිදු ලෙසකින් වෙනස් කිරීමට ගියේ ද නැත. එපමණක් නොව මධ්‍යම කඳුකරයේ ජනාවාස පිහිටුවා ගැනීමට ඉඩ ලබාදුන්නේ ද නැත. එසේ වුවත් පවුල් කිහිපයකින් සැදි කුඩා ජනාවාස එහි නොතිබුණා ම නොවේ. නමුත් මහා පරිමාණව මධ්‍යම කඳුකරයට බලපෑම් එල්ල විය හැකි කිසිවක් සිදු කිරීමට උත්සාහ කළේ නැත. එයට හේතුව වන්නේ හරියාකාරව සිදු වන ජලවහන රටාව හේතුවෙන් රටේ සෑම දිසාවකට ම අවශ්‍ය පිරිසිදු ජලය ලබාගත හැකිවන්නේ මේ මධ්‍යම කඳුකරය ආරක්ෂා කර ගැනීමෙන් පමණක් ම වන නිසා ය. ඉන් පෝෂණය වන ඕනෑම ජලාශයකින් පිරිසිදු ජලය දෝතට ගෙන පානය කිරීමට එකල ජනයාට හැකියාව තිබුණි. නමුත් අද එලෙස පානය කළහොත් අපට කුමක් සිදු වේවිද? වංශ කතාකරුවා පවසන ආකාරයට කිසියම් ගැටලුවක් උද්ගත වූ විට විශේෂයෙන් ම ආක්‍රමණයක් සිදු වූ විට නරපතියන්, ජනතාව සේම භික්ෂූන් වහන්සේලා ද ආරක්ෂාව පතා දිව යන්නේ මධ්‍යම කඳුකරයට ය. මන්දයත් මධ්‍යම කඳුකරය කිසිවකුගේ දේශපාලන බලයට නතු නොවූ ප්‍රදේශයක් වශයෙන් පැවති නිසා ය. නමුත් ඉංග්‍රීසීන් විසින් මේ කැලය හෙළිපෙහෙළි කළේ ය. අනතුරුව කෝපි වගාව ආරම්භ කර පසුව තේ, රබර් සහ අනෙකුත් භෝග වගා ව්‍යාප්ත කළේය. අද අප මුහුණ දී සිටින කාලගුණික දේශගුණික විපර්යාසයන්ට මෙන්ම පාරිසරික විපර්යාසයන්ට ද හේතු වී ඇත්තේ මෙකී පරිසර හානිය ය. එය එකම හේතුව නොවූව ද එය එක් ප්‍රධාන හේතුවකි. මෙනිසා අද නියඟ, ගං වතුර නාය යෑම් ආදී නොයෙක් විපත්වලට මුහුණ දීමට අපට සිදුව තිබේ. ඇත්තෙන්ම මෙය අපට අක්‍රමවත් සංවර්ධනය ලෙස හඳුන්වා දිය හැකිය. නමුත් අද අප රටට අවශ්‍ය වන්නේ පරිසර පද්ධතිය ආරක්ෂා කරමින් යන තිරසර සංවර්ධන උපාය මාර්ගයකි. අපේ රටේ රජවරු මේ ක්‍රමය වසර දහස් ගණනක් තිස්සේ භාවිතයේ යොදවා තිබේ. අද අපට යුරෝපීයන් විසින් තිරසර සංවර්ධන සැලසුම් යෝජනා කරන විට අපේ මුතුන් මිත්තන් තිරසර සංවර්ධනය ගැන සිතා තිබූ බව කාට නම් පසක් වී තිබුණිද?

පිනට ලැබුණු නිදහස

මෙහි ගැටලු සහගත කරුණ වන්නේ නිදහසින් පසුවද අපට එය යාවත්කාලීන කිරීමට නොහැකි වීම ය. ඇත්තෙන්ම අපට නිදහස ලැබුණේ අපේ උත්සාහයක ප්‍රතිඵලයක් නිසා නොවේ. 1848 මාතලේ නැඟී සිටීමෙන් අනතුරුව අප සන්නද්ධ ආකාරයෙන් ඉංග්‍රීසීන්ට විරුද්ධව සටන් කළේ නැත. 1857 දී ඉන්දීය සිපොයි භට කණ්ඩායම ඉංග්‍රීසීන්ට විරුද්ධව ප්‍රබල ප්‍රහාරයක් දියත් කළේය. ඉන්දීය නායකයන් අතර තිබූ නොයෙක් මතභේද නිසා එය ව්‍යර්ථ කිරීමට ඉංග්‍රීසීන්ට හැකි විය. නමුත් ඔවුන් තම නිදහස් අරගලය අත් හැරියේ නැත. ඔවුන් ඉතා කෙටිකාලයකින් නැවත නැඟී සිටියේ ය. 1885 දී සියලු ජාතීන් එකාවන් ව එකතු වී ඉංග්‍රීසි විරෝධී දැවැන්ත ඉන්දියානු ජාතික ව්‍යාපාරයක් ගොඩනැඟෙමින් නැවතත් අරගලයට ප්‍රවිෂ්ට විය. මෙහිදී දාස් ගණනින් මරණයට පත් වූ අතර, ලක්ෂ ගණනක් බන්ධනාගාරගත විය. එසේ වුවත් එය සටන්කාමී ලෙස ඉදිරියට ගමන් කළේය. 1919දී පමණ මීට ගාන්ධිගේ නායකත්වය යටතට පත් වීමත් සමඟ බොහෝම අහිංසාවාදී සටන්කාමී ව්‍යාපාරයක් බවට පත් විය. ධවල අධිරාජ්‍යවාදීන් ඉන්දියාව හැර යන තත්ත්වයට මෙකී ව්‍යාපාරය ප්‍රබල විය. 1947දී ඔවුන් ඉන්දියාව හැර යන විට ඒ ආසන්නයේ තිබුණු අප රටටත් නිදහස ලැබිණි. මන්දයත් ඒ කාලය වන විට පෙත්සම් කිහිපයක් හැරුණු කල නිදහස දිනා ගැනීම උදෙසා අප කිසිවක් නොකළ බැවිනි. පෙත්සම් මඟින් ද ඉල්ලා තිබුණේ ඔවුන් යටතේ ම මීට වඩා යහපත් තත්ත්වයක් සලසා දෙන ලෙස ය. එනිසා මෙය එක්කතරා අන්දමකින් පිනට ලැබුණු නිදහසකි.

කෙසේ වෙතත් මේ ආකාරයට ලැබුණු නිදහසින් පසුව අපේ නායකයන් බවට පත් වූයේ ඉංග්‍රීසි සංස්කෘතියට මහා ඉහළින් ගෞරව කරන ඔවුන් මෙන් සිතන පතන පිරිසකි. නමුත් ඉන්දියාවේ තත්ත්වය මීට හාත්පසින් ම වෙනස් විය. ඔවුන් ඉංග්‍රීසි හොඳින් දැන උගෙන සිටිය ද ඔවුන් කටයුතු කළේ දේශීය චින්තනයට අනුකූලව ය. කලාතුරකින් අපේ කෙනකුට දේශීය චිනතනය පිළිබඳ හැඟීමක් නැති වුණාම නොවේ. එහෙත් සමස්තයක් වශයෙන් කටයුතු සිදුවූයේ විදේශීය චින්තනය මත පදනම් ව ය. එනිසා ඉන්දියාව හා අපි අතර විශාල වෙනසක් තිබිණි. මේ හේතුවෙන් ඉංග්‍රීසින් විසින් ගෙනගිය රටට ජනතාවට අහිතකර ප්‍රතිපත්ති වෙනස් කිරීමට ඔවුන්ට අවශ්‍ය නොවිණි. පසුව 1956 දී කිසියම් ආකාරයකට බණ්ඩාරනායක මහතා විසින් දේශීය ජන විඥානයට ආමන්ත්‍රණය කළ ද ප්‍රායෝගික තලයේදී එය එසේ නොවුණි. මේ ප්‍රායෝගික නොගැළපීමත් සමඟ අපට වෙනස් මඟක ගමන් කළ නොහැකි වූ අතර සුපුරුදු ගමන් මාර්ගයට ම නැවත අවතීර්ණ විය.

මෙහිදී සිංහල රාජ්‍ය භාෂාව බවට පත් කරමින් අප විසින් ඉතා ම බරපතළ වැරද්දක් සිදු කළේය. එනම් දෙමළ භාෂාව කතා කරන ප්‍රජාව නොසලකා හැර ඇති පිරිසක් බවට ඒත්තු ගැනීමට මෙමඟින් ඉඩ හැරීම ය. එසේම සිංහල හා දෙමළ භාෂා කතා කරන ජනතාව අතර පාලම වූ ඉංග්‍රීසි භාෂාව නොසලකා හැරීම හේතුවෙන් අපට විශ්ව දැනුම ළඟා කර ගැනීමට තිබූ අවස්ථාව ද නැතිව ගියේය. මෙනිසා ජාතීන් අතර අසමඟිය වර්ධනය වූ අතර ලෝකයට විවෘත වීමට තිබූ මාර්ගය ද අහිමි විය. සිංහල බහුතරය කතා කළ භාෂාව නිසා එසේ ප්‍රමුඛත්වය දීම කිසියම් විදියකින් අනුමත කළ හැකි වුවද දෙමළ භාෂාව හා ඉංග්‍රීසි භාෂාව නොසලකා හැරීම හේතුවෙන් දෙමළ භාෂාව දත් ජනයා කොන් වූ බව සිතීමට පෙලඹීම යුක්ති සහගත ය; එය ස්වාභාවික ය. එහෙත් මේ තත්ත්වය ඉන්දියාවේ ඇති නොවිණි. ඔවුන් ඉංග්‍රීසීන් එළවා දැමුවද වුන්ගේ භාෂාව අත් නොහැර එය ලෝකයට විවර වීමට උපකරණයක් ලෙස යොදා ගත්තේය. එසේම කිසිදු භාෂාවක් ප්‍රමුඛත්වයට පත් නොකළ අතර සියලු ජාතීන්ට ජාතිකත්වයෙන් එක ම රටක නියෝජනය වීමට පසුබිම සකස් කළේය. නමුත් අපි එසේ ක්‍රියා කළේ නැත. එනිසා වසර 71 ගෙවුණ ද අපි අදත් ඉන්නේ එතන ම ය.

නව වැඩපිළිවෙළක්

නව ව්‍යවස්ථාවකින් බුදුදහමට ප්‍රමුඛතාව ලබාදෙන්නේ නම් එය ඉතාමත් හොඳ ය. එහෙත් එය ව්‍යවස්ථාව තුළ වදන් අලංකාරයක් බවට සීමා කර සතුටු වීම පිළිබඳ ව එකඟ විය නොහැකිය. මන්ද යත් බුදු දහම අනුව සියලු ජාතීන් සමානව සැලකිය යුතුය.

මේ සඳහා කිසියම් මුලපිරීමක් ලෙස එළඹෙන පෙබරවාරි 19 වෙනිදා සුගතදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ ජාතික විද්වත් සංවිධානය විසින් අනාගත රට ගොඩනැඟිය යුත්තේ කවරාකාරයෙන් ද යන්න පිළිබඳ ව ප්‍රතිපත්ති රාමුව ජනගත කිරීමට කටයුතු යොදා තිබේ. ඒ සඳහා මේ රටට ආදරය කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට, විද්වතුන්ට, විවිධ වෘත්තිකයන්ට, කලාකරුවන්ට, මාධ්‍යවේදීන්ට, සහ මේ රටේ ජනතාවට පැමිණෙන්න කියල අපි ආරාධනා කරන්නෙමු.

අදහස්