අනුන් ගැන වද නොවී ඔබේ සිහිනයට යන්න | සිළුමිණ

අනුන් ගැන වද නොවී ඔබේ සිහිනයට යන්න

සීමා මායිමක් නැති ඔහුගේ අබරණ කලාව සියලු මිනිසුන්ගේ ප්‍රහර්ෂය වෙනුවෙනි. දේශ දේශාන්තර දක්වා දක්වා විහිදුණු ඒ ස්ටෝන් ඇන්ඩ් ස්ට්‍රිං අබරණවල කාන්තියෙන් සිත් සනහාලන අතර, ශ්‍රී ලංකාවේ නම ද ලොව බබලවාලනු පෙනේ. දැන් ඔහුගේ පූර්ණ අවධානය අපේ රටේ කුරුඳු වෙනුවෙනි. දේශීය කුරුඳු, ශ්‍රී ලාංකික ජනතාවගේ Life style එකක් බවට පත්වන තුරු ඔහු විශාල වෑයමක යෙදී සිටියි. මේ ඔහුගේ කතාවයි‍.

 ස්ටෝන් ඇන්ඩ් ස්ට්‍රිං, මේ රටේ කොහොම තැනක තිබෙන ව්‍යාපාරයක්ද...

ISO බ්‍රෑන්ඩ්ස්, සුපර් බ්‍රෑන්ඩ්ස් වගේ ප්‍රමිති සහතික දිනා ගත්තට පස්සෙ, ‘ඔන් බෝඩ් සේල්ස්’ හෙවත් ගුවන් යානා ඇතුළෙ, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජුවෙලරි විකුණන්න අවසරය තිබෙන්නෙ ස්ටෝන් ඇන්ඩ් ස්ට්‍රිං වෙත පමණයි. ඒ, සිංගප්පූරු එයාර්ලයින්, මැලේෂියන් එයාර්ලයින්, ජෙට් එයාර්වේස්, ශ්‍රී ලංකන් එයාර් ලයින්, මිහින් ලංකා සහ ඊවා එයාර්... කියන ගුවන් සේවාවල. ඒ වගේ ම, රටපුරා විහිදුණු ස්ටෝන් ඇන්ඩ් ස්ට්‍රිං, දැන් තරුණ වැ‍ඩිහිටි කාටත් පුරුදු නමක්. ඉන්දියාවේ අයිෆා සම්මාන උලෙළ... රියැලිටි ෂෝ... බියුටි පැජන්ටි ෂෝ... මේ කොතැනටත් ආභරණ හදන්න අපිට අවස්ථාව ලැබී තිබෙනවා. අපි කරන්නේ, කෙනකුගේ ප්‍රතිරූපය නංවන එක. එය කෙනකුගේ හදවතට දැනෙන දෙයක්. ස්ටෝන් ඇන්ඩ් ස්ට්‍රිං අපේ රටේ මිනිසුන්ගේ ආයතනයක් බවට පත්ව තිබෙන්නේ, මේ හැඟීම නිසා. එතැන තමයි අපි ඉන්නේ.

ජුවෙලරි.... ඔබට කලාවක් ද නැත්නම් බිස්නස් එකක් විතරද...

එක කතාවක් කියන්නම්, අවුරුදු හයකට ඉස්සර ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ ෆිල්ම් එකට ජුවෙලරි හැදුවෙ අපි. මං ඒකට කැමැති වුණේ මගේ යාළුවට බැහැ කියන්න බැරිකමට. සෝල්ජර්ස්ලා පන්සියයක් විතර... රජවරු... බිසෝවරු මේ හැමෝටම ආභරණ කට්ටල සිය ගණනක් ‍හදන්න වුණා. ඊටත් වඩා බුදුන්ගේ තරුණ කාලෙ. මොන දේ වුණත් භක්තියෙන් කරන්න ඕනේ. ටීම් එකක්ම ඒ වෙනුවෙන් යොදවන්න වුණා. ෆිල්ම් එක කරද්දි රෑත් අපේ ටීම් එක ඉන්නම වුණා. මොකද, ස්ක්‍රීන් එකේ දහස් ගුණයක් ලොකුවෙලා පේනකොට ආභරණවල වැරැදි තිබුණොත් හොඳට පේනවා. සේනාවකටම සියලුම පලඳනා හදලා, පලන්ඳලා ඒ වැඩේ ඉවර වෙනකල් කැපවුණු එක සල්ලිවලින් මනින්න බැහැ.

ඒත් ව්‍යාපාරිකයෙක් මෙහෙම වැඩකට නිකම්ම අත ගහයිද...

මෙහෙම වැඩකදී මුදල් ගැන හිතුවොත් ලැජ්ජාවක්. පාවිච්චි කරලා දෙන්න කියලා ඒ සියලු ආභරණ චිත්‍රපටිය වෙනුවෙන් අලුතින්ම හදලා දුන්නා.‍ මං ඒක කළේ යාළුකමටත් වඩා, රට වෙනුවෙන් කරන්න ඕනෙ යුතුකමක් සේ හිතලා. එතැන මට තිබුණෙ, රටත් බෞද්ධාගමත් වෙනුවෙන් යමක් කළාය කියන සතුට විතරයි‍.

තීන්දු තීරණ ගනිද්දි ඔබ හිතන විදිය කුමක්ද...

හරිම සිම්පල්. බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නෙ, “සැමට යහපතක් වෙනවද... නොපැකිළිව එය කරන්න...” මං අනුගමනය කරන්නෙ බුදුන්ගේ ඒ න්‍යාය. කාටවත් අසාධාරණයක් නොවී ඕනෑම ප්‍රශ්නයක් - ගැටලුවක් නිරාකරණය කරගන්න මේ ක්‍රමය හරි පහසුයි.

ව්‍යාපාර ඥානය ඔබට පවුලේ උරුමයක් ද...

මගේ තාත්තා මාතර, අපි පුංචි කාලෙ තාත්තා ඉන්දියාවෙ ටාජ් හෝටලයේ ජුවෙලර් කෙනෙක් හැටියට වැඩ කළා. ලංකාවට ආවට පස්සෙ, මාතර හිටපු අපිවත් අරගෙන ත්‍රිකුණාමලයට ආවා. ඒ කාලේ ත්‍රිකුණාමලය තිබුණෙ බ්‍රිතාන්‍යය යටතේ. තාත්තා ඒ පරිසරයට කැමැති වුණා. ඩොක්යාර්ඩ් එක කිට්ටුව සාප්පුවකුත් ඇරියා. ඒකෙ බ්‍රිතාන්‍ය නාවිකයන්ට ජුවෙලරි හැදුවා. සුවනියර්ස් හැදුවා. ඉංග්‍රීසි සඟරා විකිණුවා. ළමයි පස් දෙනාටත් ඉංග්‍රීසි අධ්‍යාපනයක් දෙන්නයි තාත්තට ඕනෙ වුණේ. තාත්තගෙ මේ පසුබිම මට ආභාසයක් වෙන්න ඇති.

ඔබේ ජීවිතයට බලපෑමක් කළ පුද්ගලයින් කවුද...

ප්‍රධාන කෙනා මගේ තාත්තා. ත්‍රිකුණාමලයේ පොඩි පොත් සාප්පුවේ මං හිටපු එක දවසක ලාච්චුවෙන් සල්ලි අරන් අයිස් ක්‍රීම් එකක් කෑවා. මගේ මාමා කෙනෙක් තාත්තා ආ ගමන් ‘ඔන්න ඔයාගෙ පුතා කඩේ සල්ලි හොරෙන් අරන් අයිස් ක්‍රීම් කෑවා...’ කියල කිව්වා.

‘පුතේ! ලාච්චුවෙන් සල්ලි ගන්නවා නම් මේ පොතේ ලියලා ගන්න...’ තාත්තා කිව්වෙ එච්චරයි. ඒකෙන් මං හුඟක් දේ තේරුම් ගත්තා. තාත්තා අපිට හොඳ නරක කියලා දීපු විදිය වෙනස්. ඒක හදවතටම දැනුණු ක්‍රමයක්. තාත්තා අපිට කියල දීපු වැදගත්ම දේ තමයි, ඔබට උදව් කළ හැම කෙනෙකුටම ස්තුතියි! කියන්න. ඔබට හැම දේම දුන්නු රටට ස්තුති කරන්න. කළගුණ සලකන්න.

කොහේද ඔබ ඉගෙන ගත්තෙ...

ත්‍රිකුණාමලය, සෙන්ට් ජෝසෆ් කොලෙජ් එකේ. ඇමෙරිකන් මිෂනාරි පාසලක්. ඉගැන්වූවේ ඇමෙරිකන් පියතුමන්ලා. මගේ මල්ලිලා තුන්දෙනා ගියේත් මේ පාසලටමයි‍. නංගිලා දෙන්නා සෙන්ට් මේරිස් කොන්වන්ට්.

මොනවද ඔබට තිබූ හීන සහ අරමුණු...

ඇමෙරිකන් පියතුමන්ලා ගෙන් ලබපු අධ්‍යාපනය හරිම ඉස්තරම්. විනයගරුකයි‍. මට ඕනෙ වුණේ ම, ඇමෙරිකාවේ Massachusetts Institute of Technology ගිහින් ඉංජිනේරුවෙක් වෙන්න. මං ඇප්ලිකේෂනුත් දැම්මා. ඒත් ඩොලර් 6000 ක් ගෙවන්න ඕනේ. මට ඒ හීනෙ අත්හැරුණා. මං කොළඹ ආවා. අංකල්ගෙ ගෙදර නැවතිලා, ‘පෙම්බෲක්’ ඇකඩමියේ උසස් පෙළ කළා. මොරටුව යුනිවර්සිටියට තේරුණත් අවුරුදු පහක් කල් දාන්න ඒ වෙලාවෙ අපිට අවස්ථාව තිබුණා. මං එහෙම කළා. මගෙ ඥාති සහෝදරයා කරපු නිසා ‘චාටඩ් එකවුන්ටන්සි’ කරන්න ගත්තා. ලැබුණෙ හොඳම දේශකවරු. ඒ විෂය මට අල්ලලා ගියා. අවුරුදු 5 ඉවරවෙද්දී කැම්පස් එකෙන් ලියුම ආවා. මං ගියේ නැහැ‍. අවසානයේ මං නැවතුණේ චාටඩ් එකවුන්ටන්ට් කෙනෙක් වෙලා.‍

මොකක්ද ඔබේ පළමු රස්සාව...

හේලීස් සමාගමේ මාස තුනක් වැඩ කළා. ඊළඟට, ෆයිනෑන්ස් කන්ට්‍රෝලර් කෙනෙක් හැටියට ඉහළ වැටුපකට සවුදි ගියා.‍ ඒක හිතන්නවත් බැරි අවස්ථාවක්. ලංකාවෙන් යන්න, ලොකු කැමැත්තක් නැති වුණත් මං ඒ අවස්ථාව අත්හැරියේ නැහැ. හැබැයි මං රස්සාව කළේ අවුරුදු දෙකයි. මට ඕනෙ වුණේ පුළුවන් තරම් ඉක්මනට ලංකාවට එන්න. කිව්වා වගේ ම මං ආවා. ඇවිත් ‘ක්‍රෙස්ට් ගෲප් කොම්පැනියේ ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර් හැටියට වැඩ කළා.

එතකොට බිස්නස් පටන් ගත්තෙ...

ක්‍රෙස්ට් ගෲප් එකේ, ෆැෂන් ජුවලර් කොම්පැනිය වුණේ ක්‍රෙස්ට් එක්ස්පෝටර්ස් ලිමිටඩ්. ටික කලක් වැඩ කරලා මං එතැනින් යන්න හදන කොට, ඒ අයගේ කොටස් සියල්ල මට විකිණුවා. මං ‘ස්ටෝන් ඇන්ඩ් ස්ට්‍රිං’ හුඟක් දියුණු කළා. දැන් ඒක තමයි, අපේ ලොකුම බ්‍රෑන්ඩ් එකත්‍. ඒකට එකතු වෙලා තියෙන අලුත්ම බිස්නස් එක Mohksha.

මොකක්ද ඒ ‘මෝක්ෂා’...

මං ලංකාවෙ ගිෆ්ට් මාකට් එකට අතගැහුවා. ‘අපිට ලංකාවෙ දෙයක් ඕනෙ තෑගි දෙන්න...’ කියලා හොයන අයට මං කුරුඳු යෝජනා කළා. ‘සිනමන් ටූත් පික්ස්’ පිටින් අර‍ගෙන ලස්සන පෙට්ටියක දාලා මං ගිෆ්ට් පැක් එකක් හැදුවා. ඒකට මාකට් එකක් හැදුණා. ඒත් දවසක් කෙනෙක් මට කිව්වා ‘මේක සිනමන් නෙවෙයි...’ කියලා. දිගින් දිගට හොයන් යද්දි තමයි තේරුණේ, කුරුඳුවලින් ම මේවා හදන්න බැහැ; කැඩෙනවා. හැබැයි ඒ ටූත් ‍පික් හදා තිබුණේ කුරුඳු රස ගල්වලා. ආලේප කරලා. මං හිතුවා, ‘ මේකට මං බහිනවා, කුරුඳුවලින් හදන්න පුළුවන් හැමදේම හදනවා... කියලා. මේක ලෝකෙට අරන් යන ජාත්‍යන්තර නම තමයි Mohksha. නම හැදුවේ, මගේ මොහොමඩ් නමෙන්. Moh සහ වයි‍‍‍ෆ්ගේ ක්ෂ්‍යාමා නමෙන් ksha අරගෙන.

මොනවද ඔබ කුරුඳුවලට කළ වෙනස්කම්...

හොට් ඇන්ඩ් කෝල්ඩ් කුරුඳු ඩ්‍රින්ක් එක, ඒක හදලා ඉතිරිවන මංඩිවලින් අතුරුපසක්, කට නැවුම්ව තබාගන්න පුළුවන් රවුම් කුරුඳු කැබලි පිරවූ මංජුසාව, කුරුඳු ස්පිරිට් එක, බටර් සහ මී පැණි සමඟ පාන්වලට ආලේප කළ හැකි කුරුඳු තවරණය, සම මත ආලේප කළ හැකි කුරුඳු ක්‍රීම්... ඔය වගේ නිෂ්පාදන ගණනාවක්. මේ හැම දෙයක්ම එන්නේ, අපේ Chewy Cinnamon සංකල්පයෙන්.

ඒ කියන්නෙ ඔබ කුරුඳුවලට අගයක් එකතු කළා...

නැහැ. මට ඕනේ, කුරුඳු Life style එකක් බවට පත් කරන්න. මොනවා හරි ගාලා, පෙනුම වෙනස් කරලා Value added කියනවට වඩා යම් දෙයක් Life style එකක් බවට පත් කරන එක අසීරුයි‍. මං කරන්නේ ඒ අමාරු දේ. ඊට වඩා ගෙනියන්න ඉහළ තැනක් නැහැ. මං මේ රටට කෑගහලා කියන්නෙ, bring it to life style… කියලා.

ඉතින්, කරන්න අමාරු දෙයක් එක්ක ‍ඔය තරම් හැපෙන්නේ ඇයි...

මේ රටේ කී දෙනෙක් ඉන්නවද, අරක්කු සිගරට් Life style එක කරගෙන. දුකට සැපට, පාළුවට කාන්සියට පුරුද්දට... ඒ අයට මේව නැතිවම බැහැ. එහෙම නම්, හොඳ දෙයක්, Life style කරගන්න බැරි ඇයි. කුරුඳු කියන්නෙ අපිටම ආවේණික රසයක් තිබෙන දිව්‍ය ඖෂධයක්. ඕනෑම විදියකට කන්න බොන්න පුළුවන් ස්වභාවික දෙයක්. මං Chewy Cinnamonවලින් ඒ දේ ඔප්පු කළා. අපි හැමදාම කළේ ම කුරුඳු හොද්දට දාපු එක. නැත්නම් පිටරට පටවපු එක. එච්චරද අපිට පුළුවන්... නැහැ. ඊට වඩා හුඟක් දේ අපේ රටේ මිනිස්සුන්ගෙ ජීවිත පුරුදුවලට එකතුකර ‍දෙන්න පුළුවන්.

ඔබ මේ දේවල් කරන්නෙ ලාභ උපයන්නමද...

එහෙම කරන්න නම් මට කුරුඳු කන්ටේනර් ගණන් විකුණන්න වෙනවා. මේක මට තියෙන පැෂන් එකක්. මගේ රිසර්ච්වලටයි, ජීවත් වෙන්නයි, ස්ටාෆ් එක බලාගන්නයි සල්ලි ටිකක් තිබුණම ඇති. ලාභ උපයන්න මෙහෙම දේවල් කරන්න යනවා නම් ඒක ‍මෝඩකමක්. කුරුඳු, අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත පුරුද්දක් බවට පත්වන දවස සම්පූර්ණ වුණොත්, එදාට නම් පාඩුවක් නැතිවෙයි. මොකද, ඒ වෙනකොට අපි සමාජයටත් වටිනාකමක් එකතු කරලා නිසා. මම කියන්නේ We add value to society… ඒක තමයි, ‘මෝක්ෂා’ පොරොන්දුව.

ආගමත් එක්ක බැදීම් තියාගෙන බිස්නස් කරන්න පුළුවන්ද...

මම සියයට සියයක් ආගම අදහන කෙනෙක්. ඒ වගේම විනෝද වෙනවා, මිනිස්සුත් එක්ක හැසිරෙනවා, පාටියක බොන තැනට ගියොත් ඒ අවස්ථාව මඟ හරිනවා. නරක තැන්වලට නොයා ඉන්නවා, අසල්වැසියා එක්ක, පවුල සහ දරුවො එක්ක හොඳින් ඉන්නවා. ‘Perfect good manners...’ ඒක තමයි ඉස්ලාම් දහමේ කියාදෙන වැදගත්ම දේ. ඕනෑම හොඳ දෙයක් ආගමිකයි. ආයේ එතැනට අමුතුවෙන් ආගම ආදේශ කරන්න දෙයක් නැහැ. ජීවිතය යහපත්ව ගත කරනවා නම්, හැසිරීම යහපත් නම් එතැනයි, ආගම.

මේ ව්‍යාපාරය වෙනුවෙන් වැඩියෙන් ම මහන්සි වූ යුගය මතකද...

ෆැෂන් ජුවෙලරි කියන්නේ මං දැනගෙන හිටපු ෆීල්ඩ් එකක් නෙවෙයි. බිස්නස් එකට අත ගැහුවට පස්සේ මාත් ඩිසයින් කරන්න ගත්තා. ඊට පස්සෙ වයිෆ්ටත් පුරුදු කළා. එයත් එයාගේ නංගිත් තමයි මුල් කාලේ අපේ ගෙදර ඉඳන් හුඟක් ඩිසයින්ස් හැදුවේ. හැබැයි දැන් කියලා වෙනසක් නැහැ. මගේ වයිෆ් තමයි සම්ප‍ූර්ණයෙන් ම ජුවෙලරි බිස්නස් එක බලන්නේ. හැබැයි කවදාවත් ෆොටෝ එකකටවත් එන්නෙ නැහැ. ‍ෆැක්ටරියෙ අය එක්ක වැඩ කරමින්, නිදහසේ ජීවත්වෙන්නයි ඇය කැමැති.

එතකොට ඔබ...

මං දැන් ජු‍ෙවලරි බිස්නස් එක වෙනුවෙන් ඒ තරම් වෙහෙසෙන්නේ නැහැ. ඩිසයින් ඉන්චාර්ජ් හැටියට වයිෆ් ඒක ඉතා හොඳින් කරගෙන යනවා.‍ මගේ කා‍ලය සම්පූර්ණයෙන් ම වැය වෙන්නේ කුරුඳු සහ කුරුඳු රිසර්ච් වෙනුවෙන්.

සේවකයන් බඳවා ගනිද්දී මුස්ලිම් ජාතිකයන්ට ද මුල් තැන...

පණහක් විතර වෙන අපේ ඩිසයින් ටීම් එකේ බහුතරය, සිංහල බෞද්ධ. තව දහදෙනෙක් විතර ක්‍රිස්තියානි. පිරිමි ළමයි දෙන්නෙක් විතරයි මුස්ලිම් ජාතිය නියෝජනය කරන්නෙ. මුස්ලිම් ගැහැනු ළමයි කොහොමටත් වැඩිය රස්සාවලට එන්නේ නැහැ. ඉතින්, හැම ජාතියකම ආගමකම අය අතින් තමයි, මේ ලස්සන වටිනා ජුවෙලරි නිර්මාණය වෙන්නෙ. ඒ වගේ ම, අවුරුදු 25 ක් තිස්සෙ අපි එක්ක වැඩ කරන අයත් තවම ඉන්නවා. අපිට ඉන්නෙ හොඳ ටීම් එකක්. ඒ වගේම අපෙන් වැඩ ඉගෙන ගෙන ජාත්‍යන්තරයේ රස්සා කරන අයත් සිය ගණනක් ඇති.

ඔබෙන් පසු කවුද බිස්නස් එක ගෙනියන්නේ...

මායි මගේ කසිනුයි මේක පටන් ගත්තේ විෂන් එකක් ඇතිව‍. ඒකෙ තිබුණෙ නැහැ මේ බිස්නස් එක, අපෙන් පස්සෙ අපේ ළමයින්ට බාරදෙන්න ඕනෙ කියලා. හොඳින් ඉදිරියට ගෙන යන නායකත්වයක් විතරයි අපිට අවශ්‍ය. ඒකට ක්‍රමවේදයක් මං හදමින් ඉන්නේ.

එතකොට ඔබේ දරුවෝ...

මට ඉන්නෙ දූල දෙන්නෙක්‍. එක් කෙනෙක් පවුල පිටින් ම බ්‍රිතාන්‍යයේ පදිංචිය. අනෙක් එක්කෙනා ලංකාවෙ හිටියට ළමයින් වෙනුවෙන්ම කැප වෙලා. දෙන්නම මුල් කාලෙ ඩිසයිනර්ස්ලා හැටියට වැඩ කළා. නමුත් දැන් ‍ෙදන්නම ගත කරන්නේ පවුල්වලටම කැප වෙච්ච ජීවිත.

ඔ‍බේ ජීවිතයෙන් කවුරුහරි ඉගෙන ගන්නවට කැමැති දේ කුමක්ද...

හැමදාම මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගන්න. මං බුදුන්ගේ දහම ගැන හැම දවසකම දැනුවත් වෙනවා‍. කාගෙන්වත් නෙවෙයි මගේ කොම්පියුටරයෙන්. ඒ වගේ ම ‘VR - One’ නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන යනවා. ඒක දහම් දැනුම බෙදා ගන්න සයිට් එකක්. අනික මං හැම දෙයක් ගැනම ඉන්ටර්නෙට් එකෙන් හොයනවා. මැජික් වීඩියෝ දර්ශන හරියට බලනවා. ඒවායේ බොරුව පෙන්වන වීඩියෝත් බලනවා. අපි රැවටෙන හැටි, මිනිස්සු අපිව රවටන්න සියුම්ව ප්ලෑන් හදන හැටි මේවායින් හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඒක උදාහරණයක් විතරයි. හැම දේ ගැනම හොඳ අවබෝධයක් ති‍ෙය් නම් මේ මහ පොළොවේ පය ගහලා ඉන්න ලේසියි.

එච්චරද...

නැහැ. ඔබ අනුන් ගැන වද නොවී ඔබේ ‘‍ඩ්‍රීම්’ එකට යන්න. ඔබට වැරදෙයි. ඔබ පැරදෙයි. වැටෙයි. ඒත් ආපහු නැගිටින්න. ආපහු උත්සාහ කරන්න. වැදගත්ම දේ, ඔ‍‍ෙබ් සිහිනයට යන තුරු උත්සාහය අත්නොහැරීම. ඒ වගේම, මට පාඩුවෙයි; මට අවාසි වෙයි කියලා, ඇත්ත කතා කරන්න ඕනෙ තැන නිහඬව නොසිටින්න. ඇත්ත දැක දැක නිහඬව සිටීම, මනුස්සයකුට නොවටිනා දෙයක්. ඔබ ඒ දේ මගෙන් ඉගෙන ගන්නවා නම්, මං බොහෝම සතුටුයි.

 ඡායාරූප - විමල් කරුණාතිලක

අදහස්