ඉලෙක්ට්‍රොනික උපාංග අපනයනය අරඹන්න හරිපාර දැනගන්න | සිළුමිණ

ඉලෙක්ට්‍රොනික උපාංග අපනයනය අරඹන්න හරිපාර දැනගන්න

මෙරට ජනතාවගේ පරිහරණයට, පරිභෝජනයට අවැසි බොහෝ දේ පිටරටින් මෙරටට එනතුරු මුහුදට දත නියවමින් සිටි යුගය දැන් වනවිට නිමාවෙමින් තිබේ.

තවමත් අපේ රටේ ජනතාවගේ වැඩි දෙනා පරිහරණය කරන විදුලි උපකරණ හා ඉලෙක්ට්‍රොනික මෙවලම් මෙරටට එන්නේ චීනය, ඉන්දියාව හා ජපානය යන රටවලිනි. අප එම රටවල නිෂ්පාදනය කරන එවැනි උපකරණ හා මෙවලම් එලෙස පාවිච්චි කරද්දි චීනය, ඉන්දියාව, ජපානය යන රටවලට පමණක් නොව ස්විට්සර්ලන්තය, මාලදිවයින, ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, හොංකොං, බංග්ලාදේශය හා ජර්මනිය වැනි රටවලටද අප රටේ නිෂ්පාදනය වන විදුලි උපකරණ හා ඉලෙක්ට්‍රොනික් මෙවලම් අපනයනය කෙරෙන බව ඔබ දන්නවාද?

ඔව්. ශ්‍රී ලංකාවට ආඩම්බරයක්, අභිමානයක් හා ගෞරවයක් ගෙන දෙමින් මෙරට නිෂ්පාදනය වන විදුලි උපකරණ හා ඉලෙක්ට්‍රොනික මෙවලම් රැසක් මේ වනවිට ඉතා සාර්ථක ලෙස එම රටවලට අපනයනය කිරීම සිදු කෙරේ. නවීන වාහන සඳහා අවශ්‍ය විදුලි හා ඉලෙක්ට්‍රොනික උපාංග, සෙන්සර්ස්, ස්විච්,වයර් හා කේබල්, ඇන්ටනා ,සූර්ය කෝෂ හා සූර්ය පැනල ,වෛද්‍ය ක්ෂේත්‍රය තුළ යොදා ගන්නා උපකරණ හා රොබෝ තාක්ෂණයේ දී යොදා ගන්නා විවිධ උපාංග හා මෙවලම් රැසක් මෙලෙස ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කර විදේශ රටවලට අපනයනය කෙරෙන අතර එම උපකරණ හා උපාංග සඳහා එම රටවලින් ඉහළ පිළිගැනීමක් ද හිමිව තිබීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මෙම අපනයන කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් පමණක් නොව ඊට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ද නොඅඩුව ලබා දීමට කටයුතු යොදා තිබීම හේතුවෙන් දැන් දැන් අපනයන ක්ෂේත්‍රයට පිවිසෙන බොහෝ සමාගම් විදුලි උපකරණ නිෂ්පාදනය හා ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදනය සඳහාද ප්‍රවේශ වනු දැකිය හැකිය.

කෙසේ වුවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සතු වාර්තාවලට අනුව තවමත් මෙම ක්ෂේත්‍රයේ නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත වී ඇත්තේ සමාගම් 80ක් පමණකි. එම සමාගම් අතරිනුත් සිය නිෂ්පාදන අපනයන වෙළදපොල වෙත මුදාහැරීමට කටයුතු යොදා ඇත්තේ සමාගම් 45ක ප්‍රමාණයක් වේ. නමුත් මෙම ක්ෂේත්‍රය තුළ සිය නිෂ්පාදන කටයුතු සිදුකරන සමාගම්හී සේවක සේවිකාවන් 50,000ක් පමණ සේවය කරන අතර එවැනි විශාල පිරිසකට රැකියා ලබාදීමට සමත්කම් දක්වා තිබීම ද රටේ ආර්ථිකයට විශාල හයියක් ගෙන දී ඇත.

විදේශ රටවල් රැසක් මෙරට නිපදවෙන විදුලි උපකරණ හා ඉලෙක්ට්‍රොනික මෙවලම් සඳහා ධනාත්මක ප්‍රතිචාර දැක්වීමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ එම නිෂ්පාදන වල ඇති ගුණාත්මක භාවය හා ප්‍රමිතියයි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය එකී නිෂ්පාදනයන්ගේ ගුණාත්මක භාවය හා ප්‍රමිතිය තහවුරු කිරීමට පියවර රැසක්ම ගෙන ඇති අතර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS සහතික, ISO ජාත්‍යන්තර ප්‍රමිති හා තත්ත්ව සහතික මෙන්ම බ්‍රිටිෂ් ස්ටෑන්ඩර්ඩ් ප්‍රමිති හා තත්ත්ව සහතිකද ශ්‍රී ලාංකික නිෂ්පාදකයින් ලබාගෙන තිබිය යුතු වේ. ඊටත් අමතරව සිය නිෂ්පාදනයන් හී විෂ රසායනික දෑ නැති බවට ROHS හා WEEE වැනි ජාත්‍යන්තර තත්ත්ව සහතිකයන් ද ලබාගත යුතු අතර සිය නිෂ්පාදන අපනයන වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට අවකාශ සැලසෙන්නේ එම ප්‍රමිතීන් හා තත්ත්වයන් තහවුරු කර ගත් ආයතන වලට පමණි .

මේ වන විට මෙම ක්ෂේත්‍රයේ සිදු කෙරෙන අපනයන මගින් වාර්ෂිකව ඩොලර් මිලියන 400 පමණ අපනයන ආදායමක් ඉපයීමට ද අපේ රට සමත්කම් දක්වා ඇත.සිය උපාය මාර්ගික සැළසුම් අනුව එම ආදායම තවත් ඉහළ නැංවීම අපනයන සංවර්ධන මණ්ඩලයේ බලාපොරොත්තුව වන අතර ක්ෂේත්‍රයේ කටයුතු කරන නිෂ්පාදනයන්හි ප්‍රමිතිය හා ගුණාත්මකභාවය ආරක්ෂා කරගැනීමටත් අනෙකුත් රටවලට සාපේක්ෂව මෙම නිෂ්පාදනයන්හී නිෂ්පාදන පිරිවැය අවම මට්ටමක තබා ගැනීමටත් ඒ අනුව එම මණ්ඩලය අවශ්‍ය සැලසුම් සකස් කර තිබේ. එහිදී ශ්‍රී ලංකා ඉලෙක්ට්‍රොනික්ස් මැනිෆැක්චර්ස් ඇන්ඩ් එක්ස්පොටර්ස් (SLEMEA) හී සහය ද අපනයන සංවර්ධන මණ්ඩලය වෙත හිමි වේ. ස්වාධීන ආයතනයක් ලෙස පිළිගැනෙන එම සංගමය ද අදාළ ව්‍යාපාරික ආයතන හා සමාගම් සඳහා මූල්‍ය අනුග්‍රහය හා තාක්ෂණික සහාය ලබාදීමටද කටයුතු යොදා ඇත .

මේ කාරණා පිළිබඳව අදාළ නිෂ්පාදන කටයුතු සිදු කරන ව්‍යාපාරික ආයතනයන් දැනුවත් කෙරෙන පුහුණු සැසි හා වැඩමුළු මණ්ඩලය හා සංගමය මගින් නිරන්තරයෙන් සංවිධානය කිරීමට ද කටයුතු යොදා තිබේ. විශේෂයෙන්ම අදාළ සමාගම් සඳහා සිය නිෂ්පාදන ධාරිතාව වැඩිකර ගැනීම සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීමට රුපියල් මිලියන 05 දක්වා මූල්‍ය ආධාර ලබාදීමට කටයුතු යොදා තිබීමද අගයකළ යුතු කාරණාවකි.

අපනයන සංවර්ධන මණ්ඩලය පවසන්නේ විදුලි උපකරණ හා ඉලෙක්ට්‍රොනික මෙවලම් නිෂ්පාදනය කර අපනයන වෙළෙඳ පොළට මුදාහරින සමාගම් තම මණ්ඩලයේ ලියාපදිංචි වී සිටීම ද අත්‍යවශ්‍ය වන බවයි. ඒ අනුව එම ලියාපදිංචිය සඳහා සමාගම් ඉදිරිපත්වීමෙන් අනතුරුව පූර්ණ අධීක්ෂණයකින් පසු සුදුසු සමාගම් පමණක් තම මණ්ඩලය යටතේ ලියාපදිංචි කර ගන්නා බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි .

ලියාපදිංචි කර ගැනීමෙන් පසු මූල්‍ය ආධාර, පුහුණු සැසි හා වැඩමුළු වැනි දෑ සඳහා එම ව්‍යාපාරික ආයතන හා සමාගම් වෙත නිරන්තරයෙන් අවස්ථාව හිමිවන අතර දෙස් ,විදෙස් ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ සඳහා ද සහභාගි වීමේ අවස්ථාව අපනයන සංවර්ධන මණ්ඩලයේ මැදිහත් වීමෙන් එම සමාගම් හා ආයතන වෙත ලබාදීමට ද කටයුතු යොදා තිබේ.

විදුලි හා ඉලෙක්ට්‍රොනික් මෙවලම් සම්බන්ධ අපනයන ක්ෂේත්‍රයේ කටයුතු කරන ව්‍යාපාරිකයින්ට හා එම ආයතනයන්ට පිළිබඳව අපනයන සංවර්ධන මණ්ඩලය මැදිහත්ව ලබා දෙන පහසුකම් හා අනෙකුත් සේවාවන් පිලිබදව තවත් තොරතුරු, විස්තර ලබාගැනීමට අවශ්‍ය නම් නොම්බර 42, නවම් මාවත, කොළඹ 2 ලිපිනයේ පිහිටි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය වෙතින් හෝ 011-2300700 දුරකතන අංක මගින් එම විස්තර ලබා ගැනීමට පහසුකම් සලසා ඇත.

අදහස්