චීන්නුන්ට රස වැටුණු බණ්ඩාරගේ ශීනා නිෂ්පාදන | සිළුමිණ

චීන්නුන්ට රස වැටුණු බණ්ඩාරගේ ශීනා නිෂ්පාදන

චීනය සමඟ තිබූ අපේ සබඳතා වසර ගණනාවක සිට නො‍බිඳී පවතින්නකි. බුදු දහම සමඟ මෙන්ම වෙ‍‍ළෙඳාම සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේම චීනය හා ලංකාව අතර මේ සබැඳියාව පවතී‍. චීන ලංකා තානාපති සබඳතා වසර 60ක් ඉක්මවා ගොස් ඇතත් චීනයට ගොස් ශ්‍රී ලාංකේය නම රැන්දීමට සමත් වූ පිරිස් ඇත්නම් ඒ අතළොස්සකි.

අප මේ කියන්නට යන්නේ චීනයේ වෙ‍ළෙඳ ව්‍යාපාරයක් ස්ථාපිත කර එය චීනයේ ලියාපදිංචි කළ ශ්‍රී ලාංකිකයෙකු ගැන කතාවකි.

ඔහු නමින් බණ්ඩාර දිසානායකයි. බණ්ඩාර දිසානායකයන් චීනයට යන්නේ 1986 වසරේදී මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සිසුවකු ලෙස සිටියදී ලද ශිෂ්‍යත්වයක් ලබමිනි. මේ ශිෂ්‍යත්වය නිසා ඔහුට එදා මසකට ඩොලර් 80ක මුදලක් ලැබිණි.

ශිෂ්‍යත්වය ලබා ගිය 16 දෙනකුගෙන් සමන්විත මේ පිරිසෙන් ඇතැමෙකු ගිය පයින්ම ආපසු ඒමට උත්සාහ කළත් මෙරට එකල තිබූ වාතාවරණය නිසා ඔවුහු චීනයේම රැදී සිටියහ.

“මම චීනයේ බේජින්හි අධ්‍යාපනය ලැබුවේ. චීන සිසුන් රැසක් පැමිණ මා හට පැවසූයේ චීන භාෂාව ඉගෙන ගන්නා ලෙසයි. ඔවුන් හවස 6න් පසුවත් මා සිටි නවාතැනට පැමිණ මට උගන්වන්න වුණා. එය මට වදයක් වුණත් ඉගෙන ගත්තා. ඒ භාෂාව ‍ඉගෙන ගැනීම පසුව ලොකු උපකාරයක් වුණු බව අවුරුදු කිහිපයකට පසුව මට තේරුණේ ඇමරිකන් ‍සමාගමක් චීනයට පැමිණ චීනයේ ලොකුම ගොඩනැගිල්ලක් සෑදීම ආරම්භ කරපු අවස්ථාවේයි. ඒ අවස්ථාවේ මට ඩොලර් 3000ක වැටුපකට එහි ඉංජිනේරුමය කටයුතුවලට කතා කළා. ඒ වෙනකොට එහි ප්‍රධාන ඉංජිනේරුවා වූ ලූ එන් ජුන්ගේ වැටුප ඩොලර් 150යි.

ඒත් මම චීන වගේම ඉංග්‍රීසි භාෂාවත් හොඳින් දන්න නිසා මට ඒ අවස්ථාව උදා වුණා. ඩොලර් 80ක ශිෂ්‍යත්වයක හිටපු මට ඩොලර් 3000ක වැටුපක් ලැබීම නිසා මම උපරිම සේවාවක් ඒ සමාගමට සැපයූවා. ඒ සමාගම අවුරුදු 25කට පමණ ඉහතදී කළ ආයෝජනය ඇමරිකන් ඩොලර් මිලියන 100ක්. ඒ ව‍ගේ ආයෝජනයක් කළ ඒ සමාගමේ 1991 සිට 1994 දක්වා අපි වැඩ කළා.

මට චීන භාෂාවත් පුළුවන් නිසා මම ඉංජිනේරුවකු නිසා වසර 5කට ආසන්න කාලයක් එහි සේවය කර මම ආපහු බේජින් ආවා.’

බණ්ඩාර මහතා මේ වන විට චීනයේ අංක 1 ශ්‍රේණිගත සමාගම් රැසකම සේවය කර ඇති අතර ඔහුගේ ගමන් මාර්ගය මෙසේ දැක්විය හැකියි.

ඔහු ප්ෆිෂර් සමාගමේ ක්ෂේත්‍ර ඉංජිනේරුවකු ලෙසින් 1991වසරේ සිට 1993 දක්වා සේවය කර ඇත. 1993 වසරේ සිට 1994 දක්වා සහකාර ව්‍යාපෘති කළමනාකරුවකු ලෙස මෝටරෝලා සමාගමේ සේවය කර තිබේ.1994 වසරේ සිට 1996 දක්වා ෆිලිප්ස් ආයතනයේ ව්‍යාපෘති කළමනාකරු ලෙසත් 1996 වසරේ සිට 1998 දක්වා බොස්ක්ෂ් ව්‍යාපෘති කළමනාකරු ලෙසත් සේවය කර ඇත.

1998 වසරේ සිට වසර 2000 දක්වා ලොක්වුඩ් ග්‍රීන්ස් ආයතනයේ ව්‍යාපාර නියෝජිත ලෙසත් වසර 2000 සිට 2002 දක්වා බෙෂ්ටෙල් ආයතනයේ ව්‍යාපෘති කළමනාකරු ලෙසත් 2002 වසරේ සිට 2004 දක්වා පිලිස් හෝල්ස්මාන්හි ව්‍යාපාර උපදේශක ලෙසත් කටයුතු කර ඇති බණ්ඩාර මහතා ඉන්පසුව වසර 9ක්ම 2013 දක්වා ඒ.බී.බී චයිනා ආයතනයේ උපදේශක අධ්‍යක්ෂ හා කළමනාකාර උපදේශක ලෙසත් සේවය කර ඇත.

2013 වසරේ සිට මේ දක්වා චීනයේ ව්‍යාපාර සිදු කරන බණ්ඩාර මහතා මේ වන විට සීටීඑස් ලංකා ටුවර්ස් ඇන්ඩ් කොමර්ස් ලිමිටඩ් හා ෆුජියාන් බණ්ඩාර ඉන්ටර්නැෂල් කොමර්ෂ් ලිමිටඩ්හි ආයෝජකයා ලෙස ‍කටයුතු කරයි.

බණ්ඩාර මහතා විසින් 2015 වසරේදී චීනයේ ලියාපදිංචි කළ ශ්‍රීනා නිෂ්පාදන අද චීන වෙළෙඳ පොළේ ඉතා ඉහළ ප්‍රමිතියක් හා පිළිගැනීමක් ඇති නිෂ්පාදන ලෙසින් දක්නට තිබේ.

චීනයේ අලෙවි කරනු ලබන මේ නිෂ්පාදන බියගම නිදහස් වෙළෙඳ කලාපයෙන් මෙන්ම මෙරට ආනයනික ප්‍රසිද්ධ තේ නිෂ්පාදන සමාගම් හා අපනයන ක්ෂේත්‍රයේ ඉහළින් සිටින සමාගම් හා එක්ව කටයුතු කරනු ලැබේ. එමඟින් අපේ රටට විශාල විදේශ විනිමයක්ද ලැබෙන අතර බණ්ඩාර මහතා රජයෙන් සහ මෙරට ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ චීනයට පැමිණ ව්‍යාපාර අරඹන ලෙසයි.

චීනයේ ව්‍යාපාර ඇරැඹීම ලෙහෙසි පහසු නොවුණත් තමන් ඒ පිළිබඳ සියල්ල දන්නා හෙයින් හා චීනය හා සම්බන්ධ අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම රට වෙනුවෙන් ඕනෑම ව්‍යාපාරියකයකු හෝ ආයතනයක් වෙනුවෙන් නොමිලේම ලබා දෙන්නට බලාපොරොත්තු වන බවත් ඔහු පවසයි. මේ වන විට මෙරට නිෂ්පාදන රැසක් විශේෂයෙන්ම තේ සහ ‍පිරිසුදු පොල් නිෂ්පාදන නිදන කොට්ට සඳහා එරට විශාල පිළිගැනීමක් ඇති බවද ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම ෆූජියාන් ප්‍රාදේශීය ආණ්ඩුකාරවරයා හා පක්ෂ ලේකම්වරයකු පැමිණ ශ්‍රී ලාංකික නිෂ්පාදන ඇගැයීමට ලක් කර තිබීම ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට ඉදිරියේදී එරට දොර විවර වීමට කදිම අවස්ථාවක් බව පෙන්වා දිය යුතුය.

තමන් විසින් වාර්ෂිකව එරටට ලක්ෂ 75ක පමණ බදු මුදලක් ගෙවනු ලබන බවත් ආදායමෙන් 25%ක් තරම් වන බදු මුදලක් එරටට ගෙවිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

වසර 33ක කාලයක් තුළ තමන් ලද අත්දැකීම් බෙදා දෙන්නට ඔහු සූදානමින් සිටියි.

තමා නියෝජනය කරන චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව මණ්ඩලය මගින් අරණායක විපතට පත් වූවන්ට රුපියල් මිලියන 7ක් ලබා දෙන්නට කටයුතු කළ බව බණ්ඩාර මහතා පැවසීය. ඊට අමතරව තවත් සමාජ සේවා රැසක්ම මෙරටට සිදු කර ඇත.

චීනයේ පිළිගත් ව්‍යාපාරිකයන්ට ‘ඇපෙක්ස්’ කාඩ්පතක් ලබා දෙන බවත් ඒ කාඩ්පත හරහා ලොව ඕනෑම රටකට යෑමට හැකියාව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

“චීන ව්‍යාපාරිකයන්ගෙන් අපිට ගත හැකි පාඩම් රැසක් තිබෙනවා. අද අපි කරන්නේ සපත්තු කඩේකට ගිහින් හදලා තියෙන සපත්තු ගන්නා එකයි. චීනයේ පාරිභෝගියාට අවශ්‍ය කරන දේ ඉල්ලන සංකල්පයක් තියෙනවා. ඒ නිසා චීනයේ ව්‍යාපාරික දියුණුව වැඩියි.

චීනෙ නැති කෑමක් නැහැ. මිල ශ්‍රී ලංකාවේ මෙන් තුනෙන් එකක් පමණ වන්නේ. ඒ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කර ඇත්තේ ව්‍යාපාරික දියුණුව නිසා. අපේ රටෙත් මහාපරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ ඒ වගේ ආර්ථික දියුණුවක් තිබුණා. චීනයේ ජනතාව ඒ සියල්ල දන්නවා. ඒ අනුව චීනය දිනෙන් දිනම ජනතාවගේ සුපිරි තත්ත්වය වැඩි දියුණු කරනවා.

මේ වන විට චීනය කෘත්‍රිම බුද්ධිය පැත්තට යොමු වී තියෙනවා. රියැදුරන් නැති මෝටර් රථ නිපදවීම සම්බන්ධව මේ වන විට චීනය කටයුතු කරමින් තිබෙන්නේ. ඉදිරි වසර 5ක කාලය ඇතුළතදී ඒ සියල්ල සම්පූර්ණ වෙයි. එය ඉතාම ආරක්ෂිතයි. ඒ ව්‍යාපාරයට සමස්ත චීනයේම සහයෝගය ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ රජයේ හෝ පෞද්ගලික ආයතනයක යම් අංශයකට දක්ෂතා ඇති අයකු පැමිණියහොත් ප්‍රධානියා ඔහුට ඉදිරියට එන්න දෙන්නේ නැහැ. මේ තත්ත්වය නිසා ලංකාවේ ආර්ථිකයේ නැඟීමක් ගැන හිතන්න අමාරුයි.

ලංකාවේ ආර්ථිකය නංවන්න චීනයෙන් ලබා දෙන සහාය ගැන බොහෝ දෙනාගේ අවධානයක් නැහැ. අනෙකුත් ‍ආයෝජන සංවර්ධන වැඩ නෙමෙයි කම්කරුවන්ගෙන් ලැබෙන සහයෝගය අතිවිශාලයි. මෙරට කම්කරු ශ්‍රමයේ විශාල හිඟයක් තිබෙන නිසා චීනයෙන් ඒ උදෙසා ලබා දෙන සහාය ගැන අවබෝධයක් නැහැ. ඒ වගේම අපේ ආර්ථිකය නංවන්න ‍ඉහළ ප්‍රමිතියේ ඖෂධ අඩු මිලකට චීනයෙන් ලබා ගන්න පුළුවන්. ඒ ගැන ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව හෝ අව‍ධානය යොමු කර නැහැ‘’

වසර 33ක් චීනයේ සිටියද බණ්ඩාර මහතා එරට පුරවැසියකු ‍ නොවේ. ඔහුට වසර 5න් 5ට වීසා දිගුවක් හිමි වේ.

චීනයේ ව්‍යාපාර ඇරැඹීමට මෙන්ම චීනයෙන් අපට ලබාගත හැකි ආදර්ශ කෙරෙහි අප අවධානය යොමු කළ යුත්තේ ඒ හරහා මෙරට ව්‍යාපාරික දියුණුව ඇති කර ගැනීමත් ඒ ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවා ගැනීමට කටයුතු කළ හැකි නිසාය.

1986 වස‍රේ බණ්ඩාර මහතා චීනයට යද්දී එරට බීජින් ගුවන් තොටුපොළ කටුනායක ගුවන් තොටුපොළට වඩා තරමක් විශාල වුවත් එහි කිසිදු ප්‍රියමනාප බවක් නොවුණු බවත් අද එය අහස‍ට පොළොව මෙන් වෙනස් වී ඇති බවත් පෙන්වා දිය යුතුය.

සේයාරුව - රංජිත් අසංක

අදහස්