අම්මා ඉන්නවා කිව්වම තාත්තා ඔය තරම් කල­බල වුණේ ඇයි? | සිළුමිණ

අම්මා ඉන්නවා කිව්වම තාත්තා ඔය තරම් කල­බල වුණේ ඇයි?

හඬක් නොන­ඟාම අහස පොළොව තවත් සන්ධ්‍යා­ව­කට සූදා­නම් වෙයි. කඩි­ස­රව පාව ගිය­ සුදු වලාවෝ මඳින් මඳ වර්ණ­වත් වෙමින් සන්ධ්‍යා සුන්ද­ර­ත්වය ඔප් නංවති. ගෙමි­දුලේ මල් ගොමුව මෙතෙක් වේලා

හිරු කිර­ණින් විඳි හිරි­හැ­ර­යෙන් මිදීමේ සොම්නස භුක්ති විඳි­නවා වැන්න. එහෙත් කෙමෙන් සිහි­ලැල් වන නිවෙස තුළ ගැහැ­නි­යද යුව­ති­යද අඳු­රුව ගිය මුහුණු එල්ලා­ගෙන ඉන්නේ පිටත සොඳුරු විප­ර්යා­සය නොදත් ලෙසිනි.

කෙත­රම් තදින් තිගැ­ස්සු­ණේද කිව­හොත් අත වූ කෝප්පය බිඳ වැටිණ. අමාලි දිව ආවේ එය බි‍ඳෙන හඬින් නොවේ පියාගේ කෝපා­විෂ්ට හඬ කන වැකුණ බැවිනි.

“ඇයි? ඇයි මේ?”

ඇය පියා ද නැන්ද­ණිය ද අත­රට කඩා පනි­මින් ඇසුවේ අප­මණ කුහු­ලිනි.

“න්... නෑ අයියෙ... අක්කා කොහේ හරි ඉන්නව නම් ලියු­මක් එවන් නැතිව ඉන්න­වද... කෝල් ‍එකක් දෙන්නෙ නැතිව ඉන්න­වද... අක්කට ඔය දෙන්නා ඇස් දෙක වගේ.. අවු­රුදු දෙකක් තිස්සෙ කිසිම ආරං­චි­යක් නෑ කියන්නෙ අක්කා කොහේ­වත් නෑ... අක්කට මොකක් හරි කර­ද­ර­යක් ම තමා...”

මේ කතාව කිය­න්නට ඇය බොහෝ කාල­යක් පෙරුම් පිරු­වාය. අතු­රු­ද­හන් බිරිඳ ද මව ද සොයා වෙහෙ­සෙන සැමි­යාගෙ හා දිය­ණිය දැකී­මෙන් ඇය හෙම්බත්ව සිටි­යාය. ඒ හෙවිල්ලේ කෙළ­ව­රක් නැති­වාක් මෙන්ම තේරු­මක් ද නැතැයි ඇය සිත­න්නට පට­න්ගත්තේ නෑන­ණ්ඩිය අතු­රු­ද­හන්වී අවු­රු­ද්දක් ඉක්ම ගිය පසුය.

“නෑ නෑ.. අපෙ අම්මා ඉන්නවා... කොහේ හරි ඉන්නවා...” අමාලි කෝප­යෙන් ද ශෝක­යෙන් ද සැලෙන හඬින් කීවාය.

“අමා කොහො­මද දන්නේ?”

සුනන්දා ඇසුවේ සිරි­මා­න්නට අස­න්නට උව­මනා වූ ප්‍රශ්න­යම ය.

“මං දන්නවා..” යි මුරණ්ඩු ලෙස කී, යුව­තිය ගෙතු­ළට දිව්වා ය. ඇය ලුහු­බැඳ යන්නට සුනන්දා මෙන්ම සිරි­මා­න්නද පෙල­ඹුණේ නිතැ­තිනි.

“‍මොනවද දන්නෙ?”

නැඟ­ණි­යද පසෙ­කට කළ සිරි­මාන්න කාම­ර­යට වදි­න්නට වෑයම් කළ යුව­තිය තමා වෙත හරවා ගත‍්තේය.

“දන්නෙ අම්මා තාම ඉන්න බව.”

“කොහෙද...? කොහෙද ඉන්නෙ?”

ඇය ඔහුගේ දෙනෙත් දෙස බලා­ග­ත්ව­නම සිටි­යාය. ඒ බැල්මෙන් අප­හ­සු­තා­වට පත් මිනිසා “අමා..” යි හඬ ගෑවේය. ඇයගේ බැල්ම විඳ දරා ගත නුහුනු තර­මට නිවුණු බවද වේද­නා­කාරී බවද ඒ ස්වරය නොස­ඟවා හෙළි කළේය.

“‍ෙමාකද ඔච්චර කල­බල වෙලා...?”

අමා­ලිගේ දෙතොල සර­දම් සිනා­ව­කින් ඇදව ගියේය.

“‍ෙමාකක්ද?”

“අම්මා ඉන්නවා කිව්ව­හම තාත්තා මොකද ඔච්චර කල­බල වෙන්නෙ?”

..............

“අවු­රුදු දෙකක් තිස්සේ මං අම්මව හොය­නවා. ඒක දැන දැනත් මොන­වද ඔය අහන්නෙ? මොන­වද ඔයා හිතන්නෙ? කෙළින් කියන්න...”

තමා වහා මැදි­හ­ත්විය යුතු බව සුනන්දා සිතු­වාය.

“අක්කා ඔයාට කෝල් එක­ක්වත් දුන්නද අමා..? අනේ එහෙ­නම් කියන්න...”

ඇගේ ආයා­ච­නා­ත්මක බැල්මෙන් සස­ලව ගියද අමාලි සිත දැඩි කර­ග­ත්තාය.

“කෝල් කරන්න අම්මා ඉන්න එපැයි..”

“මොන­වද අමා මේ කියන්නෙ? ඉස්සර වෙලා කිව්වා අම්මා ඉන්නවා කියලා. දැං කිය­නවා නෑ කියලා. ඔයාට මොකද වෙලා තියෙන්නෙ?”

සුනන්දා ඇසුවේ කෝප­යෙන් ද ශෝක­යෙන් ද සැලෙන හඬිනි. මේ කෙල්ල කොහො­ම­ටත් පුරු­දුව සිටින්නේ තමා හා සොහො­යුරා කුපිත කර­ව­න්නට බව ඇයට සිතිණ.

“අම්මා ඉන්නවා කීවම තාත්තා ඔය තරම් කල­බල වුණේ අම්මා නෑ කියලා හොඳට දන්න හිංදනේ.”

සිරි­මාන්න නැව­තත් දිය­ණිය වෙත හැරු­ණේය. කෝප­යෙන් සිහින්ව ගිය දෙනෙ­තින් ඔහු ඇය දෙස බැලු­වේය.

“මොන­වද උඹ ඔය කියන්න තෙප­ර­බාන්නෙ...? කියන දෙයක් කෙළින් කියපං...”

සුනන්දා තිගැ­ස්සු­ණාය. සොහො­යුරා කුපිත වීම ඇයට ඉව­සිය නොහැකිය.

“තාත්තා අම්මව මැරුවා. මගෙ රත්තරං අම්මව මැරුවා...”

ඔහු පම­ණක් නොව සුන­න්දාද බය බිරාන්ත වූවාය.

“මොන­වද අමා මේ කියන අහස පොළොව නුහු­ලන කතා...?” යි ඇය ඇසුවේ හැඬු­ම්බර හඬිනි.

“ටවුන් එකට ගිය අම්මා කොහො­මද එහෙම නැති වෙන්නෙ? එක්කො ඇක්සි­ඩන්ට් එකක් වෙන්න ඕන... එහෙම නැත්තං කිඩ්නැප් කරන්න ඕන... ඒ දෙකම සිද්ධ වෙලා නැත්තං අම්මට මොකද වුණේ?”

ඔහු‍ෙග් අතුල් පහ­රින් රිදුම් දෙන කොපු­ලින් වුවද ඇය තව­දු­ර­ටත් කෑ ගැසු­වාය.

“මේ මිනිහා මගෙ අම්මව මරලා හංගලා.. අනේ පොඩි නැන්දෙ මගෙ අහිං­සක අම්මා... අයියෝ ඇයි මගේ අම්මට ‍එහෙම අප­රා­ධ­යක් කළේ...?”

සුනන්දා වහා පෙරට පැන අමාලි වැල­ඳ­ග­ත්තාය. එහෙත් ඇයට පහර දෙන්නට එසවූ අත හකුළා ගත් සිරි­මාන්න වහා පිටව ගියේය.

“දෙවි හාමු­දු­රුව‍නේ මොන­වද අමා මේ කියන පව්කාර කතා?”

වච­න­යක් වෙනු­වට යුව­ති­යගේ මුවින් පිට­වූයේ විලා­ප­යකි. ඇය සිය නැන්ද­ණිය තරයේ වැල­ඳ‍ ­ග­නි­මින් කෑ ගසා හැඬු­වාය.

“අම්මේ... අනේ අම්මේ... මගෙ රත්තරං අම්මේ.”

හඬක් නොන­ඟාම අහස පොළොව තවත් සන්ධ්‍යා­ව­කට සූදා­නම් වෙයි. කඩි­ස­රව පාව ගිය­ සුදු වලාවෝ මඳින් මඳ වර්ණ­වත් වෙමින් සන්ධ්‍යා සුන්ද­ර­ත්වය ඔප් නංවති. ගෙමි­දුලේ මල් ගොමුව මෙතෙක් වේලා හිරු කිර­ණින් විඳි හිරි­හැ­ර­යෙන් මිදීමේ සොම්නස භුක්ති විඳි­නවා වැන්න. එහෙත් කෙමෙන් සිහි­ලැල් වන නිවෙස තුළ ගැහැ­නි­යද යුව­ති­යද අඳු­රුව ගිය මුහුණු එල්ලා­ගෙන ඉන්නේ පිටත සොඳුරු විප­ර්යා­සය නොදත් ලෙසිනි.

“බලන්න අයියා තාමත් නෑනේ..”

විටින් විට දොර­ක­ඩට පැමි­ණෙන සුනන්දා පාර බලන්නේ මහත් අස­හ­න­යෙනි.

“කව­දා­වත් නොකියා යන්නෙත් නෑනේ.. අද කිසි කතා­වක් නැතුව ඔය යන්න ගියේ ඔයාගෙ මෝඩ බහු­බූත කතා හින්දා තමා අමා...”

අමාලි විසිත්ත කාම­ර­යෙහි සුව පහසු අසු­නක් මත හිඳ­ග­ත්ව­නම පසු­වන්නේ වචන කෙරෙහි අම­නාප වූවාක් මෙනි. දෙපා ඉහ­ළට ගෙන සිටිනා ඇය කෙටි කෙස් කල­ඹද තරයේ පිය­වුණු දෙතො­ලද හේතු­කො­ට­ගෙන ගැට­ව­ර­යෙ­කුගේ මුරණ්ඩු මුහු­ණු­වර උසු­ලයි. ඇගේ පියා සමී­ප­යෙහි සිටියේ නම් මේ අන්ද­මින් දෙපය පුටුව මතට ගැනීම කිසි­සේත් නොඉ­ව­සයි.

“කොහො­මද...? කොහො­මද ඔයා වාඩි­වෙලා ඉන්නෙ?”

“ඇයි?”

ඔහුගේ කෝප­යට හේතු වූ කරුණ දැන දැනත් ඇය ව්‍යාජ විම­ති­යක් මවා­පායි.

“කෙනෙක් වාඩි­වෙන විදි­යක් තියෙ­නවා. ඔහොම කකුල් දෙක උඩට ගන්නෙ නෑ හැදිච්ච ගෑනු දරු­වෙක්...”

වහා දෙපා පහ­තට දම­න්නයි සුනන්දා ඉඟි බිඟි කළද අමාලි අව­නත නොවෙයි.

“කකුල් දෙකෙං කොහො­මද හැදි­ච්චි­කම තීර­ණය කරන්නෙ?”

ඇය අසන්නේ කෝප­යෙන් හෝ නොරි­ස්සු­මින් නොවේ. ගුරු­ව­ර­යා­ගෙන් ප්‍රශ්න­යක් අසන සිසු­වි­යක මෙන් අහිං­සක විලා­ස­යෙනි. එය­මවා ගත්තක් බව සිරි­මාන්න මෙන්ම සුනන්දා ද දනිති.

“කකුල් දෙකෙං නෙමේ. කකුල් දෙක තියා­ගෙන ඉන්න හැටියෙං... කෙනෙක්ගෙ ඉරි­ය­ව්වෙන් කියන්න බැරිද හැදිච්ච නැහැ­දි­ච්ච­කම...”

පාස­ලක සිසුන් හත්අට සිය­යක් මෙන්ම ගුරු­වරු විසි තිස් ගණ­නක් ද පාල­නය කරන තමා මේ එක හිතු­ව­ක්කාර කෙල්ලක සම්බ­න්ධ­යෙන් අසා­ර්ථක වීම ඔහුට ඉව­සිය නොහැක.

“දිගට ඇඳුම් ඇන්දම... කකුල් දෙක පහ­ළට දාලා වාඩි වුණාම මාර හැදි­ච්ච­ක­මක් තියෙ­නවා කියල හිතන එකත් මාර වැඩක්නෙ තාත්තෙ...”

“එහෙම තමයි.. මිනිස්සු හිතන පිළි­වෙ­ළක් විදි­යක් තියෙ­නවා.”

ඇගේ මුවග නැට­වෙන්නේ තවත් කටුක කතා­ව­කට බව දන්නා සුනන්දා නොස­න්සුන් වෙයි. ඇයගේ හස්ත මුද්‍රා නොදුටු විලා­ස­යෙන් අමාලි නැව­තත් කතා කරයි.

“ඉතිං හැමෝම එක විදි­යට හිතන්න ඕන කියලා නීති­යක් තියෙ­න­වද?”

“මොකද නැත්තෙ.. නීතිය රීතිය හැදි­යාව විනය සංස්කෘ­තිය... සමා­ජයේ ජීවත් වෙනව නම් නීති රීති­ව­ලට යටත් වෙන්න ඕන කවුරු වුණත්.”

යුව­තිය තවත් හරි­බරි ගැසෙයි. සරදම් සිනාව මැඬ ගනි­මින් දෙනෙත හකුළා ගනියි.

“එහෙනං තාත්තෙ හය­වෙනි සිය­ව­සේදී සිදු­හත් කුමා­ර­යත් ඒ විදි­ය­ටම ඒ බමුණු මතම පිළි අර­ගෙන යටත් වෙලා හිටිය නම් කව­දා­වත් අභි­නි­ෂ්ක්‍ර­ම­ණය කරන්නෙ නෑනේ.. කව­දා­වත් බුදු වෙන්නෙත් නෑනේ. එහෙනං අද ලෝකෙට බුද්ධ දර්ශ­න­යක් කියලා දේකුත්නෑ...”

නිරු­ත්තර වන සිරි­මාන්න වහා පිටව යයි. මොහො­තක් ගත වීමට පෙර ඇසෙන්නේ ඔහු යමක් බිම ගසන හඬය. බොහෝ­විට එය පිඟා­නකි. කෝප්ප­යකි. වීදු­රු­වකි.

“කොස්සක් අරං යන්න. බලා­ගෙන පොඩි නැන්දෙ අතේ ඇනෙයි වීදුරු කටු.. ඩිංගක් ඇත්නම් කැපෙ­නවා අත..” යි අමාලි කියන්නේ බය බිරා­න්තව බලා ඉන්නා සුනන්දා දෙස බල­මිනි.

“ඔයාට මොකද වෙලා තියෙන්නෙ අමා...? තාත්තව කේන්ති ගස්සන්නෙ නැතුව ඉන්න බැරිද ඔයාට?”

සහෝ­දර ප්‍රේම­යෙන් ළත­වන ගැහැ­නිය පහත් හඬින් අසයි.

“ඉතිං මං බොරුද කියන්නෙ පොඩි නැන්දෙ.. වෙනස් විදි­යට හිතන පතන මිනිස්සු නිසා තමා ලෝකේ මේ තරම් දියුණු වුණේ... ලස්සන වුණේ.. නැත්තං ඉතිං අපි තාමත් ගල් ගුහාවෙ...”

සුනන්දා කුස්සි­යට දිව යන්නේ “ඔයත් එක්ක වාද කර­න­වාට වඩා හොඳයි කට ගලක උලා ගන්නවා.. “යි ආඩ­පාලි කිය­මිනි.

මේ සන්ධ්‍යාවේ සුනන්දා සමඟ වාද කර­න්නට උත්සුක නොවූ අමාලි නිය වික­න්නට වූවාය. එයද ඇගේ පියා කුපිත කර­වන පුරු­ද්දකි.

“දහ සැර­යක් විතර කෝල් ගත්තා... කෝ ඉතිං ආන්සර් කර­න්නෙත් නෑනෙ මේ අයියා.. අනේ මංදා... මට නං බයේ බෑ... මොනවා කර­න්නද කියලා මට හිතා­ගන්න බෑ.”

ලබන සතියට‍...

අදහස්