ආචාර්ය උපා­ධි­යට සැර­සෙන කඩ­වත පහේ හපනා | සිළුමිණ

ආචාර්ය උපා­ධි­යට සැර­සෙන කඩ­වත පහේ හපනා

* හාවඩ් විශ්ව­වි­ද්‍යා­ල­යෙන් ජීව විද්‍යා ඩිප්ලෝ­මා­වක්
* හතරේ පන්ති­යේදි ඊ-පොත­කුත් ලියලා
* ලොව ළාබා­ලම විද්‍යා ප්‍රබ­න්ධ­කයා
* ඉගෙනගන්නේ පහේ පන්තියේ ලෝක වාර්තා පහක් තියලා

කඩ­වත නගර සීමාවේ මහර ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලය අස­ලින් වැටී ඇති මාවත දිව යන්නේ අප සොය­මින් යන පුංචි පාසල අස­ලින් ය. ප්‍රධාන නග­ර­යට ආසන්න වුවද සූරිය ප්‍රදීප පාසල තව­මත් අයත් වන්නේ දුෂ්කර පාසල් අත­ර­ටය. පාස­ලට පැමි­ණෙන්නේ කිසිදු පාස­ල­කට දරු­වන් ඇතුළු කර­න්න­ට­වත් හැකි­යා­වක් නැති මවු­පි­යන්ගේ දරු­වන් පමණි. ගමේ පුංචි පාසල බබ­ළ­ව­න්නට දෝ මේ විදු­හ­ලට ‘සූරිය ප්‍රදීප පාසල‘ නමින් ලස්සන නමක්ද යොදා තිබිණි.

වැසී යෑමට ඔන්න මෙන්න කියා තිබෙන දරු­වන් අත­ළො­ස්සක් පම­ණක් ඉගෙ­නුම ලබන මේ පුංචි ඉස්කෝලේ අද බැබ­ළෙන තරු­වක් වි සිටින්නේ පුංචි පුතෙකි.

ඔහු ඉන්ද්‍ර­ජිත් ප්‍රභා­ස්වර කරු­ණා­නා­යක. වයස අවු­රුදු දහ­යකි. ප්‍රභා­ස්වර පුංචි පුතු ඉගෙන ගන්නේ සූරිය ප්‍රදීප පාසලේ පහ ශ්‍රේණි­යේය. ගමේ පුංචි පාසලේ සිට එළ­ඹෙන ශිෂ්‍යත්ව විභා­ග­ය­ටත් මුහුණ දෙන්නට මේ පුංචි පුතු සූදා­නම් ය. ශිෂ්‍යත්ව විභා­ගය සඳහා පහ ශ්‍රේණියේ දරු­වකු සුදා­නම් වීම අද සාමාන්‍ය දෙයකි. එහෙත් මේ කතා­වේදි අපට ප්‍රභා­ස්වර පුතු නම් සුවි­ශේ­ෂය.

ප්‍රභා­ස්වර පුතු දුටු හැටි­යේම මට ඔහු දැක පුරුදු බවක් මත­ක­යට නැඟණි. වසර දෙක තුන­කට පෙර මා රූප­වා­හි­නියේ දුටු එක්තරා දසු­නක් මත­ක­යට නැඟෙයි. මීට කල­කට පෙර දිනෙක පුංචි තිරයේ අවු­රුදු තුනක පුංචි පුතෙක් ලෝක සිති­යමේ සියලු රට­වල් එක හඬින් පව­සන අයුරු අප බලා සිටියේ විම­ති­යෙනි. කිසි­වෙක් ඔහුගේ සහ­ායට නොසි­ටි­යහ. ලෝක සිති­යමේ රට­වල් එකි­නෙක පෙන්ව­මින් මේ බ්‍රසී­ලය, මේ නව­සී­ල­න්තය, මේ ආර්ජ­න්ටි­නාව, මේ ඩෙන්මා­ර්කය ආදි වශ­යෙන් ඉතා චතුර ලෙස එදා ඔහු සිය හැකි­යා­වන් පෙන්වීය.

එදා ඒ පුංචි පුතුගේ සංසා­ර­ගත අපූරු හැකි­යාව බැලූවෝ පුදු­ම­යට පත් වූහ. තවත් වරෙක ප්‍රභා­ස්වර පුතු ආව­ර්තිතා වගුවේ සියලු මූල­ද්‍රව්‍ය සිය මත­ක­යෙන් පව­සන අයුරු රටක් පුදු­ම­යට පත් කර­මින් රූප­වා­හිනි නාළි­කා­ව­න්හිද විකා­ශ­ය වූයේ ඊට පසු­වය. දරු­වකු පළමු වැනි පන්ති­යේදි එවන් හැකි­යා­වක් පෙන්වීම අති­ශ­යින්ම විරල කරු­ණකි. මගේ මත­කයේ සිටි පොඩ්ඩා දැන් මා ඉදි­රි­යේය. පුංචි පුතුගේ හැකියා හරි පුදු­මය. ඒ හැකියා එකි­නෙ­කට වෙනස්ය. විදු­හ­ල්ප­ති­ව­රුන් ගුරු­ව­රුන් මවිත කර­මින් ප්‍රභා­ස්වර සිය පාසලේ නම ලෝක වාර්තා පහ­ක­ටත් එක් කළේ ගම­ටත් රට­ටත් කීර්ති­යක් අත් කර දෙමිනි.

ප්‍රභා­ස්වර වෙනු­වෙන් ගමේ පාස­ලත් ටිකෙන් ටික වෙනස් වන්නට විය. විදු­හ­ල්ප­ති­තුමා සැම විටම සිතුවේ සිය පාසලේ පුංචි හපනා වෙනු­වෙන් පුංචි පාසල වෙනස් කරන ආකා­ර­යයි. සියලු දේ ගමේ දරු­වන්ගේ යහ­පත වෙනු­වෙන් සිදු වන්නට විය. ලොවක් ජය ගත් මේ පුතා වෙනු­වෙන්ම ගමේ පාස­ලත්, ගමේ දරු­වෝත් අලුත් පාස­ලට හැඩ ගැසෙ­න්නට වූහ.

පාස­ලක් දරු­වන් වෙනස් කිරීම සාමාන්‍ය දෙයක් වුවත් දරු­වකු විසින් පාස­ලක් වෙනස් කරනු ලැබූ කතාව නම් අපට අලුත් දෙයකි. පාසල අලුත් කළ කතාව අප සමඟ පැවැ­සුවේ විදු­හ­ල්පති ප්‍රසාද් කිනි­ගම මහ­තාය.

“ප්‍රභා­ස්වර ශිෂ්‍යයා කියන්නේ රටම අගය කළ යුතු දරු­වෙක්. අද ලෝක­යක්ම මේ දරුවා ගැන කතා කර­නවා. ඒ දරුවා අපේ මේ පුංචි පාසලේ දරු­වෙක් නිසා අන් හැමෝ­ටම වඩා අපි ඔහු ගැන ආඩ­ම්බර වෙනවා. අපේ පාසල වැහෙන්න ගිය පාස­ලක්. බොහෝම අමා­රු­වෙන් තමයි වස­රක් පාසා මේ පාස­ලට දරු­වන් එකතු කර ගන්නේ. ඒත් මම විදු­හ­ල්පති වුණාට පස්සේ මට අවශ්‍ය වුණා මෙම පාසල අපූරු පාස­ලක් කරන්න. ඒ වගේම ආද­රය මේ පාසලේ වැපි­රී­මට.

දව­සක් ලස්සන සිද්ධි­යක් වුණා. හැම අවු­රු­ද්දේම අපේ පාස­ලට පළමු ශ්‍රේණි­යට දරු­වන් ඇතුළු වෙන කොට මවු­පිය රැස්වී­මක් තියෙ­නවා. ඒදා මවු­පිය රැස්වී­මේ දී මම කිව්වා මගේ හීනය ජපන් කතා­වක එන‘කෝබේගේ‘ අපූරු පාසල් සංක­ල්පය මෙහි ඇති කිරී­මයි කියලා. මගේ කතා­වෙන් පස්සේ එක්තරා පියෙක් මාව හමු­වෙන්න ආවා. ඇවිත් කිව්වා මට හරිම ආසයි සර්ගේ කතා­වට. මම මේ පාසලේ එක වස­රට ඉල්ලු­ම්පත් දැම්මේ දැමිය යුතු නිසයි. මේ පාස­ලට එවන්න හිතා­ගෙන දැම්මා නෙමෙයි. ඒත් මම අද සර්ගේ කතා­වෙන් පස්සේ හිතා­ගත්තා මගේ දරුවා මේ පාස­ලට ඇතු­ළත් කළ යුතුයි කියා. එහෙම කියලා මේ තාත්තා මගෙන් තවත් ඉල්ලි­මක් කළා.

මම පරි­ග­ණක ඉංජි­නේ­රු­ව­ර­යෙක්. මගේ දරුවා අපූරු හැකියා තියෙන දරු­වෙක් කියලා අවු­රුදු තුනේදි ලෝක සිති­යමේ සියලු රට­වල් පෙන්වපු හැටි වීඩියෝ කළ පට­යක් මට පෙන්වුවා. එදා මගේ ගුරු ජිවි­තයේ විශාල අභි­යෝ­ග­යක් ඇති වුණා කියලා මට දැනුණා. මට තේරුණා මේ පාසලේ පහ­සු­කම් අනුව මෙවැනි දරු­වෙ­කුට මොන­වද කරන්න පුළු­වන් කියලා. ඒත් මම අඩිය ආප­ස්සට ගත්තේ නැහැ. මේ දරුවා මේ පාස­ලට ආභ­ර­ණ­යක් වෙයි කියලා හිතා­ගෙන මම මේ දරුවා වෙනු­වෙන් මේ පාසල වෙනස් කරන්න අධි­ෂ්ඨාන කර ගත්තා” විදු­හ­ල්ප­ති­තුමා පැවැ­සිය.

කුඩා දරු­වකු විසින් පාස­ලක් ඉදි­රි­යට ගෙන යෑමේ වෑයම ඇරැ­ඹෙන්නේ එසේය.

දිනක් ප්‍රභා­ස්වර පුතුගේ පෙර පාසලේ ප්‍රද­ර්ශ­න­යක් විය. අනෙ­කුත් දරු­වන් පුංචි පුංචි නිමැ­වුම් කරද්දි ප්‍රභා­ස්වර ප්‍රද­ර්ශ­නය වෙනු­වෙන් දුරේ­ක්ෂ­යක් හා ස්පීක­ර­යක් සාදා ඉදි­රි­පත් කළේය. අන­තු­රුව සාමාන්‍ය පෙළ දරු­වෙ­කුගේ දැනු­මින් මේ පුංචි පුතු දුරේ­ක්ෂයේ ක්‍රියා­කා­රි­ත්වය අපූ­රු­වට පැහැ­දිලි කළේ අසා සිටි­න්නන් මවි­ත­යට පත් කර­ව­මිනි.

“මම හිතුවා මේ දරුවා ඉදි­රි­යට ගෙන යන්න පුළු­වන් හොඳම ක්‍රමය තමයි පාසලේ චෙස් ක්‍රිඩාව ආරම්භ කිරීම කියලා. ඒත් චෙස් ගුරු­ව­ර­යෙ­කුට විශාල විය­ද­මක් යන නිසා මම මගේ ගෝල­යකු ගෙන්න ගෙන මේ පාසලේ චෙස් ආරම්භ කළා. මේ දරු­වව ඒවට යොමු කළා. ඉන් පස්සේ මොහු අපේ පාසල නියෝ­ජ­නය කර­මින් අන්තර්ජාතික චෙස් තර­ගා­වලි දෙකක් දිනලා පාස­ලට කීර්ති­යක් ගෙනාවා. අද ප්‍රභා­ස්වර එක්ක චෙස් අදින්න මේ පළාතේ කිසි කෙනෙ­කුට බැහැ”

විදු­හ­ල්ප­ති­ව­රයා තම පාසලේ දීප්ති­මත් සිසු­වාගේ හැකි­යාව අගය කරන්නේ එලෙ­සිනි. අද මේ පුංචි පුතාගේ චෙස් ජය­ග්‍ර­හ­ණය චෙස් භාර ආචා­ර්ය­ව­ර­යා­ටද අභි­යෝ­ග­යකි. විටක මේ දරු­වාට ‍චෙස් ඉගැ­න්වී­මද තර­මක් අභි­යෝ­ග­යකි. පාසල් අව­සා­න­යට පෙර පෙළ පොත් දෙන විට දින දෙකෙන් තුනෙන් පොත් සියල්ල කියවා හමාර කර­න්නට මේ පුතු අතිදක්ෂය. ඔහුට යළිත් කියා දෙන්නට ගුරු­ව­ර­යාට දෙයක් ඉතු­රුව නැත. පාසල් නිවා­ඩුව ආරම්භ වන විට ඉන්ද්‍ර­ජිත් තමන්ට වඩා ඉදිරි වසර පන්ති­වල පෙළ­පොත්ද කිය­ව­න්නට පටන් ගනියි. දින ගණන් පන්ති පාඩු වුවද පැමිණි එක් දිනක ඔහු ඒ සියල්ල ග්‍රහ­ණය කර­ගන්නේ පාඩු­වක් නොව­න්න­ටය.

“පුතා ඉප­දිලා මාස 8න් අකුරු කිය­ව­න්නට පටන් ගත්තා. මාස 4න් වචන උච්චා­ර­ණය කර­න්න­ටත් පටන් ගත්තා. අපිට හරි පුදුම හිතුණා. සම­හර දව­ස්ව­ලට පුතා භාවනා කර­නවා. පුතාට මොනවා හරි කියලා දෙන්න ඕනෑ එක් වරයි. එක පාරෙන්ම එයා හැම දේම ග්‍රහ­ණය කර­ග­න්නවා. මම හැම­දාම හව­සට පුතාත් එක්ක එයාගේ අම්මා එක්ක­ගෙන එන්න යනවා. ඒ යද්දි පුතා මගෙන් ආව­ර්තිතා වගුව ගැන අහ­නවා. මම එයාට ටිකෙන් ටික ඒවායේ නම් කියලා දුන්නා. එත­කොට පුතා පළමු වසර. එක දව­සක් එයා නොන­ව­ත්වාම මේ ආව­ර්තිතා වගුවේ මූලද්‍රව්‍ය කියා­ගෙන ගියා. හැමෝ­ටම පුදු­මයි. විදු­හ­ල්ප­ති­තු­මායි මමයි බැලුවා මේ වගේ දරු­වකු එහෙම කියන ලෝක වාර්තා­වක් මීට කලින් කවුරු හරි පිහි­ටු­වලා තියෙ­න­වාද කියලා. ඉන්දි­යාවේ දරු­වෙක් තමයි වාර්තා­වක් තබා තිබුණේ. ඒත් අපේ දරුවා ඊට වඩා බාල නිසා අපි දරුවා වෙනු­වෙන් ලෝක වාර්තා­වක් සඳහා ඉල්ලුම් පත්‍ර­යක් දැම්මා. ඒ 2015 දි.

අන්ති­මේදි අපේ දරුවා ඒ ලෝක වර්තා­වට තේරුණා වගේම අඩුම කාල­ය­කින් ආව­ර්තිතා වගුව කිය­වන ලෝක වාර්තා­වත් පුතාට හිමි වුණා. එක පිට ලෝක වාර්තා දෙකක්ම පුතාට හිමි වුණා. පුතාට අංක එකේ සිට බින්දු සිය­යක ඉල­ක්ක­මක් දක්වා එක දිගට නොන­ව­ත්වාම ගණින්න පුළු­වන්. දරුවා ඒ විදි­යට ගණින්න පටන් ගත්ත­හම අපි බැලුවා, මේ සම්බ­න්ධ­යෙන් මීට කලින් ලෝක වාර්තා පිහි­ටුවා තියෙ­න­වද කියලා.

එහෙම වාර්තා­වක් තියලා තිබුණේ නැහැ කියලා දැක්ක­හම විදු­හ­ල්ප­ති­තුමා අපිත් එකතු වෙලා ඒ ලෝක වාර්ත­ව­ටත් ඉල්ලුම් පතක් දැම්මා. අන්තිමේ එයත් ලෝක වාර්තා­වක් අත­රට එක්වුණා” ප්‍රභා­ස්ව­රගේ පියා කාමින්ද කරු­ණා­නා­ය­කය සිය පුතුගේ හැකි­යාව හා දක්ෂ­කම් ගැන පව­සන්නේ අප­මණ සතු­ටුනි. පරි­ග­ණක ඉංජි­නේ­රු­වකු වන කාමින්ද හා හා වර­ලත් ගණ­කා­ධි­කා­ර­ව­රි­යක වන ඔහුගේ බිරිය සිය පුතුගේ ඉදිරි ගම­නට නොමඳ සහා­යක් දෙති.

වරෙක මේ පුංචි පුතාට පොතක් ලිය­න්නට සිත් විය. පෙර පාසලේ දුරේ­ක්ෂ­යක් නිප­දවූ මේ පුංචි ප්‍රභාස්වර නොපෙ­නෙන ලෝකයේ ග්‍රහ වස්තූන් අපූ­රු­වට උග­ත්තේය. එය ඔහුගේ විනෝ­දාං­ශ­යක් වන්නට විය. අන්ත­ර්ජා­ලයේ ඉංග්‍රිසි වැඩ­ස­ට­හන් නිරී­ක්ෂ­ණය කරන ඔහු කියන දේ එක්ව­රම ග්‍රහ­ණය කර මකත තියා ගත්තේය. පාසල් පළමු වසර වන විට ආතර් සී ක්ලාක් මහ­තගේ පොත් පත් සියල්ල ප්‍රභා­ස්වර කියවා අව­සන්ය.

“මේ වන විට ලෝකයේ ළාබා­ලම ප්‍රබ­න්ධ­කයා සිටියේ බ්‍රසී­ලයේ. නමුත් මීට කලින් ලොව කිසිම දරු­වෙක් විද්‍යා ප්‍රබ­න්ධ­යක් ලියා නැහැ. ප්‍රභා­ස්වර විද්‍යා ප්‍රබ­න්ධ­යක් ලිව්වා. අපි එයත් ලෝක වාර්තා­ව­කට එක් කළා. ලොව ළාබා­ලම විද්‍යා ප්‍රබ­න්ධ­කයා ලෙස. ඒ එක වස­රේදි. ඒ කාල­යේම ප්‍රභා­ස්වර පුතා කවි පොත­කුත් ලිව්වා. එය­ටත් ලොව ළාබා­ලම කාව්‍ය රච­කයා ලෙස ලෝක වාර්තා­වක් හිමි වුණා. ඒ කියන්නේ පුංචි කාල­යේම ලෝක වාර්තා පහක් තැබුවා. ඊට පස්සේ මේ දරුවා දෙක වස­රේදි පොතක් ලිව්වා. හතර වස­රේදි ඊ පොතක් ලිව්වා” විදු­හ­ල්පති කිනි­ගම මහතා වැඩි දුර­ටත් පැවැ­සීය.

“පුතා සෛල ගැන ඉගෙන ගන්න හරිම ආසයි.” තාත්තා ආඩ­ම්බ­ර­යෙන් පව­සන්නේ සිය පුතුගේ අපූරු හැකියා ගැනය. අප පුතා දැන­ට­මත් උසස් පෙළ ජිව විද්‍යා පොත් කිය­ව­නවා. ඒ ගැන ඉගෙ­න­ගන්න එයාට තියෙන්නේ ලොකු ආසා­වක්. එයා ඔන්ල­යින් ඔස්සේ පසුගිය දවස්වල හාවඩ් විශ්ව­වි­ද්‍යා­ලය මඟින් කරන සෛල ජීව විද්‍යා ඩිප්ලොමා පාඨ­මා­ලාව හැදෑ­රුවා. ඒ වගේම අපේ පුතා හරිම ආසයි පිට සක්වළ ජිවින් ගැන අධ්‍යා­නය කරන්න. පුතා ඒවායේ ස්වරූ­පය, ග්‍රහ­ලෝ­ක­වල පිහි­ටීම මෙන්ම ඒවායේ ස්කන්ධ­යන් ගැන ප්‍රායෝ­ගි­කව හැදෑ­රීම් කර­නවා තනි­වම”

විදු­හ­ල්ප­ති­ව­රයා දරු­වාගේ දක්ෂ­කම් හා ඔහුගේ හෙට දවස පිළි­බඳ අප හා පැවැ­සුවේ මෙලෙ­සිනි.

“මේ වගේ දරු­වෙ­කුට ශිෂ්‍ය­ත්වය ලිවීම ඔරොත්තු නොදෙන දෙයක්. එයාගේ දැනුම ගොඩාක් පුළුල් නිසා ශිෂ්‍යත්ව වගේ ප්‍රශ්න පත්‍ර­ය­කට පිළි­තුරු ලියන්න අමා­රුයි. ඒත් මේ දරුවා අපි විභා­ග­යට තිය­නවා. ඒ වගේම ලබන වස­රේදි හෝ ඊළඟ වස­රෙදි පෞද්ග­ලික අපේ­ක්ෂ­ක­යකු ලෙස මේ දරුවා සාමාන්‍ය පෙළ විභා­ග­යට වාඩි කර­ව­නවා. අද­ටත් මේ ශිෂ්‍යයා සාමාන්‍ය පෙළ විෂ­ය­යන් ගැන හොඳ දැනු­ම­කින් ඉන්නේ. සම­හර විට ශිෂ්‍ය­ත්ව­යෙන් පස්සේ මේ දරුවා අන්තර්ජාතික විභා­ග­ව­ලට පම­ණක් පෙනී සිටි­න්නත් පුළු­වන්. ඉදිරියේදී මේ දරුවා ආචාර්ය උපාධියකට ද පෙනී සිටීමට නියමිතයි.”

සියල්ලෝම දැන් බලා සිටින්නේ ප්‍රභා­ස්ව­රගේ හෙට දවස ගැනය. ප්‍රභා­ස්ව­රගේ ලෝකය පුළුල්ය. පන්ති කාම­රයේ දැනුම ඉක්මවා ගොස් සිටින ඔහු දැන් අලුත් දැනුම සොයයි. හැම විටම ලෝකය පිළි­බඳ තොර­තුරු සොයයි. දැන් ප්‍රභා­ස්වර ගමේ පාසලේ ඉගෙන ගනි­මින් සිය හැකියා තවත් ඔප මට්ටම් කර ගන්නවා පම­ණක් නොව, සිය පාසලේ නාමය ලොවට රැගෙන යයි.

සේයාරූ- කැලුම් ලිය­නගේ

අදහස්