නෙඵම් විල | සිළුමිණ

නෙඵම් විල

මහ­පාරේ මනු­ස්ස­කම

කුලී ත්‍රිරෝද රිය අතුරු පාරක් ඔස්සේ නග­රය බලා යමින් සිටියේ ය.

පොදි­යක් කිහි­ලි­ගන්වා මල්ලක් එල්ලා ගත් විය­පත් මාතා­වක් පාරට නැමී ඊට අත දැම්මා ය.

රියේ වේගය බාල කළ රියැ­දුරු තරු­ණයා පසුපස අසුන දෙස කණ්ණා­ඩි­යෙන් බැලුවේ ය. එහි හිඳ සිටියේ වැඩි­හිටි මහ­තෙකි.

‘මහ­ත්තය අර­ය­වත් දාගෙන යමුද?‘

‘කර­ද­රයි. අපි යං‘

ඒ පිළි­තු­රත් සමඟ ගමන යළි වේග­වත් විය.

පැය බාග­ය­කට පමණ පසු ත්‍රිරෝද රිය යළිත් ඒ පාරේ ම කුලී ගම­නක් යමින් සිටියේ ය.

එවර ද අර විය­පත් මව ඊට අත දැමීම නිසා රියේ ගමන බාල විය. තරුණ රියැ­දුරු කණ්ණා­ඩි­යෙන් ඇතු­ළත බැලුවේ ය. සිටියේ තරු­ණි­යකි.

‘නංගි අපි අර­ය­වත් දාගෙන යමුද?‘

‘මට පරක්කු වෙනව අයියෙ යං‘ ඒ පිළි­තු­රත් සමඟ රියේ ගමන යළි වේග­වත් විය.

තවත් අඩ හෝරා­ව­කට පමණ පසු ඒ ත්‍රිරෝද රිය ඒ පාරේ ම එමින් සිටියේ ය.සුපු­රුදු පරිදි අර විය­පත් මව එවර ද ඊට අත දැම්මා ය.

කණ්ණා­ඩි­යෙන් ඇතු­ළත බැලූ රියැ­දුරු ගේ නෙත ගැටුණේ ටියු­ෂන් පන්ති­ය­කට යමින් සිටි පොඩි දරු­වෙකි.

‘බබා, අපි අර ආච්චි­වත් නග්ග­ගෙන යමුද?‘

දරුවා කැමැ­ත්තෙන් ම අසුනේ පසෙ­කට වි ඉඩ දුන්නේ ය.

රිය නැවැත්වූ රියැ­දුරු එය විය­පත් මව සිටි තැනට රිවස් කළේ ය.

‘අනේ පුතේ මටත් ටවු­මට යාගන්ඩ පුළු­වන්ද?‘

‘නගින්ඩ ආච්චි අම්මෙ‘ රියැ­දුරු කීවේ ය.

අතින් කටින් එල්ලා­ගෙන සිටි විය­පත් මව රියෙහි හිඳ සුසු­මක් පිට කළා ය.

‘අනේ පුතේ අද මේ පාරෙ දුවන බස් එක කැඩි­ලලු. අත කැඩෙ­නකං වාහ­න­ව­ලට අත දැම්ම. පුතාගෙ විත­රයි හිත උණු උණේ. මගෙ පුතා­ලට රත්න­ත්තරේ පිහි­ටයි!‘

‘මොනව කර­න්ඩද ආච්චි අම්මෙ. අපිත් මේ හයර්නෙ දුවන්නෙ. යන කෙනා කැමති නං විත­රයි අපිට තව කෙනෙක් නග්ග ගන්ඩ පුළුවං වෙන්නෙ. මීට කලි­නුත් ආච්චි අම්ම මට දෙසැ­ර­යක් අත දැම්ම. ඒත් ඒ වෙලාවෙ හිටි අය නග්ග ගන්ඩ කැමති වුණේ නෑ. මේ පුංචි බබා විත­රයි කැමති වුණේ. මට නෙමේ එයාට පින් දෙන්ඩ!‘

විය­පත් මව කට පුරා සිනාසී දරු­පැ­ටියා ගේ හිස පිරි­මැද්දා ය.

‘අනේ මගෙ රත්තරං දරු පැටි­යව දෙයියො බලා­ගන්ඩ ඕනැ. හොඳ දෙම­ව්පි­යන් ගෙ හොඳ දරු­වෙක්. පුතා හොඳට විභාග පාස්වෙලා හොඳ ලොකු මහ­ත්තේක් වෙන්ඩ ඕනැ‘

කිලෝ­මී­ටර් කිහි­ප­යක දුර ගෙවූ ත්‍රිරෝද රිය නගර මුව­වි­ටට ළං වූයේ ය.

‘ආච්චි අම්මෙ කොහෙන්ද බහින්නෙ?‘ රියැ­දුරු තරු­ණයා ඇසුවේ ය.

‘නුව­රට යාගන්ඩ පුළුවං බස් එක­කට නැග­ගන්ඩ පුළුවං තැනකිං බැහැ­ග­ත්තොත් ලේසී පුතේ‘

අදාළ බස් නැව­තු­මක් කිට්ටුව ම තිබිණ. ඇය එතන බැස්සූ රිය සිය ගමන යන්නට ගියේ ය.

තවත් පැය­කට වැඩි කාල­ය­කට පමණ පසු ත්‍රිරෝද රිය අර බස් නැව­තුම ළඟින් යමින් තිබිණ. ත්‍රිරෝද රියැ­දු­රුට එදෙස බැලුණේ නික­මට ය. අච්චි අම්මා පෙනෙ­න්නට නොවූවා ය. ඇය යන්නට ඇතැයි ඔහුට සිතිණ. එහෙත් ඇගේ ගමන් මල්ල එතන බිම තිබෙනු දුටු ඔහු වහා රිය නවතා බස් නැව­තු­මට එබී බැලුවේ ය. අච්චි අම්මා පාළු බස් නැව­තුමේ දිගෑදී කොට බිත්ති­යට වාරු වී සිටියා ය.

‘ආච්චි අම්මෙ! ආච්චි අම්මෙ! ඇයි මේ?‘

රියැ­දුරු තරු­ණ­යාගේ උස් හඬින් ගැස්සුණු විය­පත් මව ඇස් හැර බැලුවා ය.

‘කල­න්ත­යක් අල්ලන්ඩ වගේ ආව පුතේ. ඉතිං ටිකක් ඇල වුණා‘

ත්‍රිරෝද රියැ­දුරු ගේ හිත දා ගියේ ය. ඔහු සිය රියේ වූ වතුර බෝත­ලය ගෙන ඇයට ඉන් ටිකක් බොන්නට දී ඉති­රි­යෙන් මූණ කට සෝදා ගන්නට කීවේ ය.

‘දැං තමයි පුතේ ඇඟට හයි­යක් ආවෙ.‘ විය­පත් මව නැඟිට ගත්තා ය.

‘ආච්චි අම්ම ඔය වය­සට තනි­යම ගමන් යන එක හරි මදි. කෝ නැද්ද දරුවො?‘

‘දරුවො ඉන්නව හතර දෙනෙක්ම. පුත්තු දෙන්නයි දූරු දෙන්නයි. මේ ආවෙත් බාල එකීගෙ දරුව බලල යන්ඩ. මනු­ස්සය රට ගිහිංනෙ. ඉතිං ඒකි තනි­ය­මනෙ‘

‘අාච්චි අම්ම කා ළඟද ඉන්නෙ? ‘

‘වැඩි­මලී ළඟ. ඒ අහිං­ස­කීගෙ මිනිහ දාල ගියානේ. ඒකි රස්සා­වට යනව. මං දරුවො බලා ගන්නව‘

‘එත­කොට පුත්තු?‘

‘බාලය නං වල්වෙලා ගියා. උගෙං වැඩක් නෑ. ලොකු එකා තමයි මාසෙ­කට සැර­යක් හොරෙන්ම ඇවිත් කීයක් හරි අත­මි­ට­ මො­ළෝල යන්නෙ‘

‘ඇයි හොරෙන් එන්නෙ?‘

‘නෑ ඉතිං එයා කසාද බැඳල ඉන්නෙ ලොකු පවු­ල­කින්නේ. එයා පවු­ලට බයයි. මට ඇවිත් කිය­නව අම්මව මං සල්ලි ගෙවන නිවා­සෙ­කට බාර දෙන්නං කියල. අනේ කොහො­මද පුතේ මං මේ දුක්වි­ඳින දූරුයි මුනු­බු­රොයි දාල ගිහිං නිවා­සෙ­කට වෙලා සැප විඳින්නෙ?‘

‘දැං ආච්චි අම්ම කොහෙද මේ යන්නෙ?‘

‘නුවර. වැඩි­ම­ලීගෙ ගෙදර. නුවර ඉඳ­ලත් පැයක් බස් එකක යන දුර‘

මෙවිට ම වාගේ නුවර බලා යන බස­යක් පිඹ­ගෙන එනු දුටු ත්‍රිරෝද රථ රියැ­දුරු පාරට පැන දෑතම ඔසවා එය නැවැත්වීය.

බස් රියැ­දුරු තරු­ණයා කවු­ළු­වෙන් පිට­තට හිස දා බැලුවේ කේන්ති­යෙනි.

‘අනේ මචං, අර ආච්චි අම්මව නුව­රින් බස්සපං! අපෙත් ආච්චි සීයල ඉන්න­වනෙ බං‘

ඒ ආයා­ච­න­යට බස් රියැ­දුරු තරු­ණයා ගේ කේන්තිය පහ විය.

‘ඔන්න ඔය ආච්චි අම්මව නග්ගව ගන්ඩ! වෙලාව පනි­නව. ඉක්මන් කරන්ඩ!‘ රියැ­දුරු කොන්දො­ස්ත­රට කෑගැ­සුවේ ය.

විය­පත් මවද නංවා ගත් බසය වේග­යෙන් ගොස් නොපෙනී ගියේ ය.

ත්‍රිරෝද රථ තරු­ණයා සිය රියට නැගුණේ මිනි­ස්කම වෙනු­වෙන් තම උර මත වැටුණු මහා වග­කී­මක් ඉටු කිරී­මෙන් ලද සතු­ටිනි.

අන­න්‍ය­තාව සඟවා ගැනී­මට කැමැති සිළු­මිණ පාඨ­ක­යෙකු විසින් යොමු කරන ලද සට­හ­නක් ඇසු­රෙනි.

නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.

අදහස්