ජනාධිපති කවුරුද කියලා තීරණය කරන්නේ අපි | සිළුමිණ

ජනාධිපති කවුරුද කියලා තීරණය කරන්නේ අපි

වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට අදාළ සමුද්‍ර ගොඩ කිරීම පසුගියදා නිමා වුණා. එහි ඉදිරි වැඩ කටයුතු පිළිබඳ ඔබට කිව හැක්කේ කුමක්ද?

‘වරාය නගරය’ කියන අදහස මුලින් ම අන්තර්ගතව තිබුණේ 1998 දී ඇති කරපු කොළඹ නාගරික සැලැස්මේයි. ඒ අවස්ථාවේ තිබුණේ වර්තමාන වරාය අධිකාරියට අයත් රැජන ජැටිය කොළඹ දකුණු වරායට අරන් ගිහින් වරාය ඇතුළේ ම නගරයක් බිහි කිරීමයි. ඒ කියන්නේ තිබෙන ගොඩබිමේ ම නගරයක් බිහි කිරීමයි. ඊට පස්සේ 2002 වසරේදී ‘යළි පුබුදමු ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළේදී සිංගප්පූරු සමාගමක් සමඟ එක්ව බස්නාහිර පළාත සංවර්ධනය කිරීමට මහා සැලසුමක් ඇති කළා. එහිදී ඔවුන් යෝජනා කළේ කොළඹ දකුණු වරායට පහළින් මේ නගරය ඉදි කරන්නයි. ඒකට විද්‍යාත්මක හේතුවකුත් තිබුණා. ඒ තමයි මුහුද යටින් වැලි පරය තල්ලු වෙන්නේ දකුණෙන් උතුරට. ඒ නිසා දකුණු වරායට දිය කඩනයක් එක් කළ විට ඉබේම වැලි එකතු වන නිසා එම ප්‍රදේශයේ නොගැඹුරු මුහුදක් ඇති වෙයි කියා කල්පනා කළා. ඒ නිසා ඒ අදහස නැවතුණා. ඊට පස්සේ 2011 දී පමණ දකුණු වරාය ඉදි කිරීමට අවශ්‍ය දිය කඩනය ඉදි කළා. ඒ ආසියානු සංවර්ධන බැංකුවේ උදවු ඇතිවයි. දකුණු වරායේ දකුණු පර්යන්තය හදන්න චීන සමාගමක් පැමිණියා. ඉන් පසුව වරාය නගරයේ පැරැණි සැලැස්ම ඒ අය දැකලයි 2014 රජයට යෝජනාවක් ගෙනාවේ. ඒ අවස්ථාවේ ජනාධිපතිවරණයකටත් සූදානම පැවැති නිසා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කලබලෙන් මේක ආරම්භ කළා.

කලබලෙන් ඇරැඹූ නිසා ශ්‍රී ලංකාවට අවාසි සහගත ලක්ෂණ එහි අඩංගු වුණාද?

ඔව්. ව්‍යාපෘතිය පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදුව තිබුණේ නෑ. පාරිසරික අධ්‍යයනයක් කර තිබුණේ නෑ. ඉඩම් සින්නක්කරව දීමේ ප්‍රයත්නයක් තිබුණා. මේවා සංවිධානය කළේ වරාය අධිකාරියෙන්. ඒ වගේ ම මේ භූමිය චීනයට අයත් ස්වෛරීය භූමියක් වන බවට ප්‍රශ්නයක් පැනනැගුණා. මේ නිසා පරිසරවේදීන්, ධීවරයන් විශාල විරෝධතා ආරම්භ කළා. මේක වෙනම දිවයිනක් වෙලා කැසිනෝ ගහන, ගණිකා මඩම් පවත්වන සල්ලාල දිවයිනක් බවට පත් වෙයි කියන බය සමාජයට තිබුණා. කොහොම වුණත් 2015 මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලනයෙන් පසු මෙහි වැඩ කටයුතු අත්හිටුව‍‍ූවා. පසුව මේ ගැන සොයන්න අජිත ද කොස්තා මහතාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කළා.‍ එතුමා නිර්දේශ ගණනාවක් දුන්නා. ඒ අනුව මෙහි වැඩකටයුතු නැවතුණා. චීන සමාගම ඒ වෙනකොටත් වරාය නගරයේ වැඩ කටයුතු ආරම්භ කරලා යි තිබුණේ. පසුව මේක රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් බවටත් පත් වුණා. අවසානයේදී කලින් අත්සන් තබන ලද ගිවිසුම සංශෝධනය කිරීමට තීරණය වුණා. විධිමත් පරිසර අධ්‍යයනයක් කරන්නත්, සින්නක්කර ඉඩම් දීම නතර කරන්නත් කැසිනෝ ස‍ූදු හෝ සල්ලාල ක්‍රියා හෝ මෙහි ස්ථාපිත නොකරන්නත් මූල්‍ය නගරයක් ලෙස මේ භූමිය ප්‍රයෝජනයට ගන්නත් චීනය එකඟ වුණා. ඒ අනුව මේ ව්‍යාපෘතිය 2016 අගෝස්තු 16 අප යළි ඇරඹුවා.

වරාය නගරයේ ඉදිරියේදී සිදු කිරීමට නියමිත වැඩ කටයුතු ගැන යමක් ප්‍රකාශ කළොත්...

ඊළඟට මෙහි ඇළ මාර්ගයක් ඉදිකිරීමේ කටයුත්තක් තිබෙනවා. මෙහි මධ්‍ය උද්‍යානයේ වැඩ කටයුතුත් ඉදිරියේදී අරඹනවා. ඒ වගේ ම මෙහි ඉඩම් කොටස් 74ක් තිබෙනවා. ඉන් ඉඩම් කොටස් හතරක් මූලික වශයෙන් මේ වසරේදී ආයෝජනයට විවෘත කරනවා. ඉන් එක් කොටසක් චීන සමාගමට අයත්. එහි අපි මූල්‍ය පරාදීසයක් ඇති කරන්න බලාපො‍රොත්තු වෙනවා. ඒක තට්ටු හැටක ගොඩනැගිලි තුනක්. ලෝකයේම තිබෙන අන්තර්ජාතික බැංකු, මූල්‍ය ආයතන ඉදිකිරීම සඳහා බ්‍රිතාන්‍යය, ජර්මනිය, ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, ජපානය, සිංගප්පූරුව, හොංකොං, තායිවානය ඇතුළු බොහෝ රටවලට ආයෝජන කරන්න ආරාධනා කරනවා. ලක් රජයට අයත් කොටස් තුනක් අපි අරඹනවා. අන්තර්ජාතික පාසලක්, රෝහලක්, අන්තර් ජාතික ප්‍රමිතියෙන් යුතු සම්මන්ත්‍රණ ශාලාවක් මෙහි පිහිටුවූවා. මේ ව්‍යාප‍ෘතිය 2040 දක්වා ක්‍රියාත්මකයි. මෙයට අවශ්‍ය විදුලිය, ජලය සැපයුම සහ අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාදාමය සඳහා නව නීති පද්ධතියක් හඳුන්වා දෙන්න බලාපො‍රොත්තු වනවා.

මේ ඉඩම් ප්‍රමාණය අපේ රජයට අයිති ඉඩම් කොමසාරිස් ජනරාල්ට අයිතියි කියලා ගැසට් කරනවා. ඊට කැබිනට් අනුමැතිය ලැබුණා. ජනාධිපතිවරයා තමයි මේ ඉඩම්වල බලධාරියා. ජනාධිපතිවරයා මේ ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියට පවරනවා. නාගරික සංවර්ධන අධිකාරිය මෙය විශේෂ නාගරික සංවර්ධන කලාපයක් බවට නම් කරනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් මේ බිම් කොටස කොළඹ දිස්ත්‍රික්කයේ කොටසක් හැටියට, ලංකාවේ කොටසක් හැටියට නම් කරනවා. ඉදිරියේදී සැහැල්ලු දුම්රිය පද්ධතියත් මෙතනට ගේනවා. අධිවේගී මාර්ග පද්ධතියට මේ බිම් කොටස් යා කරනවා.

දෙහිවල - ගල්කිස්ස නගර කේන්ද්‍ර කරගනිමින් තවත් සමුද්‍ර නගර ව්‍යාපෘතියක් ඇරඹීමට සැලසුම් කර තිබෙන බවකුත් පැවසෙනවා...

ඔව්. අපේ සමුද්‍ර නගර ව්‍යාපෘති දෙකක් තිබෙනවා. ඒ දෙකම අනාගතයට අයිතියි‍. කොල්ලුපිටියේ සිට දෙහිවල - ගල්කිස්ස දක්වා තීරය අතිශයින් ජනාකීර්ණ වී තිබෙනවා. එය දැන් පුළුල් කරන්න අමාරුයි. ඒ නිසා ගාලු මුවදොර පිටියත් සමඟ වෙරළ එහාට ගෙන යන්න අප බලාපොරොත්තු වෙනවා. මේ සඳහා වන ශක්‍යතා අධ්‍යයනය ‘නාරා’ ආයතනය මඟින් මේ දිනවල කරගෙන යනවා. ඒ වගේ ම ඊට සාපේක්ෂව පරිසර අධ්‍යයනයකුත් කරගෙන යනවා. මෙහි ශක්‍යතා අධ්‍යයනයේ දී එය ඵලදායි දෙයක් ලෙස තීරණය වුව හොත් එහි ඉදිකිරීම් කටයුතුත් මේ වසරේ අරඹනවා.

මෙහි ඉදිකිරීම් කටයුතු කරන්නේ ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ද? එහෙමත් නැති නම් විදෙස් ඉංජිනේරුවන්ද?

අපට සෑහෙන අත්දැකීමක් ලැබුණා.‍ ඒ නිසා අප බලාපොරොත්තු වෙනවා සමුද්‍ර නගරයට ඉඩම් සංවර්ධන සංස්ථාව සම්බන්ධ කරන්න. අපේ අදහසක් තිබෙනවා කැලණි ගඟ ආශ්‍රිතව තිබෙන කිඹුලා ඇළ ප්‍රදේශයේ ජනතාවට විධිමත් නිවාස ලබා දීලා බ්ලූමැන්ඩල් කුණු කන්ද තිබෙන ප්‍රදේශවලටත් සංවර්ධන සැලැස්මක් ගේන්න. වරාය නගරය නිසා වසර 200 ක් ගංගාවලින් මුහුදට ගිය වැලි අපි නැවත ලංකාවට ලබාගත්තා. මේක හරියට කරගත්තොත් සමුද්‍ර ඛාදනය වළක්වා, අලුත් වෙරළ තීර ඇති කිරීමේ හැකියාව ලැබෙනවා.

තාක්ෂණ නගර ව්‍යාපෘතියෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?

මෙහි අදහස් දෙකක් තිබෙනවා. පළමුවැන්න අපේ ආර්ථික උපාය මාර්ගය. 1977 ට පෙර අප උත්සාහ කළේ ආහාරවලින්, කර්මාන්තවලින් රට ස්වයංපෝෂිත කර ගැනීම. ඒකට කිව්වේ ආනයන ආදේශන ආර්ථිකයක් කියලයි. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් අපනයන ආර්ථිකයක් හදන්න හැදුවා. අපනයන සැකසුම් කලාප ආවේ ඒ අනුවයි. ආනයන ආදේශනයෙන් අප යම් ජයග්‍රහණයක් අත් කරගත්තා‍. 1960 ගණන්වල රටේ සහල් අවශ්‍යතාවෙන් වැඩි ප්‍රමාණයක් පිට රටින් ගෙනාවේ. දැන් එහෙම අවශ්‍යතාවක් නෑ. 2010 වසරේ සිට ලංකාව සහලින් ස්වයංපෝෂිතයි. අපනයන සැකසුම් කලාපවලින් අප විශාල ජයග්‍රහණ ලැබූ බව ඇත්ත‍. ඒත් දැන් මේ වාසිය අපෙන් ඉවත් වීගෙන යනවා. බංග්ලිදේශය අපට වඩා ඇඟලුම් අංශය හොඳින් කරනවා. දැන් අපට ලාභ ශ්‍රමය නෑ. දැන් අපේ උපාය මාර්ගය විය යුත්තේ කුමක්ද? අප යෝජනා කරන්නේ අපට දැන් තියෙනවා බුද්ධිය, උගත්කම, උගත් ජනතාව. මෙය අප අපේ රටේ සංවර්ධනයට යොදවාගන්න ඕනෑ. ඒකයි මම නිතරම කියන්නෙ ‘බඩවල් කෝටි දෙකක් ‍ගැන නොවෙයි, මොළවල් කෝටි දෙකක් ගැන හිතන්න’ කියලා.

මා දකින හැටියට පළමු කාර්මික විප්ලවයේදී යන්ත්‍රෝපකරණ ඇති වුණා. දෙවැනි කාර්මික විප්ලවයේදී ෆොසිල ඉන්ධන, ගල් අඟුරු හමු වුණා. තුන්වන කාර්මික විප්ලවයේදී පරිගණකය ඇතිවී තොරතුරු තාක්ෂණය ශක්තිමත් වුණා. හතර වැනි කාර්මික විප්ලවයේදී නැනෝ තාක්ෂණය, ජාන තාක්ෂණය, ආහාර තාක්ෂණය, ජීව තාක්ෂණය, චන්ද්‍රිකා තාක්ෂණය, හරිත තාක්ෂණය වගේ විවිධ තාක්ෂණ දහස් ගණනක් නවෝත්පාදනය මඟින් ඇති වෙනවා. අපේ රට අවට තායිවානය, දකුණු කොරියාව වගේ රටවල් මේවායෙන් ඉදිරියට ගියා. අද ලෝකයේ ලොකු සමාගම් තමයි ෆේස්බුක්, ගූගල්, ඇමසන් වගේ ඒවා. මේවා නිර්මාණකරුවන්ගේ නිර්මාණ මඟින් බිහි වෙලා තිබෙන්නේ. ලංකාවේ ලොකුම ධනවතා නවෝත්පාදනය මඟින් බිහි කළ අයෙක්. ඒත් ඔහු ජීවත් වන්නේ ලංකාවේ නොවෙයි.

අරුවක්කාරු සනීපාරක්ෂක කසළ අංගණය ජනතා අයිතියට පත් කරන්නේ කවරදාද?

ඒක දැන් ලෑස්තියි. මට කියන්න කනගාටුයි. මේ රටේ ඉතාම ජරා දේශපාලනය ගෙන ගියේ කසළවලට‍. 1996 දී කොළඹ නගරයේ කසළ ප්‍රශ්නය විසඳන්න කරු ජයසූරිය මහතා ඉදිරිපත් වුණා. ඔහුට ඊට ඉඩකඩ දුන්නේ නෑ‍. දිනේෂ් ගුණවර්ධනලා ‘කොළඹ කුණු අපට එපා’ කියලා විරෝධතා පැවැත්වූවා.

අද එහි ප්‍රතිඵලයක් විදියට තමයි බ්ලූමැන්ඩල් කුණු කන්ද ඇති වුණේ. 2008 දී කුණු ප්‍රශ්නයට විද්‍යාත්මක විසඳුමක් වග ප්‍රදේශයේ දී ලබාදෙන්න උත්සාහ කළා. එයත් දිනේෂ් ගුණවර්ධන මහත්තයලා උද්ඝෝෂණ කරලා කඩාකප්පල් කළා. මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටිලා තිස් තුන් දෙනෙක් මැරුණට පස්සේ කසළ ගෙනියන්න හැදුව හැම පළාතේ ම ‘කොළඹ කුණු අපට එපා’ කියා වි‍‍රෝධතා පැවැත්වූවා. මා මුල් වී හදපු දොම්පේ කසළ රඳවනයට එදා විරුද්ධ වුණා. හැබැයි අද ඒක තමයි ලංකාවේ තිබෙන එකම විද්‍යාත්මක කසළ රඳවනය.

ආගමික නායක‍යන් පවා තමන්ගේ ආගමික ස්ථානයේ කසළ ටික කළමනාකරණය නොකර මේ විරෝධතාවලට නායකත්වය දෙනවා. අරුවක්කාරු කියන ප්‍රදේශය පුත්තලමේ සිට කිලෝ මීටර් හතළිහක් පමණ ඈතින් පිහිටි පරිසරය සම්පූර්ණයෙන් ම විනාශ කර හිරිගල් කඩන්න මහ වළවල් තුනක් හෑරූ බිම් කඩක්. සිමෙන්ති නිෂ්පාදනයට හුනුගල් කඩන්න ඕනෑ නිසා සිමෙන්ති නිෂ්පාදනය සිදු වන තුරු අරුවක්කාරුවලට මේ තත්ත්වයට මුහුණ දෙන්න සිදු වනවා.

දැන් මේ යෝජනාව ඉදිරිපත් කර තියෙන්නේ නිකම්ම ගිහින් කුණු දමා එන්න නොවෙයි; විධිමත් කසළ රඳවනයක් ඇති කර, අප-ජලය කළමනාකරණය කර, ගෑස් ආදිය එළියට අරන්, කසළ වෙන් කරලා කසළ ප්‍රතිචක්‍රීයකරණයකට යොමු කරන්නයි. දැන් කොළඹ නගරයේ කසළ 90% ක් විතරම වනේ කරලයි බාර ගන්නේ. ඒ කසළ කෙරවලපිටිය අංගණයේදී කොම්පෝස්ට් බවට පත් කරනවා. ඒ වගේම කසළ පුච්චලා විදුලිය නිපදවන්න පියවර ගන්නවා. මේ අතරේ කොල්ලුපිටියේ පදිංචි දේශපාලනඥයකු පුත්තලමේ ගිහින් විරෝධතා පවත්වනවා. කසළ රදවනයේ සිට කිලෝමීටර් සීයක් විතර ඈත ඉන්න අය තමයි මේ විරෝධය පාන්නේ. පුත්තලමේ නගර සභා, ප්‍රාදේශීය සභා 13ක් තිබෙනවා. ඒ අයට පුළුවන් මෙතනට කුණු බාර දෙන්න.

බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ඔබ අපේක්ෂා කරන්නේ කුමක්ද?

ශ්‍රී ලංකාවේ අද ප්‍රධාන ප්‍රශ්න තුනක් තිබෙනවා. ඒ තමයි රටේ එක පැත්තකට ජලය වැඩියි, තව පැත්තකට ජලය නෑ. දෙවැනි ප්‍රශ්නයතමයි මාර්ග තදබදය. 1950 ශ්‍රී ලංකාවේ වාහන තිබුණේ 5000 යි. අද අසූ ලක්ෂයක් තිබෙනවා. සෑම පුද්ගලයන් පස්දෙනෙකුගෙන් එක් අයෙකුට ම කවර හෝ වාහනයක් තිබෙනවා. දැන් එන්න එන්නම අපේ පොදු ප්‍රවාහනය හැකිළිලා ගිහින්. මේකට හරියන විදියට පාරවල් හදන්නයි අප උත්සාහ කළේ. ඊට අපේ ප්‍රාග්ධන වියදමෙන් 45%ක් ආයෝජනයකර තිබෙනවා. ප්‍රශ්නය විසඳිලා නෑ. මාර්ග තදබදය විසඳීමට එකම මඟ දුම්රියයි, බස්රියයි ශක්තිමත් කිරීමයි. අපේ අමාත්‍යාංශය ඊට කැප වනවා. අප බලාපොරොත්තු වනවා ශීඝ්‍රගාමි බස් රථ සේවයක් හඳුන්වා දෙන්න. ඒ බස්රථ සේවයයි දුම්රියයි රථ වාහනයි සියල්ල සම්බන්ධ වන බහුවිධ ප්‍රවාහන මාර්ග ඉදිකරනවා. එහි ආදර්ශයක් තමයි කොට්ටාවේ ඉදි කරන්නෙ. කඩවත, කටුනායක, බත්තරමුල්ල, පිටකොටුව ආදි ප්‍රදේශවලත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ඇති කරනවා.

කඩුවෙල සිට කොළඹ බලා යන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ කටයුතුවල වත්මන් තත්ත්වය කොහොමද?

එය දුම්රිය මාර්ගයක් ඉදිකරනවා වගේ එකක් නොවෙයි. නව දුම්රිය පද්ධතියක් තමයි ඇති කරන්නේ. මේ දුම්රිය අප මිලදී ගන්න ඕනෑ. දුම්රිය ස්ථාන හදන්න ඕනෑ. නඩත්තු මධ්‍යස්ථාන හදන්න ඕනෑ. දුම්රිය ගාල් කරන මධ්‍යස්ථාන හදන්න ඕනෑ. සම්පූර්ණ වෙනස් කාර්යයක් නව දුම්රිය සේවයක් මෙහි ක්‍රියාත්මක කරන්න ඕනෑ. එහි ශක්‍යතා අධ්‍යයනය සිදු කර අවසන්.

ඔබ හැම විටම පවසනවා දේශපාලනයට කුසලතාව අවශ්‍යයි කියා. ඇයි එහෙම කියන්නේ?

දැන් බලන්න සංගීත ක්ෂේත්‍රයට කුසලතාව ඕනෑ. ඒක තමයි වික්ටර් රත්නායකගේ පුතාට සින්දු කියන්න පුළුවන් වුණත් ඔහුට වික්ටර් වගේ මහා සංගීතඥයෙක් වෙන්න බැරි. ක්‍රීඩා ක්ෂේත්‍රයේ කුසලතාව තියෙන්න ඕනෑ. ඒක තමයි අර්ජුන රණතු‍ංගගේ පුතාට ක්‍රිකට් ගහන්න පුළුවන් වුණත් ඔහුට අර්ජුන රණතුංග වෙන්න බැරි. සිනමාවටත් කුසලතාව ඕනෑ. ඒක තමයි ගාමිණි ෆොන්සේකාගේ පුතාට රඟපාන්න පුළුවන් වුණත් ඔහුට ගාමිණි තරම් ප්‍රතාපවත් රංගධරයෙක් වෙන්න බැරි වුණේ. මේක නැත්තේ දේශපාලනයේ. අද දේශපාලනයේ ප්‍රාදේශීය සභාවේ ඉඳලම තාත්තා පුතා හදනවා; නැතිනම් තමන්ගේ නෝනව හදනවා; දුවව හදනවා. ඒ අයට කුසලතාව තියෙනවාද නැද්ද කියන එක වැදගත් නෑ. ලංකාවේ තාත්තලාට වඩා දක්ෂ පුතාලා ඉන්න පුළුවන්. අම්මලාට වඩා දක්ෂ දුවලා ඉන්න පුළුවන්. හැබැයි අහවලා මගේ තාත්තා කියලා විශේෂ මනාපයක් ලැබෙන ක්‍රමය නම් ලංකාවේ වෙනස් විය යුතුයි.

ජනාධිපතිවරණයට කියවෙන අපේක්ෂකයන්ගේ නම් අතර ඔබේ නමත් පැවසෙනවා. මොකද හිතන්නේ?

මෙහෙමයි. මේ රටේ ජනාධිපතිවරණයකට අපේක්ෂකයන් ප්‍රධාන පක්ෂ දෙකේ දේශපාලන ධාරාවලින් තමයි එන්න ඕනෑ. එතකොට තමයි 50% ලබාගන්න පුළුවන්. හැබැයි මා පැහැදිලිවම කියනවා 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමට පාර කැපුවේ අපි සහ ජවිපෙ. 2015 දී පරද්දන්න බෑ කියපු මහින්දව අප පරාජය කළා. හැබැයි ඉදිරියේදී ජනාධිපතිවරණයකින් කවුරුද දිනන්නේ කියලා තීරණය කරන්නේ අපි. අපි අරගලයෙන් මතු වූ මිනිස්සු.

Comments