පොහොට්ටුවේ ජනාධිපති ? | සිළුමිණ

පොහොට්ටුවේ ජනාධිපති ?

'පොහොට්ටුවේ ජනාධිපති දෙසැම්බර් මස 09 වනදා මෙරට ජනාධිපති ලෙස දිවුරුම් දෙනවා'

බැසිල් රාජපක්ෂ එහෙම කියන්නේ අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 50ක් වැයකර මාතර බ්‍රවුන්හිල් ප්‍රදේශයේ මිලට ගත් ඉඩමක් ගැන චෝදනා කරමින් පවරා තිබෙන නඩුවකට පෙනී සිටින්නට ආ විට ය. මුළු මහත් ශ්‍රීලංකාව ම 'රාජපක්ෂලා' බවත් ඒ නමින් තොර පැවැත්මක් මේ කොදෙව්අවට නැති බවත් සමහරු සිතති. එනයින් ගත් කල මුළුමහත් රට ම රාජපක්ෂලා ය. එහෙත් සමහරු නොදන්නා කාරණය වන්නේ රාජපක්ෂලාගෙන් තොර ලොවක් පතන මිනිස්සු ලක්ෂ 62ක් මෙරට සිටින බව ය. ඒ තබා ඔවුන් උදාරම් ලීලාවෙන් බෙරිහන් දෙන 58 ලක්ෂයේ පවා බහුතරය විකල්ප සොයන බව ද ඔවුහූ නොදනිති. සියලුදෙනා 'වහලුන්සේ' හැඟීම නිවැරදි නැත. එහෙත් රාජපක්ෂලා හිතන්නේ 'හතරදෙනාම රාජයෝගීන්; කියා ය. බන්දුල කී පරිදි 'පොල්ලෙලි' වර්ගයේ පිරිස් එහෙම හිතුවොත් විනා සිහිබුද්ධිය අංශුවක් හෝ තිබෙන්නකු කිකලකවත් එහෙම හිතන්නේ නැත. ඉකුත් ජනාධිපතිවරණ සමයේ මහින්දගේ මැතිවරණ සටනේ නියමුවා වූයේ බැසිල් ය. එතෙක් මෙතෙක් මැතිවරණය ව්‍යාපාරයක කැතම ප්‍රචාරක යාන්ත්‍රණය කළේ බැසිල්ගේ මෙහෙයවීමෙනි. පත්තරකාරයෙක් ය යන උදාරම් වාක්‍ය නිතර ජප කරන ඩලස් ද එහි ප්‍රමුඛයකු විය. අතිශය අපවිත්‍ර මැතිවරණ ව්‍යාපරයේ ඩලස් රඟපෑවේ 'අපිට මොකද අපි අටසිල් උපාසක, ඉබ්බන්නේ පුච්චන්නේ අනික් පිට' වර්ගයේ හැසිරීම ඩලස්ගේ ස්වභාවය ය. පොදු අපේක්ෂකයාගේ රුවට සමාන අනුරුවක් පවා යොදා ගනිමින් 'කුජීත' මැතිවරණයක් ඔවුහූ කළහ. එය යුද්ධයක් නම් පරමාණු භාවිත කරන පන්නයේ වැඩකි.

එහෙව් මැතිවරණය පරාජය වෙත්ම බැසිල් රට පැන්නේ ය. පොදු අපේක්ෂකයාට පැන යන්නට ගුවන්තොටුපල සූදානම් කරන්න යැයි වේදිකාවේ මොර දුන් 'බෙලෙක්කඩේ වීරයෝ' බැසිල් පළා යද්දී කොහේ හිටියා ද නැත.

පොහොට්ටුවෙන් ජනාධිපති බිහිකරන්නට යන බැසිල් කවුද? බැසිල් කවදත් ශ්‍රීලනිප හිතවාදියකු නොවේ; ඔහු එදා සිට ම එහෙම ය. මහින්දගේ යුගයේ ශ්‍රීලනිපයේ ජාතික සංවිධායකයා ලෙස වසර විස්සකට පසුව පක්ෂය පරාජය කළේ ඔහු ය. ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපතිවරයකු ජනාධිපතිවරණයෙන් පරාජය කරන තැනට පක්ෂය මෙහෙයවීමේ 'කුප්‍රකට' ඉතිහාසය බැසිල් සතු ය.

ඉතිහාසයේ මහින්දගේ ආණ්ඩුවේ බරපතල වගකීම් ගත්තේ බැසිල් ය. එවක ඔහුගේ දැඩි ඊර්ෂ්‍යාවට සහ පළිගැනීමට ලක්වූ ප්‍රමුඛයා අමු ශ්‍රීලංකාකාරයෙක් වූ මෛත්‍රීපාල සිරිසේන ය. ශ්‍රීලනිපයත් මෛත්‍රීත් දෙකක් නොව එකක් තරම් සමීප ය. එහෙව් මෛත්‍රීට එරෙහිව ලොකු ම කැපිල්ල දැම්ම බැසිල් කවදාවත් ශ්‍රීලනිපය රකින්නේ නැත. එවක වෙනත් පක්ෂ වලින් ආණ්ඩුව පිරවූ මූලිකයන් මහින්ද සහ බැසිල් ය. ආණ්ඩුවේ සීයට අසූවක බලය රාජපක්ෂලාත් අනෙක් බලය වෙනත් පක්ෂවලින් බාගත් අයටත් බෙදුවේ ඔවුන් ය. ශ්‍රීලනිප අරටු වලට ලැබුණේ තෙල් බෙහෙත් ඇමැතිකම් ය. සමහරුන්ට රාජපක්ෂලා මාර ය.

හැබැයි කරපු දූෂණ නිමක් නැත. සුන්දර වචන ආලවට්ටම් යොදා කළ විනාශය වසර සියයකටවත් වෙනස් කළ නොහැකිය.

කෙතරම් දූෂණ වංචාවන්හි නිරත වුව ද නීතියේ ඇති හිඩැස් ප්‍රයෝජනයට ගනිමින් රිංගා යෑමට ඇතැමුන් දක්ෂ ය. ශ්‍රීලනිපය වෙනුවෙන් මෛත්‍රීලා කාපු කට්ට බැසිල්ලා දන්නේවත් නැත.හැත්තෑව දශකය මුල් භාගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රට පාලනය කරමින් සිටි කාලයයි.

කෙසේ වෙතත් ඒ වනවිට මෛත්‍රී උසස් පෙළ හදාරන ශිෂ්‍යයෙකි. එහෙත් ඔහු දේශපාලනයේ සක්‍රීය තරුණයෙකි. එක් අතකින් ශ්‍රි ලංකා නිදහස් පක‍ෂ සභාගය රටේ ආර්ථීකය සම්බන්ධ ව බලවත් වෙනසක් අත්හදා බලමින් සිටි අතර, අනෙක් අතින් මෙරට පළමු තරුණ කැරැල්ලට තරුණයෝ පිඹුරුපත් සකසමින් සිටි අවධියකි.

තරුණයෝ කැරැල්ලකට අර අදිමින් සිටින වග තේරුම් ගෙන සිටි රජය පෙබරවාරි මාසයේ පක‍ෂයේ ජාතික සම්මේලනය අම්පාරේ දී පැවැත්වීය. කෙසේ වෙතත් මෙරට පළමු තරුණ කැරැල්ල ඔය අතර රට පුරා ආරම්භ විය.

1971 අප්‍රේල් 05 වෙනි දා චේගුවේරා කල්ලිය පොළොන්නරු පොලිසියට පහර දුන්නේ ය. මේ ප්‍රහාරයෙන් පසු පෙරට වඩා ආරක‍්ෂක කටයුතු කෙරෙහි රජය අවධානය යොමු කළහ. පවතින තත්ත්වය පිළිබඳ ව පොළොන්නරුව දිසාපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට මෛත්‍රී ඇතුළු පිරිසක් කච්චේරියට ගිය අතර, එහි දී ඔවුන්ට සිදු වූයේ වදින්න ගිය දේවාලය ඉහේ කඩා වැටුණු සිදුවීමකි. දිසාපති කාර්යාලයේ සිටි පොලිසිය මෛත්‍රී ඇතුළු පිරිස අත්අඩංගුවට ගත්තේ චේගුවේරා ලේබලය අලවමිනි. ඒ වනවිට පොළොන්නරුව රාජකීය විදුහල් ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මෛත්‍රී ගැන ඔත්තුව දී තිබුණේ ඒ විදුහලේ විදුහල්පතිවරයා ය.

ඒකාන්තව ම වෙඩි තබා මරා දමන බව පවසා මෛත්‍රී ඇතුළු පිරිස 28 කණුව අසල කනත්ත අද්දරට රැගෙන ගිය පොලිසිය ඔවුනට මරු වැළඳ ගන්නට සූදානම් වන ලෙස අණ කළහ. අණ නිකුත් වන බව දැනගත් මෛත්‍රී ඇතුළු පිරිස ජීවිත ආශාව අත්හැර දැම්මේ ය.

කෙසේ වෙතත් ඝාතනය කිරීමේ තීරණය වෙනස් කළ පොලිසිය මෛත්‍රීලා රිමාන්ඩ් කරනු ලැබීය. ඔවුන් මුලින් පොළොන්නරුව බන්ධනාගාරයේත්, පසුව මඩකලපුව බන්ධනාගාරයේත් රඳවා තබන්නට නියෝග ලැබිණ. තමා ප්‍රාණසරි ආදරයකින් බැඳුණු පක‍ෂය රටේ පාලන බලය දරද්දී ම නොකළ දේශපාලන වරදකට දස මසක් කල්දේරම් බතේ රස විඳින්නට මෛත්‍රීට සිදු විය. ඔහු උසස් පෙළ ලීවේ මාංචු දාගෙන ඇවිත් ය. ඔය දවස්වල බැසිල්ලා හිටියේ මැතිනිට එරෙහිව කුමන්ත්‍රණ කරමින් ය. හිරෙන් එළියට ආව මෛත්‍රී ප්‍රසිද්ධියේ රැලියකදී මෙහෙම කීවේය.'මේක අපි හදපු ආණ්ඩුව.

පාසල් නිල ඇඳුම ඇඳගෙන අපි මේ ආණ්ඩුව වෙනුවෙන් දේශපාලනය කළා. විස්කිරිඤ්ඤා කකා, උගුර ලේ රහ වෙනකල් කතා කරලා අපි හදපු ආණ්ඩුව අපිට දුන්න තෑග්ග ඇටකටු කඩලා, තුවාල කරලා, හිරේට දාපු එක. මම හැමදාම ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ.' ඒ මෛත්‍රී ය. 'පොහොට්ටුවෙන් ජනාධිපති හදන බව' කියන්නේ බසිල් ය. යටිකූට්ටු දේශපාලනයේ නූතන පිකාසෝ බැසිල් ය. හැබැයි බැසිල් ද අනෙක් කවුරුත් වගේම 'පොරක්' වන්නේ බලය තියෙන කොට ය.

ඉකුත් ඔක්තෝබර් සිට 'සෙල්ලම් ආණ්ඩුවට' උවමනා බහුතරය හදන්නට ගොස් ද බැසිල් නා ගත්තේය. 2005 මහින්ද දිනන්නේ මෛත්‍රීලා නිසා ය. මොනවා වුණත් එදා විමල් ද බරක් ඇද්දේය. බැසිල් ලංකාවට එන්නේ ඊට පස්සේ ය. එතෙක් ඔහු අමෙරිකන්කාරයෙකි. දැනුත් එහෙම ය. හැබැයි බැසිල් 2005 ඇවිත් අනුන්ගේ පිට්ටනිවල රඟන්නට පටන් ගත්තේ ය.

අන්තිමට බෙරේ පලුවකුත් නැතිව ආපහු අමෙරිකා යන්නට සිදු විය. පොහොට්ටුවෙන් ජනාධිපතිවරු ගේන්න හදන්නේ එහෙව් බැසිල් ය.'රාජපක්ෂලා නරකද?'එහෙම අහන කෙනකුට දෙන්න තියෙන්නේ එක උත්තරයකි. ඒ නරකයි කියන වචනේ කෙලෙසන්න එපා; ඒ තරමට ම රාජපක්ෂලා නරක ය. ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණු හතර බිමට සමතලාකොට දමා ඒ මත සොකරි නැටූ රාජපක්ෂලා හොඳයි කියනවා නම් නොවරදවාම ඔහුගේ මොළය පරීක්ෂා කළ යුතුය.

මානාභරණ

Comments