මැතිසබය කෙලෙසූ මන්ත්‍රීන්ගේ ඊළඟ ඉරණම | සිළුමිණ

මැතිසබය කෙලෙසූ මන්ත්‍රීන්ගේ ඊළඟ ඉරණම

 ඉකුත් වසරේ නොවැම්බර් 14,15,16 දිනවල ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයට කළු පැල්ලමක් එක් කරමින් පාර්ලිමේන්තු සභාගැබේ ඇතිවූ සිද්ධි සමුදාය පිළිබඳ විමර්ශන කමිටු වාර්තාව ආදාළ කමිටුව විසින් සකස් කර අවසන්ව ඇති බව වාර්තා වූයේ මේ සතියේය. ඒ කමිටු වාර්තාව තවමත් සභාගත කර නැති අතර, ඉදිරි සතියේ පාර්ලිමේන්තු සැසිවාරවලදී සභාගත කිරීමට කටයුතු සූදානමක් පවතින බවද වාර්තා වෙයි. මේ නිසා යම් යම් ආකාරයෙන් වාර්තා වූ තොරතුරු කිහිපයක් හැරෙන්නට සත්‍ය වාර්තාව මේ වන තෙක් මාධ්‍ය වෙත ලැබී නැත. මේ විමර්ශන කමිටු වාර්තාව පසුගියදා කථානායක කරු ජයසූරිය මහතාට ලබාදුන් අතර එය ඉදිරි කටයුතු සඳහා නොබෝ දිනකදී නීතිපතිවරයාට යොමු කිරිමට නියමිතව ඇතැයිද වාර්තා වෙයි.

පාර්ලිමේන්තුවේ හටගත් තත්ත්වය විමර්ශනය සඳහා කථානායකවරයා විසින් කමිටුවක් පත්කරන ලද්දේ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙනි. එහි අනෙකුත් සාමාජිකයන් වශයෙන් එජාප (පාම) රංජිත් මද්දුමබණ්ඩාර, එජනිස (පාම) චමල් රාජපක්ෂ, එජනිස (පාම) චන්ද්‍රසිරි ගජධීර, ජවිපෙ (පාම) බිමල් රත්නායක, දෙජාස (පාම) මාවෙයි සේනාධිරාජා යන පිරිස නම් කරනු ලැබූ අතර; එජනිසය නියෝජනය කරන චමල් රාජපක්ෂ හා චන්ද්‍රසිරි ගජධීර යන මන්ත්‍රීවරුන් එම කමිටුවේ කටයුතුවලට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කර තිබිණි. දෙසැම්බර් 12,20,21,27 හා ජනවාරි 3,8,11 යන දිනවල රැස් වූ මේ කමිටුවේ සෙසු සාමාජිකයෝ පාර්ලිමේන්තු සභා ගර්භයේ සියලු කැමරා දර්ශන මෙන්ම ඒ දිනවල පාර්ලිමේන්තු රැස්වීම් ආවරණය කළ සියලු විද්යුත් මාධ්‍ය නාලිකාවල ඇති සංස්කරණය නොකළ දර්ශනද නිරීක්ෂණය ලක් කළහ. එසේම මේ ගැටුමේදී පාර්ලිමේන්තු සභාගර්භයේ අලාභහානි වූ දේපළ පිළිබඳ තක්සේරු වාර්තාවක් දෙන ලෙස මේ කමිටුව තක්සේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තක්සේරුකරුගෙන් ඉල්ලීමක් කර තිබිණි. ඒ අනුව ප්‍රධාන තක්සේරුකරු විසින් ලබා දී ඇති හානියේ වටිනාකම රු 1,75, 000ක් වුවද නිෂ්පාදක නියෝජිත සී/ස හේලීස් ඇවෙන්රා (පෞද්) සමාගම දුන් ඇස්තමේන්තුව අනුව ශ්‍රව්‍ය උපකරණ ප්‍රතිෂ්ඨාපන වියදම රුපියල් 2,99,165.20ක්ද, මල නොබැඳෙන කූරු යළි සවි කිරීමේ රජයේ කර්මාන්ත ශාලා වියදම රු 29,670ක්ද වශයෙන් අලාභහානියේ මුළු වටිනාකම රුපියල් 3,28,835.20ක් යනුවෙන් තීරණය විය.

කමිටුව විසින් නොවැම්බර් 14,15,16 තෙදිනට අදාළ කණගාටුදායක සිදුවීම් වාර්තාගත කර තිබුණේ මේ ආකාරයෙනි:

2018 නොවැමබර් මස 14: “එදින සභාවේ කටයුතු ආරම්භ කිරීමෙන් මඳ වේලාවකට පසු ඇතැම් මන්ත්‍රීවරුන් සභා ගැබ මැදට පැමිණෙන අයුරුද සභා ගර්භයේ මැද සිට කථානායකතුමාට අපහාස වන අන්දමේ ප්‍රකාශ සිදු කරනු අයුරුද කථානායකවරයාට එරෙහිව තර්ජනාත්මක ලෙස හැසිරෙන අයුරුද නිරීක්ෂණය විය.

2018 නොවැම්බර් 15: “මන්ත්‍රීවරුන්ගේ ආවේගකාරි හැසිරීම් පසුව කලහකාරි තත්ත්වයක් දක්වා වර්ධනය වන අයුරුද එහිදී මන්ත්‍රීවරුන් දෙපිරිසක් අතර කායික ගැටුමක් ඇති වන අයුරුද නිරීක්ෂණය කළ කමිටුවට එම ගැටුම අවස්ථාවේ එක් මන්ත්‍රීවරයකු අත පිහියක් වැනි යමක් තිබුණු බවද නිරීක්ෂණය විය. එක් මන්ත්‍රීවරයකු කථානායකවරයාගේ මේසය මත ඇති මයික්‍රොෆෝනය ඇද-දමන අතර අනෙක් මන්ත්‍රීවරයකු එය කඩා-දමන ආකාරයද නිරීක්ෂණය විය“

2018 නොවැම්බර් 16:

“මේ අවස්ථාවේදී එක් මන්ත්‍රීවරයකු අත තිබූ යම් දියරයක් කථානායකතුමා මැදි කොට සිටි පොලිස් නිලධාරීන් දෙසට විසිකරන ආකාරයත් කමිටුව නිරීක්ෂණය කළේය. එම අවස්ථාවේදී කථානායකතුමාගේ මේසය මත ඇති මයික්‍රොෆෝනය කඩා ගලවාගත් එක් මන්ත්‍රීවරයකු එය කතානායකතුමා දෙසට විසි කරන ආකාරයද, ඉන් පසුව මේසය මත හා අසල තිබූ පොත්පත් හා විවිධ දේ කථානායකතුමා රැඳී සිටින දෙසට දමාගසනුද පෙනෙන්නට විය..“

මේ අතර එකී දින තුනේ පාර්ලිමේන්තු සභා ගර්භයේ ඇතිවූ නොසන්සුන්කාරි වාතාවරණය පිළිබඳව මේ වන විට වැලිකඩ පොලිස් ස්ථානය වෙත පැමිණිලි රාශියක් ලැබි ඇති අතර, ඒ සම්බන්ධයෙන්ද අවශ්‍ය සහාය දීමටද මෙම කමිටුව තීරණය කොට ඇත.

පාර්ලිමේන්තුවේ ඇති වූ මේ සිදුවීම් පෙළ පාර්ලිමේන්තු ඉතිහාසයේ මින් පෙර කවරදාක වත් ඇති වූවක් නොවේ. මින් පෙර විවිධ ගැටුම්කාරි සිදුවීම් ඇති වුවද ඒවා මෙතරම් දුර-දිග යන සිදුවීම් බවට පත් වූයේ නැත.

වැලිකඩ පොලීසියෙන් කරන ලද විමර්ශනයට අමතරව මෙම කමිටුව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 59 දෙනකු පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනතේ වගන්තිවලට එරෙහිව කටයුතු කර ඇති බවට වාර්තාවෙන් චෝදනා කර තිබේ. වැලිකඩ පොලිස් ස්ථානයේ පැමිණිලි 17ක් ගොනු කර ඇති අතර, සභා ගර්භයේ තිබූ රතු පැහැති දියර සාම්පලද අධිකරණ නියෝගයක් ලබා ගනිමින් රජයේ රස පරීක්ෂක වෙතද යවා ඇති බව මේ වාර්තාවේ සඳහන්ය. එසේම මේ අවස්ථාවේ ගැලරියේ සිටි පුද්ගලයන් 400කගෙන් කටඋත්තර ගත යුතු වුවද මේ වන විට සටහන් ප්‍රකාශ ලබාගෙන ඇත්තේ 100 දෙනකුගෙන් බවද වාර්තාව සඳහන් කරයි. මේ වාර්තාවට අනුව චෝදනා ලත් මන්ත්‍රීවරුන්ගේ නම්-ම්ද යම් ආකාරයකින් ප්‍රසිද්ධියට පත්ව තිබේ. පාර්ලිමේන්තු සීසීටීවී දර්ශන නැරඹීමෙන් අනතුරුව මේ තත්ත්වයන් නිර්මාණය කළ මන්ත්‍රීවරුන් හඳුනාගෙන ඇත. පාර්ලිමේන්තු සභාගර්භය මැද රැස්ව සිටි මන්ත්‍රීන්, කථානායකතුමාට අපවාදාත්මක වචන භාවිත කළ මන්ත්‍රීන්, කථානායක අසුන වටා රැස්ව සිටීමට මුල් වූ මන්ත්‍රීන්, පොදු දේපළට හානි කළ මන්ත්‍රීන්, කථානායකවරයාගේ අසුනේ වාඩි වී සිටි මන්ත්‍රීන්, කථානායක අසුන අසල සිට කථා පැවැත්වූ මන්ත්‍රීන්, කථානායකතුමා වෙත විවිධ ද්‍රව්‍ය එල්ල කළ මන්ත්‍රීන් මෙන්ම කථානායකවරයා සභාගර්භයට ඇතුළු වීම වැළැක්වූ මන්ත්‍රීන් වශයෙනි. එජනිසයේ මන්ත්‍රීවරුන් 54 දෙනකුගේ, එජාප මන්ත්‍රීන් 4 දෙනකුගේ සහ ජවිපෙ එක් මන්ත්‍රීවරයකුගේ නම් ඒ වාර්තාවේ සඳහන්ව ඇති බවට වාර්තා වෙයි. මේ මන්ත්‍රීන් 59 දෙනා අතුරින් විවිධ චෝදනා යටතේ මෙම වාර්තාවේ වැඩිම වාරයක් නම සඳහන් වන්නේ එජනිස (පාම) මන්ත්‍රී ප්‍රසන්න රණවීරගේ බව සඳහන් වෙයි. චෝදනා 12කට ඔහුගේ නම සඳහන් වී ඇති අතර, ඉන් අනතුරුව වැඩිම චෝදනා එල්ල වී තිබෙන්නේ එජනිසයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පද්ම උදයශාන්ත යන මන්ත්‍රීවරුන් දෙදෙනාට බවද වාර්තාවේ දැක්වෙන බව සඳහන්ය. කථානායකවරයා පත් කළ කමිටුවේ නිරීක්ෂණ අනුව, පාර්ලිමේන්තුවේ කලහකාරී සිදුවීම් සහ ඊට වගකිව යුත්තන් ලෙස කමිටුව හඳුනාගෙන ඇති බවට වාර්තාවන මන්ත්‍රීවරුන්ගේ නම් සමහරක් මාධ්‍ය විසින් එළි දක්වා තිබුණේ මෙසේය:

නොවැම්බර් 15 කථානායක මයික්‍රොෆෝනය කඩාදැමීම: (පාම) දිලුම් අමුණුගම සහ ආනන්ද අලුත්ගමගේ; කථානායකවරයාට ජලය ගැසීම, කුණු බාල්දියකින් දමාගැසීම, පොතකින් දමාගැසීම: (පාම) ඉන්දික අනුරුද්ධ; කථානායකවරයාට වතුර බෝතලයකින් දමාගැසීම: (පාම) මහින්දානන්ද අලුත්ගමගේ; කථානායකවරයාගේ අසුනට ජලය වත් කිරීම: (පාම) ප්‍රසන්න රණවීර; පිහියක් වැනි යමක් අත දැරීම: (පාම) පාලිත තෙවරප්පෙරුම සහ රන්ජන් රාමනායක; නොවැම්බර් 16 කථානායකවරයාගේ පුටුවේ අසුන් ගැනීම: (පාම) අරුන්දික ප්‍රනාන්දු; කථානායකවරයාගේ මේසය මත තිබූ මයික්‍රොෆෝනයකට හානි කිරීම, පුටුවක් පොලිස් නිලධාරීන් දෙසට විසි කිරීම, පොත් විසි කිරීම: (පාම) ජොන්ස්ටන් ප්‍රනාන්දු; පොලිස් නිලධාරීන්ට පහරදීම, ඔවුන්ට යම් දියරයක් දමාගැසීම: (පාම) ප්‍රසන්න රණවීර; පොලිස් නිලධාරීන් තල්ලු කර රාජකාරියට බාධා කිරීම, පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීම; (පාම) නිරෝෂන් ප්‍රේමරත්න; සෙංකෝලය තබන මේසය පෙරළා දැමීම: (පාම) නිශාන්ත මුතුහෙට්ටිගම සහ රන්ජිත් සොයිසා; තමන්ගේ සපත්තුවෙන් යමක් ගෙන වතුර කෝප්පයක් සමග මිශ්‍ර කිරීම, ගාමිණී ජයවික්‍රම පෙරේරා හා විජිත හේරත් යන මන්ත්‍රීවරුන් දෙසට දියරයක් දමාගැසීම: (පාම) පද්ම උදයශාන්ත බවද වාර්තා වෙයි.

මේ සිද්ධි දාමයට සම්බන්ධ ඇතැම් මන්ත්‍රීන් මින් පෙර අවස්ථාවලදීද පාර්ලිමේන්තු සභා ගර්භය තුළ විවිධ විනය විරෝධි ක්‍රියාවලට සම්බන්ධ වී ඇති බවත්, ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් කියනු ලැබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ මේ ආකාරයේ හැසිරීම් හා උද්වේගකර ක්‍රියා කිසි සේත් පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගැළපෙන්නක් නොවේ. කලහාකාරිව හැසිරෙන අවස්ථාවක වුව කථානායකවරයාගේ ආසනය වෙත ගමන් කිරීම, කථානායකවරයාට අපවාද හා තර්ජනය කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ මහත්මා ගතියට හානියක් වන්නේය. මේවායින් වන මූල්‍යමය හානිය කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ කීර්තිනාමයට මින් වන බලපෑම සුළු-පටු නොවේ. මේ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙය කවර හෝ ප්‍රජාතන්ත්‍රවාදි පාර්ලිමේන්තුවක් සම්බන්ධයෙන් වුව පිළිගත නොහැකි බවයි. ඒ දිනවල පැවැති දේශපාලන බල තුලනය පිළිබඳ අපහැදිලිතාව මත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පිළිබඳ මුළු ලෝකයේම අවධානය යොමුව තිබිණි. මෙරට මෙන්ම විදේශීය මාධ්‍ය ආයතනවලින් එය සජීව ලෙස ලොව පුරා ප්‍රචාරය වු අතර, විවිධ වෙබ් අඩවි ඔස්සේද ප්‍රචාරය විය.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට ස්ථාවර නියෝග යටතේ වරප්‍රසාද කිහිපයක්ම ඇත්තේය. ඒ අනුව පාර්ලිමේන්තුවේ ඔවුන් කතා කරන දෙයක් සම්බන්ධයෙන් කිසිදු අධිකරණයක පියවර ගත නොහැකිය. එසේම යම් මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවට පැමිණීමේදී හෝ බැහැරට යෑමේදී හෝ කිසිදු ලෙසකින් කිසිවකුට බාධාවක් කිරීමේ හෝ විමසීමේ අයිතියක්ද නැත. මේ අතර පාර්ලිමේන්තුවේ කටයුතු කරගෙන යමේදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන්ගේ විනය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ස්ථාවර නියෝග 77 සිට 80 දක්වා වගන්ති ඇත. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 77 පහත සඳහන් පරිදි වෙයි:

‘77(1) යම් මන්ත්‍රීවරයකු මූලාසනයේ අධිකාරිය නොතැකීම හෝ නිරන්තරයෙන්ම හිතාමතාම හෝ අන්‍යාකාරයෙන් පාර්ලිමේන්තුවේ වැඩ-කටයුතුවලට බාධා කිරීම මඟින් පාර්ලිමේන්තුවේ රීති අනිසි ලෙස භාවිත කිරීමේ වරද කරනු ලැබු විගසම ගරු කථානායක තුමා විසින් එම මන්ත්‍රීවරයා නම් කරනු ලැබූ කවර හෝ අවස්ථාවකදී ඒ මන්ත්‍රීවරයාගේ සේවය අත්හිටුවනු ලැබිය යුත්තේය.

77(2) එවැනි යම් යෝජනාවක් සම්මත වී ස්ථාවර නියෝග යටතේ යම් මන්ත්‍රීවරයෙකුගේ පාර්ලිමේන්තු සේවය අත්හිටුවන ලද්දේ නම්, එසේම එම මන්ත්‍රීවරයාගේ සේවය අත්හිටුවීම පළමු අවස්ථාවේදී සති දෙකකටද, එම සභා වාරයේම දෙවැනි අවස්ථාවේ සති තුනකටද, එම සභා වාරයේම තෙවැනි හෝ ඊට පසුව එළඹෙන කවර හෝ අවස්ථාවකදී සති හතරක් වශයෙන්ද විය යුත්තේය.

එම ස්ථාවර නියෝගවලට අනුව යමකු මූලාසනයට බාධා කරමින් පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කෙරේ නම් ඔහු තාවකාලිකව ඉවත් කිරීමට හෝ එසේත් නොගියේ නම් යෝජනා සම්මතයකින් පළමුවැනි අවස්ථාවේ සති දෙකකින් අත්හිටුවිය හැකි වන්නේය. එහෙත් මේ අවස්ථාවේ අය-වැය ඡන්ද විමසීමක් ඇත් නම් පමණක් ඒ සති දෙකක කාලය තුළ එම ඡන්ද විමසීමට පමණක් පැමිණිය හැකි වන්නේය. දෙවැනි වතාවේ එම අයම වරදක් හෝ වැඩි වාර ගණනක් කළේ නම් දඩුවම සති තුන සිට මාසය දක්වා ඒම දඬුවම දිග්ගැස්සෙයි. අලුතින් ඇති කළ ස්ථාවර නියෝගයන්ට අනුව සෙංකෝලය ඇල්ලීම්, එය උදුරාගැනීමට තැත් කිරීම ආදි වැරදිවලට කෙළින්ම මාසයක් දක්වා වරප්‍රසාද කමිටුව හරහා පාර්ලිමේන්තුව අත්හිටුවීමේ වරදක් වන්නේය. එයට හොඳම උදාහරණයක් වන්නේ පසුගිය දිනක ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාගේ මාසයක පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවීමය.

කලින් පැවැති වරප්‍රසාද පනත අනුව පසුගියදා මෙසේ අලාභ හානි සිදු කරන අයට විරුද්ධව පාර්ලිමේන්තුවට නෛතික පියවර ගත හැකි වුවද වත්මනේ ඒ තත්ත්වය නැති වූ අතර පාර්ලිමේන්තුවට සිදු ව ඇතතේ ස්ථාවර නියෝග යටතේ කටයුතු කිරීමත්ය. එම නිසා මේ පිළිබඳ වැඩිදුරටත් කටයුතු කිරීමේ අයිතියක් ඇත්තේ අධිකරණයටය. ඉහත සිදුවීම් සම්බන්ධයෙන් පිහිටුවූ මේ කමිටුවද ඉදිරිපත් කර ඇත්තේ නිර්දේශ පමණි. මේ නිර්දේශ කථානායකවරයාට යොමු වන අතර අනතුරුව ඔහු එය වරප්‍රසාද කාරක සභාවට යොමු කරයි. වරප්‍රසාද කාරක සභාව විසින් ඉදිරි පියවර ගැනීම සඳහා මෙය නීතිපතිවරයාට යොමු කර ඇත.

ඉන්දික අනුරුද්ධ, ගාමිණි ජයවික්‍රම පෙරේරා මෙන්ම වෙනත් සිවිල් සංවිධාන විසින් මේ සම්බන්ධයෙන්ද වැලිකඩ පොලීසියේ පැමිණිලි කර ඇති අතර, ඒවා සාමාන්‍ය නඩු අසන ක්‍රමවේදය යටතේ ඉදිරියේදී අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 4දී විභාග වෙයි. මේ වන විට වැලිකඩ පොලීසියද සිය මූලික විමර්ශන කටයුතු අවසන් කර සීඅයිඩියට භාර දී ඇති අතර සීඅයිඩීය හරහා අලුත්කඩේ අධිකරණයට කරුණු වාර්තා කර ඇතැයි වාර්තා වෙයි. මේ වාර්තාවේ අඩංගු කරුණු අනුව නඩු නිමිත්තක් ඇත් නම් නීතිපතිවරයා විසින් වෙනම වාර්තාවක් සකසනු ලබන අතර, එය ඉදිරියේ සාමාන්‍ය ක්‍රමවේද යටතේ මහාධිකරණයක විභාග වන්නේය. සාමාන්‍ය නීතියට අනුව පොදු දේපළ පනත යටතේ ආලාභය රුපියල් ලක්ෂයකට වැඩි නම් මහාධිකරණයේ එම නඩුව විභාග වන අතර, සැකකරුවන් ඉදිරිපත් කරනු ලබන්නේ මහේස්ත්‍රාත් අධිකරණයටය. නීති විශාරදයන්ගේ මතය අනුව මේ අලාභහානි කිරීම් පොදු දේපළ විනාශ කිරීම්වලට පාර්ලිමේන්තු පනත (බලතල හා වරප්‍රසාද) යටතේ පමණක් පියවර ගත හොත් ව්‍යාකුල තත්ත්වයක් ඇති විය හැකි බැවින් නීතියෙන් දඬුවම් කළ හැකි වරදක් සිදු කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඇත් නම් දණ්ඩ නීති සංග්‍රහය හා පොදු දේපළ පනත යටතේ පියවර ගත හැකි බවයි. එය එසේයැයි අධිකරණය විසින්ද තීරණය කෙරේ නම් ඉදිරියේදී පොදු දේපළවලට හානි කිරීමේ වරදට මේ පිරිස් හසු විය හැකි අතර, මෙහි අලාභය රුපියල් ලක්ෂයට වඩා වැඩි වීම හේතුවෙන් මේ සම්බන්ධ සියලු නඩු විභාග විය යුත්තේ මහාධිකරණයකය. නීතිපතිවරයා වෙත යොමුව ඇති වාර්තාවේ ඇතුළත් නම් කිහිපය හැරෙන්නට මේ වරදට සම්බන්ධ වූයේයැයි හඳුනාගත් අනෙක් පිරිසට විරුද්ධව ස්ථාවර නියෝග යටතේ ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂිතය.

මේ පිළිබඳ බොහෝ දෙනකු දෙගිඩියාවෙන් පසු වන්නේ මීට පූර්වාදර්ශ නැති නිසාය. මිරිස් කුඩුවලින් දමාගැසීම්, පුටුවලින්වලින් පහර දීම් මීට පෙර පාර්ලිමේන්තුවේදී දක්නට නොලැබුණු සිදුවීම් වන අතර, මීට පෙර ඇති වූ යම් යම් සිදුවීම් වුව මෙතරම් දුරදිග ගියේද නැත. 

Comments