“එකට සිටිමු” කවදාක හිනැහෙමුද ඒ රටේ! | සිළුමිණ

“එකට සිටිමු” කවදාක හිනැහෙමුද ඒ රටේ!

මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් සිය සමාජ දේශපාලන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ අංගයක් බවට පත් කර ගන්නා ලද ‘මතින් තොර රටක්’ සංකල්පය පිළිබඳ ව අද උතුරේ ජනතාවගේ අවධානය යොමු වී තිබීමද විශේෂයෙන් සිහිපත් කළ යුත්තකි. ග්‍රාමශක්ති ව්‍යාපෘතියේ ප්‍රගතිය කෙබඳුදැයි විමර්ශනය කිරීම සඳහා උතුරට ගිය ජනාධිපතිවරයා වට කර ගත් උතුරේ මව්වරුන් විසින් මෛත්‍රී ජනාධිපතිවරයාට කරන ලද එක් ආයාචනයක් වූයේ උතුර ගිල ගත් මත්ද්‍රව්‍ය අබිං, අරක්කු, ගංජා, කසිප්පු ආදියෙන් දවසින් දවස විනාශය කරා ඇදී යන තමන්ගේ ගම් බිම් හා ඒවාට ගොදුරු වූ තම දරුවන් බේරා දෙන ලෙස ය. මේ පිළිබඳ ව විග්‍රහයක් කළ ජනාධිපතිවරයා සඳහන් කළේ තමන් විසින් පසුගිය තුන් වසරකට නොඅඩු කාලයක සිටම උතුරේ සංචාරය කරන ලද බවත්, ඒ හැම සංචාරයකදී ම උතුරේ මව්වරුන් හැඬු කඳුළින් යුතුව අයැද සිටියේ අතුරුදන් වු තම දරුවන් සොයා දෙන ලෙස බවත් ය. එහෙත් අද ඒ මව්වරු තම දරුවන් ගොදුරු වී සිටින මත් උවදුර ඇතුළු අනෙක් විෂ මත්ද්‍රව්‍ය වලින් තම ගම් බිම් හා දරුවන් බේරා දෙන ලෙස අයදිති.

මව්වරුන්ගේ මේ ආයාචනය ඔවුන්ගේ හද පත්ලෙන් ම මතුවන්නක් බව නිසැක ය. රාජ්‍ය නොවන සංවිධාන වල හෝ මානව හිමිකම් සංවිධානවල මැදිහත් වීමෙන් උතුරේ අම්මලා අතට දුන් අතුරුදන් වුවන් පිළිබඳ විරෝධයේ සටන් පාඨය අද ඒ මව්වරුම පසෙක දමා සිටිති. හේතුව ඔවුන්ගේ දැස් අබියස පෙනෙන බිහිසුණු ම විපතකි. ඇස් පනාපිට ගම් දනව් විනාශ වෙමින් ගලා යන මත් වසංගතය ඔවුන්ගේ දැඩි අවධානයට යොමුව තිබේ. ඇත්ත වශයෙන්ම මෛත්‍රී ජනාධිපතිවරයා මතින් තොර රටක් ගැන කතා කරන්නේ මෝස්තරයක් ලෙස නොවේ. වෙන කතා කළ යුතු දෙයක් නැති තරමට රට දියුණු වී තිබෙන නිසා ද නොවේ.

අද මේ රට ගිලී සිටින සකල විධ අර්බුද අතර උඩින්ම තිබෙන ප්‍රබල ම හා භයානකම අර්බුදය මේ මත්කුඩු ජාවාරම හා ඒ සමඟ බැඳී තිබෙන වෙනත් විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය හා ඒවාට ඇබ්බැහි වී සිටින ජනකොටස් බව නිසැක ය. මෛත්‍රී ජනාධිපතිවරයා විසින් දින කීපයකට පෙර පොළොන්නරුවේ කරන ලද සංචාරයකදීත් අද දුප්පත්කම ජය ගැනීමට තිබෙන ප්‍රධාන අභියෝගය ලෙස හැදින්වූයේද මෙම මත්ද්‍රව්‍ය උවදුර ය. මේ රටේ ජනගහනයෙන් සියයට 40 ක් 50ක් පමණ ප්‍රමාණයක් දුප්පතුන් බවත්, එහෙත් ඒ දුගීභාවය දුරලීම සඳහා ප්‍රබල අභියෝගයක් වී තිබෙන්නේ අරක්කු, සිගරැට්, කසිප්පු වැනි මත් ද්‍රව්‍යවලට මුදල් වැය කිරීමක් බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබුණි.

මේ දිනවල සමාජ ජාලා ඇතුළු සියලු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල පුවත් මවන්නා බවට පත්ව සිටින කුප්‍රකට මත්ජාවාරම්කරුවකු හා අපරාධ පිළිබඳ චූදිතයකු ද වන මාකඳුරේ මධූෂ් සමග අනාවරණය වන මත් ජාල සබඳතා අපට පෙන්වා දෙන්නේ අද රටම නන්නත්තාර වී තිබෙන අකාරයයි. මත්ජාවාරම්වලට අමතරව මත්ලෝලීන් ගැනද ඇස් නිලංකාර කරවන පුවත් ද පා වෙමින් තිබේ. මාකඳුරේ මධුෂ් සමඟ සබඳතා පැවැත්වූ බවට විවිධ තරාතිරම් වල අයට චෝදනා ද එල්ල වී තිබේ. ඩුබායි හිර ගෙදරක රඳවා සිටින කලාකරුවන් ලෙස හඳුන්වන පුද්ගලයන් මෙන්ම දේශපාලනඥයන් ලෙස පිළිගන්නා චරිත ද මේ මත්කුඩු ජාවාරම් ජාලවලට මැදිවී සිටිතියි කියනු ඇසෙයි. අලි මදිවාට හරක් යැයි කීවා සේ අද කොකේන් භාවිතා කරන ඇමතිවරු ද සිටිතියි ආණ්ඩුවේ ම නියෝජ්‍ය ඇමතිවරයෙක් මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණි. අතේ පිච්චිය නැතිව සිටි සමහරුන්ට හිටි හැටියේ ප්‍රකෝටිපතියන් බවට පත්විය හැකි වූයේ මේ කුප්‍රකට මත්ජාවාරම්කාර මධුෂ් නිසාද යන සැකය ද හතර වටේ පාවෙමින් තිබේ. එසේම මාකඳුරේ මධුෂ්ට සම්බන්ධ මිතුරුන්, කාන්තාවන් හා දේශපාලනඥයන් ගැනද ඔවුන්ට අයත් චංචල හා නිශ්චල දේපොල වත්කම් ගැනද දිගට හරහට තොරතුරු ගලා යමින් තිබේ.

මේ තොරතුරු හා සබඳතා සියල්ල ම සත්‍ය නොවුවද ඒ සියල්ල අසත්‍යය ද නොවේ. ඒවා ක්‍රමයෙන් අනාවරණය වී ශාන්තුවරයන් ලෙස සිටින අයගේ වෙස්මුහුණු ගැලවී මෙම මත් ජාවාරම් නාටකය අවසන් වීමට තවත් කාලයක් අවශ්‍ය විය හැකිය. මේ වන විට මාකඳුරේ මධුෂ් ඩුබායිවලදී අත් අඩංගුවට ගැනීම පිළිබඳව හා එහි ගෞරවය බෙදා ගැනීමේ වාග් සංග්‍රාමයක් ද ඇරඹී තිබේ. එහෙත් රටටම පෙනෙන සත්‍යය නම් මධුෂ් අල්ලා ගත හැකි වූයේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට පොලිසිය භාරවීමෙන් පසුව බව ය. අපි ඒ විවාදයට මැදිහත් නොවෙමු. එහෙත් මත් ජාවාරමුන් සමඟ මුහුණට මුහුණ සටනක නිරතව සිටින රාජ්‍ය නායකයා මෛත්‍රි ජනාධිපතිවරයා බව රටම දන්නා කාරණයකි. පූස් පැටියකු මෙන් කාටත් හොරා මධුෂ් වැනි බරපතල අපරාධකාරයකු හා මත්කුඩු ෆැක්ටේරියක් බඳු යක්ෂයකු හීන් සැරේ මෙරටට රැගෙන ඒමට තිබුණු සැලැස්මක් ගැනද ඇසුණි. මේ වර්ගයේ ප්‍රහසන හා අත්භූත ජවනිකාවල සංස්කරණය නොවු කොටස්ද ජනතාව ඉදිරියේ විකාශය වෙමින් තිබේ. කොහොමත් ජයග්‍රහණයට පියවරු ගණනාවක් සිටිතියි පැරණි ප්‍රවාදයක්ද ඇත.

කෙසේ හෝ මෙරටේ බොහෝ දේවල් නරක් වී තිබෙන්නේත් නරක හැම දෙයක් සමඟම කුමන ආකාරයෙන් හෝ සම්බන්ධ වී තිබෙන්නේත් දේශපාලනය නිසා බව රහසක් නොවේ. මෑත අවදිය තුළ මෙරටේ කුප්‍රකට චරිත කීපයක් වූ බැද්දගාන සංජීව, සොත්ති උපාලි, ගෝනවල සුනිල්, වම්බට්ටා වැනි නම් සමග ගෑවුනු දේශපාලනඥයෝද වූහ. මේ හැර දේශපාලන චරිත සමග සම්බන්ධව සිටි තවත් ඒ වර්ගයේ අයද වූහ. මොවුන්ට අමතරව රටේ සාමාන්‍ය ජනතාවගේ අවධානයට ලක් වූ උතුවන්කන්දේ සරදියල්, මරුසිරා, මරදන්කඩවල යකඩයා, චොප්පෙ අයියා වැනි වෙනස් වර්ගයක චරිත ගණනාවක් වූහ. මේ චරිත ඉහත කී වර්ගයේ මත්ද්‍රව්‍ය, දූෂිත ජාවාරම් ආදියට සම්බන්ධ නොවූ බවද සඳහන් කළ යුතුය. එසේම ඔවුන් විසින් මෙහෙයවනු ලැබූ පාතාල කල්ලි ගැනද වර්තා නැත. එනිසා ඔවුන්ට ජනතාවගේ කැමැත්තක් ද තිබුණා විය හැකිය. කුමක් වුවත් අද මේ රටට ම විපතක් වී තිබෙන මත් ජාවාරමේ පාතාල මරා ගැනීම්, මහ මඟ වෙඩි හරඹ සමාජයට මෙන්ම ජනජීවිතවලටද තර්ජනයක් වී තිබේ.

මේ සියලු අභාග්‍ය සම්පන්න ප්‍රතිඵල මෙරටට ලැබී ඇත්තේ දේශපාලන සංස්කෘතියක් නැතිවීම හා සමාජ වටිනාකම් හෑල්ලුවට ලක්වීම නිසා ය. නිදහසින් පසු ගෙවී ගිය දසක හතක පමණ කාලය මුළුල්ලේ අපට රටට හා ජනතාවගේ ප්‍රගතියට අවශ්‍යවන සමාජ, දේශපාලන ආර්ථික හා සංස්කෘතික සැලැස්මක් සකසා ගත නොහැකි විය. දේශපාලන විරුද්ධවාදීකම් මත ක්‍රියාත්මක වූ ආණ්ඩුවලට අවශ්‍ය වුයේ බලයත්, බලය යොදා විරුද්ධ මතවාදීන් මැඬලීමත් පමණි. දේශපාලන අත පෙවීම් නොමැති කිසිදු ක්ෂේත්‍රයක් අද තිබේද? බොහෝ වෘත්තිකයන්, රාජ්‍ය සේවකයන් ඇතුළු විවිධ පිරිස් විසින් නිරන්තරව කරනු ලබන චෝදනාවක් වන්නේද තම සේවවාන් හා සේවා ස්ථාන නිසි පරිදි පවත්වා ගෙන යාමට නොහැකි බවය. දේපාලනඥයන්ගේ සෙවණ යට වැඩෙන දූෂිත ආධාරකරුවන්ගේ නියෝග හා මෙහෙයුම් රටට ශාපයක් වී තිබෙන බවද අපි දනිමු. කොළඹ වරාය පිළිබඳ ආන්දෝලනාත්මක සිද්ධිදාමය මෙහිදී මතක් වේ.

කෙසේ හෝ ආර්ථික ක්ෂේත්‍රයේ විද්වතුන් ප්‍රකාශ කරන්නේ නිෂ්පාදන අංශය යටපත් වූ ආර්ථිකයක් හා කෘෂිකාර්මික වර්ධනය අඩාල වූ රටක් අද තිබෙන බව ය. අද ජාතික ක්‍රම සම්පාදනයක් නැති බව ය. විවිධ ව්‍යාපෘති, ග්‍රාමීය සැලසුම් ගැන ඇමතිවරුන් ප්‍රකාශ කළත් ඒ කිසිවක් ආර්ථික ඵලදායිතාවක් නොමැති දේවල් බවද ඔවුහු කියති. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක තුළ පවත්නා ප්‍රකාශිත හා අප්‍රකාශිත යුද්ධයකට අද මේ රට මැදිවීම පොදු ජාතික සංවර්ධනයට මරුපහරක් බව ද ඔවුහු අවධාරණය කරති. දේශපාලනය විනයෙන් තොර සංවරයක් නොමැති දඩබ්බර හා ඇතැම්විට අසංවේදී ව්‍යාපාරයක් ලෙසද ක්‍රියාත්මක වෙමින් තිබේ. ප්‍රාදේශීය මන්ත්‍රීවරයාගේ සිට ඇමතිවරයා දක්වාම දේශපාලන විනයට යටත් නොවන බවද පෙනේ. මන්ත්‍රීවරයකුගේ වාහනයකට ඉස්සර කිරීම ගුටිකෑමට සිදුවන වරදකි. ඒ නීතිය ඔහුගේ වීම නිසා ය. පොලිස් නිලධාරිහුද තම අභිමතය පරිදි නීතිය අතට ගන්නෝය. පසුගිය දිනක බීමත් පොලිස් නිලධාරියෙක් පිස්තෝලයක් එල්ල කරමින් පුද්ගලයන්ට පහර දෙන ආකාරය රූපවාහිනී නාලිකාවල වාර්තා කර තිබුණි. නොයෙක් වැරදි කරන, නීතිය කඩන විවිධ අය රූපමය සාක්ෂි සමඟ ද වාර්තා වේ. එහෙත් ඒ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම ඉතා දුර්වල ය.

මේ ආණ්ඩුවත්, ඇතැම් සිවිල් සංවිධාන වල ක්‍රියාකාරීන් විසිනුත් මහත් උජාරුවකින් ප්‍රකාශ කරන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යථාර්ථය කුමක්ද? එයින් විධායක බලයට යම් යම් සීමා පැනවූ බවත් ස්වාධීන කොමිසන් සභා බල ගන්වා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ බවත් කියනු ඇසෙයි. එහෙත් එය සම්පූර්ණ සත්‍යය නොවේ. ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රමුඛ ලක්ෂණයක් වන නිදහස් මැතිවරණ ක්‍රමය වසරක වැඩි කාලයක් අත් හිටුවා තිබේ. එහි වරද එකිනෙකා පිට පවරා ගනිමින් සිටිති. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදයේ මහත්වරුන් ලෙස පෙනී සිටින අයට පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම වරදක් ලෙස නොපෙනීම පුදුමයට කරුණකි. මෛත්‍රී ජනාධිපතිවරයා ඒ පිළිබඳ දක්වන උනන්දුවට අදාළ අයගෙන් ප්‍රතිචාරයක් ලැබී තිබේද? පළාත් පාලන ඡන්දය ලබන මැයි 31 වැනිදාට පෙර මනාප ක්‍රමය යටතේ හෝ පැවැත්විය යුතු බව ජනාධිපතිවරයා යෝජනා කර ඇත. ජනාධිපතිවරයා ඒ සම්බන්ධ විශේෂ කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කර තිබුණි. එහෙත් එයට තිබෙන නීතිමය බාධා මතු කිරීම හැර ඒ වැඩේ කෙරෙන ආකාරයට කටයුතු කිරීමට සුදානමක් තිබේද? දැන් ප්‍රශ්නය කථානායකවරයාට යොමුව ඇතැයිද වාර්තා වේ.

කෙසේ හෝ මෙබඳු දේවල්වලින් ජනතාව තුළ වැඩෙන කළකිරීම හා අපේක්ෂා භංගත්වය සුළු පටු නොවේ. පාර්ලිමේන්තුව තුළ තිබෙන අස්ථාවර භාවය නැතිකර ගැනීම පිළිබඳ වූ කැබිනට් මණ්ඩලය වැඩිකර ගැනීමේ යෝජනාව ගැන තිබෙන උනන්දුව, මෙම පළාත් සභා ඡන්දයටත් තිබේ නම් කොපමණ අගේද? නියමිත කාලයට පැවැත්විය යුතු මැතිවරණ කල්දමා වගේ වගක් නැතිව සිටින ආණ්ඩුවේ සමහරුන් අද තිබෙන ප්‍රශ්න වලට විසඳුම වේලාසනින් ජනාධිපතිවරණයක් පැවැත්වීම බවද කියති. ව්‍යවස්ථාදායකයේ අවුල සමනය කිරීමට විධායකයේ බලය උරගා බැලීම පයබරවායට පිටිකර බෙහෙත් බැදීමක් වැනි බව ඒ යෝජනාව කරන ටිකිරි මොළවලට නොදැනීම පුදුමයකි.

මේ රටට ස්ථාවර පාර්ලිමේන්තුවක් අවශ්‍ය ය. එහෙත් එය මහජන මතයේ නිරූපණයක් මිස යටිසූස්තරවලින් මවා ගන්නා දෙයක් බවට පත් විය යුතු නැත. වසර 71 ක් ගතවූ නිදහස් රටක තව ම තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රණ්ඩුවකි. 1972 හා 1978 ව්‍යවස්ථා දෙකක් සම්මත කර ගත් රට අද 78 ව්‍යවස්ථාව 19 වරක් සංශෝධනය කර තිබේ. එහෙත් තවමත් රටට උචිත ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගත නොහැකි වී තිබේ නම් වරද කාගේද? මේ ආණ්ඩුව බලයට පත් වුයේ අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳ පැහැබර බලාපොරොත්තුවක් ජනතාවට ලබා දෙමින් ය. එහෙත් ඒ වෙනුවෙන් වගකීම් පැවරුණු ව්‍යවස්ථාදායක මණ්ඩලයට ඒ කාර්ය සපුරා දීමට නොහැකි වූ බව නම් ඉතා පැහැදිලි ය. ආණ්ඩුවම කියන ආකාරයට තවමත් ව්‍යවස්ථා කෙටුම්පතක්වත් සකස් කර ගත නොහැකි වී තිබේ නම් එය කිසිසේත් සතුටු විය හැකි තත්ත්වයක් නොවන බවද කිව යුතුය.

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු මහජන සම්මුතියක් බව අපි පළමුවෙන්ම වටහා ගත යුතු වෙමු. දේශපාලන කෝන්තර පිරිමසා ගැනීමේ දුෂ්ට අදහස්වලින් රෝගී වූ පුද්ගල කණ්ඩායමකට එබඳු සද්කාර්යයක් පැවරීම මෝඩ කමකි. තනි පුද්ගලයකුට හෝ කණ්ඩායමකට අවශ්‍ය පරිදි ඒ කාර්ය ඉටු කිරීමට යෑම ද වරදකි. පාර්ලිමේන්තුව දෙබරයක් බවට පත්වී මිරිස් කුඩුවලින් ප්‍රජාතන්ත්‍රවාදය වර්ණවත් කරන අධම දේශපාලන භාවිතයක් තුළ රටට ඉදිරි ගමනක් නැති බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමුයි මහා ඝෝෂාවක් ඇසුණද ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ හරය හා අභිලාෂයන් සීඝ්‍රයෙන් දියවී යන ආකාරයද අද දැක ගත හැකිය.

බණඩාරනායක - චෙල්වනායගම් වැනි සිංහල හා දෙමළ ප්‍රධානීන් විසින් ඇති කර ගන්නා ලද දේශපාලන එකඟතා අනුව ඒකීය රටක් තුළ මේ ප්‍රශ්න විසඳා ගත යුතු බවද ඔවුහු තේරුම් ගෙන සිටියහ. උතුරු නැගෙනහිර එක් රට සභාවක් බවට පත් කළ යුතු බවට චෙල්වනායගම් කළ යෝජනාවට තදින්ම විරුද්ධ වූයේ බණ්ඩාරණායක අගමැතිවරයා ය. පසුව ඔවුන්ට ද ඒ අදහස අත් හැර දැමීමට සිදු විය. වෙනම රාජය සංකල්පයට ද බණ්ඩාරනායක මහතා එකඟ නොවීය.

කෙසේ හෝ දසක ගණනාවක් මුළුල්ලේ විසඳා ගත නොහැකි වූ ඒ අර්බුදය රට ම විනාශ කරන මහ යුද්ධයක් බවට ද පත් විය. අද යුද්ධයක් නැත. එහෙත් ඒ යුද්ධය ඇතැම් දෙමළ නායකයන්ගේ හිත්වලට රිංගා ගෙන තිබේ. අද සමහර දෙමළ නායකයන්ට මස් රාත්තලම අවශ්‍ය වී තිබෙන බවද රහසක් නොවේ. ඩසස්පෝරාව හා දෙමළ බෙදුම්වාදීන්ගේ මතවාද අනුව උතුර අවුල් කරන දෙමළ නායකයන් ගැන පසුගිය දිනක අරුන් සිද්ධාර්ථන් නමැති තරුණයෙක් කළ අනාවරණය අපට මතකය. ‘ඉලංගෙයි තමිල් අරසු කච්චි’ යන්නෙහි සිංහල අර්ථය ශ්‍රී ලංකා දෙමල රාජ්‍ය පක්ෂය බව කීවේද මේ තරුණයා ය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අසුනෙන් බැස උතුරේ මහ ඇමති පුටුවේ වාඩි වූ විග්නේශ්වරන් පමණක් නොව සම්පන්දන්, සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා වැනි අනෙක් දෙමළ නායකයන්ට ද අවශ්‍ය උතුර නිවීම නොව ඇවිළ වීම බව මේ තරුණයා කළ චෝදනාවකි. මේ අයගේ ජාතිවාදයට පිළිතුරු දීමට දකුණේත් ජාතිවාදය නඩත්තු කරන බවට මේ තරුණයා තවත් චෝදනාවක් කර තිබුණි. මේ චෝදනා පිළිබඳ විග්නේශ්වරන් ගෙන් මාධ්‍යවේදියකු විමසූ විට ඔහු කුපිත වූ ආකාරයද අපට දැක ගත හැකි විය. එහිදී විග්නේශ්වරන් දැඩිව කියා සිටියේ දෙමළ ජනතාවගේ අයිතීන් නොදෙන නිසා තමන් පාසල් වියේදීම සිංහල ඉගෙනීම අත් හැර දැමූ බවකි. සැබැවින් ම අද ජාතික සංහිඳියාවක් ඇති කර ගැනීමට මේ වර්ගයේ දෙමළ නායකයන් ගෙන් සිදුවන හානිය සුළු පුටු නොවන බවද කිව යුතුය.

මේ අතර පසුගිය දිනක මෙරටේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු, හිටපු කැබිනට් ඇමතිවරයකු මෙන්ම නීතිය පිළිබඳ ප්‍රාමණික විද්වතකුද වන විජයදාස රාජපක්ෂ මහතා විසින් ව්‍යවස්ථාදයක සභාවට එල්ල කරන ලද නිර්දය විවේචනය හා අභියෝගය ද කාගේත් අවධානයට යොමු විය යුත්තකි. ඔහු චෝදනා කරන ආකාරයට මේ ව්‍යවස්ථාදායක සභාව පටු හා වෛරී අදහස්වලින් යුතු ප්‍රතිගාමීන් ගෙන් සැඳුණු එකකි. එයින් ඵලදායි මෙහෙවරක් සිදු වීමට කිසිම ඉඩක් නැති බව ඔහුගේ අවධාරණය විය. රාජ්‍ය නායකයා ලෙස අධිකරණය සඳහා විනිසුරුවන් පත් කිරීමට තිබෙන අයිතියට මෙම සභාව බාධා කරන බව මෛත්‍රී ජනාධිපතිවරයා ද පසුගියදා කියා සිටියේය. ජනාධිපතිවරයා එක වැකියකින් දෙකකින් කළ ප්‍රකාශය පවා අද සමහරුන්ට රිදී තිබෙන බව පෙනේ. එහෙත් විජයදාස රාජපක්ෂ මහතා නම් ගම්, නඩු තීන්දු යනාදිය සහිතව රටට ප්‍රකාශ කළේ ඔවුන්ගේ දැක්මේ දුගී භාවයයි. විජයදාසට අනුව සුහද ගම්ලත්ට නීතිපති තනතුර අහිමි වන්නේ ඔහු එකල රාජපක්ෂ පාලන සමයේ උසුලන ලද කාර්යයන් නිසාය. දීපාලී වනසුන්දර මහත්මිය අභියාචනා අධිකරණයට සුදුසු නොවන්නේද එදා ඇය විසින් ගන්නා ලද තීන්දු තීරණ නිසා බව ඔහුගේ අනෙක් චෝදනාව විය. පසුගාමී රෝගී මනස් සහිත පුද්ගලයන් යම් තැනක සිටිත් නම් එතැන අවුලක් බව අමුතුවෙන් කිව යුතු නැත. කුමක් වුවත් සිය අත්දැකිම්, පළපුරුද්ද හා දේශපාලන මැදිහත්වීම්ද සහිතව ව්‍යවස්ථාදායක සභාව සමග සමීප අත්දැකීම් සහිත විජයදාස රාජපක්ෂ මහතා සෘජුවම ප්‍රකාශ කරන්නේ ‘ව්‍යවස්ථාදායක සභාව ඉතා පහත් දූෂිත ආයතනයක්’ බවය. එය දේශපාලනික වශයෙන් පලිගැනීම් කරන දුෂ්ට මෙහෙයුමක් බවද ඔහුගේ චෝදනාවය. විනිසුරුවන් ගණනාවකගේම උසස් වීම්, පත්වීම් ප්‍රතික්ෂේප කළ මෙම සභාව නිවට මට්ටමකට ඇද වැටී තිබෙන බව ඔහූ කියා සිටියේ උදාහරණද සහිතවය. අධිකරණ සේවා කොමිසම පමණක් නොව ජනාධිපතිවරයාගේ විධායක බලයද අභිබවා ඔවුන් ක්‍රියා කිරීම නිසා අධිකරණයේ ස්වාධීනත්වයටද හානි සිදුවී තිබෙන බවද ඔහු සඳහන් කර ඇත.

විජයදාස මහතාගේ මෙම චෝදනා හා විවේචනවලට උඩින් පැන අධිකරණ ස්වාධීනත්වයක් ගැන කතා කිරීමද විහිලුවකි. ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම යුක්තිය හා සාධාරණත්වය පිළිබඳ සැබෑ විශ්වාසයක් රඳවා තිබෙන අධිකරණය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ශුද්ධ වූ දෙවොලක් බව අපි සෘජු ව ම ප්‍රකාශ කරමු. ඒ පාරිශුද්ධ ආයතනයට දේශපාලන පිශාචයන්ගේ ‍සෙවණැළි වැටී තිබේ නම් ආණ්ඩුව - විපක්ෂය යන භේදය පසෙක ලා එය සුරැකීම ජාතික වගකීමක් බවද පෙන්වා දිය යුතුය.

මේ සකල විධ දේශපාලන පරාභව, බිඳ වැටීම් තවදුරටත් සිදු වේ නම් එය මේ රට අගාධයකට තල්ලු කිරීමක් බව ද මේ දේශපාලන භාරකරුවන්ට පෙන්වා දිය යුතුය. කෙසේ හෝ මේ දේශපාලන අවගමන නිසි මාවතට යොමු කර ගැනීමේ තිරසාර අදිටන මෛත්‍රී ජනාධිපතිවරයා කිසිසේත් අත නොහරින බවද පැහැදිලිව පෙනේ. එය තහවුරු කරන අලුත් ම සාක්ෂිය නම් නොබෝදා ආරම්භ කරන ලද ‘එකට සිටිමු’ නැමැති ජාතික වැඩ සටහනය. අද මෙරටේ තිබෙන ජාති, ආගම් ප්‍රමුඛ සකල විධ භේද දුරලමින් ශ්‍රී ලාංකික දැක්මක් සහිත ජනතාවක්, රටක් ගොඩ නැංවිය යුතුය යන උතුම් අපේක්ෂාව ‘එකට සිටිමු’ වැඩ සටහනේ හරයයි. ‘එක්ව සිතන්න - එකට හැදෙන්න’ යනු එහි ගාම්භීර තේමාවයි. මෛත්‍රී ජනාධිපතිවරයා පසුගිය නිදහස් ජාතික දිනයේදී ප්‍රකාශ කළේත් ගෙවී ගිය 71 වසරක් වැනි කාලය මුළුල්ලේ ම රටක් ලෙස අප ලබා තිබෙන වර්ධනය ජයග්‍රහණ පිළිබඳ ගැඹුරින් විමර්ශනය කළ යුතු බවය; අලුත් දේශපාලන සංස්කෘතියක් මෙන්ම අභිනව දේශපාලන සංවාදයක්ද රටට අවශ්‍යව තිබෙන බව ය. අද අප හැමදෙනාම ඉදිරිපිට තිබෙන ඒ අභියෝගය වටහා නොගෙන හෙට මේ රටට යහපතක් සිදු නොවන බව ය. අද ආණ්ඩුව හා ජනාධිපතිවරයා අතර මතු වන ප්‍රතිපත්තිමය ගැටුම්ද රට ගිලී තිබෙන දේශපාලන මූග්ධභාවයේම පිළිබිඹුවකි. ජනාධිපතිවරයාගේ දේශීයත්වය පදනම් කර ගත් දේශපාලන පිළිවෙත බොහෝ රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීන්ට දිරවා ගත නොහැකි වී තිබීමද අද තිබෙන තවත් විපතකි. ඇතැම් ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට රිංගාගත් ඒ සිවිල් බලවත්හු ජාතික සංස්කෘතික කෙත වනසා දමන සේනා දළඹුවන් පිරිසක් බවට පත්ව නොසිටිත් ද?

දේශපාලනය, විනය හා සංවරය මත පදනම් වූ විදග්ධ සංස්කෘතියක් බවට පත් කිරීමටත් වංචාව, දූෂණය, නාස්තිය දුරලූ මතින් තොර පිවිතුරු රටක් ගොඩ නැංවීම මෛත්‍රීගේ දේශපාලන අභිලාෂයයි. එහෙත් කවදා අපට එවන් රටක හිනැහිය හැකිද?

Comments