අස­ම්මත පෙම­කින් උපන් රුසි­යානු සාහි­ත්‍යයේ විප්ල­වීය ප්‍රේම පුරා­ණය | සිළුමිණ

අස­ම්මත පෙම­කින් උපන් රුසි­යානු සාහි­ත්‍යයේ විප්ල­වීය ප්‍රේම පුරා­ණය

මගෙ දෙවියෝ එයාගේ විනිවිඳින ඇස්වලින් මා දිහා හෙළපු බැල්ම මගේ සියොළඟම හිරිවැට්ටුවා. මෙච්චර කාලයක් හීන මවපු මගේ සිහින කුමරාව මගේ ළඟට ම ගෙනත් දීපු දෛවය ගැන මට ඇතිවුණේ අදහාගන්න බැරි විශ්මයක්. එයා මං දිහා බලපු බැල්ම... ඒක පිරිමියෙක් එයාගේ හිත් ගත්ත ගැහැණියක් කොයි විදියෙද කියලා මනින්න හෙළන බැල්මක්. මේ ලෝකේ වෙන කිසිදේකට වඩා මට ඕනෑ කරපු එකම පුද්ගලයා, ඒ වෙනකොටත් මගේ හිතෙන් මගේම කොටසක් වෙලයි හිටියේ. ඇත්තට ම මේක හීනයක්ද? නැතිනම් ප්‍රාතිහාර්යක්ද?

හමු වෙන්නටත් වසර ගණනාවකට පෙර සිට, කාටත් හොරා හිතෙන් වන්දනාමාන කරමින්, හිතේ පැළපදියම්ව තිබූ පෙමක හිමිකරු වූ ඒ විදග්ධ රුසියානු සාහිත්‍යධරයා මුල්වරට හමුවූ විටිඔල්ගා සෙවොලොඩොව්නා ඉවින්ස්කායාට සිතුණේ එලෙසය. රුසියානුවන්ව සිය පද්‍යයෙන් නැළ වූ බෝරිස් පැස්ටර්නැක් සමඟ, හමුවන්නටත් පෙර සිට පෙමින් වෙළී සිටියත්, ඔහුගේ ප්‍රේමාන්විත ඉල්ලීම හමුවේ ඇය සිය ස්ථාවරය බිඳගත්තේ නැත. ඒ වන විටත් විවාහකයකුව සිටි මේ අසහාය කවියාට, දෙවරක් වැන්දඹුවකව සිටි ඇය සිය දුංඛිත අතීතය හෙළි කර සිටියේ අවංකව ම ය. අතෘප්තිකර විවාහ දෙකකට ලක් ව සිටි බෝරිස්ගේ වයස එවකට අවුරුදු පනස්හයක් වූ අතර, තිස්හතර වියැති ඔල්ගා රුසියානු සාහිත්‍ය සඟරාවක සහාය කතුවරියක් ලෙස සේවය කරමින් සිටියා ය. දරු දෙදෙනකු සමඟ තනිවී සිටි, නිල් පැහැති දුක්බර ඇස් ඇති ඔල්ගා වෙතින් වෑහුණු මමත්වයෙන් තොර නිර්මල ආදරය තේරුම් ගැනීමට දෙවරක් විවාහ ව සිටි කවියකු වූ බෝරිස්ට අසීරු වූයේ නැත. 1946 දී සිදු වූ එම හමුවෙන් මාස හයකට පසු ඔල්ගා බෝරිස්ගේ අසම්මත ආදරයේ වේදනාත්මක කඳුළ බවට පත්ව සිටියා ය. ආදරයේ නාමයෙන් සියලු දුක් ගැහැට, නින්දා අපහාස ඉසිලු ඇයට ආදරය නිසාවෙන් ම දෙවරක් රුසියානු සිර කඳවුරුවල වන්දි ගෙවීමට සිදු විය. අවිවාදයෙන් ම රුසියානු සාහිත්‍යයේ විශිෂ්ටතම ප්‍රේම පුරාණය ලෙස සැලකෙන 'ඩොක්ටර් ෂිවාගෝ‘ නවකතාව බෝරිස් පැස්ටර්නැක්ගේ පන්හිඳෙන් බිහිවුණේ ඔල්ගා අසම්මත පෙමකට එලෙස වන්දි ගෙවත්දී ය. රුසියානු විප්ලවයට මැදි වූ ඩොක්ටර් යූරි ෂිවාගෝ හා ලාරා ගුයිචාර්ඩ්ගේ ආහ්ලාදජනක ප්‍රේමයට පදනම සැපයූවේ රුසියානු රහස් පොලිසිය, සමාජ සම්මත, නීත්‍යානූකූල විවාහය වැනි ගිරිදුර්ග මැදින් ගලා ගිය ඔල්ගා හා බෝරිස්ගේ විටෙක ප්‍රීතිමත් වූත්, විටෙක ඛේදනිය වූත්, විටෙක මුරණ්ඩු වූත් අසම්මත පෙමයි.

වයස අවුරුදු තිස් දෙකක් වූ 1922 වසරේදිි ඉව්ජිනීයා ලූර්යේ සමඟ විවාහ වන විටත් බෝරිස් පැස්ටර්නැක් රුසියානු සාහිත්‍යාම්බරයේ දිදුලන කවියකු ලෙස වැජඹෙමින් සිටියෙකි. එකල රුසියානු ශ්‍රවණාගාර පිරී තිරී ගියේ ඔහුගේ කවි පබැඳුම් ඇසීමට පැමිණි සහෘදය රසිකයන්ගෙනි. වත්මන් පොප් ප්‍රසංගයකදී දැකිය හැකි උද්යෝගයට නොදෙවැනි උද්දාමයක් බෝරිස්ගේ කවි රසවිඳීමේ උන්මාදයෙන් පෙළුණු බෝරිස් රසිකයන් අතර තිබිණි. කොටින්ම රුසියානු ඒකාධිපති ජෝෂප් ස්ටාලින් පවා බෝරිස්ගේ රසිකයකු විය. අසිපතට වඩා පන්හිඳ බලවත් බැව් පසක් කරමින් ස්ටාලින්ගේ හෙංචයියන් රුසියනු කවියන් හා ලේඛකයන් සිය දහස් ගණනින් අමු අමුවේ ඝාතනය කරත්දී, සෝවියට් විප්ලව විරෝධී ආන්දෝලනාත්මක මත ජනගත කිරීම වෙනුවෙන් පන්හිඳ මෙහෙයවූ බෝරිස්ගේ දිවි රැකුණේ ඒ නිසා ය.

ගෘහණියක් වීම පිළිකෙව් කළ චිත්‍ර ශිල්පිණියක වූ ඉව්ජීනියාගේ නොසැලකුම් හමුවේ බෝරිස් යළිත් වරක් ආදරය හා සැනසුම් සහගත ගෘහ ජීවිතයක් සොයා යාමේ ප්‍රතිඵලය වූයේ සිය හොඳ ම මිතුරාගේ බිරිය හා බෝරිස් පෙමින් වෙළීම ය. අසම්මත පෙමකින් ආතුරවී අයඩීන් පානයකර දිවි නසා ගැනීමට බෝරිස් ගත් උත්සාහය හමුවේ සිනයිඩා නෙගෝස් සිය සැමියා අතහැර බෝරිස්ගේ තනියට ආවා ය. නමුත් ගේ දොර පාලනය මැනවින් දත් සිනයිඩා වූ කලී තමා සෙවූ ආත්මීය සහකාරිය නොවන බව බෝරිස්ට අවබෝධ වූයේ ඉන් වසර දොළහකට පසු ඔල්ගා හමු වූ විටයි. රුසියානු විප්ලවය හා දෙවන ලෝක යුද්ධයට මැදි වූ කවියකු වන වෛද්‍ය යූරි ෂිවාගෝ හා හෙදියක වූ ලාරා ගුයිචාර්ඩ්ගේ නොමියෙන ආදර අන්දරයක වස්තු බීජය ඒ වන විටත් බෝරිස්ගේ සිතේ පිළිසිඳගෙන අහවරව තිබිණ. තමාට වඩා බෙහෙවින් වයස්ගත වික්ටර් කොමරොව්ස්කිගේ අතින් අපචාරයට ලක්වන ලාරාගේ යෞවන විය නිර්මාණය වූයේ සිනයිඩාගේ යොවුන්වියේ අත්දැකීම් ඇසුරෙනි. නමුත් ඔල්ගාගේ පිවිතුරු පෙම හමුවේ සිය ලෝක සම්මත විවාහයෙන් ගැලවීගත නොහැකිවූ බෝරිස් ඇයට යම්තාක් දුරකට හෝ සාධාරණය ඉෂ්ඨ කිරීමට වෙර දැරුවේ ලාරාගේ චරිතය ඔල්ගාට අනුරූපී කිරිමෙනි. ඔල්ගාට කෙතරම් ආදරය කළත්, සිය දිවි තොර ගන්නා බවට තර්ජනය කරමින් තමා සතු කර ගත් දෙවන බිරිය ව ඔල්ගා වෙනුවෙන් අත්හැර නොදැමීමට තරම් වූ වගකීමකට බෝරිස් බැඳී සිටියේ ය.

'බෝරිස්ට ප්‍රීතිමත් ආදරයක් ගැන හිතන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. එයාට ආදරය කියන්නේ විඳවීමක්'. බෝරිස්ගේ මිතුරු කිවිඳියක වූ මැරීනා ස්වෙට්වා එලෙස කියා තිබුණේ හේතු සාධක ඇතිව ය.

තමා දිවි හිමියෙන් ආදරය කළ බෝරිස්ගේ හිතුවක්කාර, අසම්මත ප්‍රේමය හමුවේ ඔල්ගා මානසික ව මෙන්ම කායික ව ද වඳ වින්ඳේ ඩොක්ටර් ෂිවාගේ නවකතාව ලියැවෙන කාලයේදි කේ.ජී.බී. සංවිධානයේ ද අත්අඩංගුවට පත්වෙමිනි. විප්ලව විරෝධි අදහස් ජනගත කිරීම නිසාවෙන් සිය ගණන් ලේඛකයන් දංගෙඩියට යත්දී බෝරිස් රසිකයකු වූ ස්ටාලින් ඔහුගෙන් පළි ගත්තේ ඔල්ගාව අත්අඩංගුවට ගෙන වදයට ලක්කිරීමෙනි. ඒ 1949 දී ය. බෝරිස් තමාව ආවාහ කරගෙන සිටියා නම් ඔහුගෙන් හිමිවන 'පැස්ටර්නැක්‘ වාසගම තමාට ආරක්ෂාව සලසන බැව් ඔල්ගා හොඳාකාර ව ම දැනසිටියා ය. එසේ වුවත් විවාහය ඉදිරියේ තමාට පිටුපෑ පෙම්වතාව ඇය පාවා නුදුන්නා ය. බෝරිස්ගේ ලේඛණ කටයුතු පිළිබඳ ව මාස නවයක් පුරා සෝවියට් බලධාරින් විසින් කළ හිංසාකාරී ප්‍රශ්න කිරීම් හමුවේ වුව ද සිය ප්‍රේමය පාවා නොදීමට තරම් ඔල්ගා බෝරිස්ට පක්ෂපාති වූවාය. නමුත් ඒ සියලු සිත්වේදනා අතරින්, තමාව විවාහකර ගැනීම ප්‍රතික්ෂේප කළ පෙම්වතා වෙනුවෙන් ඔල්ගාට දැරීමට සිදුවූ ලොකු ම වේදනාව ඇතැම්විට ඔහුගෙන් කුසට ආ දරුවා අහිමි වීම විය හැකිය. ඒ මෝර්ඩේවියාවේ වූ ස්ටාලින්ගේ සිරකඳවුරුවල ගෙවුණු වසර තුනහමාරක කටුක කාලයේදී විඳි දුක්ගැහැටවල ප්‍රතිඵලයක් ලෙසයි. පෙම්වතිය අහිමිවීමේ වේදනාව බෝරිස් දරාගත්තේ යූරි හා ලාරා අතර විරහා වේදනා දනවන සිදුවීම්වලින් ඩොක්ටර් ෂිවාගෝහි පිටු පිරවීමෙනි.

1953දී ස්ටාලින්ගේ මරණයෙන් පසු නිදහස ලැබූ ඔල්ගා එවක් පටන් බෝරිස්ගේ දකුණත‘ බවට පත්වූවා ය. විවාහයකින් නොබැඳුණත් විවාහයකට එහා ගිය බැඳිමක් ඔවුන් දෙදෙනා අතර විය. සිනයිඩා සමඟ බෝරිස් 'පෙරෙඩෙල්කිනෝ‘ ප්‍රදේශයේ ජීවත්වත්දී, ඔල්ගා ද ඒ සමීපයේ පිහිටි කුඩා නිවසකට සංක්‍රමණය වූවා ය. සිනයිඩාට සැඟවීමට දෙයක් බෝරිස්ට තිබුණේ නැත. සිනයිඩාට දුන් විවාහ පොරොන්දුව කඩ නොකළ බෝරිස් විවෘත ව ම සිය කාලය ඇය හා ඔල්ගා සමඟ බෙදාගත්තේ ය. නමුත් ඔල්ගා නොවන්නට ඩොක්ටර් ෂිවාගෝ ජගත් සාහිත්‍යාම්බරයට තිළිණ නොවන්නට තිබිණි. දෙවරක් අත්පිටපත යතුරු ලියනය කර දීමෙන් නොනැවතුණු ඔල්ගා සෝවියට් බලධාරින්ගේ දඬුඅඩුවට හසුව තිබූ ඩොක්ටර් ෂිවාගෝ ඉතාලියේදි ප්‍රකාශයට පත්කිරීමට බෝරිස් ගත් ජීවිතාවධානම් තීරණයට උරදුන්නා ය. ඩොක්ටර් ෂිවාගෝහි වීරවරිය ලාරා වන්නේ යම්සේද සෝවියට් ඒකාධිපතීන්ගෙන් බැට කමින් සිටි බෝරිස්ගේ වීරවරිය ඔල්ගා වූවා ය.

1952 දී ඉතාලියේදි හාපුරා කියා ප්‍රකාශයට පත්වීමත් සමඟ ඩොක්ටර් ෂිවාගෝ ජාත්‍යන්තරය කළඹවමින් අලෙවිවන්නට පටන් ගත්තේ සෝවියට් බලධාරින්ගේ ඇස්වල කටු අනිමිනි. විප්ලවයට‍ එරෙහි මතවාද ඇතුළත් වූ නිසාවෙන් රුසියාවෙන් පන්නා දැමූ ඩොක්ටර් ෂිවාගෝට නොබෙල් සාහිත්‍ය සම්මානය හිමිවත්දී එය පිළිගැනීමට සුදුසු වාතාවරණයක් බෝරිස්ට තිබුණේ නැත. වියරු ඒකාධිපති පාලනයෙන් එල්ල වූ බලපෑම් හමුවේ බෝරිස් කෙතරම් පීඩාවට පත්වූවාද යත් නොබෙල් සම්මානය බාරගැනීම ප්‍රතික්ෂේප කළ හේ ඔල්ගා සමඟ එක්ව දිවි තොර කර ගැනීමේ ගිවිසුමකට එළැඹිණි. සෝවියට් ලේඛක සංසදයෙන් බෝරිස්ව නෙරපා හැරෙද්දී දිවි තොර කරගන්නට නොදී මේ ශ්‍රේෂ්ඨ ලේඛකයාව රැක ගත්තේ ඔල්ගා ය. ඔල්ගාට වඩාත් ම ඕනෑ කළ වෛවාහික බැඳීම බෝරිස්ගෙන් ඇයට නොලැබුණත්, ඔහු ඇයට අසීමිත ව ප්‍රේම කළ බව එකල කිසිවකුටවත් රහසක් නොවීය. ඩොක්ටර් ෂිවාගෝට හිමිවූ ජනප්‍රියත්වය මැද තමා ව සොයා ආ සහෘදයන්ට ඔල්ගාගේ දුරකතන අංකය ලබාදෙමින් බෝරිස් හැමවිටක ම කීවේ එකම දෙයකි.

'ලාරා ඇත්තටම ජීවත්වෙනවා. යන්න ගිහින් ඇයව හමුවෙන්න.'

ඒ හැරත් තම ජීවිතයේ අවසන් කාලයේදි තමාට හිමි වූ, එතෙක් කලක් සෙවූ පිවිතුරු පෙම වෙනුවෙන් ඔල්ගාට බෝරිස් පැස්ටර්නැක් කෙතරම් කෘතවේදි වුවාද යන්න ඔප්පු කිරීමට 'ඩොක්ටර් ෂිවාගෝ‘ කෘතිය පමණක් වුවද සෑහේ. බෝරිස් ජීවත් නොසිටියද, එතෙක් කලක් රුසියාවේ තහනමට ලක්ව තිබූ ඩොක්ටර් ෂිවාගෝ 1988දී පළමුවරට රුසියාවේ මුද්‍රණ ද්වාරයෙන් නිකුත්වත්දී සිය පෙම්බරයා වෙනුවෙන් ඉන් ලොකුම සතුටක් ලැබුවේ ඔල්ගා බවට සැකයක් නැත. නිරවි යුද සමයේදි සෝවියට් පාඨකයන් වෙත බ්‍රිතාන්‍ය බුද්ධි අංශ විසින් හොර රහසේ බෙදා හැරි ඩොක්ටර් ෂිවාගෝ 1965දී රිදී තිරයට නැඟුණේ අධ්‍යක්ෂ ඩේවිඩ් ලීන් අතිනි. ඔස්කාර් සම්මාන පහක් හිමිකර ගනිමින් ඇමරිකානු සිනමා ඉතිහාසයේ අටවනුවට වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටය ලෙස එය අදට ද වැජඹෙන්නේ ය.

තම මරණ මංචකය අසළින් පවා පන්නා දැමුණු අසරණ ඔල්ගාට තම වාසගම ලබා නොදීම ගැන ඒ අවසන් මොහොතේදි පවා බෝරිස් පැස්ටර්නැක් වරදකාරී හැඟිමෙන් කම්පා වූවේ ය. පෙම්බරාගේ වියෝවෙන් පසු යළිත් වරක් ඒ පෙම වෙනුවෙන් සිරකඳවුරකට කොටු කෙරුණු ඔල්ගා හෙවත් ෂිවාගෝගේ ලාරා ගැන බෝරිස් මෙලෙස සටහන් කර තිබිණි. ඒ ඇය වෙනුවෙන් බැඳි අසම්පූර්ණ වුවත්, සදාතනික වූ සෙනෙහසට නිමාවක් නැති බව පසක් කරමිනි.

"ඔහු ඇයට කෙතරම් ප්‍රේම කළත්, ඔහුට ඕනෑ කළ ආකාරයට ම ඇය ප්‍රේමණීය වුණත්...... "

 

Comments