ඔලිවියේ බෙකායිගේ මරණය | සිළුමිණ

ඔලිවියේ බෙකායිගේ මරණය

‘ඔලිවියේ බෙකායිගේ මරණය’ යනු එමිල් සෝලා (1840 - 1902) විසින් ප්‍රංස බසින් රචිත Olivier Becaille නම් කෙටි නවකතාවේ සිංහල පරිවර්තනයයි. නවකතාකරුවකු මෙන් ම නාට්‍ය රචකයනු ද වන එමිල් සෝලා ප්‍රංස සාහිත්‍යය එකළු කළ ලේඛකයකු ලෙස පිළිගැනේ. ඔහු ප්‍රකෘතිවාදය සංවර්ධනය කළ නිර්මාණකරුවකු ලෙස සම්භාවනාවට පාත්‍ර වෙයි.

ඔලිවියේ බෙකායි නම් පුද්ගලයකු සිය මරණය ගැන කරන විස්තරයක් මෙහි එයි. එය අවමඟුලකි. එහෙත් මරණයක් හෝ මරණීය අත්දැකීමක් හෝ නැත.

කතාව ඇරඹෙන්නේ තමා මළ බව අපට කියන ඔලීවියේ බෙකායිගේ මෙම ප්‍රකාශයෙනි:

‘තුන් දොහක් තිස්සේ ලෙඩින් පෙළුණු මා ඒ සෙනසුරාදා උදේ හයට මළා. ටික වේලාවක සිට ට්‍රන්ක පෙට්ටියක රෙදි කඩක් සොයමින් සිටි මගේ අසරණ බිරින්දෑ එක්වරම නැඟී සිට දළදඬු ව දෑස් විවර ව නිහඬ වූ නාඩි ද සහිත වූ මා වෙත වහා දිවැවුත් මගේ මුහුණට පහත් වී මගේ අත් අල්ලා ගත්තා. බිරාන්ත වූ ඇය කඳුළු පුපුරා එළියට පනිද් දී ම කෑ ගෑවා: “අපොයි දෙයියනේ මෙයා මැරිලා” ’

එහෙත් ඔහු මිය ගොස් නැත. කැටලෙප්සි, එනම් සිහිය ඇති මුත් අතපය දළ දඬු බවට පත් වීමේ තත්ත්වයකින් පෙළෙමින් සිටියා පමණි.

ඔලිවියේ සහ ඔහුගේ බිරිය මාගරිට් මෑතක දී මෙහි පැමිණ මේ මහල් නිවාසයේ කුලියට පදිංචි වූ යුවළකි. ඔහු කියන පරිදි ඇය ඔහුට වඩා බොහෝ බාල සුකුමාල දැරියකි. අඹු සැමි සබඳකම පවා ඇය වටහා ගෙන ඊට අනුගත වන්නේ ඉතා සෙමිනි.

මාගරිට්ගේ කෑ ගෑම් සහ වැළැපීම් නිසා අසල් වැසියෝ ඔවුන්ගේ කාමරය වෙත එළැඹෙති. මුලින් ම එන්නී ගැබින් මහත්මියයි. අවස්ථාවේ හැටියට ඇය මාගරිට්ට උදව් කරයි. ඔලීවියේ එය විස්තර කරන්නේ තරමක් උපහාසාත්මක ස්වරූපයෙනි. අවමංගල කටයුතු තනිව සංවිධානය කළ නොහැකි නිසාත්, මාගරිට් එතැන තනි කැර දමා යා නොහැකි නිසාත් ගැබින් මහත්මිය සිමෝනේ මහතා නමැති අය කැඳවා ගෙන ආ යුතු යැයි යෝජනා කරයි. මාගරිට් ඒ පිළිබඳව කිසිවක් නොකියයි. මේ සිමොනේ ගැන ඔලිවියේගේ එතරම් පැහැදිමක් නැත. ඔහු කැඳවා ගෙන ඒමට මාගරිට් විරුද්ධ වනු ඇත්නම් මැනවැයි ඔහු සිතයි.

කෙසේවෙතත් සිමෝනේ පැමිණේ. අවමංගල්‍යය සංවිධානය සහ ඊට වියපැහැදම් කිරීම ඔහු බාර ගනියි. පසුදා උදේ එකොළහට භූමදානය සිදුවනු ඇති බව ඔහු නිවේදනය කරයි.

රාත්‍රිය එලැඹෙයි. ගැබින් මහත්මිය, ඇගේ දියණිය දස හැවිරිදි දේදේ සහ සිමෝනේ යන අය මාගරීට්ට තනි රකිති. දුබල මාගරිට් නිදි කිරා වැටේ. සිමෝනේ ඇය අස්වසන්නට මෙන් ඇයගේ ගෙල සහ තොල් අතගායි. මෙය දකින දේදේ සිනා නඟයි. ඇගේ මව ඇයට තරවටු කරයි.

මරණ පරීක්‍ෂණය සඳහා නාගරික වෛද්‍යවරයා මෙතෙක් පැමිණ නැත. බොහෝ පමා වී පැමිණෙන ඔහු ඔලීවියේ දෙස හරිහැටි බලන්නේවත් නැත. මරණය සිදුවූයේ කීයටදැයි අන්‍යයන්ගෙන් විමසන ඔහු ‘උදේ හයට ය’ යන පිළිතුර අනුව ඔලීවියේ මළ බව සහතික කරයි. ජීවත් වන්නට ඔලිවියේ තුළ තිබූ අවසාන අපේක්‍ෂාවත් ඉන් බිඳ වැටෙයි.

පසු දින උදේ එකොළහට භූමදානය සඳහා මිනිය සූදානම් කෙරේ. ගැබින් මහත්මියගේ උදව්වෙන් මාගරිට්, ඔලිවියේගේ හොඳ ම ඇඳුම ඔහුට අන්දවයි. වේලාපහ ම රැගෙන එනු ලැබූ මිනී පෙට්ටියේ දේහය තැන්පත් කරන ඔවුහු පෙට්ටිය වසා එහි ඇණ ගසති. මේ සියල්ල ඔලිවියේ දනියි. එහෙත් ඔහුට විරුද්ධත්වය පළ කළ නොහැකි ය.

ඔවුහු පෙරහරකින් භූමදානය පිණිස ඔලිවියේ රැගෙන යති. අවසන් ආගමික වතාවත් ද ඔහුට ඇසෙයි. ඉන්පසු වල දැමෙයි. මිනී වලේ සිටින ඔහු සිහිනයක් දකියි. ඒ සිහිනයට පසුව බිරාන්ත වී ඇහැරෙන ඔහු තමා මේ වනවිට දළදඬු තත්ත්වයෙන් මිදී ඇති බව පසක් කැර ගනියි. ඉනික්බිති ඔහු කරන්නේ වලෙන් ගොඩ එන්නට දැඩි සටනක් දීමයි. අසනීපව සහ නිරාහාරව සිටින ඔහුට එය අසීරු කටයුත්තක් නමුත් කෙසේ හෝ ඉන් ගොඩ එන්නට ඔහු සමත් වෙයි. රාත්‍රිය එළැඹී ඇති බැවින් ඔහුට සුසාන භූමියෙන් ඉවතට පැන ගත හැකි වෙයි.

පසුව දැන ගන්නා පරිදි එසේ ගොඩ ඊමෙන් පසුව සති තුනක කාලයක් ඔහු කාරුණික වෛද්‍යවරයකු භාරයේ මූර්ඡාවක සිට ඇත. ඒ වෛද්‍යවරයාට ඔහු හදිගැහෙනුයේ මහ මඟ වැටී සිටිනා විට යැයි දැන ගන්නට ලැබේ.

සිහි එළැඹීමෙන් පසු දින අටක් එ් කාරුණික වෛද්‍යවරයා ඔලිවියේට ප්‍රතිකාර කරයි. ඒ කාලය ඔහු ගත කරන්නේ මහත් සංවේගදායි දේ සිතමිනි.

විස්තර නොපවසන දොස්තර කියන්නේ ඔහු වැටී සිටි තැනින් මෙතැනට ගෙන එනු ලැබුයේ වැඩිදුර පරීක්ෂණ කිරීමට බවයි. ප්‍රතිකාර ලබන අතරේ දවසක ඒ කියන්නේ ග්‍රීෂ්ම කාලයේ අහස නිල් පැහැයෙන් බබළන ජුනි මාසයේ එක් උදෑසනක ඔලිවියේ වෛද්‍යවරයාගේ නිවෙසින් බැහැරව තමා විසූ තට්ටු නිවාසය සොයා යයි. එහි පහත මාලයේ කැන්ටිමේ පුවත් පතක් කියවමින් ඔහු සිටින්නේ සිය බිරිය ගැන යමක් අසන්නට ලැබෙනු ඇතැයි යන අදහසිනි. හරියටම ඒ වේලාවේ ගැබින් මහත්මිය කෝපි මිල දී ගන්නට අවුත් කවුන්ටරයේ සිටින ස්ත්‍රිය සමඟ දොඩවන්නට පටන් ගනී. මාගරිට් එදින තීරණයක් ගත් බවත් පසු දින ඇය සිමෝනේ සමඟ යනු ඇති බවත් ඔවුන් විවාහ වනු ඇති බවත් ඒ කතාබහට සවන් දී සිටින ඔලීවියේට දැන ගන්නට ලැබෙයි.

ඉන්පසු ඔහු හිස හැරුණු අතේ යයි. තමා දියුණු මිනිසකු වූ බවත් කිසිදු ඊර්ශ්‍යාවක්, වේදනාවක්, බියක් වැනි හැඟීමක් තවදුරටත් තමාට ඇති නොවන බව කියන හේ අවසානයේ ‘මට බය මරණය මාව බොහෝ කලකට අමතක කර දමයි ද කියායි’ යනුවෙන් පවසයි.

සෝලාගේ මේ කෙටි නවකතාව චරිත නිරූපණය අතින් ඉතා ඉහළ මට්ටමක පවතින බව විචාරක පිළිගැනීමයි. ඇත්තටම ඔලීවියේ මළා ද නැත්නම් කැටලෙප්සියකින් පෙළුණේ ද? අවසානයේ සිය බිරිය සහ සිමෝනේ ගැන සිතන ඔහු ‘මළහු ඊර්ෂ්‍යා නොකරති’යි කියයි.

ආනන්ද මහපටුනගේ විසින් ප්‍රංස බසින් සිංහලට පරිවර්තනය කරනු ලැබූ කෘතිය වන ‘ඔලිවියේ බෙකායිගේ මරණය’ විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය විසින් 2004 වසරේ දී පළමු වරට මුද්‍රණයෙන් නිකුත් කරන ලදී.

Comments