ඕස්ට්‍රේලියාවේ ඉහළ ම සාහිත්‍ය සම්මානය දිනාගත් නීති විරෝධී සංක්‍රමණිකයා | සිළුමිණ

ඕස්ට්‍රේලියාවේ ඉහළ ම සාහිත්‍ය සම්මානය දිනාගත් නීති විරෝධී සංක්‍රමණිකයා

ඕස්ට්‍රේලියාව වෙත අනවසර සංක්‍රමණිකයෙක් ලෙස පැමිණ ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත් වී, වර්තමානය වන විට පැපුවා නිව්ගිනියාවට අයත් මනුස් දූපතේ රඳවා සිටින බෙහෙරූස් බූචානි (Behrouz Boochani) ඉරාන - කුර්දි ජාතික සරණාගතයෙක්. ඔහු ඕස්ට්‍රේලියාවෙන් පිරිනමන ඉහළම සාහිත්‍ය සම්මානය වන සාහිත්‍යය සඳහා වන වික්ටෝරියානු ත්‍යාගය හිමිකරගෙන සිටී. ඔහු රචනා කළ 'නෝ ෆ්‍රෙන්ඩ් බට් ද මවුන්ටන්ස්' (No Friend But the Mountains) නම් කෘතියට මෙම සම්මානය හිමි වී තිබේ. තම කෘතිය රචනා කර, වට්ස්ඇප් ඔස්සේ භාෂා පරිවර්තකයෙක් හරහා ඔහු එය ඉංග්‍රීසි බසට හරවා තිබීම විශේෂත්වයක්.

මෙම සම්මාන උළෙල සඳහා කෘති ඉදිරිපත් කළ හැක්කේ ඕස්ට්‍රේලියානු පුරවැසියන් සඳහා පමණකි. නමුත් විනිශ්චය මණ්ඩලයේ විශේෂ අවසරය මත බූචානිගේ කෘතිය ද මේ සඳහා ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනවා.

මෙහිදී ත්‍යාග මුදල් ලෙස ඕස්ට්‍රේලියානු ඩොලර් 100,000ක මුදලක් හිමි වී ඇති අතර මෙම සම්මානයට අමතරව ප්‍රබන්ධ නොවන විශිෂ්ටතම කෘතිය සඳහා වූ ත්‍යාගය ද හිමි වන්නේ ද බූචානිගේ කෘතියට යි. එහි ත්‍යාග මුදල ඕස්ට්‍රේලියානු ඩොලර් 25,000ක්. 2015 වසරේ දී සරණාගත කඳවුරට පැමිණි පසු තමන් සතුව ඇති ලිවීමේ හැකියාව නැති වේවි ද යන සැකය ඔහුට ඇති වූ බවත්, ඒ නිසාම ලිවීමේ ක්‍රියාවලියේ දිගටම නිරත වීමට තමන් අදහස් කළ බව බූචානි පවසයි. ඒ සඳහා කඳවුර තුළ කඩදාසි භාවිතා කළ නොහැකි බැවින් වට්ස්ඇප් ඔස්සේ පණිවුඩ ආකාරයට ග්‍රන්ථය රචනා කරන ඔහු, තම මිතුරු ලේඛකයෙක් වෙත එම පණිවුඩ යවනු ලබයි.

පාර්සි බසින් ග්‍රන්ථය රචනා කර ඇති අතර එය ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීම බූචානිගේ මිතුරා වන Omid Tofighian විසින් සිදු කර ඇත. 1983 වසරේ දී ඉරානයේ උපත ලබන බෙහෙරූස් බූචානි Tarbiat Modares විශ්වවිද්‍යාලයයෙන් සිය ප්‍රථම උපාධිය හිමිකර ගනී. එම විශ්වවිද්‍යාලයයෙන්ම සිය ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමටත් බූචානි සමත් වෙනවා. ඒ ලෝක දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන්.


ඊ. එල්. ජෙම්ස්ගේ අලුත් ම නවකතාව අප්‍රේල් මාසයේදී

ලොවපුරා අතිශය ජනප්‍රිය වූ ෆිෆ්ටි ‘ෂේඩ්ස් ඔෆ් ග්‍රේ’(Fifty Shades of Grey) කෘතියෙන් ඇරඹි ප්‍රේමකතා පෙළෙහි කතුවරිය වන ඊ. එල්. ජෙම්ස්(E. L. James) රචනා කළ අලුත්ම නවකතාව එළඹෙන අප්‍රේල් මස 16 වැනිදා ප්‍රකාශයට පත්වීමට නියමිත බව වාර්තා වේ. ‘ද මිස්ටර්’(The Mister) යනුවෙන් නම් කර ඇති මේ කෘතිය ලන්ඩනය, කෝන්වෝල් සහ නැගෙනහිර යුරෝපය පසුබිම් කරගෙන ඉදිරිපත් කෙරෙන නූතන සුරංගනා කතාවක් බවයි කතුවරිය පවසන්නේ.

ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙය 21වැනි සියවසේ සින්ඩරෙල්ලා කතාවක් ලෙසත් හඳුන්වාදිය හැකි බවයි. මෙයට පෙර ඇය රචනා කළ ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ග්‍රේ කෘති පෙළෙහි පිටපත් මිලියන 100කට අධික සංඛ්‍යාවක් අලෙවි වී ඇති අතර, එම කෘති පාදක කරගෙන අතිශය ජනප්‍රිය සිනමාකෘති පෙළක්ද නිර්මාණය වී තිබීම විශේෂත්වයක්.

මේ නවකතාව වංශවත් පවුලකට අයත් ඉංග්‍රීසි ජාතික තරුණයකු සහ පිටිසර බද ගමකින් ලන්ඩනයට පැමිණෙන දක්ෂ හා සුන්දර තරුණියක වටා ඇතිවන ප්‍රේමයක් ඔස්සේ ගලා යන කතා පුවතකින් යුක්තය.


ටෝල්කින් චරිතය ඇසුරෙන් සිනමා කෘතියක්

ලොව පුරා අතිශය ජනප්‍රිය වූ ‘ද ලෝඩ් ඔෆ් ද රින්ග්ස්’ (The Lord of the Rings) කෘති පෙළ රචනා කළ ජේ.ආර්. ආර්. ටෝල්කින්(J.R.R. Tolkien) චරිතය පාදක කරගනිමින් නිර්මාණය කරන ලද සිනමා කෘතියක් මේ වසරේ මැයි 10 වැනිදා ලොව පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතව බව වාර්තා වේ. ටෝල්කින්ගේ තරුණ අවදියේ සිට ඔහු ප්‍රථම ලෝක යුද්ධයට සම්බන්ධව සිටි කාලය ආවරණය වන පරිදි මේ සිනමා කෘතිය නිර්මාණය වී තිබේ. ඔහුගේ බොහෝ නිර්මාණ සඳහා වස්තුබීජ ගොඩනැගී ඇත්තේ සටන් කරමින් සිටි කාල වකවානුව තුළයි.

ඔහුගේ දීර්ඝ කාලීන මිතුරන් බොහෝ දෙනෙක් යුද්ධයේදී මියගියද, දිවි ගලවාගෙන ආපසු ගමරට පැමිණීමට ඔහුට හැකි වී තිබේ. ඔහු සිය නිර්මාණ කටයුතු අරඹා ඇත්තේ ඉන් පසුවයි. මේ සියලු තොරතුරු චිත්‍රපටය ඔස්සේ ඉතා අපූරුවට පෙළගස්වා ඇති බවයි සඳහන් වන්නේ.


 ඩෑන් මැලෝරි රෝහල් ගත කෙරේ

අමෙරිකානු ජාතික කතුවරයකු සහ රචකයකු වන ඩෑන් මැලෝරි(Dan Mallory) නැතහොත් ඒ.ජේ. ෆින් (A. J. Finn-අන්වර්ථ නාමය) මොළයේ පිළිකාවක් හේතුවෙන් පසුගියදා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ. මේ පුවත දැනගත් මොහොතේ පටන් මොහු වටා එක්රොක් වී සිටි ලොව පුරා පාඨකයන් අතිශය සංවේගයෙන් පසුවන බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.

නිව්යෝර්ක් ටයිම්ස් හි වැඩිම විකුණුම් වාර්තා තැබූ ලේඛකයෙක් වූ මොහු 2018දී රචනා කරන ලද ‘ද වුමන් ඉන් ද වින්ඩෝ’(The Woman in the Window) නවකතාව හරහා ලොවපුරා පාඨකයන් අතර අතිශයින් ජනප්‍රිය විය.

එම කෘතිය කෙතරම් ජනප්‍රිය වීද යත් ඒ හරහා විශේෂාංග සිනමාපටයක් ද කිරීමට නියමිත බව සඳහන් වේ. එය ඔහුගේ ප්‍රථම නවකතාව විය.

මොහුගේ මව මියගියේද පිළිකා රෝගයට ගොදුරු වීමෙන් වීම විශේෂත්වයක්. ඒ ඔහු ඉතාමත් තරුණ වයසේ පසුවන විටදීය. ඩියුක් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරු මැලෝරි පසුව වසර කිහිපයක් පොත් ප්‍රකාශන සමාගමක සේවය කළේය.

අනතුරුව William Morrow and Company නම් පොත් ප්‍රකාශන සමාගමේ විධායක කතුවරයකු සහ උප සභාපති ලෙසද සේවයේ යෙදී ඇත.


ඇලෙක්ස් මයිකලිඩීස් ගේ ප්‍රථම නවකතාව ප්‍රකාශයට පත් වේ

ප්‍රකට හොලිවුඩ් තිරකතා රචකයකු වූ ඇලෙක්ස් මයිකලිඩීස් ගේ ප්‍රථම නවකතාව වන 'ද සයිලන්ට් පේෂන්ට්'(The Silent Patient ) කෘතිය පසුගියදා එංගලන්තයේදී එළි දක්වා තිබේ. ඊට සමගාමීව චීනය, කොරියාව, ඉන්දුනීසියාව, රුසියාව, ජර්මනිය සහ පෘතුගාලය ඇතුළු රටවල් 43ක එහි පරිවර්තන මුද්‍රණයෙන් නිකුත් වීම විශේෂත්වයක්. එය සිංහල බසින්ද පරිවර්තනය කර පසුගියදා එළිදක්වා තිබේ. මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක නවකතා ගනයට අයත්ය. පිටු 336කින් සමන්විතය. 'ටුවෙල්ව් යියර්ස් අ ස්ලෙව්, මූන්ලයිට්, සෙල්මා, ද බිග් ෂෝර්ට්' වැනි සිනමාපට නිපදවූ ඔස්කාර් සම්මානලාභී චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වූ 'ප්ලෑන් බී' සහ 'සීරෝ ඩාර්ක් තර්ටි', 'ෆැන්ටම් ත්‍රෙඩ්' වැනි සිනමාපට නිපැයූ 'අන්නපුර්ණ පික්චර්ස්' නිෂ්පාදන සමාගමද දැනටමත් 'ද සයිලන්ට් පේෂන්ට්' නම් මේ නවකතාව ඇසුරෙන් චිත්‍රපට නිපැයීම සඳහා අයිතීන් මිලට ගෙන අවසන් බව වාර්තා වේ.

 

Comments