තිස්ස අබේ­සේ­ක­ර­යන් මිය ගිය වග සුදත් දේව­ප්‍රිය | සිළුමිණ

තිස්ස අබේ­සේ­ක­ර­යන් මිය ගිය වග සුදත් දේව­ප්‍රිය

සුදත් දේවප්‍රිය නිර්මාණකරුවාගේ ප්‍රකාශන මාධ්‍යය වන්නේ ටෙලිනාට්‍යය හා සිනමාවයි. ඔහුගේ පළමු ටෙලිනාටකය වන අඹ යහළුවෝ මෙරට ටෙලිනාට්‍ය ඉතිහාසයෙහි, වෙසෙස් නිර්මාණයක් සේ සටහන් වී ඇත්තේ, ටී.බී. ඉලංගරත්න සූරීන් විරචිත අඹ යහළුවෝ නවකතාවේ තිබූ ගුණය රැක ගනිමින් අපූරු ටෙලි සිත්තමක් බවට පත් කිරීමට සුදත් දේවප්‍රිය සමත් වූ බැවිනි. තරණය හා උඩුගං යාමය සුදත්ගේ සිනමා කෘති වේ. ඉල් මහේ පියෙක් නමින්, ඔහු තම කුලුඳුල් කාව්‍ය සංග්‍රහය අප’තට පත් කොට සිටී. රූපය මුල් කොට ගත් නිර්මාණකරණයෙහිදී මෙන් ම වචන මුල් කොට ගත් සාහිත්‍ය ප්‍රකාශනයෙහි දී ද සුදත් දේවප්‍රිය සමත්කම් පානා බව සනාථ කර සිටින්නේ ඔහුගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය, ඉල්මහේ පියෙක් කෘතියයි. මේ කෘතියෙහි එන බොහෝ කාව්‍ය නිර්මාණ තුළින් සුදත් දේවප්‍රිය නම් අංකුර කවියාගේ කවිත්වයේ ලකුණු සටහන් වී ඇති බව හැ‍ෙඟ්. තිස්ස අබේසේකරයන් මිය ගිය වග නම් මේ පද්‍ය නිර්මාණය, විශිෂ්ට කලාකරුවකුගේ වියොවින් පසු ලියැවෙන ශෝක ප්‍රකාශ රචනයකින් ඔබ්බට ගිය නිර්මාණාත්මක රචනයකි.

සොයන්නෙමි මම ඔබට

හිමිදිරි ගන මීදුම මැද

දිගු කලෙකට පසුව ආ

මහා නිරිඳෙකු ලෙසින්

පපු කුහර කඩා එන

කීරි ගැහෙන වේදනාවෙන්

හඬයි කොලු ගැටයෙකු

‍ටොරින්ටන් වටරවුම් ළඟ

නෙගටිව් පටයක් ණයට ඉල්ලා

‘මා වැනි බිළින්දා

අසන නිරි‍‍ඳෝ වෙන කොයින්දා”

සොයන්නෙමි මම ඔබව

ගං දොරේ කඩ පිලක

පිට ගංකාරයෝ ඇවිත්

නිරිඳුනේ නැගිටින්න

කාපිරි මුඩුක්කුවක හිඳ

ගැටයකු බසියි වීදියට

නිරිඳුනේ ඇහෙනවද‍

ගොරිං මුදලාලිගෙ ගෝරනාඩුව

‘සර් ආයෙමත් ෆිල්ම් එකක්

හදන්නේ නැද්ද

මගේ හොඳම චිත්‍රපටය

තාමත් හැදෙනව ළමයෝ’

සොයන්නෙමි මම ඔබව

රුහිරු දා අලුව ගිය

වැලිකතර මැද රැයක

මහගෙදර - ලොකු දුවක හඬයි

නිරිඳුනේ ඇහෙනවද

අරවින්ද බතී සරෝජිනී

මලවින්න කුමාරී

කිම හඬනු කාරණා

නිරිඳුන් ගොසින්

සුර දූතියන් සමඟ

කවියා, අපතරින් වියෝ වූ කලාකරුවාගේ සමීපතම සිසුවකු ගේ ඇසින් ඔහුගේ ප්‍රකාශන මාධ්‍ය තුළ විශිෂ්ට සටහන් තබා ඇති නිර්මාණ දකී. ඒවායේ චරිත සිහිපත් කරයි. එම චරිත සජීවී චරිත බවට ප්‍රතිනිර්මාණය කරමින් ඔවුන් මැවූ නිර්මාණකරුවා පිළිබඳ කම්පා වන අයුරු දුකට පත්වන අයුරු කවියා දකියි. මෙවන් වි‍ශිෂ්ටයකුගේ ජීවන සමුගැනීමක දී බොහෝ අවස්ථාවල සිදුවන්නේ ඔහුගේ නිර්මාණාවලියේ නාමාවලිය ඉදිරිපත් කිරීමයි. එහෙත් කවියකු ලෙසින් සුදත් දේවප්‍රිය, තිස්ස අබේසේකර දකින්නේ ඔහු සමඟ පැවැතියා වූ ළෙංගතු සමීප සබඳතාව පිළිබඳ තතු මතු කරමිනි. කවියා මේ මහා පුරුෂයා සොයයි. හිමිදිරි ගන මීදුම මැද දිගු කලෙකට පසුව පැමිණි නිරි‍ඳකු ලෙසින් කවියා තිස්ස අබේසේකර දකී.

කවියා හා තිස්ස අබේසේකර කලාකරුවා අතර පැවැති සහසම්බන්ධය කීමට එක් සැබෑ සිදුවීමක් සිහියට නඟනු පෙනේ. චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ ආසාවෙන් පෙළෙනා කොලු ගැට‍යකු ටොරින්ටන් වට රවුම ළඟ නෙගටිව් පටයක් ඉල්ලා හඬා වැටේ. නිරිඳකු සේ කවියා දකින කලාකරුවා චිත්‍රපට සංස්ථාව බාරව සිටී. ඔහු මේ කොලු ගැටයාගේ දුකට පිහිටවෙයි. කවියා එය කව් ලැකියේ අප අසා ඇති කවියක උපුටනයකින් තහවුරු කරයි.

‘මා වැනි බිළින්දා...

අසන නිරි‍ෙඳා් වෙන කොයින්දා?’

නිරිඳුගේ පිහිටෙන් මේ කොලු ගැටයා සිනමාකරණයට අත් පොත් තබයි. ඔවුන් දෙදෙනාගේ සමීප සබඳතාව පිය පුතු සබඳතාවක මිහිරිතම ඵලයක් සේ පාඨක සිතට දැනේ. කවියා නිරිඳකු වන් කලාකරුවා අමතන්නේ, ඔහු විසින් රූපවාහිනියේ හා සිනමාවේ නිර්මිත චරිත පැමිණ යළි නැගිටින්න යන ඉල්ලීමෙනි. නොවේ නම් ඔවුන් ගේ කතාබහ ඇහෙනවද කියා ඇසීමෙනි.

පිට ගං කාරයෝ ඇවිත්

නිරිඳුනේ නැගිටින්න

නිරිඳුනේ ඇහෙනවද

ගෝරිං මුදලාලිගෙ ගෝරනාඩුව

පිටගංකාරයෝ ටෙලි නිර්මාණය මෙන් ම වැලිකතර සිනමා නිර්මාණය ද කවියා ස්මරණය කරයි. ඔහු තිස්ස අබේසේකර සොයා යන ගමනේදී හමුවන චරිත මඟින් තිස්ස අබේසේකරගේ විශිෂ්ට සිනමා සම්ප්‍රදානයන්හි රුව ගුණ දකියි. ලොකු දුව අරවින්ද, බතී, ස‍රෝජිනී, මලවින්න කුමාරි ආදී රිදී තිරයෙහි මැවූ චරිත, හඬති. කවියා ඔවුන් හඬනා කාරණා කිම දැයි අසයි. එහෙත් හඬනු කුමට? ඔහු සුර දූතයන් හා සැතැපෙන්නට ගොසිනි. පුද්ගල චරිතයක වියොව පිළිබඳ මතු පිටින් පෙනෙන රූපාවලිය යටිපෙළින් කවියාගේ කථානායකයා කෙරෙහි අනුකම්පාවක් පාඨක සිත්හි දැනවීමට කවියාගේ බස සමත් වේ.

මහ ගෙදර ලොකු දුවක හඬයි

නිරිඳුනේ ඇහෙනවද

අරවින්ද බතී සරෝජිනී

මලවින්න කුමාරි

කිම හඬනු කාරණා...!

නිරිඳුන් ගොසින්

සුරදූතයන් සමඟ...!

කවියෙන් නිරූපිත කලාකරුවාගේ උදාර චරිතයෙහි නිහතමානී නිරහංකාර ගුණය මතු කර පෙන්වීමට කවියා නඟන පැනය හද සසල කරන්නකි.

‘සර් ආයෙමත් ෆිල්ම් එකක්

හදන්නේ නැද්ද

මගේ හොඳම චිත්‍රපටය

තාමත් හැ‍ඳෙනවා ළමයෝ...’

ළමයෝ වැනි ඇමතුමක සැඟවුණු දයාබර ගුණය වදන් රැසකින් පවසන්නට නොහැකි සෙනෙහසක් පිළිබඳ හැඟුම් දනවන්නකි‍.

අදහස්