නිදහසේ මතක | සිළුමිණ

නිදහසේ මතක

සිරිලක නිදහස ලැබූ දිනය සෑම වර්ෂයකම පෙබරවාරි මස 04 වැනි දිනට යෙදෙයි. එදින විවිධ සැමරුම් උත්සව පවත්වති. ප්‍රධාන වශයෙන් පරදේශික බ්‍රිතාන්‍ය කිරීට පාලනයෙන් නිදහස් වීම සිහිපත් කරයි. රට පාලනය කිරීමේදී ඔවුන් අනුගමනය කළ කාර්ය පරිපාඨයන් සියල්ල එදායින් මතු ද අහෝසි නොවීය. එබඳු ඇතැම් දේ ඉන්පසු එළඹි කාල පරාසවලදී ද තත්කාලවල පාලන අධිකාරීන් විසින් ඉවත් කරන ලදී. ඒ සෑම දෙනා ද සිහිපත් කරනු ලබයි. නිදහසේ මතක රාජ්‍ය අනුග්‍රහයෙන් කෙරෙද්දී බලයේ සිටින පිරිස, පක්ෂ, අනුව විවරණය කෙරෙන අවස්ථා ද පවතී.

‘නිදහස’ වචනාර්ථයෙන් ද විවිධ ය. බැදීම, හිරවීම, ඇලීම, ගැටීම, ක්‍රියා කිරීම ආදියෙන් බැහැරවීමට ද නිදහස්වීම යෙදෙයි. අප පුද්ගල, හා සමූහ වශයෙන් ද ‘නිදහස’ ප්‍රාර්ථනා කරනු ලබති. යටත්, යටහත් පහත්, භාවයන්ගෙන් මිදීම ද නිදහසෙකි. නිදහස හා බැඳුණ වඩාත් සමීප අරුතක් ‘නිවහල්’ වදනෙන් ප්‍රකට වෙයි. එතැන ඍජු ලෙසම වහල් බවෙන් නිදහස්වීම මතු වෙයි.

යටත් විජිතවාදී ග්‍රහණය යනු අල්ලා ගැනුම, අවනත කර ගැනීමයි. මේ අවනත බවට පත් වන්නේ බල රහිත වීම, යගුලුවීම, අන් අයගෙන් යැපීම, ස්වයංකාර්ය ශක්තීන්ගෙන් තොරවීම ආදිය හේතු කොටගෙනයි. මෙම තත්ත්වයන් දමනය කිරීමට, පහ කර හැරීමට පුද්ගලවාදීව හා සාමූහිකවද ක්‍රියා කිරීම් කොට ‘නිදහස’ ලබයි. අප ලද්දේ ද එබඳු නිදහසෙකි‍.

අදින් හැත්තෑ එක් වසරකට පෙර අප රට ලබාගත් ‘නිදහස’ ද එසේ පුද්ගල හා සාමූහික ප්‍රයත්නයන්ගේම ප්‍රතිඵලයෙකි. ඒ මතක සිහිපත් කිරීම කෘතවේදී හුදී ජන ප්‍රසාදය පළ කිරීමකි‍.

පරදේශික පාලනයට එරෙහි නිදහස් සටන් රාවණ, චෝල, මාඝ ආක්‍රමණ කෙරුණ කාලවල දී ද සිදු විය. මෑත ඉතිහාසයේ පරංගි, ලන්දේසි හා ඉංග්‍රීසීන්ට විරුද්ධව ද නිදහස් සටන් සිදු විය. අද ශ්‍රී ලාංකිකයන් භුක්ති විඳින නිදහස් සටන ඇරඹුණේ ඉංග්‍රීසි ජාතික බ්‍රිතාන්‍ය කිරීටයට එරෙහිවය. රටේ ස්වාධීනත්වය පිණිස කෙරුණ මේ අරගලයට අතීත සටන්වල අත්දැකීම් මහත් ශක්තියක් වූ අතර වාරියපොළ හිමි, ගොංගාලේ ගොඩබණ්ඩලා, වීර පුරන් අප්පුලා, බූටෑවේ රාලලා, මොණරවිල දිසාවෙලා ගත් මග ආදර්ශයක් වූවේ ය. කවි රාගන් කියමින් සිව් රඟ සේනා පෙර කල ගමන් ගත්තාක් මෙන් 1948 ලබාගත් නිදහස් සටන නොයෙක් කලා ශිල්පාදීයෙන් හා පොත පතින් ද මුවහත ලැබූ අයුරු සිහියට එයි.

‘ජාතික ගසේ නිදහස් මල් පිපෙන තුරු

ඇද වක්කරව් පපුවේ ලේ උණු වතුරු

හෙද නොහැකි නම් නිදහස් මිනිසකු අයුරු

වැද ලක්මවට අද අවසන් හුස්ම හරු’

යැයි ලියැවුණේ ඒ අනුසරිණි. සිංහල බෞද්ධ අනන්‍යතාව සුරැකීමට තම දිවිය ම කැප කළ අනගාරික ධර්මපාල තුමා වලිසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමන්ලා ‘නිදහස’ උදෙසා මාවත කැපීය; ජාතිකත්වය අවදි කළේ ය.

අවසන් නිදහස් සටනේදී එෆ්.ආර්. සේනානායක, සර් ඩී.බී. ජයතිලක, ඩී.එස්. සේනානායක, ටී.බී. ජයා, සිද්ධිලෙබ්බේ, පොන්නම්බලම් රාමනාදන්, අරුණාචලම් වැනි ජාතික නායකයන් එක්ව අරගලයේ ක්‍රියාකාරිත්වය සියතට ගෙන කටයුතු කළ අයුරු අභිමානයෙන් සිහිපත් කරන්නෙමු. 1932 වරුෂයේදී ඩී.එස්.සේනානායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමන්ලා ‘ලංකා ජාතික සංගමය’ හදාගෙන සටන පළල් කළහ. ඒ වර්ෂයේදීම එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක සිරිමතාණන් ‘සිංහල මහ සභාව’ ද පිහිටුවා බෞද්ධ ආගමික පාර්ශ්ව, සාහිතධරයන්, ප්‍රමුඛ කලාකාමීන් ද සජීවී ලෙසින් නිදහස උදෙසා පෙළ ගැස්වූහ.

ලිවීමේ ප්‍රමුඛ වූ මුනිදාස කුමාරතුංග ශූරීන්, ඩබ්ලිව්.ඒ. සිල්වා, පියදාස සිරිසේන වැනි විද්වතුන් ද ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි වැනි සාහිතධරයන් රැසක් ද නිදහස උදෙසා තම පෑන මෙහෙයවූ අයුරු අදත් ගෞරව බහුමානව සිහිගන්වමු.

වාම දේශපාලනයේ යෙදුණ ‘සූරියමල් ව්‍යාපාරය’ ද එහි පුරෝගාමීන් වූ සමරක්කොඩි, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා වැනි ජනහිතකාමී දේශපාලකයන්ගේ ජනතා එකතුව හා දැනුවත්වීම් ද ‘නිදහස’ ලබාගැනීමට වක්‍රව උපකාරී විය. පිලිප් ගුණවර්ධන, රොබට් ගුණවර්ධන, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මැතිතුමන්ලා ඇතුළු පිරිසක් සිරිගත වූයේ ද මේ වෙනුවෙන් කල අරගල නිසා බව සිහිපත් වන්නේ ය.

රටපුරා විසිරී තිබූ බෞද්ධ පිරිවෙන් හා ඒවායේ අධිපතිත්වය දැරූ ගරුතර මහ සඟරුවනින් ‘නිදහස’ උදෙසා අප‍ූරු මෙහෙයක් සිදු වූහ. පසුකාලයේ විද්‍යෝදය හා විද්‍යාලංකාර මහ පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත් කළේ ද එදා නිදහසට කැප කළ මෙහෙයේ වටිනාකම ද සිහිගන්වමින් ය. වලිසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමා, අනුරාධපුරයේ ඇති කළ සිංහල විද්‍යාලය, මහාබෝධි විද්‍යාලය ලෙසින් අදටත් පවතී. මේ ලෙසින් ම සිරිමත් ඕල්කොට් මැතිතුමන් ද ආනන්ද, නාලන්ද වැනි විදුහල් ඇති කළහ. එදා යාපනය, මඩකලපුව, දකුණේ මාතර හා හලාවත ප්‍රදේශවලින් ‘නිදහස්’ පත්‍රිකා බඳුන් රැගෙන කොළඹ පැවති නිදහස් සමරුවට කඩින් කඩ දුවමින් මුළු රට ම එකට එක්ව ‘ජාතිකත්වය’ සංකේත කිරීම ද ගෞරවයෙන් සිහිගන්වමු.

පසුව පෙරදී දැක්වූ ලෙසින් ඩී.එස්. සේනානායක අගමැතිඳු වැල ලී නටඹුන් වූ අපේ වැව් අමුණු, වේලි පුනරුත්ථාපනය කළේ සාගර පරදන සේනානායක සමුද්‍රය ද ඉදිකරමින් ය. කිසිවකුටත් අත නොපා ගල්ඔය ව්‍යාපාරය ද කරමින් රටපුරා ගොවි ජනපද පිහිටුවීය. දැනුම වැඩීමට සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමන් නිදහස් අධ්‍යාපනයට මුල පිරීය. දැනුමේ අරුණලු පහළ විය.

ලැබූ ‘නිදහස’ අර්ථවත්කොට මහජනයාටම බාර කළේ සිරිමත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකතුමන් සිදු කළ 1956 විප්ලවයෙනි. මුදලට ඉගැන්වූ පාසල් රජය සතු විය. ත්‍රිකුණාමලය වරාය පූර්ණව ලබා ගත්තේ ය; බස් ව්‍යාපාර ජනසතු කළහ.

අපේ නිදහස් සටනේ තවත් බොහෝ වටිනාකම් සොයා සිහි ගන්වා ගැනීමට මෙයින් දොර විවෘත වන්නට ඇතැයි සිතමි. හැත්තෑ එක් වර්ෂයක් ගතවන මොහොතේදී එදා දිනූ අපේ නිදහස ගිලිහී වැටී ඇති සැටි ද සිහියට ඒම වැළකිය නොහැකි ය. අපි අලුත් නිදහස් සෙවීමට පෙර ලබා තිබූ නිදහස රැක ගත යුතුව ඇතැයි සිතමි.

සුද්දන් පාලනය කළ කාලයේ උසස් අධ්‍යාපනයට යාපනය, කොළඹ ප්‍රදේශවලට යෑම සිදු විය. නිදහස් අධ්‍යාපනය ලද හැටි පෙර දැක්වූව ද අද වනවිට නැවත මිල ගෙවා රට පුරාම දරුවන්ට ඉගෙනීමට සිදුව ඇත. මෙය ‘නිදහස්’ අධ්‍යාපනයට වල කැපීමකි.

එදා ඇලක, වෙලක, ගඟක, උල්පතක, ළිඳක, ජලය අපට ලැබුණේ නොමිලේ ය. අද බොන හා පරිභෝජන ජලය මිලකට ගැනීමට සිදුව ඇත. එකල ජලමූලයකින් ලැබෙන දිය අප කිසිදු චකිතයකින් තොරව කට තබා තිබහ පහවන තුරු බීවේය. අද සියල්ලට වස විස එකතු කරගෙන එම ‘නිදහස’ ද වල දමා ඇත. ගැහැණු පිරිමි භේදයකින් තොරව, එදා නිදහසේ ගමන් බිමන් ගියේ ය‍. අද ඒ අයගේ ජීවිතයම අපචාරයට, මංකොල්ල කෑමකට, කොතනදී ලක්වේ දැයි අනුමාන කිරීමට පවා නොහැකි ය. ‘සැමට පෙර යුතුකම’ එදා ඉස් මුදුනේ තිබුණි. අද පාදාන්තයෙන් නැත. විනය, ලජ්ජා, බය, ඇති සමාජයක්, වංචා දූෂණයෙන් තොර ‍පාලනයක් ගැන හිතා ගැනීමටවත් ‘නිදහසක්’ නැත.

අපේ සියලු ම කටයුතුවලට ඉහළින් තිබූ ආගම දහමට ද මේ වියසන බලපාමින් තිබේ. විනයක් පවත්වා ගැනීමට ක්‍රියා කළහොත් මානව හිමිකම් කඩතුරාවට මුවාවෙති. මේ නිසා ඉංග්‍රීසින්ට යටත්ව සිටි කාලයේදී මෙන් මේවාට එරෙහිව ක්‍රියා කිරීමට සත්ජන මිනිසුන් එකතු විය යුතු කාලය පැමිණ ඇත.

‘කෙස් ගහ පවා පිටරටවල මිනි සුන්නේ

උස් නිදහස පිණිස සටන සැර සෙන්නේ

හිස් මොල තිබෙද්දිත් මේ වග නොත කන්නේ

ඇස් ගෙඩිවලට හෙන ගහලද සිහලුන්නේ

මේ උදාන කවි එදාට වඩා අදට ගැළපේ යැයි පෙනේ.

 

අදහස්