මාර්ටින් වික්‍ර­ම­සිං­හ­යන්ගේ සිට අද දක්වාම කවර නිර්මා­ණය කරන පිටකවර නිර්මා­ණ­ක­රුවා ඒ.ඩී රංජිත් කුමාර | සිළුමිණ

මාර්ටින් වික්‍ර­ම­සිං­හ­යන්ගේ සිට අද දක්වාම කවර නිර්මා­ණය කරන පිටකවර නිර්මා­ණ­ක­රුවා ඒ.ඩී රංජිත් කුමාර

හෙතෙම මෙරට වැසුම් පිටු නිර්මාණ කලාවේ පූර්වජයන් ලෙස සැලකෙන එම්.සාර්ලිස්, ජී ඇස් ප්‍රනාන්දු, ජී.ඇල් ගෞතමදාස, සිරිගුණසිංහ, මහගම සේකර, කේ. ජයතිලක, හර්බට් රංජිත් පීරිස්, වැනි චිත්‍ර ශිල්පීන් හා ලේඛකයන් සමඟ කරට කර පෑහෙමින් කවර නිර්මාණ කලාව වෙනතකට යොමු කළ අපූර්ව සිත්තරෙකි. එසේම ජ්‍යේෂ්ඨ පුවත්පත් කලාවේදියකි; සිනමා කලා විචාරකයෙකි. මේ සියල්ල හැරුණු කොට ඔහු යහපත් ගතිගුණවලින් පිරි නිහතමානී මනුෂ්‍යයෙකි. ඇත්තෙන් ම මේ අටුවා ටීකා ලියූවේ ඔබ අප හොඳින් දන්නා ඒ.ඩි රංජිත් කුමාර මහතා ගැන ය. එදා මෙදා කාලය තුළ ඔහු විසින් කළ පිටකවර නිර්මාණ සංඛ්‍යාව 300 ට අධික ය. ඔහු විසින් නිමැවූ චිත්‍රපටි නාමාවලි සංඛ්‍යාව 300ක් පමණ වේ. මේ ගෙවී යන්නේ ඔහුගේ නිර්මාණ දිවියේ 55 වන වසරයි.

කොස්ගස් හන්දිය එඩ්මන් සහ සමාගම අච්චු කන්තෝරුවේ තීන්ත සුවඳ ආග්‍රාහණය කරමින් උපන් ඒ.ඩී රංජිත් කුමාර ඒ සුවඳට බෙහෙවින් ආශා කළ අයකු විය. කොස්ගස් හන්දිය යනු අතිශය සංකීර්ණ වටපිටාවකින් හෙබි සමාජ වපසරියකි. මෙය කුඩුකාරයන්, බේබද්දන්, පිප්පොකට්කාරයන්, ගණිකාවන්, පිම්පියන්... ආදී නොයෙක් ආකාරයේ විසමාචාර පුද්ගලයන්ගෙන්, විවිධ ජාතිකයන්, විවිධ ආගමිකයන් හා විවිධ තරාතිරම්වල පුද්ගලයන් ගැවසීගත් ඉතා සංකීර්ණ පරිසරකි. මේ අය කුමන ආකාරයේ පුද්ගලයන් වුව මානවදයාවෙන් පිරිපුන් මිනිසුන් වූහ. රංජිත් කුමාර මානවදයාව ඉගෙන ගන්නේ ද ඔවුන් සමඟ සමාජානුයෝජනයෙනි. එනිසා ඔවුන්ගේ දහදිය සුවඳ, වේදනාව රංජිත්ට හොඳට හුරුපුරුදු ය.

තම පියාගේ මුද්‍රණාලයේ මුද්‍රණය වූ පොතපතට, සඟරාවලට හේ බෙහෙවින් ඇලුම් කළේ ය. මුද්‍රණාලයේ තීන්ත සුවඳට අසීමිත ව ඇලුම් කළ නිසා කුඩා රංජිත් නිතර කාලය ගත කළේ මේ මුද්‍රණාලය තුළ දුවපනිමිනි. ඊට තවත් හේතුවක් ද තිබිණි. ඒ සිය මවගේ ඥාති සොහොයුරෙකු වූ ගුණරත්න මාමා එහි සිටි බැවිනි.

ඔහු මුඳලිදු අමරසේකර, ජී.එස් ප්‍රනාන්දු වැනි මෙරට ප්‍රවීණ සිතුවම් ශිල්පීන්ගෙන් සිතුවම් ශිල්පය හැදෑරූ සිතුවම් ශිල්පියකු විය. එනිසා මුද්‍රණායතනයේ බොහෝ නිර්මාණ කටයුතු සිදු වූයේ ගුණරත්න මාමා අතිනි. මෙනිසා ගුණරත්න මාමා පුංචි රංජිත්ගේ ලෝකය වසා පැතිර සිටි විරයා විය. කොටින් ම ඔහුගේ නිර්මාණ දිවියේ ප්‍රදීපස්ථම්භය වූයේ ගුණරත්න මාමා ය. එනිසා කුඩා රංජිත් මාමාගේ අඩිපාරේ යමින් චිත්‍ර ශිල්පයේ අයනු ආයනු කියවන්නට විය. එසේම රංජිත්ගේ පියාද කලාවට ආදරය කළ අයකු විය.

ඔහු නාට්‍යවලට සම්බන්ධ වී සිටියේය. ඒ.ඩී එඩ්මන් හා ඔහුගේ සොහොයුරා වූ ඒ.ඩී මාතුපාල එකතු වී නාට්‍ය කිහිපයක්ම නිර්මාණය කර තිබුණි. ‘කාණිවල්’, ‘ගමේ වෙදා’, ‘හීන්සැරය’ ඒ අතර විය.

එඩ්මන් මහතා විසින් 1942 දී නිපද වූ ‘කාණිවල්’ නාට්‍යයේ එක් ප්‍රධාන චරිතයක් නිරූපණය කළේ පසු කලෙක මෙරට දෙවන විධායක ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතා ය. එය ඔහු රඟපෑ ප්‍රථම සහ එකම නාට්‍ය බවට වාර්තා වේ. එහි දී ඔහු විසින් නිරූපණය කොට ඇත්තේ ෂන්මුගන් නම් දෙමළ ජාතිකයකුගේ චරිතයකි. වින්සනට් වීරසේකර ද එහි නළුවන් අතර විය. මෙහි සංගීතය සපයා තිබුණේ ද රංජිත්ගේ මාමා කෙනෙකු වූ එන්. වින්සන්ට් පෙරේරා ය. ඔහුගේ සහයකයා වූයේ පසුකාලීනව සංගීතඥයකු වූ පී.එල්.ඒ සෝමපාල ය. එන්. වින්සන්ට් පෙරේරා කලක් ක්‍රීඩා අමත්‍යවරයා ලෙස කටයුතු කළේය. එසේම කලක් කොළඹ නගරාධිපතිවරයාව ද සිටියේ ය. රංජිත් කුමාර වැඩුණේ මෙකී පරිසරයේ ය. රංජිත් කුමාර කුඩා කළ පටන්ම මාමා අඳින දෑ බලාගෙන ඒවා නැවත ඇඳීමට උත්සාහ ගත්තේය. ඔහුගේ හැකියාවන් හඳුනා ගත් ඔහුගේ මාපියන් ඇස්. පී. චාල්ස් නම් ප්‍රකට සිතුවම් ගුරුවරයා වෙත ඔහු බාර කළේය. රංජිත් ඇස්. පී. චාල්ස් මහතා සමීපයේ ඉතා සංයමයකින් චිත්‍ර කර්මය හදාරන්නට විය. වාණිජ චිත්‍ර ශිල්පියකු වූ සිය මාමා පැය ගණනකින් ඇඳ හමාර කරන වැසුම් පිටු නිමා කිරීමට චාර්ල්ස් ගුරුතුමාට සතියකට වැඩි කාලයක් ගත විය. එනමුත් ඒවා ඉතා සියුම් රේඛාවන්ගෙන් යුතු විය. රංජිත් ඒවාට බෙහෙවින් ඇලුම් කළේය. ඔහු ඒතුළ කිසියම් අපූර්වත්වයක් දුටුවේය.

ඈපා මුද්‍රණාලයේ පිහිටා පිහිටා තිබුණේ ඇඩ්මන් මුද්‍රණාලයට නුදුරින්ය. එහි මුද්‍රණාලයට අමතරව පොත් අලෙවි සලක් ද විය. ඒ අසලින් ගමන් කරන රංජීත් වීදුරු අල්මාරිවලින් එබිකම් කරන ඒ පොත් දෙස අනිමිස විය. දවසක් එහි තිබූ එක් පිටකවරයක් රංජිත්ගේ සිත සොරාගත්තේය. එය හර්බට් රංජිත් කුමාර විසින් ඇඳී සිතුවමක් විය. ඔහුත් රංජිත් කුමාරය. මමත් රංජිත් කුමාරය. මමත් දවසක මේවගේ අඳිනවා යැයි රංජිත් තමන්ටම කියා ගත්තේය.

දිනක් ඔහු කඩදාසි රැගෙන පාරේ හිටගෙන ඒ කවරය පිටපිත් කලේය. ඈපා මුද්‍රණාලයේ හිමිකරු එය දුටුවේය. ඔහු රංජිත් කැඳවා එම කෘතිය රැගෙන ගොස් ඇඳ නැවත ගෙනැවිත් දෙන ලෙස කියා පොත ඔහු අත තැබීය.

ඔය කාලයේම වින්සන් හෑගොඩ මහතා කැමරා සඟරාව ආරම්භ කර තිබිණි. එහි බොහෝ නිර්මාණ කටයුතු සිදු වූයේ රංජිත්ගේ මාමා වූ ගුණරත්න අතිනි. මෙම සඟරාවේ සහායා ව සිටියේ කීර්තිමත් ලේඛකයකු වූ කරුණාරත්න සපුතන්ත්‍රී මහතාය. ඔහුගේ ඊළඟ කෘතියේ කංචුකය නිර්මාණය කිරීමට තෝරාගත්තේ වයස අවුරුදු 15ක් පමණ වූ රංජිත් කුමාරය. ඒ අනුව ඔහුගේ පළමු කවර නිර්මාණය වන්නේ ‘පව් පඳුරු’ කෘතියයි.

කේරි කොලිජියෙන් කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත්වන රංජිත් සිය නිර්මාණශීලී හැකියාව මොනවට කියාපාන්නේය. එහි ප්‍රතිඵලය වන්නේ සමරු කලාපයේ මෙන්ම ආනන්ද සඟරාවේ ද සිතුවම් නිර්මාණ කටයුතු ඔහු අතට පත් වීම ය.

ආනන්දවිද්‍යාලීය සඟරාවේ අදටත් භාවිත කෙරෙන්නේ ඔහු විසින් නිර්මාණය කළ අකුරු ය. එසේම ඔහුගේ සිනමා දිවියට අඩිතාලම වැටෙන්නේද ආනන්දයේදී ය. ඒ මෙරට ප්‍රථම වරට පාසල් සිසුන් පිරිසක් විසින් නිර්මාණය කළ වෘතාන්ත චිත්‍රපටය වන නිම්වලල්ල සිනමා පටය සඳහා දායක වීමෙනි. මෙහි පිටපත් රචකයා වන්නේ ඔහුගේ උසස්පෙළ පන්ති සගයකු වූ සුනිල් මාධව ප්‍රේමතිලක ය. රංජිත් ලාල් අධ්‍යක්ෂණය කළ අතර එහි කලා අධ්‍යක්ෂකවරයා වූයේ රංජිත් කුමාර ය. එසේම ප්‍රේමකීර්ති ද අල්විස්, කීර්ති බාලසූරිය, රත්නසිරි රාජපක්ෂ, බන්දුල පද්මකුමාර, කුලරත්න ආරියවංශ ආනන්දයේ දී හමු වූ මිතුරන් විය.

රංජිත්ට මෙරට ප්‍රධාන ධාරාවේ සිනමා පටයක නාමාවලිය නිර්මාණය කිරීමට ඉඩ ලැබෙන්නේ පියසිරි කුලරත්න ගුණරත්නගේ මොකද වුණේ චිත්‍රපටියටයත් සමඟ ය. එයින් ඇරඹි චිත්‍රපටි නාමාවලි සැකසීම සිනමාපට තුන්සීයක් දක්වා දිව යයි. වරක් ඒ වෙනුවෙන් ඕසී.අයි.සී සම්මානයෙන්ද හේ පිදුම් ලැබුවේය.

ආතර් යූ අමරසේනගේ සංස්කාරකත්වයෙන් පළ වූ විසිතුර පුවත්පතකට නිදහස් ලේඛකයකු ලෙස සම්බන්ධ වීමට රංජිත්ට අවස්ථාව උදාවිය. ප්‍රවීණ ලේඛක නිව්ටන් ගුණසේකර ඔහුට හමුවන්නේ එහිදීය. තම කෘතිවල පිට කවරය ඡායාරූපයකින් සැරසීමට පුරුදුව සිටි නිව්ටන් සිය අලුත් නවකතාවේ පිට කවරය සිතුවමින් සැරසීමට තීරණය කළේය. ඒ 1970 වෙනි වසරයි.

ඔහු රංජිත්ගේ නිර්මාණ දැක තිබූ නිසාවෙන් තම අලුත්ම නවකතාව වූ මරු කතරක උපන් පුතේ පිටකවරය නිර්මාණය රංජිත් බාර කළේය. එවක ප්‍රදීපා ප්‍රකාශන ආයතනයේ හිමිකරුවා වූයේ ප්‍රවීණ ලේඛක කේ ජයතිලක ය. ඔහු මෙම කෘතිය හරහා රංජිත්ව හඳුනා ගන්නේය. මෙම හඳුනා ගැනීමත් සමඟ රංජිත්ගේ නිර්මාණ දිවිය දලුළා වැඩෙන්නට පටන් ගත්තේය.

ඒ ඇරඹි ගමන කේ.ජයතිලක, මාර්ටින් වික්‍රමසිංහ, මහගම සේකර, සෝමවීර සේනානායක... ආදී ලේඛකයන් බොහොමයකගේ කෘතිවල වැසුම් පිටු නිර්මාණකරුවා බවට ඒ.ඩී රංජිත් කුමාර ඔසවා තබන්නේය. කොග්ගල මාහා ප්‍රාඥයා ලෙස විරුදය ලැබූ මාර්ටින් වික්‍රමසිංහගේ මඩොල්ද දූව, ගම්පෙරළිය, කලියුගය, යුගාන්තිය, බවතරණය, බණ කතා සාහිත්‍ය... ආදී කෘති විශාල ප්‍රමාණයකට කවර නිර්මාණයෙන් දායක වීමට රංජිත්ට අවස්ථාව උදාවීම ඔහු ලැබූ භාග්‍යක්ම වන්නේය.

එවක සාමාන්‍යයෙන් කවර නිර්මාණයකට ලැබෙන මුදල රුපියල් පනහකි. නමුත් මාර්ටින් වික්‍රමසිංහ ඔහුට එම කාර්යය සඳහා රුපියල් තුන්සීයක මුදලක් ලබාදීමට තරම් රංජිත්ගේ කාර්ය පිළිබඳව පැහැදී සිටියේය. මේ වන විට ඔහු විසින් නිමවා ඇති පොත් පිට කවර සංඛ්‍යාව තුන්සීයකට අධිකය. ඒවා නොයෙක් විෂයයන් යටතේ රචනා වූ කෘති අරඹයා ඔහු කළ නිර්මාණ විය.

අදත් ඔහු ලේඛකයකු ලෙස පුවත්පත් කිහිපයකටම සිය නිර්මාණ දායකත්වය සපයයි. ඔහුගේ කලා දිවියට 55 වසරක් පිරෙන මේ මොහොතේ කලාව වෙනුවෙන් ඒ.ඩී රංජිත් කුමාර මහතා මෙතෙක් කළ සියලු කාර්යයන්ට අපගේ ප්‍රණාමය පුද කර සිටිමු.

 

අදහස්