ලෝකයෙන් මඟ නොහැරුණු මඩොල් දූව | සිළුමිණ

ලෝකයෙන් මඟ නොහැරුණු මඩොල් දූව

 

පසුගිය සතියෙන්

ජින්නා අලුත් එළවළු පාත්ති කිහිපයක් පෙන්නුවේය. “ඔය ඔක්කෝම පාත්ති කපා එළවළු ඉන්දුවේ පුංචි මහත්තයා තමයි.”

“ඔහෝ! මිනිහ දැන් ගොවිතැනට ආසයි. අපි දූපතේ තව පැත්තක් කපා එළි කරලා අලුත් වැවිල්ලක් දමන්න ඕනෑ.”

උපාලි ගිනිවැල්ලෙ විසින් කියනු ලබන මඩොල් දූව කතාව අවසන් වන්නේ මෙපරිදිය.

“පියා මළේය; අකාලයේ නාකි වුණු කුඩම්මා අතීතය සිහි කරමින් ශෝක වෙයි; අනාගතය බලා බියෙන්ද තනිකමින්ද තැවෙයි. මගේ පැරණි යහළුවන් දකින්ට ලැබෙතොත් ලැබෙන්නේ කලාතුරකිනි.

“ ‘ජින්නා ළඟදීම ආයිත් ගමට ගොහින් එන්න ඕනෑ’යි මම කීවෙමි. මට මෙසේ කියවුණේ මගේ සිත දොම්නිසන් පෙළෙන්ට වූ බැවිනි.

“මමත් එනවා.”

“ඔව් - ඔව් අපි දෙන්නම ගමට ගොහින් එන්ට යමු. පුංචි මහත්තයා අපි එන කල් මෙහේ තියෙන දේ බලාගනීවි.”

මම පුංචි මහත්තයා දෙස බැලුවෙමි.

“අපි ගියාම මේකේ තනියම ඉන්න පුංචි මහත්තයා බයද?”

පුංචි මහත්තයා හැරී ගල් ලෙනත් අනික් පැත්තේ කැලෑවත් බැලීය.

“නැහැ” යි කියමින් ඔහු කට කොනට සිනාවක් නැඟීය. “නෑ මම කාටවත් බය නෑ. රෑට බයත් නෑ. කැලේට බයත් නෑ. සතුන්ට බයත් නෑ. මොකටවත් ආසාවකුත් නෑ.”

****

සාර්ථක සාහිත්‍ය නිර්මාණයන්ට නනරුත් ඇත්තේය. එවන් නිර්මාණ විවිධ විවරණවලට විවෘතවද පවත්නේය.

කිසියම් සාහිත්‍ය නිර්මාණයක අරුත කිමැයි සහෘදයෝ විමසති. ඒ අරුත රසයක්ද? ආකල්පයක්ද? ආදර්ශයක්ද? ඒ වනාහී එහි නිර්මාතෘගේ අභිප්‍රේතාර්ථයමද? සිතට දැනෙන හදට හැ‍ඟෙන කිසියම් සාහිත්‍ය නි‍ර්මාණයක් සේවනය කිරීමේදී, සහෘදයන් තුළ එවන් ප්‍රශ්න පැන නැ‍ඟෙන්නේ වෙයි.

මඩොල් දූව රුසියන් බසට නඟන්නට තීරණය කළ සෝවියට් - රුසියානු සාහිත්‍යවේදීහු, මේ දූවට මුදා හැරෙන සර්පයන ගැන සිතා, “සර්ප දූවේ අබිරහස” යන අරුතැති තායිනා ස්මේයිනාවා ඕස්ත්‍රවා යන නම එයට දුන්හ. ඒ රුසියන් පරිවර්තනය කියවූ බෲනෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අයි. ස්කාවෙච්, මාර්ටින් වික්‍රමසිංහට ලියුමක් ලියමින් මෙසේ කියා සිටියේය.

“උපාලිගේත් ජින්නාගේත් ධෛර්යයත් අධිෂ්ඨානයත් ඔවුන්ගේ ශාරීරික සහ මානසික ශක්තියේම ඵලයකි. ස්වකීය අසම්පූර්ණ අධ්‍යාපනය පිළිබඳ බාධාව ඔවුන් ජයගන්නේ බුද්ධියෙනි. උපාලි යනු, උතුරා යන අසාමාන්‍ය මානුෂීය ශක්තියෙන් ඔද වැඩි වීරයෙකි.”

උපාලි මතු නොව, මෙහි එන සෙසු චරිතයන්ටද ඒ මානුෂික ශක්තිය ලැබුණේ කෙසේද?

තාත්තාගේ මරණයෙන් පසු සිය කුඩම්මා අමතා, “මම මල්ලිට උගන්වන්න වියදම් එවන්නම්.” යයි කියන ගිනිවැල්ලෙ, කුඩම්මාගෙන් මෙසේ අසයි.

“මට මොකටද සල්ලි?”

උපාලි ගිනිවැල්ලෙ, පුංචි මහත්තයා අමතා කියන්නේ කුමක්ද?

“අපි දූපතේ තවත් පැත්තක් වවන්න ඕනෑ. ආදායමෙන් කොටසක් පුංචි මහත්තයාටත් දෙනවා.”

“මට මොකටද සල්ලි?” පුංචි මහත්තයා අසයි. “මම උපාලිත් ජින්නාත් ඉන්න තෙක් මේ දූපතේම ඉන්නවා.”

ජින්නාට මුදල් ගැන නිනව්වක් ඇත්තේම නැත.මාර්ටින් වික්‍රමසිංහ, මඩොල් දූව අවසන් කරන්නේ, මුදල් ගැන විශ්වාසයක් නැති, තරුණ වියට එළඹෙන ගැටවරයන් තිදෙනකු පාඨඛයා හමුවට ඉදිරිපත් කරමිනි. එසේ නම්, ඔවුන් විශ්වාසය තබන්නේ කවරක් කෙරේද?

ඔවුන්ගේ විශ්වාසය ශ්‍රමය කෙරෙහිය. ශ්‍රම ශක්තිය කෙරෙහිය. මහ‍ පොළොව කෙටීමෙන් වගුරන දහඩිය කෙරෙහිය. සප්‍රයෝජන කාරියෙක නිරත වීමත්, කාර්යබද්ධ ජීවත් වීමත් කෙරෙහිය. මඩොල් දූව අවසන් වන්නේ, ඒ අපිස් දහම කුළු ගන්වමිනි. මාර්ටින් වික්‍රමසිංහගේ මඩොල් දූව කියවා අවසන් කරන, ලෝක සාහිත්‍යය ගැන දනුමැති විචාරවත් පාඨකයකුට, ඇතැම් විට වෝල්ටෙයාර්ගේ කැන්ඩීඩ් (හෙවත් සර්වශුභවාදය) නමැති සුපතළ උපහාස නවකතාවේ අවසානය සිහිපත් වන්නට ඉඩ ඇත. මිනිසාගේ කෲර දෛවයේ අරුමය මේ යයි පහදමින් ලියවුණු එකී කථාන්තරයේ අවසාන භාගයේදී ප්‍රකාශ වන ජීවන දර්ශනයද, මඩොල් දූවේ ගුරු අරුත හා මොනවට සැස‍ඳෙයි.

පසු කලෙක වෝල්ටෙයාර් නමින් පසිඳුව සිටි ෆ්‍රැන්කොයිස් - මාරි ඇරෝයට් (1694 - 1778) නමැති ප්‍රංස ජාතික මහා ලේඛකයා ජීවත් වූයේත්, පොතපත ලියුවේත් ප්‍රංස මහා විප්ලවයට පෙරය. 1789 දී සිදු වුණු ප්‍රංස මහා විප්ලවයට මග පාදන ලද්දේ, රූසෝ, වෝල්ටෙයාර්, මොන්ටෙස්කියු යන ප්‍රාඥයන් ත්‍රිත්වය විසින් බැව් අවිවාදිත කාරණයකි. ඔවුනතුරෙන් රාජාණ්ඩුවත් පූජක පන්තියත් නිර්දය ලෙස විවේචනය කෙළේ, වෝල්ටෙයාර්ය.

මාර්ටින් වික්‍රමසිංහ, සිය සෝවියට් දේශයේ නැඟීම කෘතියෙහි වෝල්ටෙයාර්ගේ කැන්ඩීඩ් නවකතාව හැඳින්වූයේ මෙවදන්වලිනි.

“වොල්ටේර්ගේ ‘Candide’ නමැති කතාව ක්‍රිස්තියානි පල්ලිය විසින් උගන්වන ලද අනිර්වේදවාදය නොහොත් සර්වශුභවාදය උපාහාසයට හසු කරනු පිණිස ලියවුණකි. ආගම, උගත්කම, වස්තු ලෝභය, නීතිය හා බලය ද උපයෝගී කොටගෙන පොදු ජනකාය පෙළන්නන් මලවන තරම් උපහාස ගින්න මොළවන නින්දාලාපයකි, වෝල්ටේර්ගේ මේ කතාව.”

නවකතාවක විලාසයෙන් ඔහු විසින් ලියන ලද මහරු ගතෙහි - කැන්ඩීඩ් හෙවත් සර්ව ශුභවාදය (Candide or Optimism) නමැති නවකතාවෙහි - කතානායකයා වන කැන්ඩීඩ් නමැති තරුණයාද, ඔහුගේ සගයා වන කකැම්බෝද අලුත් ලෝකය සොයා යන ගමනේදී එල් ඩොරාඩෝ නමැති ස්වර්ණ භූමියට පැමිණෙති. මොවුන් දෙදෙනාටත්, ඔවුන්ගේ ජීවිතයට සම්බන්ධ වන කියුන්ගොන්ඩ් නම් තරුණියටත්, තව බොහෝ දෙනකුටත් නපුරු දෛවයට මුහුණ දීමෙන් නැතක් දුක් විඳින්නට සිදු වෙයි.

කුරිරු දෛවය නමැති රුදුරු සය‍ුරේ අනාථව සිටි මෙම අභාග්‍යයේ යාත්‍රිකයන් කිහිපදෙනා, අවසාන භාගයේදී තුර්කියේ කොන්ස්තන්තිනෝපල් නගරයට කොටු වෙති. ඒ වන විට, කැන්ඩීඩ්, ඔහුගේ පෙම්වතිය වන කියුන්ගොන්ඩ්, ඇගේ සේවිකාව වන මහලු කාන්තාව, පැන්ග්ලොස් නමැති ආචාර්යවරයා, මාර්ටින් නමැති පණ්ඩිතයා, කකැම්බෝ නමැති හිතවත් සේවකයා, පැක්කුවිට් සහ ඇගේ පෙම්වතා වන ජිරොෆ්ලි සහෝදරතුමා යන මේ හැමදෙනාම, ජීවිතයේ අන්තිම අඩියට වැටී සිටිති.

කතාව අවසානයේදී පාඨකයාට ඔවුන් මුණ ගැසෙන්නේ, ගොවිපළකදීය.

මේ අතරවාරයේදී, සිය නිවස ඉදිරිපට දොඩම් ගස් ගොන්නක් යටට වී නැවුම් වාතයේ සුව විඳිමින් සි‍ටින කුලදෙටුවකුගේ පෙනුමැති මහලු මිනිහෙක් ඔවුන්ට මුණ ගැසෙයි. අමුත්තන් ගෙතුළට කැඳවන තුර්කියා, ඔවුන්ට නොයෙක් වර්ගයේ සරුවත්ද, දෙහි දොඩම් නාරං, අන්නාසි ආදී පලතුරුවලින් සාදන ලද පානද බොන්ට දෙයි.

ඔහු පිරිස අමතා කියන කතාවක් මේය.

“වැඩ කිරීම හේතුකොටගෙන කුසීතකම, දුරාචාරය, දුප්පත්කම යන ප්‍රධාන පාපකර්ම තුනම දුරිභූත වෙනවා.”

මහල්ලා සමඟ එකඟ වන පැන්ග්ලෝස් මෙසේ කියා සිටියි.

“ඔබ හරියටම හරි. ඒකෙ තේරුම, මිනිහා සුවපහසු ජීවිතයක් උරුම කරගෙන ඉපදුණේ නැති බවයි.”

“අපි වාදකිරීඹ නවත්වල, වැඩ කරන්ඩ ඕනෑ.” මාර්ටින් නමැති විශාරද පණ්ඩිතයාද තෙපලයි. “එ‍ත‍කොට තමයි, ජීවිතය බරක් හැටියට නොදැනෙන්නෙ.”

තුර්කි මහල්ලාත්, අමුත්තන් තිදෙනාත් අතර තව බොහෝ දේවල් කතාබස් වෙයි. එතෙකුදු වුවත්, වෝල්ටොයර්ගේ අපූරු නවකතාවේ අවසානම වාක්‍යය කියන්නේ, කැන්ඩීඩ්ය.

“ඒක ඇත්ත තමයි. අපි ගිහිල්ලා වත්තෙ වැඩ කරමු.”

ජර්මනියේ වෙස්ට්ෆේලියා සිට නව ලෝකයට අයත් යැයි කියන ලද එල් ඩෙරාඩෝ ස්වර්ණ භූමියට කැන්ඩීඩ් ගිය ගමන අවසන් වන්නේ ඔහුත් ඔහුගේ පිරිසත් දුර ඈත තුර්කියේ කොන්ස්තන්තිනෝපල්හි බිම්කඩක් කොටන්ට යන තැනිනි. වෝල්ටෙයාර්ගේ කැන්ඩීඩ් නවකතාවත්, මාර්ටින් වික්‍රමසිංහගේ මඩොල් දූවත් දෙමගක ගමන් කරන ප්‍රබන්ධ කෘතීන් වුවද, ඒ දෙ‍ක්හිම ගුරු අරුත එකක්ම බැව් විචාරවත් පාඨකයා හඳුනාගනියි.

“මගේ මඩොල් දූව රොබර්ට් ස්ටීවන්සන්ගේ ‘ට්රැෂර් අයිල්නඩ්’ පොත අනුව ලියන ලද්දකැයි එක් විවේචකයෙක් කීය. තවත් එකෙක් එය Just William Stories ඉංගිරිසි ළමා කතා ඇසුරෙන් ලියවුණක් යයි කීය. තවත් එකෙක් එය ආර්.ඇම්. බැලැන්ටයින්ගේ පොත් ඇසුරෙන් ලියන ලද්දක් යයි කීහ. මහාචාර්ය මලලසේකර මඩොල් දූව ලිවීම ගැන මට පැසසුවේය.

“ ‘මොවුන් කියන එක ඉංගිරිසි කතාවක්වත් මම කියවා නෑ’යි මම කීවෙමි. ‘බටහිර කථාවකට සමානකමක් මඩොල් දූවේ තිබෙනවා නම්, එය මාර්ක් ට්වෙන්ගේ කතා වර්ගයට පමණි. මඩොල් දූවෙන් නිරූපණය වන්නේ සිංහල ගැමි ජීවිතයයි.’

“මඩොල් දූව, මාක් ට්වෙන්ගේ කතාවක් ඇසුරෙන් ලියවුණක්ය යන කටකතාව රුසියාවට පවා ගියේ මීට පසුයි.”

ඒ කටකතාව සපුරා බැහැර කළ සෝවියට් - රුසියානු සාහිත්‍යවේදීහු, මඩොල් දූවේ රුසියානු පරිවර්තනයක් පළ කිරීමේ තීන්දුවකට එළඹ, 1959 වසරේදී, ගිනිවැල්ලෙලාගේ ජින්නලාගේ සහ පුංචි මහත්තයලාගේ කතාව කියවා රස විඳීම අවස්ථාව ස්වකීය පාඨකයන්ට ලබා දුන්හ. එපරිදි, මහා සාහිත්‍ය ප්‍රවාහයකට එක් වුණු මඩොල් දූව, මේ වන විට රුමේනියානු (1962), චීන (1963), බල්ගේරියානු (1965), ඉංග්‍රීසි (1976), ලන්දේසි (1979), දෙමළ (1997), ජපාන (2002) සහ ඉතාලි (2008) යන භාෂාවලට පරිවර්තනය කරනු ලැබ, ලෝක සාහිත්‍යය තුළ දිගු ගමනක යෙදී සිටින්නේ වෙයි.

සමාප්තයි.

අදහස්