වැඩ කරන්න විකල්ප ද ජාතික ද කියන එක වැද­ගත් නෑ | සිළුමිණ

වැඩ කරන්න විකල්ප ද ජාතික ද කියන එක වැද­ගත් නෑ

මට සතුටක් ලැබෙන්නේ සමස්ථයක් වශයෙන් වෘත්තිය යහපත් තැනක තිබෙනවා නම් පමණයි අද ජනමාධ්‍ය හැසිරෙන විදිය ගැන තෘප්තියක් න‍ෑ පුවත්පත් කලාවේදියෙක් කියන්නේ දේශපාලන පක්ෂයකට ගැතිකම් කරන කෙනෙක් නොවෙයි මම ඩලස් අලහප්පෙරුම යටතේ රැකියාවක් කළා කියලා ඔහුගේ රැස්වීම් ආවරණය කරන්න ගියේ නැහැ

 

තිඹිරියාගම බණ්ඩාර දශක තුනක් මුළුල්ලේ ලක්මිණ, ලක්දිව, යුක්තිය, රාවය, ඇත්ත වැනි විකල්ප පුවත්පත් සහ සිළුමිණ, රැස යන ජාතික පුවත්පත්වල කටයුතු කරන ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙකි; ප්‍රකට ලේඛකයෙකි; කවියෙකි. බණ්ඩාගේ වාක්කිය, මනස් සිතුවම, බුදුන්ගේ දේශය වැනි ජනප්‍රිය තීරු ලිපි ලියූ තීරු ලිපි රචකයෙකි. ‘ගිනි ගත් දේශයක’, ඔහුගේ මාධ්‍ය ජීවිතයේ අත්දැකීම් ඇසුරෙන් රචනා කළ අලුත් ම කෘතියයි. ඔහු සමඟ මේ සංලාපය කළේ ඔහුගේ නවතම කෘතිය පාදක කර ගනිමිනි.

 

ඔබේ මාධ්‍ය අත්දැකීම් ඇසුරෙන් මෙවැනි කෘතියක් රචනා කිරීමට පෙලඹුණේ ඇයි?

පුවත්පත් කලාවේදියකු ලෙස මා ගෙවන තිස් වසරක කාලයෙන් වසර 25 ක් පමණ ගෙවු‍ණේ විකල්ප පුවත්පත් සමඟ. විකල්ප පුවත්පත් සමඟ වැඩ කරන විට රටේ දැවැන්ත ප්‍රශ්න එක්ක පොර බදන්න සිද්ධ වුණා. ඒ වගේ ම තමයි මගේ මාධ්‍ය ජීවිතය ඇතුළත අනුවේදන‍ීය සිදුවීම්, පෞද්ගලික ජීවිතයේ මුහුණදුන් දුෂ්කරතා පවා තිබුණා.‍ සමහර අවස්ථාවලදී මගේ නිශ්ශබ්ද ස්වභාවය ඇතැම් කර්තෘ මාණ්ඩලිකයන්ගේ කුකුසට හේතු වුණා. ‘තිඹිරි ගුප්ත චරිතයක්’ කියලා කියූ අවස්ථා තිබුණා. ඒ අයට මගේ ඇත්ත දැන ගැනීමටත් මා මෙය ලියා තැබුවොත් හොඳයි නේද කියලා මට හිතුණා. ඒ නිසා මගේ මාධ්‍ය ජීවිතය ගැන සටහන් කිරීමට මම තීරණය කළා. මෙය පෞද්ගලිකව භාව විරේචනය කිරීමක් හැටියටත් හඳුන්වන්න පුළුවන්. අනික පුවත්පත් කලාවට පිවිසෙන නවකයන්ට අපේ මාධ්‍ය අත්දැකීම් හොඳ මාර්ගෝපදේශයක් වේවිනේ. මේ සියලු කරුණු නිසා තමයි මම ‘ගිනිගත් දේශයක’ පොත ප්‍රකාශයට පත් කළේ.

 

ඔබ ලක්මිණ, ලක්දිව, යුක්තිය, රාවය යන විකල්ප පුවත්පත් ධාරාවේ කටයුතු කළ මාධ්‍යවේදියෙක්. දැන් ‘රැස’ ජාතික පුවත්පතේ විශේෂාංග කර්තෘ වශයෙන් කටයුතු කරනවා. මේ ධාරා ද්විත්වයේ ඔබ දකින සහ ඔබට දැනෙන වෙනස කොහොමද?

පුවත්පත් කලාවේදි‍යකුට ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. තමා සේවය කරන ආයතනය වැදගත් නැහැ. තමුන්ගේ රාජකාරියයි වැදගත් වෙන්නේ. තමුන්ගේ ප්‍රතිපත්ති මත පිහිටා රාජකාරිය කරනවා නම් තැන ගැටලුවක් වෙන්නේ නැහැ‍. මම 1985 ඉඳලා ජනවාර්ගික ගැටලුවට දේශපාලන විසඳුමක් අවශ්‍ය බව කිව්වා. අදත් ඒ මතයෙ ඉන්නවා.

අපේ රටට අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන මතයේ මම හැමදාම ඉන්නවා. පුවත්පත් කලාවේදියෙක් කියන්නේ දේශපාලන පක්ෂයකට ගැතිකම් කරන කෙනෙක් නොවෙයි. පුවත්පත් කලාවේදියා විචාරශීලීව, සංයමයෙන්, දැක්මක් සහිතව කටයුතු කළ යුතුයි. පුවත්පත් කලාවේදියාට සර්පයන් ව අවුස්සන්නත් පුළුවන්. අවුස්සන්නේ නැතිව ගමන යන්නත් පුළුවන්. ස්වයං වාරණයක් පනවාගෙන ලියන අය පුවත්පත් කලාවේදීන් නෙමෙයි. සර්පයන් අවුස්සන්නේ නැතිව විචාරශීලීව සංයමයෙන් ලියනවා නම් පුවත්පත් කලාවේදියාට තැන වැදගත් නැහැ. දයාසේන ගුණසිංහ, බී.ඒ. සිරිවර්ධන යන ප්‍රවීණයන් නිදසුන් හැටියට පෙන්වන්න පුළුවන්.

 

පුවත්පත් කලාවේදියකු වශයෙන් ඔබට බලපෑම්වලට මුහුණදීමට සිදුවී තිබෙනවාද?

නැහැ. මම මගේ ප්‍රතිපත්ති අනුව යමින් විචාරාත්මකව ලියනවා. විකල්ප පුවත්පත් සහ ජාතික පුවත්පත් බලධාරීන්ගෙන් මට කවදාවත් බලපෑම් වෙලා නැහැ. ඒ නිසයි මම කලිනුත් කිව්වේ විකල්ප පුවත්පත ද ජාතික පුවත්පත ද කියලා වෙනසක් නැහැ. වැඩ කරනවා මිසක්.

 

‘ගිනි ගත් දේශයක’ පොත කියවන විට පෞද්ගලික අත්දැකීම්වලට එහා ගිය සමාජ පැතිකඩක් මෙයින් විවරණය කෙරෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

එය මම හිතාමතා කළ දෙයක්. මම මාධ්‍යයේ පුද්ගලික අත්දැකීම්වලට මුහුණ දුන්නේ සමාජ කාරණා නිසා. ඒ නිසා කතාව එක්තරා ආකාරයකට සමාජ පැතිකඩක් ම වෙනවා. කොහොමටත් මම මගේ කතාව සමාජ පැතිකඩක් විදිහට ගලාගෙන යන ආකාරයට තමයි රචනා කළේ. නැතිනම් පාඨකයාට එය වැදගත් නැහැ; පාඨකයාට නීරස වේවි.

 

රාවය පුවත්පතේ ඔබ කටයුතු කරන විට හවුලේ ලිපි ලිවීමේ නිරත වූ බව සඳහන් වෙනවා. එම පුවත්පත් කලාව ගැන විශේෂ යමක් කිව හැකි ද?

හවුලේ ලිපි ලිවීම ලොකු ප්‍රවණතාවක් නොවෙයි. එක් එක් මාධ්‍යවේදීන් විවිධ ඉසව් ආවරණය කරලා එක ලිපියකට ගොනු කරනවා. මෙහිදී ඒ හැමෝගේම සහභාගිත්ව නිරීක්ෂණය වැදගත්. ඒ විදිහට අපි ලිපි 3ක් 4ක් කළා.

හැබැයි අද බොහෝ පුවත්පත්වල ලිපි රචනා කරන ලේඛකයන්ගේ නම් දෙකක් පළ කරන්නේ සහභාගි ත්ව නිරීක්ෂණයෙන් ලිපි ලියූ නිසා නොවෙයි. අද බොහෝ විට ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ලියා එවන විශේෂාංග ලිපි ප්‍රතිරචනය කරන්න වෙනවා. ඒ වගේ අවස්ථාවල එය ප්‍රතිරචනා කළ උප කර්තෘගේ නම ලොකුවට දාලා ප්‍රාදේශීය වාර්තාකරුගේ නම සහාය හැටියට පොඩියට දානවා. තවත් අවස්ථාවක දෙදෙනාගේම නම් එක සමාන අකුරෙන් දමනවා. තවත් අවස්ථාවක ප්‍රතිරචනා කළ කෙනාගේ නම විතරක් පළ කරනවා. මේ ක්‍රම 3 ම වැරදියි.

ලිපිය ප්‍රතිරචනා කළත් එහි නම යෙදිය යුත්තේ ප්‍රාදේශීය මාධ්‍යවේදියාගේ නම පමණයි. අද හවුලේ ලිපි ලිවීම කියන්නේ ඒවාටනේ. අපි ලිව්වේ එහෙම ලිපි නෙමෙයි. හැමෝම විවිධ පැතිකඩ ගවේෂණය කරලා එක ලිපියක් සකස් කරනවා.

 

ඔබ සමඟ එදා පුවත්පත් කලාවේදීන් ලෙස සමීපව කටයුතු කළ විමල් වීරවංශ හා ඩලස් අලහප්පෙරුම අද පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරී මන්ත්‍රීවරුන් දෙපළක්. ඔවුන් දෙදෙනා සමඟ ඔබේ පසුකාලීන සබඳතා කොහොමද?

අපේ තරහ මරහක් නැහැ. මම ධාරාව විවේචනය කරන විට ඒ අයවත් විවේචනය වෙනවා. මම ලක්දිවේ වැඩ කරන කාලයේදී විමල් වීරවංශ (එදා විමලසිරි ගම්ලත්) කරපු ‘අකුර’ ශිෂ්‍ය පිටුව ගැන ප්‍රශ්න කළා. මා ලියූ ‘බණ්ඩාගේ වාක්කිය’ තීරු ලිපියෙන් ඔහු ජවිපෙ ප්‍රචාරක ලේකම් ලෙස කටයුතු කරන ආකාරය හාස්‍යයට ලක් කළා. ඒත් ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. අපි අතරෙ තිබෙන්නේ මතවාදී ගැටුම්. එහෙම නැතිව පෞද්ගලික තරහක් නැහැ; සම්බන්ධයකුත් නැහැ.

 

ඔබේ මාධ්‍ය ජීවිතයේ වැඩි කාලයක් ගත වුණේ විකල්ප පුවත්පත්වල. මරණීය තර්ජන, බිය වැද්දවීම් වැනි අත්දැකීම් ඔබට පුරුදු ඇති නේද?

මම මාධ්‍යයට පා තබන්නේ මරණය අතේ තියාගෙන යන කාලයක. ඒ කියන්නේ 88 – 89 භීෂණ කාලයේ. අනික ඒ කාලේ මම සරසවි ශිෂ්‍යයෙක්. ඒ නිසා භීෂණයේ අඳුරු සෙවණැලි අපටත් වැටී තිබුණා. ඊට පසු කාලයක් රටේ ප්‍රබල විපක්ෂයක් තිබුණේ නැහැ. ආණ්ඩු පක්ෂය ඉතා ප්‍රබල තැනක හිටියේ. ඒ කාලයේ විපක්ෂයේ කාර්ය භාරය කළේ විකල්ප පුවත්පත්. ඒ නිසා විකල්ප පුවත්පත්වල වැඩ කරන අයට පාරේ යන එකත් අභියෝගයක්.

මම යුක්තිය පත්තරේ වැඩ කරන කාලයේ පොළොන්නරුවෙ ගොවියන් වහ බීපු සිද්ධියක් ගැන ලිපියකට තොරතුරු හොයන්න ගියා. ඒ වෙලාවේ අපිට උදව් කළේ එදා නවක මන්ත්‍රීවරයකු වූ මෛත්‍රීපාල සිරිසේන මහතා. අපි එහෙ ගිය වෙලාවේ එච්.පී.පී. නෙල්සන් නියෝජ්‍ය ඇමැතිවරයාගේ ආධාරකරුවන්ට මුහුණදෙන්න සිදුවුණා. සමෘද්ධි පත්වීම් දේශපාලන පත්වීම් කියලා මමත් මා මිත්‍ර ජයසිරිත් රාවයට ලිපියක් ලියපු වෙලාවේ ආණ්ඩුවේ හිතවත්තු අපට අනතුරු ඇ‍ඟෙව්වා. එහෙම සිදුවීම් නම් තිබෙනවා.

 

ලක්දිව පුවත්පතෙන් ඉවත්වී ආර්ථික ගැටලුවලට මුහුණපා සිටි ඔබ වරක් දියණියගේ කැටය කඩා මුදල් ගත් ඉතා සංවේදී කතාවක් ඔබේ පොතේ සඳහන් වී තිබෙනවා. එහෙත් පසු කාලයේ රාවය පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ පදවියෙන් ඉවත් වී ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා යටතේ රැකියාවකට යනවා. එය ඔබට ගැළපේ යැයි ඔබ සිතනවාද?

ලක්දිව පත්තරෙන් ඉවත්වූ කණ්ඩායම ජනතා අරමුදලකින් ‘හිරු’ පත්තරය පටන් ගත්තා. එය ආරම්භ කළ අවස්ථාවේ පටන් මම කිව්වේ ජනතා අරමුදලින් පත්තර පටන් ගන්නවා නම් සරසවි ශිෂ්‍යයන් ඉලක්ක කර ගත් කිසියම් දේශපාලන කණ්ඩායමක එකක් නොවිය යුතු බව. ඒ ප්‍රතිපත්ති මත මම හිරු පත්‍රයට සම්බන්ධ වුණේ නැහැ. ඒ නිසාම මම ආර්ථික දුෂ්කරතා රැසකට මුහුණ දුන්නා. ඒ කාලේ තමයි දුවගේ කැටේ කඩලා සල්ලි අරන් දුවට කිරි පැකට් එක ගත්තේ. ඒත් රාවයෙන් මම කෙටි කාලයක් අයින් වුණේ ප්‍රතිපත්ති ගැටලුවක් නිසා නොවෙයි.

දීර්ඝ කාලයක් පත්තර කලාවේ පීඩනයකින් වැඩ කරන විට ඇතිවූ වෙහෙස, විඩාව හා කලකිරීම නිසයි. ඒ නිසා ඊට වෙනස් ආකාරයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් මම ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා හමු වුණා. ඔහු මට ශ්‍රී ලංගමයේ මාධ්‍ය සංස්කෘතික වැඩ ටිකක් කරන්න අවස්ථාවක් දුන්නා. ඒ කාලේ මම ශ්‍රී ලංගම ඩිපෝ කීපයකම පුස්තකාල ඇරඹුවා. ප්‍රවාහන සේවක සාහිත්‍ය උලෙළ සංවිධානය කළා. කොග්ගල ඩිපෝවේ පුස්තකාලය පටන් ගත්තේ දිරාපත් වුණු බස් රථයක් පිළිසකර කරලා. මෙම වැඩවලට මම රජයෙන් සතයක්වත් ගත්තේ නැහැ. පොත් කතුවරුන් හා ප්‍රකාශකයන් සමඟ ඇති සම්බන්ධතා හරහා තමයි මම මේ වැඩ කටයුතු කළේ.

මම ඩලස් අලහප්පෙරුම යටතේ රැකියාවක් කළා කියලා ඔහුගේ රැස්වීම් ආවරණය කරන්න ගියේ නැහැ. මගේ රාජ්‍ය සේවා කාලය වසරක් වගේ කෙටි කාලයක්. එය මගේ ජීවිතයේ සංක්‍රාන්තික කාලයක් හැටියට හඳුන්වන්න පුළුවන්. එය මගේ ජීවිතේ වෙනස් අත්දැකීමක්.

 

ඔබේ මාධ්‍ය ජීවිතයේ 4 වැනි තට්ටුවට ගිය අවස්ථාවක් පිළිබඳවත් කියැවෙනවා. ඒ ගැන යමක් පවසනවා නම්?

ඔව්. මම 4 වැනි තට්ටුවට ගියා. හැබැයි මම එහි ගියේ සාහිත්‍ය වෙනුවෙන්. ඒ මංජුල වෙඩිවර්ධනගේ ‘මේරි නම් වූ මරියා’ කෙටිකතා පොත වෙනුවෙන්. ඒ පොත මුද්‍රණය කරන්න සිරිසුමන ගොඩගේ මහත්තයා බ‍ාරගත්තේ මගේ ඉල්ලීමට. අන්තිමට ගොඩගේ මහත්තයාටත් රහස් පොලිසියට යන්න වුණා. ‘මේරි නම් වූ මරියා’ පොතෙන් කිතුණු දහමට අපහාසයක් වෙනවා කියලා තමයි රහස් පොලිසියට පැමිණිලි කරලා තිබුණේ. කොහොම හරි ඒ කෙටිකතා පොත තහනම් වුණා. ඒ නිසා නඩුව ඉදිරියට ගියේ නැහැ. ගොඩගේ මහත්තයාට ආර්ථික පාඩුවක් වුණා. උසාවි ගානේ රස්තියාදු වෙන්න සිද්ධ වුණා. සාහිත්‍ය වෙනුවෙන් 4 වැනි තට්ටුවට යන්න සිදුවීම මට ප්‍රීතියට කාරණයක් වුණා.

 

මේ කෘතියේ වයඹ ඡන්දය ගැන ඉතා දීර්ඝ වශයෙන් රචනා වී ඇති බව පෙනෙනවා. එම ඉඩකඩ පෝස්පේට් මංකොල්ලය, මිථ්‍යාවට එරෙහිව වැනි මාතෘකා සඳහා ලබාදී නැහැ. ඊට හේතුව කුමක්ද?

එයට හේතු වුණේ ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ දූෂිතම මැතිවරණය වයඹ ඡන්දය වීම. එවකට පැවැති ආණ්ඩුවේ සම්පූර්ණ බලය යොදා ඉතාමත් කැත විදිහටයි වයඹ ඡන්දය පැවැත්වූවේ. වාරියපොළ ප්‍රදේශයේ උපන් ගමේ ඡන්දය තිබුණු මම; වයඹ මැතිවරණයෙන් පස්සේ මගේ නම ඡන්ද ‍නාම ලේඛනයෙන් ඉවත් කරන්න පුළුවන්ද කියලා මම සොයා බලන්න පෙලඹුණේ වයඹ ඡන්දයේ තිබුණු දූෂිතකම නිසයි. ඒ දූෂිතකම නිසා තමයි මගේ අතින් ඒ ගැන වැඩිපුර ලියවුණේ.

 

අද තාක්ෂණයේ දියුණුව පුවත්පත් කලාවටත් බලපා තිබෙනවා. ඒ නිසා ම අද මාධ්‍යවේදීන්, එදා මාධ්‍යවේදීන් තරම් ක්‍රියාශීලී නැති බවට චෝදනා එල්ල වෙනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

ඔව්. එහි ඇත්තක් තිබෙනවා. නිතර ම අන්තර්ජාලයෙන් යැපෙන්න සූදානමින් ඉන්නේ. දුරකථනයෙන් තොරතුරු ගන්න තමයි වැඩි කැමැත්ත. කෙනෙක් හමුවී කතා කරන්න, ක්ෂේත්‍ර අධ්‍යයනයක යෙදෙන්න, ගවේෂණ මාධ්‍යයක නිරත වෙන්න සූදානම් නැහැ. ඒ නිසාම අද ලෝකයේ ගවේෂණාත්මක පුවත්පත් කලාව පිරිහිලා. ඒත් එය එහෙමයි කියලා නිහඬව ඉන්න බැහැ. සැඟවුණු තොරතුරු හෙළිදරව් කරගන්න ඕනෑ. අද පුවත්පත් ආයතනවල අධිපතියනුත් එවැනි දෙයකට දිරි ගන්වන්නේ නැහැ. කෙටි විදිහට, සුඛ නම්‍ය විදිහට පුවත්පත් කලාව කරන්න බැහැ.

 

පුවත්පත් කලාවේදියකු වශයෙන් ඔබ තෘප්තිමත් ද?

දීර්ඝ කාලයක් මුළුල්ලේ විවිධ පුවත්පත් සමඟ පොර බදමින් යන ගමන ගැන නම් තෘප්තිමත්. ඒත් මට සතුටක් ලැබෙන්නේ සමස්තයක් වශයෙන් වෘත්තිය යහපත් තැනක තිබෙනවා නම් පමණයි. ඇත්තටම අද ජනමාධ්‍ය හැසිරෙන විදිහ ගැන නම් මම තෘප්තිමත් නැහැ.

 

අදහස්