විදු­දය පිරිවෙන සර­ස­වියක් වූ සැටි | සිළුමිණ

විදු­දය පිරිවෙන සර­ස­වියක් වූ සැටි

 (විද්‍යොදය මහා පිරි‍ෙවණ විශ්වවිද්‍යොලයයීය තත්ත්වයට පැමිණීම නිමිතිකොට ප්‍රචාරය කළ ගුවන් විදුලි විචිත්‍රාංගයෙකි.)

 

ලංකාවේ අධ්‍යාපනය පිළිබඳ අලුත් යුගයක් උදා කෙරෙමින්, විශ්වඥානය සකල ලංකාවාසී පොදු ජනතාවට ම නිශ්ශරණාධ්‍යාසයෙන් බෙදා දීමේ ස්වණමය අවස්ථාව සලසමින්, හෙට (1959 පෙබරවාරි 18 වැනි දා) පූර්ව භාග 6.00 ට යෙදෙන සුබ මොහොතින්, ලෝකයේ අග්‍රතම ථෙරවාදී බෞද්ධායතනය වන, බෞද්ධ සංස්කෘතියේ කේන්ද්‍ර මණ්ඩලය වන, විද්‍යෝදයාග්‍ර විද්‍යාලය විශ්වවිද්‍යාලයක තත්ත්වය ලබයි.

අද විශ්ව කීර්තියට භාජනව පවත්නා මහා විශ්වවිද්‍යාලයන් පිහිටි ස්ථානයන්හි පවා ඝන වනයෙන් වැසී සිටි සමයෙහි පෙරදිග සමස්ත ශාස්ත්‍රදානය කළ මහා විශ්වවිද්‍යාලයෝ වූහ. එ බැවින් පෙරදිගට විශ්වවිද්‍යාලයයීය සංකල්පය අපූරුවක් නොවේ. ක්‍රි:ව: අට වැනි ශත වර්ෂයේ පටන් මුළු ලොව ම ශාස්ත්‍ර රසිකයන් සෑම අංශයක විද්‍යා ශාස්ත්‍ර කලා ඥානය නොමිලේ ලබා දුන් දඹදිව විශ්වවිද්‍යාලයයන් අතර නාලන්දා විශ්වවිද්‍යාලය, වික්‍රමශිලා විශ්වවිද්‍යාලය, සෝමපුර විශ්වවිද්‍යාලය, ඕදන්තපූරී විශ්වවිද්‍යාලය, ජගත්දලා විශ්වවිද්‍යාලය, තක්ෂිලා විශ්වවිද්‍යාලය ආදී මහා ශාස්ත්‍රාකර දින්නාග, වසබන්ධු, නාගාර්ජුන, ආර්යශුර, ආර්යදේව, ධම්කීරිති ආදී මහා පණ්ඩිත වරේණ්‍යයන්ගෙන් සමුපශෝභිත වූ බවට ලෝකයේ අධ්‍යාපන ඉතිහාසය සාධක ඉදිරිපත් කරයි.

කිතුවසින් පස්වැනි සිය වස වන විට මේ කුඩා දිවයින ද සකල ලෝකයාගේම අත්‍යන්ත බහුමානයට පාත්‍ර වූ මහා විද්‍යාපීඨ යන්ගෙන් අලංකාරව පැවැත්තේය. අනුරාධපුර මහා විහාර පිරිවෙණ, ත්‍රිවේද පාරප්‍රාප්ත, ආචාර්ය බුධඝෝෂයන් වැනි දඹදිව උගතුන්ට පවා ථෙරවාදී බෞද්ධ දර්ශනය ඉගැන්වූ අසමාන විද්‍යා පීඨයක් අනුරාධපුර යුගයෙහි නම් සඳහන් වන දික්සඳ සෙනෙවියා ආදී පිරිවෙන් ද ශාස්ත්‍රදානමය ප්‍රධාන පරමාර්ථය කොට ගත් විද්‍යාකර විය. සතර මූල, කපාරා මූල, වහදූ මූල, සතුරල මූල, මහ නෙත් පා මුල, යන පස් මුල් පිරිවෙන් හිමියෝ ස්වකීය නිෂ්නාථ බුද්ධි මහිමයෙන් ශාස්ත්‍ර රසිකයන්ගේ මනදොළ පුරවන්නට පොහොසත් මහා පණ්ඩිතවරයෝ වූහ.

තොටගමුවේ විජයබා මහා පිරුවණේ මල් පල රම්හි නිදැල්ලේ පසුවන කොවුලන් පවා දහම් රස වගුළ බව පවසන ගිරා සන්දේශකරුවාණෝ පහළොස්වැනි ශත වර්ෂයේ ලක්දිව පැවැති ශාස්ත්‍රෝත්දීප්තිය ගැන කීහ. එවක කෑරගල පද්මාවතී පිරිවෙණ,පැපිලියානේ සුනේත්‍රා දේවී පිරිවෙණ ආදී පිරිවෙන් ශාස්ත්‍ර දානය කළේ විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනයට නොදෙවෙනි පරිද්දෙනි.

ඉන්දියාවෙන් පවා පැරණි මහා විශාරදයන් මෙරට විද්‍යා මන්දිරයන්හි සතර වන පොත් කළ බව එයින් දැක්ක හැකි ය. මහා විහාර පිරිවෙන් යුගයෙන් ආරම්භ වී ඉතිහාස ගත වාර්තා පිහිට වූ අපේ පිරුවන් අධ්‍යාපන ක්‍රමය මහනුවර සමය වන විට නැත්තටම නැති වී ගොස් තිබුණු බව පෙනේ. අසරණ සරණ වැලිවිට ශ්‍රී සංඝරාජ මාහිමියන්ගේ අනල්පෝත්සාහයෙන් ලක්දිව බෞද්ධ අධ්‍යාපන පුනරුත්ථානයට පැමිණෙන අවදියේ මෙරට පාලි ගාථාවෙක අදහසක් සිංහලෙන් කියාපාන්නට තරම් කෙනෙක් නොසිටියහ.

19 වැනි ශත වර්ෂයේ අග හරියේ දී මෙරට ප්‍රාචීන ධම්ශාස්ත්‍රාධ්‍යාපනය බෙහෙවින් ම පිරිහී පැවැතිණි. කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණ ආරම්භ වූයේ මේ අවදියේ ය. ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක මාහිමියන් වහන්සේ විසින් ක්‍රි:ව:1873 දී විද්‍යෝදය පිරිවෙණ ආරම්භ කරන ලද්දේ ශිෂ්‍යයන් හත්දෙනෙකුගෙනි. මේ අවදියේ පාලි භාෂාව උගත් ධර්ම දේශකයන් වහන්සේ නමක් පවා සොයා ගැනීමට අතිශයින් දුෂ්කර කාර්යයක් විය.

සත් දෙනෙකුගෙන් පටන් ගත් විද්‍යෝදය පිරිවෙණ ශ්‍රී සුමංගල නා හිමියන්ගේ කාලයේදී ම ශිෂ්‍යයන් තුන් සියය දක්වා වැඩි විය. බටුවන්තුඩාවේ පඬිතුමාගේ ද සහාය ඇතිව පාලි මහාවංශය සිංහලට පරිවර්තනය කළ ශ්‍රී සුමංගල නා හිමියෝ බාලාවතාර ටීකාව පාලි භාෂාවෙන් ලිවීමෙන් පාලි ව්‍යාකරණ ක්ෂේත්‍රයෙහි ජයස්තම්භයක් පිහිටු වූහ.

හත් දෙනෙකුගෙන් ආරම්භ වූ විද්‍යෝදය පිරිවෙණේ ශිෂ්‍ය සංඛ්‍යාව වර්ෂයකට ශිෂ්‍යයන් දහසක් දක්වා ම ඉහළ නැඟී ගියේ විද්‍යෝදය පිරිවෙණේ ශාස්ත්‍ර සේවයේ අත්‍යුත්තකර්ෂවත් බව විදහා දක්වමිනි. වරක් මේ පිරිවෙණට පැමිණ සියම් මහ රජතුමා රුපියල් දහ දාහක් පරිත්‍යාගයක් කෙළේ, එතුමා නමින් වාර්ෂික ත්‍යාගයක් පිහිටුවීමට ය. මෙම ශ්‍යාමරාජ ත්‍යාගය අදත් අවුරුදු පතා පිරිවෙණේ අවසාන පරීක්ෂණයෙන් පළමු වැනියා හැටියට සමර්ථ වන ශිෂ්‍යයාට පිරිනමනු ලැබේ.

1873 දී ශ්‍රී සුමංගල නායක මාහිමියන් විසින් සමාරම්භ කළ විද්‍යෝදය පිරිවෙණ 1911 දී මහගොඩ ශ්‍රී ඥානේශ්වර නායක මාහිමියන් වහන්සේ පරි‍වේණාධිපති ධූරයට පැමිණිය පසු අතිශයින් දිප්තිමත් අවස්ථාවට පැමිණියේ ය. 1922 දී පරිවේණාධිපති ධූරයට පත් වූ කහවේ ශ්‍රී රත්නසාර නායක මාහිමියන් වහන්සේ අතින් අතිශයින් උත්කර්ෂවත් අවස්ථාවට පැමිණියේ ය. 1936 දී පරිවේණාධිපති ධූරයට පත් වූ බද්දේගම ශ්‍රී පියරතන නායක මාහිමියන් වහන්සේ සිය පිරිවෙණ විශ්වවිද්‍යාලයක් බවට පත්වීමේ උත්කර්ෂවත් අවස්ථාව දැකීමෙන් සම්මෝදයට පත්වන්නට තරම් භාග්‍යවත් වූහ. අවුරුදු 60ක් පමණ කාලයක් තුළ පිරිවෙන් අධ්‍යාපනය සඳහා සිය ජීවිතය කැප කළ උන් වහන්සේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙහි ආයත්යභිවර්ධනය දෙස බලා සිටින්නේ උසස් අපේක්ෂාවෙනි.

පැලෑනේ ශ්‍රී වජිරඥාන, යගිරල ශ්‍රී ප්‍රඥානන්ද, කොත්මලේ ශ්‍රී ධම්මානන්ද, කරඳන ශ්‍රී ජිනරතන, ශ්‍රී ධම්මාලෝක යන බහුශ්‍රැත පැවිදි පඬිවරුන් බිහි කළ විද්‍යෝදය පිරිවෙණ, වේරගම පුංචි බණ්ඩාර, ඩබ්ලිව්.ඒ. සමරසේකර, සූරිය සුමංගල, ගුණපාල මලලසේකර ආදී ගිහි පඬිවරුන්ට ප්‍රභවස්ථානය විය. ප්‍රාචීන පණ්ඩිත උපාධිධාරීන් පමණක් නො‍ව බී.ඒ.ඇම්.ඒ.පී.එච්.ඩී.ආදී ලංඩන් ඔක්ස්ෆර්ඩ්, කල්කටා විශ්වවිද්‍යාලවල උපාධිධාරීන් ද බිහි කිරීමට මෙම පිරිවෙණ පොහොසත් විය. සතිශ්චන්ද්‍ර විද්‍යාභූෂණ, පණ්ඩිත කෝසම්බීය ධම්මානන්ද, වෛචරදාස්, ව්‍යාකරණ න්‍යායතීර්ථ, හරගෝන් ශාස්ත්‍රී, පණ්ඩිත ගෝස්වාමී, කෝජන් ගුණරත්න,සුබාහු, ඌසාගර, ශ්‍රමණ පූර්නන්ද වැනි වංශ ගුජරාජ, චිතගොන්,ජපන්, ටිබෙට්, බුරුම, සියම්, කාම්බෝජ උගතුන්ට ද මෙම මහා පිරිවෙණ ථෙරවාදී බෞද්ධ දර්ශනය ඉගෙනීමේ මධ්‍ය මණ්ඩලයක් විය. දැනට ලංකාවේ පවත්නා දෙසීයකට නො අඩු පිරිවෙන්වලින් එකසිය විසිපහකට නොඅඩු සංඛ්‍යාවක් විද්‍යෝදය පිරිවෙණේ ශාඛා, ප්‍රශාඛා විද්‍යාස්ථානයෝ යි.

ලෝකයේ නොයෙක් රටවලින් පැමිණෙන ශිෂ්‍යයන්ට පාලි භාෂාව ඉගැන් වූ මූලික ස්ථානය වන විද්‍යෝදය පිරිවෙණ ථෙරවාදී බෞද්ධ දර්ශනයේ කේන්ද්‍රස්ථානය බවට පත්විය. මෙම පිරිවෙණේ අධිපති ආචාර්ය, ප්‍රාචාර්ය වහන්සේලා විසින් පාලි, සිංහල, සංස්කෘත, ප්‍රාකෘත යන භාෂාවලින් නිෂ්පාදනය කරන ලද ධර්ම, විනය, ශබ්ද ශාස්ත්‍ර, ව්‍යාකරණ ජන්දෝලංකාර, තර්කඥාය යන ග්‍රන්ථ සංඛ්‍යාව අතිමහත් ය. එම ග්‍රන්ථ යන්ගෙන් සිංහල සාහිත්‍යයන්ටත් ලංකාවේ අධ්‍යාපන ප්‍රණාලියටත් සැලසුණු සේවය අසීමිත ය.

මහජන රජ බලයට පත්වීමෙන් පසු බෞද්ධ අධ්‍යාපනයට හිමි නියම තැන ලබා දෙමින් ගරු විජය නන්ද දහනායක අධ්‍යාපන ඇමතිතුමා විද්‍යෝදය, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයයීය පණත පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීමෙන් පසු බොහෝ කාලයක් මුළුල්ලේ ලංකාවාසීන් තුළ පැවති උසස් අපේක්ෂාවක් මුදුන් පමුණුවමින් විද්‍යෝදය පිරිවෙණ හෙට විශ්වවිද්‍යාලයක් බවට පැමිණේ.

පිපි සැටියේ පරසතු රුක දිලෙන සැටී

යසකැටියේ සුවඳින් ජය රැගෙන සිටී

නැණයටියේ පමණින් කළ සුනෙර මිටී

වැලිවිටියේ මහිමි විදුගණ පතිව සිටී

 

පා තල මුදුන් මල් කළ කිව් කුළ කැටියේ

ලෝතුළ පතළ වන යසසින් නොකි ලිටියේ

රාහුල නමින් තොටගමුවෙහි වැඩ සිටියේ

මේ හෙළ මහා පඬිරුවනද? වැලි විටියේ

 

මිහි රැති පබඳ මුතුසක් කිරිපෙණ නංගා

විහි දෙන සඳලකර දිය රළ රැළි රංගා

මෙහි මිගෙ නුවණ මුහුදට මුව දොර හංගා

කොහි වෙද ලොවේ බැස යන වියරණ ගංගා

යන ආදීන් විද්‍යෝදය විද්‍යාලයෙහි දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වන පූජ්‍ය මීදෙණියේ විමලානන්ද කවි හිමියන් වැනි සිංහල කවීන්ගේ නොමසුරු වර්ණයට පාත්‍ර වූ ගෞරවාස්පද ත්‍රිපිටක වාගිශ්වරාචාර්ය රාජකීය පණ්ඩිත වැලිවිටියේ ශ්‍රී සෝරත නායක මාහිමියන් වහන්සේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයාධිපති පදවියට පත් වුහ. සංස්කෘත ශබ්දාර්ණවය, ශ්‍රී සුමංගල ශබ්දකෝෂය යන සංස්කෘත සිංහල කෝෂ ග්‍රන්ථයන් නිමවා කල්පලතා ව්‍යාඛ්‍යාය සහිත කව්සිළුමිණ සරලාර්ථ වර්ණ සහිත වෘත්තරත්නාකරය, වැනි කුදු මහත් ග්‍රන්ථ රාශියක කතෘ පාදයාණන් වන ශ්‍රී සෝරත විද්‍යෝදය වියත් ගණනායකයාණන් වහන්සේ ප්‍රාචීන, ප්‍රතිචීන භාෂාවන්හි කුශාග්‍ර බුද්ධිමතෙකි. ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියන් දෙස් විදෙස් සිසු ගණයා පිරිවරා විජයබා පිරි‍වණෙහි ශාස්ත්‍රදානය දුන් අයුරු සිහියට නංවමින් සිය දහස් ගණන් ශාස්ත්‍ර රසයෙන් පරිපෝෂණය කරන උන්වහන්සේගේ මහා පාඬිත්‍යය නිසා විද්‍යෝදය විශ්වවිද්‍යාලයය උද්දීප්තියෙන් උද්දීප්තියට පත්වනු ඇත.

විද්‍යෝදය මහා පිරිවෙණ විශ්වවිද්‍යාලයක් බවට පැමිණවීමෙන් මෙරට ශාස්ත්‍රෝනන්තියේ අසමාන අවස්ථාව උදා වෙයි. සිංහල උගතුන්ට ලෝකයේ විවිධ උගතුන්ගේ අදහස් පිරිස්සා බලන්නට අවස්ථාව සැලසේ. විශ්වඥානය ඔවුනොවුන් අතර හුවමාරු කර ගැනීමට අවසර ලැබෙයි. ථෙරවාදී බෞද්ධ දර්ශනයේ මධ්‍ය මණ්ඩලය ව පවත්නා මෙම මහා පිරිවෙණේ, වියත් ගණනායක, උපවියත් ගණනායක, විනේතෘ, ප්‍රමුඛාචාර්ය, ආචාර්යවරයන්ගේ ප්‍රඥාපාඨවය හේතුකොටගෙන දුප්පත් දරුවාගේ පටන් සියලුම දෙනාට භාෂා ශාස්ත්‍ර, සමය සමයාන්තර තර්කන්‍යය, ව්‍යකරණ ඡනේඥාලංකාර, හා නවීන විද්‍යාවන්ද ඉතා පහසුවෙන් අංග සම්පූර්ණව ඉගෙනීමට අවස්ථාව ලැබෙනු ඇත.

මහා විහාර පිරිවෙන් පරපුරින් පැවත එන අධ්‍යාපන ක්‍රමය නොඅඩු ව සෑම රසිකයකුට ම ලබා දෙනුවස් සමාරම්භ වන මෙම විශ්වවිද්‍යාලය ලංකාවේ අනාගත බුද්ධි ප්‍රබෝධය දර්පණතලය වන ඒකාන්තය. මෙම අසහාය විද්‍යාමන්දිරය නිසා සිංහල භාෂා සාහිත්‍යයට සැලකිය හැකි සේවාව ගිනිය නොහැකි ය. සිංහල භාෂාවට අලුතෙන් එක්වන වචන සංඛ්‍යාව ප්‍රමාණ කොට දක්වනු නොහැකිය. නිවැරදි වියත් සිංහල භාෂාවෙන් නිෂ්පාදනය විය හැකි පර්යේෂණාත්මක විචාර පූර්ණ ග්‍රන්ථ මෙතෙකැයි නොකිය හැකිය. ලෝක විවිධ රටවලින් නිර්මල බෞද්ධ සංස්කෘතියත් පවිත්‍ර ථෙරවාදී බෞද්ධ දර්ශනයත් නිරවද්‍ය පාලි භාෂාවත් විද්‍යානුකූල ඉගෙනීම සඳහා මෙහි පැමිණිය හැකි ශිෂ්‍යයන්ගේ සංඛ්‍යාව ඉතා විශාල වනු ඇත. සැබැවින් ම සිංහලයනටත් ජන්ම භාෂාවක් ඇතැයි උදන් ඇනිය හැකි වනු ඇත්තේ මින් පසුව ය. සිංහල බහුශ්‍රැතයන්ගේ තීක්ෂණඥානය හා පර්යේෂණ බුද්ධිය සැබැවින් ම ඔප වැටෙනු ඇත්තේ මෙතැන් පටන් ය. විශ්වවිද්‍යාලයක් ජාතික වස්තු නම් සිංහලයන්ගේ සැබෑ ජාතික වස්තුව පහළ වන්නේ මෙතැනදීය.

මේ අනුව විද්‍යෝදය විශ්වවිද්‍යාලය විද්‍යාසේවීන්ගේ හා ශාස්ත්‍ර රසිකයන්ගේ ධර්මශාස්ත්‍ර රුචිය සපුරාලන මධ්‍ය මණ්ඩලය වනු ඇත.

හෙට සවස 4.00 ට පමණ කොළඹ නිදහස් චතුරශ්‍රයේ නිදහස් මන්දිරයෙහි ශ්‍රී ලංකා විද්‍යෝදය මහෝත්සව සභාවේ දී අභිනවයෙන් සමාරම්භ විශ්වවිද්‍යාලයේ පළමුවෙනි උදාන වාක්‍යය අසන්නට ලැබෙනවා ඇත. හෙට ඉරිදා උදේ හයට යෙදෙන සුබ මොහොතින් අකුරුකොට සමාරම්භ වන විද්‍යෝදය විශ්වවිද්‍යාලය පෙරදිග බෞද්ධ සංස්කෘතියේ ථෙරවාදී බෞද්ධ දර්ශනයේත් ප්‍රාචීන භාෂා සාහිත්‍යයේත් අසමාන මධ්‍ය මණ්ඩලයව ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලය සංවර්ධනයෙන් සංවර්ධනයට පත්වේවායි හෘදයංගම ව ඉෂ්ටාශිංසනය කරම්හ.

වැලිවිටියේ පඤ්ඤා ජෝති හිමි, දාම්මල සුමන හිමි, රංජිත් අමරකීර්ති පලිහ පිටිය,නන්දන කුමාරපේලි විසින් සංස්කරණය කරන ලද වැලිවිටියේ ශ්‍රී සෝරත මා හිමි ප්‍රත්‍යවලෝකන ග්‍රන්ථයෙන් උපුටා ගැනිණ.

අදහස්