සාරගර්භ කියැ­වී­මක අවං­කව ඉන්න පාඨ­ක­යාව රව­ටන්න බැහැ | සිළුමිණ

සාරගර්භ කියැ­වී­මක අවං­කව ඉන්න පාඨ­ක­යාව රව­ටන්න බැහැ

ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද, ප්‍රකට පරිවර්තිකාවකි. වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග් පරිවර්තනය කරමින් පරිවර්තන සාහිත්‍යයට ප්‍රවිෂ්ට වූ ඈ අතින්, මේ වන විට කෘති 40 ට ආසන්න ප්‍රමාණයක් පරිවර්තනය වී ඇත. ගංගා විසින් රචිත ප්‍රථම ස්වතන්ත්‍ර නවකතාව 'සුවඳ තො‍ටුපොළ' නිකුත් වූයේ 2008 වසරේ දී ය. අභිනවයෙන් නිකුත් වූ 'ඈත දුර ඈත' ඇගේ දෙවැනි ස්වතන්ත්‍ර නවකතාවයි. මේ ඒ අරභයා කළ හෘදය සංවාදයකි.

 

අධිවේගී නගරයක වේගවත් සබඳ ගැන ලියද්දි වචන ඇතුළත ඒ වේගය රදවා ගත්තෙ කොහොමද? ඒකට අනුගමනය කරපු ශිල්පීය ක්‍රම මොනවද?

හොංකොං වැනි අධිවේගී නගරයක කාලයක් ජීවත් නොවුණු කෙනකුට මේ කෘතිය, මෙතරම් කෙටි සිදුවීම් බහුලව වේගයෙන් ගලා යන්නෙ ඇයිද කියන ප්‍රශ්නය මතු වෙන්න පුළුවන් බව පොත ලියන්න පටන් ගනිද්දිම මම දැනගෙන හිටියා. නමුත් කතාවේ අන්තර්ගතය සහ අදහස මතු කරන්න ඒක එහෙම ලියනෙක අතශ්‍යවශ්‍ය වුණා. මේ කතාවෙ කතා නායිකාව දීර්ඝ කාලයක් තිස්සේ තිබුණ තමන්ගේ ප්‍රථම සහ එකම ප්‍රේම සම්බන්ධය බිඳිලා ගියාට පස්සේ තදබල මානසික පීඩනයකට ලක් වෙච්ච කෙනෙක්. ඒ වියවුලෙන් මිදෙන්න එයා පුදුමාකාර විදිහට වැඩට ඇබ්බැහි වෙනවා. වැඩට තදින්ම ඇබ්බැහි වෙන එක හොංකොංවලදී මම පෞද්ගලිකව අත්දැකලා තියෙන දෙයක්. ඒ නගරයේ එක දවසේ ‍රැකියා දෙක තුන කරන අය ඉන්නවා. එක ‍රැකියාවක් කරලා, අතට අහුවෙන දෙයක් බස් රියට හරි දුම්රියට වෙලා හරි කමින්, එහිම හිටගෙන මේකප් දමමින් අනිත් ‍රැකියාවට දුවන යාළුවෝ මටත් ඉන්නවා. මුළු දවල් කාලෙම වැඩ කරලා, රෑටත් අවන්හලක හරි බීම හලක වැඩ කරලා පාන්දර එකට-දෙකට ගෙදරට එන පිරිසක් එහේ ඉන්නවා. මගේ පොතේ කතා නායිකාව ඒ නගරේ ඉතා සාර්ථක අධි නීතිඥවරියක්. හොංකොං නගරේ ඉන්න ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් සහ සරණාගතයන් සම්බන්ධයෙන් මගේ සිත කම්පනයට පත් කරපු යම් සිදුවීම් කතාවේ ප්‍රධාන චරිතය කරන සද් ක්‍රියා හරහා කියාගැනීමේ ඕනෑකමකුත් මට තිබුණා.

ඇගේ වෘත්තීය ජීවිතය ඉතා සාර්ථක වුණාට පෞද්ගලික ජීවිතය අර ප්‍රේම සම්බන්ධය බිඳ වැටීමේ ප්‍රතිඵලයක් විදිහට අරමුණක් නැතිව ඉබාගාතේ ගහගෙන යන තත්ත්වයකට පත් වෙනවා. ඒ වගේ සුපිරි නගරයක ඒ විවෘත සමාජ ප්‍රවාහයට අහු වුණාම එහෙම ඉබාගාතේ ගහගෙන යන එක සම්බන්ධයෙන් පාලනයක් නෑ. ඒක මා ඒ නගරයේදී ඕනෑ තරම් දැකලා තියෙනවා. තමා එක්ක තාවකාලික සම්බන්ධතා පවත්වන එක පිරිමියෙක්වත් මේ කතාවේ ප්‍රධාන චරිතයට වැදගත් නෑ. ඈට ඕනේ තමන්ගේ හුදෙකලාව නැති කරගන්න තාවකාලික සුවයක් විතරයි. ඉංග්‍රීසියෙන් අපි ඒකට 'රීබවුන්ඩ්' කියලා කියනවා. මේ කෘතියේ පළවෙනි අවුරුදු කීපය ඈ අපට හමුවෙන්නෙ එහෙමයි. තමාට හරිහමන් අරමුණක්, නිසි මිනිස් සම්බන්ධයක් මුණ ගැහෙනකන් එයා ඉබාගාතේ හැසිරෙනවා. කිසියම් පාඨකයකු තුළ, ඇගේ මේ හැසිරීම ගැන කලකිරීමක් සහ ඈ යන වේගය ගැන අපැහැදීමක් ඇති වෙනවා නම් අන්න ඒක තමයි මම ඇත්තටම බලාපොරොත්තු වුණේ. මං ඒකට විශේෂ ශිල්පීය ක්‍රම අනුගමනය කළේ නෑ. අවුරුදු 18ක් තිස්සේ ඒ වගේ අධිවේගී නගරයක ජීවත් වෙනකොට ඒක ඉබේම ඇති වෙනවා. එතකොට ඒ නගරය පාදක කරගෙන කතාවක් කියද්දි ඒ වේගය ඉබේම ඒ කතාවටත් ආරෝපණය වෙනවා.

 

'ඈත දුර ඈත' නවකතාවේ ප්‍රධාන චරිතයට ඔබ නමක් දෙන්නෙ නෑ. නම් තියෙන චරිත අතරේ නමක් නැති ප්‍රධාන චරිතය විශාල අධිකාරී බලයක් රඳවගන්න සමත් වෙනවා. අලුත් ප්‍රවණතා නවකතාව ඇතුළට අරගෙන එන්න තියෙන සාම්ප්‍රදායික බය ඔබට නැද්ද?

ඈත දුර ඈත නවකතාවේ ප්‍රධාන චරිතයට නමක් නැත්තෙ ඇයි කියලා මීට කලින් මගෙන් කෙනෙක් ඇහුවම මං එයාට මෙහෙම කිව්වා. "එයා මට නමක් දුන්නෙ නෑ" ඒ කතාව ඇත්ත. කතාව ලියාගෙන යන කිසිම වෙලාවක ප්‍රධාන චරිතයට නමක් මගේ ඔළුවට ආවෙ නෑ. එකක්, දෙකක් ඇරෙන්න අනික් සියලු නම් ක්ෂණයකින් හිතට ආපුවා. ඒ නිසා 'ප්‍රධාන චරිතය නිසා ඔයාට නමක් අවශ්‍යයි', කියලා ඈට බල කිරීමක් නොකර ආත්මකථනයක් විදිහට ඇගේ කතාව කියාගෙන යන්න ඉඩ ඇරියා. ඇගේ පරණ පෙම්වතාටත් නමක් නෑ. ඈ ඔහුව හදුන්වන්නේ 'ඔහු' කියලා. ඒක නම් මම හිතාමතාම කරපු දෙයක්. ඈ කතාව පුරා ඔහු සම්බන්ධ අතීත සිදුවීම් මතක් කළත්, ඈට ඔහුගෙ නම කියාගැනීම වේදනාවක් බව ඇඟවීමයි එහි අරමුණ වුණේ. ඒ වගේම ඇගේ මනෝ උපදේශකවරියටත් නමක් නෑ. එය කතාවට අවශ්‍යයි කියලා මට හිතුණෙ නෑ. ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරේ නම්, නෑ, අලුත් ප්‍රවණතා නවකතාව ඇතුළට අරගෙන එන්න බය වෙන්න ඕන නෑ. සාම්ප්‍රදායකත්වයෙන් මිදීම නවකතාවට හොඳයි. සාහිත්‍යයට හොඳයි. ලේඛකයන් විදිහට අපි අලුත් ප්‍රවණතා හොයාගෙන යන්න ඕනා. අපි හදවතට අවංකව යමක් කරනවා නම් ඒ ගැන බය වෙන්න ඕන නෑ. ලේඛකයාගේ චින්තන ශක්තිය පුළුල් වීමෙන් පාඨකයාගේත් චින්තන ශක්තිය පුළුල් වෙනවා.

 

පොතක් ලිවීමේ ක්‍රියාවලියේ ඉන්නකොට සහ ඉන් ඉවත් වුණාම ඔබට අහිමි වෙන දෙයක් තියෙනවද? හරියට ඔබෙන් කුඩා කැබැල්ලක් ගලවලා දුන්නා වගේ හැඟීමක් කවද හරි ඇති වෙලා තියෙනවද?

කිසිවක් අහිමි වන බවක් මට හිතන්න බෑ. මට දැනෙන්නෙ මට යමක් හිමි වුණා වගේ හැඟීමක්. කිසියම් බැඳීමකින් මාව නිදහස් වුණා වගේ හැඟීමක්. වැඩිපුරම පරිවර්තන කටයුතුවල යෙදිලා ඉන්න නිසා මම පෞද්ගලිකව අත්දකින දෙයක් තමයි, ඒ කාලෙට මට හීනෙන් පේන්නෙත් ඒ පොතේ සිදුවීම්. මං නින්දට යන්නෙ සහ නින්දෙන් අවදි වෙන්නෙ ඒ සිදුවීම් එක්ක. මේ, මේ වචන වැඩිපුර ගැළපෙනවා කියලා සමහර වෙලාවට අඩ නින්දෙ ඉන්නකොට මට මතක් වෙනවා. ඒක එක්තරා අන්දමක පිස්සුවක් වගේ. සමහර පොත් ලියලා ඉවර වෙද්දි කාලයක් තිස්සේ ඒ කතාව ඇතුළේ ජීවත් වීම නිසා ඒ චරිත එක්ක ඇති වුණ බැඳීමත් එක්ක වෙන්වීමේ වේදනාවක් දැනිලා තියෙනවා. පරිවර්තන තුනක් සම්බන්ධයෙන් ඒක මට හොඳටම මතකයි. මනරම් හිරු දහසක්, ඉක්බිති කඳුකරය දෝංකාර දුනි සහ මෑතකදී සාගරාන්තර ආලෝකය. මේ පොත් ලියා අවසන්වීමත් සමඟ මාව අඬවපු පොත්. ඒක විස්තර කරන්න බැරි හැඟීමක්.

ඈත දුර ඈත අන්තිම පරිච්ඡේදයේදි කතා නායිකාව ඇගේ කුඩා දියණිය වඩාගෙන සඳළුතලයට වෙලා මුහුද දිහා බලාගෙන ඉන්න කොටස ලියද්දිත්, ඊට පස්සේ ඒ කොටස කියවද්දිත් එහෙම වුණා. ඒ නම් මම හිතන්නෙ එහෙම වෙන්න ඇත්තේ, ඈට කෘතිය අවසානයේ ඈ මෙතෙක් සෙවූ සැනසීම ලැබුණා කියන හැඟීමෙන් මටත් දැනුණු සැනසීම නිසා වෙන්න ඇති.

 

නිතර විස්මයට පත් වෙන විදිහෙ ලිවීමේ රටාවක් තියෙන ලේඛකයෙක් ඔබේ ඉස්සරහත් ඉන්නවද?

පොත් විශාල ප්‍රමාණයක් කියවන නිසා, කලින් කලට ඒ විදිහට මාව විස්මයට පත් කරන ලේඛකයා වෙනස් වෙනවා. ලේඛකයාටත් වඩා මම විස්මයට පත් කරන්නේ ඔහු ලියූ කෘතියයි. අවුරුදු ගාණකට කලින් නව යොවුන් වියේදී නම්, කරුණාසේන ජයලත්. විශේෂයෙන්ම ඔහු ලියූ 'සතීගේ කතාව'. මම ඒ පොත් පනස් වතාවකට වඩා කියවලා ඇති. ඒ හැම වතාවකම අලුතින් කියවනවා වගේ උද්වේගයක් මා තුළ ඇති වුණා. ඊළඟට 'පෙම් වියරුව' කියන 'වදරින් හයිට්ස්' පොතේ පරිවර්තනය. ඒක ඇත්තටම අනුවර්තනයක් මං හිතන්නේ. නමුත් ඒ පොත කියවලා ලබපු රසය පසු කාලයක මට මුල් කෘතිය කියවලා ලබා ගන්න බැරි වුණා. ජයන්ත විමලසේන පරිවර්තනය කළ 'චෙම්මින්' හදේ නිදන් තවත් පොතක්.

ඊළඟට සුනේත්‍රා රාජකරුණානායකගේ 'ප්‍රේම පුරාණය'. මොහාන් රාජ් මඩවලගෙ සියලුම පොත් මම කියවලා නැහැ. නමුත් ඔහුගේ රචනා විලාසයට මම කැමතියි. මෑතකදී කියවූ පොත් අතරින් චූලභය ශාන්ත කුමාර හේරත්ගෙ 'මා' කියන පොත මගේ හිත ගත්තා. අනිවාර්යෙන්ම කාලිඩ් හුසෙයිනි මාව විස්මයට පත් කරපු ලේඛකයන් අතර පෙරමුණේම ඉන්න කෙනා.

මාව විස්මයට පත් වෙන්නේ ඇත්තටම ඔහුගේ ලේඛන රටාව නිසා විතරක්ම නෙවෙයි; ඔහුගේ කතාන්දරවල තියෙන මානුෂීයභාවය නිසා. ඔර්හාන් පමුක් ඒ ලැයිස්තුවෙ ඉන්න තවත් කෙනෙක්. මගේ අතින් පරිවර්තනය වුණ හැම කෘතියක්ම මා තුළ සංවේදී හැඟීම් ඇති කළ පොත්. මම ඒවා ‍තෝරාගත්තේ ඒ කතාන්දර සිංහල පාඨකයා සමඟ බෙදාගැනීමේ ආසාව නිසයි.

 

ලිවීමේ ක්‍රියාවලිය දිහා සහ ලාංකීය ප්‍රබන්ධ සාහිත්‍ය දිහා සාමාන්‍ය පාඨකයෙක් විදිහට එළියට ඇවිත් බලන්න කියලා මම යෝජනා කළොත්, ඔබට මොනවද පෙනෙන්නෙ?

අවුරුදු 18ක් ලංකාවෙන් බැහැරව ජීවත් වුණ නිසා මට මඟහැරී ගිය ලාංකේය ප්‍රබන්ධ සාහිත්‍ය කෘති එමටයි. ඒ නිසා ඒ අවුරුදු 18 ක කාලය තුළ ලිවීමේ ක්‍රියාවලිය කොහොම සිද්ධ වුණාද කියන දේ ගැන මට අවබෝධය අඩුයි. නමුත් මට දැනට පෙනී ගිය කාරණාවට අනුව නම්, ලංකාවෙ ප්‍රබන්ධ සාහිත්‍ය වැඩි වශයෙන්ම ට්‍රෙන්ඩ්වලට අනුව සිද්ධ වෙන බවකුයි දැනෙන්නේ. අපිට කතා කරන්න තියෙන්නේ එකම මාතෘකා ටිකක් විතරයි. ඒ සුලබ මාතෘකා ටිකම පදනම් කරගෙන අපි අඩු වැඩි වශයෙන් කතා ගොතනවා. මා සාමාන්‍ය පාඨකයකු නම්, ඒ සුලබ මාතෘකාවලින් බැහැර වුණ ප්‍රබන්ධ කතාවක් කියවලා මගේ පරිකල්පනය දියුණු කර ගැනීමේ කැමැත්තක් සහ එබඳු අලුත් මාතෘකා තුළට මා කැඳවාගෙන යාමට සමත් ලේඛකයන් පිළිබඳ අප්‍රමාණ හැඟීමක් මා තුළ ඇති වේවි. මම වැඩිපුරම කියවන්නෙ ඉංග්‍රීසි ප්‍රබන්ධ සාහිත්‍ය නිසා, අපේ සාහිත්‍යයේ අලුත් මාතෘකාවල, ප්‍රවණතා, නිර්මාණශීලී පරිකල්පනයේ අඩුවක් මට දැනෙනවා.

 

ලාංකීය සාහිත්‍ය පාඨකයාව ඔබ හඳුනගෙන තියෙන්නෙ කොහොමද? මේ අයගේ ගති ලක්ෂණ තව දුරටත් ඔබේ ලිවීමේ ලාලසාව පවත්වා ගන්න උදව් කරනවද?

අනිවාර්යෙන්ම. ලාංකේය සාහිත්‍ය පාඨකයාව මට වැඩිපුර මුණගැහෙන්නේ සමාජ ජාලා හරහානේ. හොඳම උදාහරණය තමයි, මම පරිවර්තනය කරපු ලිට්ල් හවුස් කතා මාලාවට මේ තරම් ඉල්ලුමක් හෝ පිළිගැනීමක් තියෙන බව ෆේස්බුක් ඔස්සේ පාඨකයා මුණ ගැහෙනකන් මම දැනගෙන හිටියේ නැහැ. එවැනි දේ ඇත්ත වශයෙන්ම ලිවීම සඳහා මට උත්තේජනයක් සපයනවා. මගේ සතුට වෙනුවෙන් මම ලිව්වත්, ඒ දේවල් කියවන පිරිසකගේ අගය කිරීමට පාත්‍ර වීම සතුටක් සහ ආඩම්බරයක්. ජීවිතයේ කිසියම් අවස්ථාවක මම පරිවර්තනය කළ පොත් තමන්ගේ ජීවිතයට උපකාරයක් වුණා කියලා කියන පාඨක පිරිසක් මට ඉන්නවා. ඈත දුර ඈත කියවා එහි එන ප්‍රේමය බිඳී යෑමේ සිදුවීම සහ එය අමතක කරන්නට නොහැකිව තැවි, තැවී සිටීම තමන්ගේ ජීවිතයට ඉතා සමීප බව දැනටමත් කීප දෙනෙක්ම මා සමඟ කියා තිබෙනවා. සාර්ගර්භ කියවීමක අවංකව නිරත වෙලා ඉන්න පාඨකයාව රවටන්න බැහැ. එය වසර විස්සක කාලයක් පුරා ලේඛන කටයුතුවල යෙදෙද්දී මම තේරුම් ගත්ත දෙයක්.

 

ස්වතන්ත්‍ර ලේඛකයාව පරිවර්තකයා විසින් යම් සීමාවක, භාෂා ශෛලියක කොටු කරනවාද? එහෙම ගැටලුවක් කවදා හෝ ඔබට ඇතිවෙලා තියෙනවද?

නැහැ. කවදාවත් එහෙම වෙලා නැහැ. එහෙම වෙන්න ඕනා නෑ කියන එකයි මගේ අදහස. ස්වතන්ත්‍ර ලේඛකයා සහ පරිවර්තකයා කියන්නෙ දේආකාර ලේඛන කටයුත්තක යෙදෙන්නෙක්.

පෞද්ගලිකව, මම පරිවර්තනයකදී භාෂාව පාවිච්චි කරන්නෙ, ඒ මුල් කෘතිය කියවන අතරේ මා විඳින හැඟීමත් සමඟයි. ඒක නිරායාසයෙන්, මුල් කෘතියට අනුගතව සිද්ධ වෙන දෙයක්. සමහර පරිවර්තනවලදී මම අලුතින්ම වචන නිර්මාණය කළා. ඒ ඒ මුල් කෘතිය ඉල්ලා සිටින අවස්ථාවක, සිංහල භාෂාවේ ප්‍රාදේශීය සහ උප භාෂා ව්‍යවහාර යොදා ගත්තා. නමුත් ඊළඟට මගේම කෘතියක් ලිවීමේදී මා කරන්නේ මගේ සිතේ ඇ‍ඳෙන චරිතවලට අනුව ඒ කතාව ඉල්ලන ආඛ්‍යානයක්, භාෂාවක්, රිද්මයක් ඊට යොදා ගැනීමයි. ඒ දෙක ක්‍රම දෙකක්.

අදහස්