හිත නවතින මොහොත | සිළුමිණ

හිත නවතින මොහොත

 

ඉතිං මං යාළුවොත් අඬගහගෙන ගඟට උඩින් තියෙන ඒ පටු ඉවුරු කෑල්ලට යනවා. ඒත් බොහොම ටික දෙනයි එන්නෙ. හැබැයි ඒ ටික දෙනා අපූරු අත්දැකීමක් තමයි විඳ ගන්නෙ. ‘මේක නං මහ අමුතු තැනක්. මෙතන ඉන්නකොට දැනෙන්නෙ හිත නැවතිලා තියනව වගෙයි’ ඒ අය කියනවා.

මං යාළුවො අඬගහගෙන ගඟට ඉහළින් තියන කෝච්චි පාලම උඩටත් යනවා. එතන නං හැබෑවට ම භයානක තැනක්. එතෙන්ට යන එකත් තහනම්. මිනිස්සු එතනින් ගඟට පැනල දිවි නහගන්න හින්දා එතන මුර කරන්ඩ පොලිස් රාලහාමි කෙනෙකුත් දාලයි හිටියේ.

අපි රාලහාමිට පගාව දෙනවා.‘අපි යන්නෙ දිවි නහගන්ඩ නෙමේ. ඔහෙ නිකන් ජොලියට තමයි පාලමෙං ගඟට පනින්නෙ’ අපි රාලහාමිට කියනවා. රාලහාමිත් අපිව ටිකෙන් ටික තේරුම් ගත්තා. පස්සෙ පස්සෙ මිනිහ අපිට සෙනෙහස දැක්කුවා. අපෙන් පගාව ගන්න එකත් නැවැත්තුවා. ‘ඔය ගොල්ලන්ට පනින්ඩ පුළුවන්! මං මේ පැත්ත බලන්නැතුව ඉන්නම්. ආයෙ ඕනෑ වෙලාවක ඇවිත් පනින්ඩ!’ මිනිහා එහෙම කියන්ඩත් පුරුදු වුණා.

හැබැවට ම ඒක භයානක පැනිල්ලක්; පාලම හුඟක් උසයි. පාලමෙන් පැන්නම ගඟට වැටෙන්ඩ ටික වෙලාවක් ගතවෙනවා. ඒ ටික වෙලාවෙ එක පාරට ම හිත නවතිනවා. ඒ අවස්ථාවලදි තමයි මං හදිස්සියෙම භාවනාව මොකක්ද කියල අත්වින්දේ. මං භාවනාවට වඩ වඩාත් යොමු වුණෙත් එහෙමයි. කඳුවලට නොගිහින්, ගඟට නොගිහින්, පාලමෙන් ගඟට පනින්නෙ නැතුව මේ භාවනාමය අවස්ථාව උදාකර ගන්නෙ කොහොමද කියන එක මං හිතෙන් විමසන්ඩ පටන් ගත්තා. කොහේවත් නොගිහින් ඇස් දෙක පියාගත්තු පමණින් යම් කෙනෙක් කොහොමද ඒ තත්ත්වෙට පත්වෙන්නෙ? එක සැරයක් අත්හදා බැලුවොත් ඔබට තේරෙයි මේ වැඬේ අමාරු නෑ කියලා.

කෙනෙක් මගෙන් මෙහෙම අහන්ඩ පුළුවනි. ‘ඔබේ කතාවලට අනුව ඔබ ඉපදෙනකොටම සත්‍යාවබෝධය ලබල හිටිය වුණත් ඔබ ආධ්‍යාත්මික ගවේෂකයකු වෙලා හිටිය කියල මා තුළ යම් හැඟීමක් ඇතිවෙලා නෑ. ඔබ සත්‍යාවබෝධය ලබා තිබෙනවද නැත්නම් ඒ තත්වය ළඟා කර ගනිමින් සිටිනවද?’

ඒකට මගෙ පිළිතුර මේකයි. අපිට කෙලින්ම සොයා ගන්ඩ බැරි දේවල් තියනවා. වඩාත් ම වැදගත් වෙන්නෙ සෘජු නොවූ මාර්ගයෙන් හමු වූ දේවල්. ඇත්තෙන්ම සත්‍යය අවබෝධ කර ගැනීම වගේ දේවල්වලට ඔබ කළ යුත්තේ පරිසරය සූදානම් කර තබා ගැනීමයි. ඔබට සත්‍යය සොයාගෙන යා නොහැකියි. කොහෙ කියල යන්ඩද? කාබුල්වලට? කාත්මණ්ඩුවලට? ගෝවට? ඊට පස්සෙ ආපහු ගෙදරට. හැම සත්‍ය ගවේෂකයම ඔය පාරෙ ගියාට හිටියටත් වඩා මෝඩ විදිහට ආපහු ගෙදර ඇවිත් තියනවා. ඔවුන් කිසි දෙයක් හොයාගෙන නෑ.

සත්‍යය හොයාගෙන කොහෙ කියල යන්ඩද? ඔබ යා යුතු පාරක් දන්නෙ නෑ. සිතියමක් නෑ. මඟ පෙන්වීමක් නෑ. සත්‍යාවබෝධය කියන්නෙ මොකක්ද, ඒක තියෙන්නෙ කොහෙද, ලැබෙන්නෙ කොයිවෙලාවෙද කියල කිසි කෙනෙක් දන්නෙ නෑ. සත්‍යය සොයන සැබෑ පුද්ගලයා සත්‍යය සොයා යන්නෙ නෑ. ඒ වෙනුවට ඔහු කරන්නෙ අසත්‍ය භාවයෙන්, ව්‍යාජ භාවයෙන්, වංක භාවයෙන් තමන්ගෙ හිත අපවිත්‍ර නොකර ගැනිමට උත්සාහ කිරීමයි. ඔහුගේ හදවත ඒ සඳහා සූදානම් වූ විට පවිත්‍ර වූ විට අමුත්තා ඒවි. ඒ හැර ඔබට අමුත්තා සොයා ගැනීමට බැහැ. ඔහු පසු පස යන්නත් බැහැ. ඔහු ඔබ කරා ඒවි. ඔබ කළ යුත්තේ පේවී සිටීමයි. නිවැරදි ආකාරයෙන් පැවතීමයි. ඒ නිසා ඔබ නිවැරදි ආකල්පයක පිහිටිය යුතුයි.

ඔබ ලෝකය තේරුම් අරගෙන තිබෙන ආකාරයට අනුව බැලුවොත් නම් මා ආධ්‍යාත්මික නෑ. මම කිසිම දවසක ආගමික ස්ථානවලට ගිහින් නෑ. ශුද්ධ ලියවිලි කියවල නෑ; සත්‍යය සොයා යෑමේ ආගමික පුහුණුවීම් කර නෑ. කිසි දවසක දෙවියන් වහන්සේට වැඳ නෑ; යාඥා කර නෑ. ඒ මගේ ක්‍රමවේදය නෙමෙයි. ඒ නිසා මා ආධ්‍යාත්මික නැතැයි ඔබට කිව හැකියි. මගේ ආධ්‍යාත්මික මාර්ගය ඊට මුළුමනින්ම පටහැණියි. ඒකට අවංක පෞද්ගලිකත්වයක් අවශ්‍යයි. මොකක් හෝ ආගමික ක්‍රමයක් මත යැපීමට ඊට ඉඩක් නැහැ. කොපමණ විශාල වන්දියක් ගෙවල හරි එය තමන්ගේම නිදහසක් නිර්මාණය කර ගන්නවා ඇති. මේ කටයුත්ත සෙනඟ අතර කරන්න බැහැ. මොකද සමූහයා අතරින් කිසිදු සත්‍යයක් සොයා ගත නොහැකි නිසයි. සත්‍යය සොයා ගත හැකි වන්නෙ තනි තනි පුද්ගලයන්ගෙ හුදෙකලාවෙන් පමණයි. ඒ නිසා මගේ ආධ්‍යාත්මිකත්වය ඔබේ ආධ්‍යාත්මිකත්වය පිළිබඳ අදහසට වඩා වෙනස්. මගෙ ළමා වියේ කතන්දරවලින් ඔය කියන ලක්‍ෂණ ඔබට සොයා ගත හැකි වේවි. මා ඒ කතා ආධ්‍යාත්මික කතා යැයි කියන්නෙ ආධ්‍යාත්මය වඩවා ගැනීමට දැරෙන සියලු උත්සාහයන් ඒවායෙන් දැක්විය හැකි නිසයි.

මගේ ළමාවියේ කතාවලට කන් දෙද්දි ඒ හුදු කතා දිහෑ විතරක් නෙමේ ඒ කතා යටින් සිහින් හුයක් වගේ දිව යන කිසියම් නෛසර්ගික ගුණයක් හඳුනා ගැනීමට ඔබ උත්සාහ කළ යුතුයි.

ඒ සිහින් හුය ආධ්‍යාත්මිකයි.

ලබන සතියට

අදහස්