මධ්‍යම අධිවේගයත් අධිවේගයෙන් වැඩ | සිළුමිණ

මධ්‍යම අධිවේගයත් අධිවේගයෙන් වැඩ

ශ්‍රී ලංකාවේ අපටද මේ වන විට මාර්ග තදබදය තදබල ලෙස බලපා තිබෙන අතර, පැවැති රජයන් මෙන්ම වර්තමාන රජයද මේ තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා නගරබද මංමාවත්හි මංතීරු වැඩි කර, ඒවා පුළුල් කරමින්, ගුවන් පාලම් තනමින්, නව මාර්ග පද්ධති සකස් කරන අතරතුර අධිවේගි මාර්ග ඉදි කිරීමටද කටයුතු කරමින් සිටියි. දැන් මේ අධිවේගි මාර්ග පහසුකම නුවර සහ දඹුල්ල ප්‍රදේශ වෙත මෙන්ම ඒ අතරතුර වෙනත් නගරවලට හා ගම්මානවලට යන-එන ජනතාවටද සලසා දීමට රජය පියවර ගෙන තිබේ. ඒ යටතේ මධ්‍යම අධිවේගි මාර්ගය මේ වන විට ලහිලහියේ ඉදි වෙමින් පවතී. එහි ඉදිකිරීම් මේ වන විට වඩාත් වේගවත්ව සිදු වෙමින් පවතින අන්දම පසුගිය දා සංචාරය යෙදුණු අප හට නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබිණි.

මූලික සැලසුම් අනුව ‘උතුරු අධිවේගි මාර්ග ව්‍යාපෘතිය’ ලෙස මෙය නම් කෙරුණු අතර, ඒ යටතේ ‘මධ්‍යම අධිවේගි මාර්ගය’ ලෙස මේ ව්‍යාපෘතිය නම් කෙරිණි.

මෙහිදී පාරිසරික හා සමාජීය බලපෑම් අවම වන පරිදි, නාගරික ප්‍රදේශ හැකි තාක් මඟහරිමින් ප්‍රධාන වශයෙන් හිස් ඉඩම් හරහා මාර්ගපථය ඉදි වන ආකාරය අපට නිරීක්ෂණයක කළ හැකි විය.

මුදල් ගෙවීමේ කවුන්ටර් සහිත ප්‍රවේශ ස්ථාන වශයෙන් මීරිගම, නාකලගමුව, දම්‍බොක්ක, කුරුණෑගල යන හුවමාරු මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන අතර, මධ්‍යම අධිවේගි මාර්ග ව්‍යාපෘතිය තුන්වන කොටස යටතේ ඉදි කිරීම් කටයුතු සිදු කරනු ලබන පොතුහැර හුවමාරුව අධිවේගි මාර්ගය හරහා ගමන් ගන්නා රථවාහන නුවර-කුරුණෑගල හා කොළඹ දෙසට හුවමාරු වීම සඳහාද මේ කොටසේදී පහසුකම් සලසා ඇත.

මේ කොටසෙහි ඉදිකිරීම් ඒ, බී, සී, ඩී යනුවෙන් පැකේජ 4ක් යටතේ නම් කර ඇති අතර, ඒවා කිමී 10 බැගින් වෙන් කර, සමාගම් 4කට ලබාදී තිබේ.

මෙහිදී ඒ සමාගම් 4ම දේශීය සමාගම් වීම විශේෂත්වයකි.

මේ ව්‍යාපාතියේ සිවිල් ඉංජිනේරුමය ඉදිකිරීම් කොන්ත්‍රාතුව සඳහා රුපියල් බිලියන 137.1ක්ද උපදේශන කොන්ත්‍රාතුව සඳහා රුපියල් බිලියන 2,2.43ක්ද ලෙස මුළු ව්‍යාපාර වියදම රුපියල් බිලියන 160.8ක් (බදු රහිත) පමණ වනු ඇතැයි ඇස්තමේන්තුගත කර තිබේ.

මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මේ ව්‍යාපෘති කොටස් ඉදිකිරීම් කටයුතු ක්‍රියාවට නැංවීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කරන අතර, මාස 30ක කොන්ත්‍රාත්තුවක් ලෙස 2017 ජනවාරියේ ඇරඹුණු ඉදිකිරීම් 2019 ජූලි මාසයේදී නිමවීමට සැලසුම් කර තිබේ.

අධිවේගි මාර්ගය ඉහළින් ගමන් කරන විශාල ප්‍රමාණයේ පාලම් 12ක්, අධිවේගි මාර්ගයට ඉහළින් හා පහළින් ගමන් කරන කොටස් 42ක්, බෝක්කු 130ක් ඇතුළත්ව සම්පූර්ණයෙන් ගත් කල මීටර් 10,421ක් වන කොන්ක්‍රීට් කණු මත දිවෙන මාර්ග කොටස් 36ක් මේ සංවර්ධන ව්‍යාපෘතියට ඇතුළත්ය.

ඉදිකිරීම් සිදු කෙරෙන ප්‍රදේශය පුරා සිදු විය හැකි පාරිසරික බලපෑම් අවම වන පරිදි සහ ඉදිකිරීම් හේතුවෙන් ජල ගැලීම් වැනි තත්ත්වයන් ඇති වීම අවම වන ආකාරයට ක්ෂේත්‍ර කළමනාකරණය සිදු කර ඇත්තේ ශක්‍යතා අධ්‍යයනයන්ට අමතරව ප්‍රදේශයේ මහජනතාවගේ අදහස්ද සැලකිල්ලට ගනිමින් බව ව්‍යාපෘති කොටස 02, ව්‍යාපෘති අධ්‍යක්ෂ වී මෝහන් මහතා අප හා පැවසීය.

මෙහිදී ජනතාව සමඟ දීර්ඝ සාකච්ඡා වාර රැසක් පැවැත්වූ බව ඔහු මෙහිදී සඳහන් කළේය.

අදියර හතරකින් සමන්විත මේ ව්‍යාපෘතියෙහි පළමුවන කොටස වන කඩවත සිට මීරිගම දක්වා මාර්ගය කිමී 37ක දුර විහිදෙයි.

දෙවන අදියර මීරිගම සිට කුරුණෑගල දක්වා කිමී 39.29කි. තෙවන අදියර පොතුහැර සිට ගලගෙදර දක්වා කිමී 32.5ක් වන අතර, සිව්වන අදියර කුරුණෑගල සිට දඹුල්ල දක්වා කිමී 60.3කින් සමන්විතය.

මේ වන විට අදියර හතරේම ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මකව පවතින අතර දේශීය සමාගම් හතරක් මේ සඳහා එක්ව සිටීම හේතුවෙන් විදේශයන් කරා ගලා යෑමට තිබූ කෝටි ගණනක මුදල් මෙරටෙහිම රඳවාගැනීමට හැකි වීම විශේෂත්වයකි.

මාර්ගයේ දෙපස උරහිස් මීටර 2.5කින්ද මධ්‍ය පරතර තීරුව මීටර් 2කින්ද යුක්ත වන පරිදි මීටර් 3.6ක මංතීරු හතරක් මේ මාර්ග පථයට අන්තර්ගත කර තිබේ. අවශ්‍ය ස්ථානවල දුර්වල බිම් ශක්තිමත් කර අන්තිවාරම් සකසා ගල්තාර දමා මාර්ගය ශක්තිමත් කර ඇත. අවශ්‍ය පරිදි මාර්ග සංඥා සලකුණු දිශා පුවරු අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව පිහිටුවන අතර, අන්තර්-හුවමාරු මධ්‍යස්ථාන සඳහා ප්‍රමාණවත් ආ‍ලෝක සැපයුම් ස්ථාපනය කිරීමට කටයුතු සැලසුම් කර ඇත.

පුද්ගලයන් මඟින් ක්‍රියා කරවන සහ ස්වයංක්‍රීයව මුදල් අය කරන කවුළු මේ අන්තර්-හුවමාරු මධ්‍යස්ථානවල ස්ථාපනය කර ඇත.

පැයට කිමී 100ක උපරිම වේගයකින් ධාවනය කර ගමනාන්තය කරා සුව-පහසුව, ඉක්මනින් සහ ආරක්ෂාකාරිව ගමන් කිරීමේ අරමුණින් මෙහි ඉදි කිරීම් සියල්ල සැලසුම් කර ඇතැයිද ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා සඳහන් අප හා කළේය.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගි මාර්ග සැලසුම් අංශය, නුවර සැලසුම් අංශය මෙන් ම පාරිසරික හා සමාජය අංශ මඟින් බාහිර ආයතනද සමඟ සම්බන්ධීකරණයෙන් මේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් පිළිබඳ ශක්‍යතා අධ්‍යයනය සිදු කර තිබේ.

මීට අදාළ ලේඛන හා වාර්තා මධ්‍යම අධිවේගි මාර්ග ව්‍යාපෘතියට අදාළව ක්‍රියාත්මක කර ඇති http://www.cep.rda.gov.lk වෙබ් පිටුව ඔස්සේ ලබාගත හැකි අතර, https://www.facebook.comlcep2rda යන ෆේස්බුක් පිටුව මඟින්ද මේ පිළිබඳ තොරතුරු ලබාගත හැකිය. ඉඩම් අත් කරගැනීම් හා නැවත පදිංචිකිරීම් පිළිබඳ සැලසුම්ද අදාළ වෙබ් පිටුවෙහි දක්වා තිබේ.

මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති මීරිගම ප්‍රදේශයේ සිට කුරුණෑගල දක්වා ඉදිකිරීම් ඉතා කඩිනමින් සිදු කරන අයුරු සහ ඊට එක්ව සිටින සියලු සේවකයන් අවුරශ්මිය නොතකා, දිවා රාත්‍රී නොබලා ලබාදෙන ශක්තිය අගය කළ යුතුය.

මෙම මාර්ග පථයේ දක්නා ලැබෙන සුවිශේෂත්වය වන්නේ ජන ජීවිතයට වන අහිතකර බලපෑම් අවම වන ලෙස හැකි තාක් මුඩු ඉඩම් අතුරින් ගමන් කරමින්, පරිසර හානි අවම වන ලෙස වැඩිපුරම පාලම් මතින් දිවෙන පරිදි එය සැලසුම් කර තිබීමය.

ඡායාරූප - කැලුම් ලියනගේ

අදහස්