තරංගණී සිනමා ශාලාවේ චිත්‍රපට බැලුවා | සිළුමිණ

තරංගණී සිනමා ශාලාවේ චිත්‍රපට බැලුවා

ජාතික චිත්‍රපට සංස්ථාවට අයිති තරංගණී සිනමා ශාලාවේ සමීපරූපයක් ඉන්ද්‍රචාප මෑතක දී දකින්නේ නගරයේ බිත්තියක අලවල තිබුණු පෝස්ටරයකින්. පෝස්ටරයෙ තියෙනවා ආපහු තරංගණී හෝල් එක චිත්‍රපට බලන්න මහජන ප්‍රදර්ශනයට විවෘතයි කියල. ඉන්ද්‍රචාප හොයල බැලුවා මොකක්ද ඇත්තටම වෙන්නෙ කියලා. ආරංචිය තමයි දැන් හැමදාම උදේ 10.30 ට චිත්‍රපට ප්‍රදර්ශනයක් තියෙනවලු ඕනම කෙනකුට ප්‍රවේශ පත්‍රයක් මිලට අරගෙන නරඹන්න පුළුවන්. පටන් ගැනීමට අනුරුද්ධ ජයසිංහගෙ ගින්නෙන් උපන් සීතල පෙන්නනවලු. ඉන්ද්‍රචාපගෙ සමීපරූප අතර තියෙන තරංගණිය කොළඹ ප්‍රධාන පෙළේ චිත්‍රපට ශාලාවකට දෙවැනි නෑ වගේ. ඉතිං එහෙම සිනමා ශාලාවක සාමාන්‍ය සිනමා රසිකයකුට හරි දූ දරුවන් එක්ක චිත්‍රපටයක් නරඹන්න කැමැති පවුලක සාමාජිකයන්ට හරි සාධාරණ මිලකට ප්‍රවේශ පත්‍රයක් අරගෙන චිත්‍රපටයක් බලන්න තරංගණිය විවෘත කළ එක වටිනා වැඩක්.

මෙච්චර කාලයක් තරංගණිය වෙන් වෙලා තිබුණෙ අලුත් චිත්‍රපටයක මාධ්‍ය දර්ශනයක් වෙනුවෙන් එහෙමත් නැත්නම් අලුත් චිත්‍රපටයක මංගල දර්ශනය වෙනුවෙන් ආරාධිත ප්‍රේක්ෂකයන්ට පමණයි. ඊට අමතරව වරින් වර ලෝක සිනමාවෙ හොඳ චිත්‍රපට හදන රට රටවල සිනමා උලෙළ වෙනුවෙන් ද තරංගණියෙ දොරටු විවෘත වුණු සමීපරූප ඉන්ද්‍රචාප දකිනවා. සිනමාවෙ විශිෂ්ටයන් වෙනුවෙන් පැවැත්වුණු උපහාර උලෙළ, ඇගයීම් උත්සව නම් තරංගණියෙ නොඅඩුව පැවැත්වුණා ඉන්ද්‍රචාප දැකල තියෙනවා. වසන්ත ඔබේසේකර, සිරිල් වික්‍රමගේ, නිහාල්සිංහ උපහාර උලෙළ ඉන් කීපයක්. මෑත කාලෙ ස්වර්ණා මල්ලවාරච්චි, මාලිනී ෆොන්සේකා චිත්‍රපට උලෙළ වෙනුවෙන් ද තරංගණියට ආරාධිත ප්‍රේක්ෂකයො එකතුවුණා ඉන්ද්‍රචාපගෙ මතක සමීපරූප අතර. තරංගණිය චිත්‍රපට බලන්න අපූරු සිනමා ශාලාවක් විදියට ඉන්ද්‍රචාප දකින්නෙ ශාලාව පිහිටා තියෙන ඉසව්ව, පොදු ප්‍රවාහණ පහසුකම් අඩු නැතිව තිබීම, ශාලාව තවමත් කලබලයක් නැතිව චිත්‍රපටයක් නරඹා රස විඳීමට හැකි ස්ථානයක් වීම වගේ කාරණා නිසා.

තරංගණියෙ අතීත සමීපරූපය ඉන්ද්‍රචාපට හොඳට මතකයි. 70 දශකයෙ මැද භාගෙ වගේ කාලයක චිත්‍රපට සංස්ථා ප්‍රධාන කාර්යාලය තිබුණෙ බෞද්ධාලෝක මාවතේ වම් පැත්තෙ (බොරැල්ලෙ ඉඳල බම්බලපිටියට යනකොට) ඊට ඉදිරිපස විසාල ශාලාවක් තිබුණා ස්ථීර ගොඩනැගිල්ලක් නොවුණු. තරංගණිය මුල් සමීපරූපය ඒ කාලෙ දි ඉන්ද්‍රචාප දකිනවා. සති අන්තවල වැඩිපුරම පෙන්නුවෙ සිනමා උලෙළ චිත්‍රපට. පෝලන්ත, චෙකොස්ලොවේකියානු, ඉතාලි, ස්වීඩන් වගේ බටහිර රටවල හොඳ චිත්‍රපට වගේම අසල්වැසි රටේ සත්‍යජිත් රායි වගේ විශිෂ්ටයන්ගෙ චිත්‍රපටත් තිරගත වුණේ එදා තරංගණියෙ. හැමදාම සති අන්තෙ චිත්‍රපට බලන්න, ඒවා ගැන කතාබහ කරන්න එකතුවුණු තරුණ ප්‍රේක්ෂක පිරිස් අතර චිත්‍රපට විචාරකයො, මාධ්‍යවේදීන්, තරුණ සිනමාකරුවො, සාහිත්‍යකරුවො හිටපු බව ඉන්ද්‍රචාපගෙ සමීපරූප සාක්ෂි දරනව. තරංගණියෙ එක පැත්තතක පුංචි පොත් සාප්පුවක් තිබුණා. (අයි.පී.බී. පොත් හල) එතැන හිටපු අයි.පී.බී. සෝමෙගෙත් ඉස්කෝල මහත්තය එඩ්වින් හේවාකපුගේත් සමීපරූපත් එදවස බොහෝ චිත්‍රපට උලෙළ සමායෝජක නීල්.අයි.පෙරේරාගෙත් සමීපරූපය ඉන්ද්‍රචාප අද සිහිකරන්නෙ සිනමාව වෙනුවෙන් අවංකවම කැපවුණු චරිත විදියට. අද විවෘත වෙලා තියෙන තරංගණියටත් පොතපත අලෙවි කරන පුංචි කවුළුවක් විවෘත කරන්න සංස්ථාවට පුළුවන්. සංස්කෘතික දෙපාර්තමේන්තුවෙ, සංස්ථාවෙ ප්‍රකාශන අලෙවියෙන් මේ පොත් කවුළුව අරඹන්න පුළුවන් කියල ඉන්ද්‍රචාප විශ්වාස කරනව.

Comments